ස්නැප් සමාගමේ ආරම්භක ප‍්‍රසිද්ධ කොටස් නිකුතුව: ට‍්‍රම්ප්ගේ න්‍යායපත‍්‍රය සමපේක්ෂනයේ මධුපානෝත්සවයක් අවුලුව යි

The Snap IPO: Trump agenda fuels an orgy of speculation

2017 මාර්තු 3

ස්නැප් චැට් මැසේජින්ග් ඇප් නිෂ්පාදක ස්නැප් සමාගම, තම ආරම්භක ප‍්‍රසිද්ධ කොටස් නිකුතුවෙන් (අයිපී ඕ) පසු බ‍්‍රහස්පතින්දා, සියයට 44කින් ඉදිරියට තල්ලු විය. ඉතා කුඩා සේවක සංඛ්‍යාවක් සහිත මෙම සමාගම කිසි දා ලාභයක් උපයා ගෙන නැති අතර, පසු ගිය වසරේ දී ඩොලර් මිලියන 14.6ක් පාඩු වින්ද නමුත් දැන්, පුද්ගලයින් 300,000ක් සේවයේ යොදවන සිල්ලර වෙලඳ යෝධයකු වන ටාර්ගට් සමාගමට වඩා ඉහලින් අගය කෙරෙන තත්වයකට පත්ව ඇත.

අලවිය ඇරඹී තත්පර ගනනාවක් ඇතුලත කොටස් විකිනී ගිය අතර, ආරම්භක සීනුව නාද කිරීමෙන් පැය එකහමාරකට පසු, ඉවාන් ස්පීගල් හා බොබී මර්පි යන සමාගමේ සමාරම්භකයින් දෙදෙනාගෙන් එක් එක් අයෙකුගේ ධනය ඩොලර් බිලියන 5.3 දක්වා ඉහල ගිය අතර ඩොලර් 17ක් වූ ආරම්භක කොටසක මිල ඩොලර් 24 දක්වා සියයට 44ක පිම්මකින් ඉහල නැගුනි. දවස ඇතුලත ඒවා ඊටත් වඩා ඉහල නැගුනි. අලෙවිය නතර කරන විට තරමක් පහල ගොස් තිබුන ද සමපේක්ෂන ප‍්‍රාග්ධන සමාගම් වන බෙන්ච්මාක් කැපිටල් හා ලයිට්ස්පීඩ් වෙන්චර් පාර්ට්නර්ස් වැනි වෙනත් සමාගම් ද පිලිවෙලින් ඩොලර් මිලියන 903ක් හා ඩොලර් මිලියන 613ක් උපයා ගත්හ.

ස්නැප් කොටස් අගයේ සීග‍්‍ර වැඩි වීම, අන්තර් සම්බන්ධිත ක්‍රියාදාමයන් දෙකක් පෙන්නුම් කරයි. එය එක්සත් ජනපද ආර්ථික හා මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රය තුල පරපුටුකම නැගීම පිලිබඳ වැඩි දුර ප‍්‍රකාශනයකි. ඒ අතර ම එය, ආන්ඩුවේ මොනයම් පාලනයක් හෝ නියාමනයකින් නිදහස් ව, ධනේශ්වර මුදල් ඉපයීමේ “තිරිසන් ආත්මය” මුදාහැරීම අරමුනු කර ගත් ට‍්‍රම්ප් පාලනාධිකාරයේ ප‍්‍රතිපත්ති, වෝල් වීදිය හා එක්සත් ජනපද මූල්‍ය ප‍්‍රභූව විසින් අනුමත කරනු ලැබීම පිලිබඳ තවත් කැපී පෙනෙන ප‍්‍රකාශනයකි.

කවදාවත් ලාභයක් උපයනු නැති බවට ස්නැප් සමාගම අනතුරු අඟවා තිබීම, කොටස් මිලට ගැනීමේ කඩිමුඩිය වැලක්වූයේ නැත. සමපේක්ෂකයින් කෙල හැලුවේ, සෑම දිනක ම බිලියන 2.5ට වඩා සංකල්ප රූප හා පනිවිඩ එවන්නා වූ ද ජනගහනයේ වයස අවුරුදු 18 සිට 34 දක්වා කාන්ඩය සංකේන්ද්‍රනය වන්නා වූ ද මිලියන 158ක් වන ස්නැප්චැට් පාවිච්චි කරන්නන්, ආදායමේ වාසිදායක මූලාශ‍්‍රයක් වනු ඇතැ යි යන අපේක්ෂවෙන් නොවේ. තෙරපීම පොලඹවන ලද්දේ, එහි කොටස් වටිනාකම් ඉහල යාමත් සමග දැවන්ත ක්ෂනික ලාභ නිර්මානය කරනු ඇති බවට, මිනිත්තුවක් හෝ තත්පරයක් තුල තක්සේරු කෙරුනු, ඉතා කෙටි කාලීන අපේක්ෂාවන් විසිනි.

ස්නැප් දියත් කිරීමට ලැබුන ප‍්‍රතිචාරය වෝල් වීදිය හුවා දැක්වූයේ, පසු ගිය වසර දෙක තුල ආරම්භක ප‍්‍රසිද්ධ කොටස් නිකුතුවේ පහතට හැරීම අවසානයකට පැමිනීමක් මෙන් ම ප‍්‍රවාහන ජාල සමාගමක් වන යූබර් හා කුලියට නවාතැන් සපයන සේවාවක් වන එයාර්බීඑන්බී වැනි අනෙකුත් සමාගම් ද ප‍්‍රසිද්ධ නිකුත් කිරීම් සඳහා පියවර ගන්නේ නම්, තව දුරටත් දැවන්ත ධනය උපාය ගත හැකි බවට වන සංඥාවක් ලෙස ය.

ස්නැප් ආරම්භක ප‍්‍රසිද්ධ කොටස් නිකුතුව සිදු වුයේ මාස හතරකට පෙර ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජය ගැනීමත් සමග ඇරඹුනු වෙලඳපොල ඉහල යාමක් මධ්‍යයේ ය. මැතිවරන දිනයේ සිට, වොලඳපොල සියයට 15කින් ඉහල ගොස් ඇති අතර, ජනවාරි 25දා 20,000 සලකුන පසු කිරීමෙන් පසු ඩව් ජෝන් දර්ශකය බදාදා 21,000ක නව වාර්තාගත ඉහලකට ලඟා විය.

එමෙන් ම එය සිදු වූයේ, ට‍්‍රම්ප් ඩොලර් බිලියන 53කින් එක්සත් ජනපද මිලිටිරි වියදම් වැඩිකිරීමේ සැලසුම් නිවේදනය කල සතියේ දී ම ය. සමාජ වියදම් හා විදේශාධාර කප්පාදු කිරීම සමග නිසි ලිපි ලේඛන නොමැති කම්කරුවන් දැවන්ත ලෙස වට කිරීමට ඔහුගේ පාලනාධිකාරිය මෙහෙයුමක් දියත් කිරීම සමග එය සම්පාත විය.

මෙම සතියේ දී ඔහු කොංග‍්‍රස් මන්ඩලය ඉදිරියේ කල කතාවේ දී සඳහන් කල පරිදි, ඔහු බලයට පැමිනීමේ තැන් සිට, කොටස් වටිනාකම් වලට ඩොලර් ට්‍රිලියන 3ට වඩා එකතු කෙරී ඇත. මෙම ක්‍රියාදාමයේ ගාමක බලවේගය වන්නේ එක්සත් ජනපද ආර්ථිකයේ සැබෑ පුනර්ජීවනයක් පිලිබඳ අපේක්ෂාවන් නො ව― වෘද්ධිය දිගටම සියයට 2ට අඩු ය ― ලාභ ඉපයීම මත පරිපාලනමය බාධාවන් කටු ගා දැමීමට පාලනාධිකාරය සූදානම් වෙමින් සිටින බවට පවතින විශ්වාසය මත ය.

කෙටියෙන් කියතොත්, සමපේක්ෂනය, වංචා කිරීම, පහල වැටුප් හා ව්‍යාපාරික අකටයුතු මත පදනම් වන ට‍්‍රම්ප්ගේ ව්‍යාපාරික වෘත්තිය උපලක්ෂිත කර ඇති ආර්ථික හා මූල්‍ය විධිවිධානවල ආකෘතිය, දැන් සූදානම් වෙමින් සිටින්නේ, සමස්තයක් වසයෙන් ඇමරිකානු ආර්ථිකය තුල ඊටත් වඩා විශාල පදාසයක් නතුකර ගැනීමට ය.

මෙම ඉදිරිදැක්ම, ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන මූලෝපායඥයා මෙන්ම ආර්ථික ජාතිකවාදියෙකු වන ස්ටීවන් බෙනන් විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. ඔහු “පරිපාලනමය රාජ්‍යය” ලෙස නම් කරන දෙය උපුටා දැමිය යුතු යයි ඔහු අවධාරනය කර ඇත.

ස්නැප් ආරම්භක ප‍්‍රසිද්ධ කොටස් නිකුතුව, මෙම පොදු ක්‍රියාවලියේ ප‍්‍රකාශනයකි. එය කිසි දෙයක් නිෂ්පාදනය නොකරන සමාගමකි. එයට ඇත්තේ සුලු සේවක පිරිසක් වන අතර ඔවුන්ගේ තක්සේරුව පදනම් කෙරෙන්නේ, මූල්‍ය මෙහෙයුම් ඔස්සේ මුදල් වලට සරලව වඩ වඩාත් මුදල් ඉපද විය හැකිය යන විශ්වාසය මත ය.

ධන සමුච්චයනය තුල එවැනි සමපේක්ෂන දැන් වඩ වඩාත් පෙරමුන ගැනීම ප‍්‍රකාශ කරන්නේ, ඇමරිකානු ධනවාදයේ කේන්ද්‍රයේ ම කුනුවීමයි. එය සිදු වන්නේ, සැබෑ ආර්ථිකය තුල ඩොලර් ට්‍රිලියන ගනනාවකට ඵලදායි පිටවීම් මගක් සොයා ගැනීමට අපොහොසත් වීම හා ආයෝජකයින් මූල්‍ය මගඩි මගින් වඩ වඩා ලාභ අපේක්ෂා කිරීම යන කාරනය මුල්කරගෙනය.

මෙම ප‍්‍රපංචය ඕනෑ ම තැනක දැකිය හැක. කොටස් වෙලඳපොල නැගීමේ ප‍්‍රධාන ගාමකයන්ගෙන් එකක් වී ඇත්තේ, බැංකුවල, විශේෂයෙන් ම ගෝල්ඩ්මන් ඇන්ඩ් සැක්ස් කොටස් මිල ඉහල යාම යි. එකී බැංකුවේ හිටපු විධායකයින් හා සේවකයින් ට‍්‍රම්ප් පාලනාධිකාරය තුල ප‍්‍රමුඛ තනතුරු බාර ගෙන ඇත.

බැංකු කොටස් මිලේ නැගීම නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා නය දීම් ඉහල යාමක් පිලිබඳ අපේක්ෂාවන්ගේ ප‍්‍රතිඵලය නො ව, 2008 මූල්‍ය අර්බුදයට ප‍්‍රතිචාර වසයෙන් ඩොඩ්-ෆ‍්‍රෑන්ක් පනත තුල හඳුන්වා දුන් අත්‍යන්තයෙන් ම සීමිත පියවරයන් වන මූල්‍ය නියාමනය පවා ඉවත් කිරීමට ට‍්‍රම්ප් පාලනාධිකාරිය අපේක්ෂා කරන්නේ ය යන විශ්වාසයෙනි.

ඒ ආකාරයෙන්ම, පොදුකාර්ය ව්‍යාපෘතිවල නියැලෙන කැටපිලර් වැනි සමාගම්වල කොටස් මිල වැඩිවීම, කිසිදු අවංක පොදු ආරම්භකත්වයක් මත පදනම් නො කෙරේ. රට හරහා “දිදුලන” නව මාර්ග, පාලම්, උමං මාර්ග, ගුවන්තොටුපලවල් හා දුම්රිය මාර්ග ඉදිකිරීමෙන්, ගරා වැටෙන පොදුකාර්ය ව්‍යූහය වෙනස් කරන බවට කොංග‍්‍රස් මන්ඩල කතාවේ දී ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබුන ද එය පදනම් වන්නේ, ඩොලර් ට්‍රිලියන එකක ඊනියා පොදුකාර්ය වැඩ සටහන කේන්ද්‍රයේ, ප‍්‍රධාන සමාගම් සඳහා බදු සහන මෙන් ම නය කපා හැරීම් ක‍්‍රියාත්මක වනු ඇතැයි යන අවබෝධය මත ය.

යුද්ධෝපකරන සමාගම් හා ආරක්ෂක කොන්ත‍්‍රාත්කරුවන් ද නැගීමක් අත් දකින්නේ, වැදගත් සමාජ සේවාවන්ගේ වියදමින් මිලිටරි වියදම් වැඩි කිරීමට වන ට‍්‍රම්ප්ගේ පොරොන්දුව නිසා ය. ගින්නට පිදුරු දමන්නේ, පුද්ගලික හා සංගත මට්ටමෙන් මූලික බදු කපා හැරීමක් පිලිබඳ පොරොන්දු ය.

මේ වන විටත් ධනයේ අශ්ලීල මට්ටම්වල ඇලී ගැලී සිටින ඇමරිකානු සමාජයේ අත්‍යන්තයෙන් ම අග‍්‍රස්ථානවල, ට‍්‍රම්ප් පාලනාධිකාරය යටතේ තව දුරටත් බලවත් ලෙස වාසි ලබනු ඇති බවට වන අපේක්ෂාව, ස්නැප් කොටස් උන්මාදයේ සාරභූත අන්තර්ගතය යි.

ට‍්‍රම්ප්ගේ පත්වීම සලකුනු කරන්නේ, ඔබාම පාලනාධිකාරය යටතේ ආරම්භ කෙරුනු සමාජ ප‍්‍රතිවිප්ලවයේ නව අවධියකි. එහි අරමුන වී ඇත්තේ, කම්කරුවන් දරිද්‍රතාවට ඇද දැමීම, සමාජ සේවාවන් බිඳ විසුරුවීම සහ මූල්‍ය, පාරිසරික හා සෞඛ්‍යයට, හා ව්‍යාපාරික නියාමනයන් බල ගැන්වීම තුරන් කිරීම හෝ බල-නොගැන්වීම හරහා දැවන්ත ලෙස මූල්‍ය කතිපයාධිකාරය පොහොසත් කිරීම යි.

මෙය ධනේශ්වර පද්ධතියේ ප‍්‍රතිඵලය යි. ආර්ථික, භූදේශපාලනික, හා සමාජ අර්බුද විසින් වට කෙරී ඇති මෙය, මංකොල්ලකාර සාමිවරුන්ගේ යුගය දක්වා වසර සිය ගනනක් ආපස්සට සමාජය ඇද ගෙන යාම හැර, එහි අභ්‍යන්තර ව්‍යාධීන්ට විසඳුමක් නො දකියි.

දැනටමත් එක්සත් ජනපද ඉතිහාසයේ විශාල ම මහජන විරෝධතා පැන නංවා ඇති ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිගාමි සමාජ හා ආර්ථික න්‍යාය පත‍්‍ර ය, කම්කරු පන්තිය සමග ගැටුමේ මාවතකට පාලනාධිකාරය ඇද දමනු ඇත. කම්කරු පන්තිය ආපසු හැරී සටන් කල යුතු නම්, ට‍්‍රම්ප් ක්‍රියාත්මක වන්නේ පුද්ගලයෙකු ―එසේ නැත්නම් සෞඛ්‍යසම්පන්න ධනවාදය තුල ලපයක් ― ලෙස නොව, ඊට වෙනස් ව එහි අභ්‍යන්තරයේ ම ප‍්‍රකාශ වන පරපුටුවාදය, ඒකාධිපතිත්වය, හා මිලිටිරවාදය අනුව බව වටහා ගත යුතු ය.

ට‍්‍රම්ප්ට එරෙහි අරගලය ඔහු නියෝජනය කරන සමාජ පන්තියට―ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයට― හා ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලයකි. එය ඉල්ලා සිටින්නේ ධනවාදය පෙරලා දැමීම සහ නිෂ්පාදන මාධ්‍ය මහජන අයිතියට හා පාලනයට යටත් කිරීම අරමුනු කර ගනිමින්, කම්කරු පන්තිය සමාජවාදී මූලෝපායක් තෝරා ගැනීම කි.

නික් බීම්ස් විසිනි

Share this article: