උද්ඝෝෂන මඩින ලෙස ධනපති ජන මාධ්‍ය ආන්ඩුවෙන් ඉල්ලති

2017 මාර්තු 17

ජනතා උද්ඝෝෂන වලට විරුද්ධව ධනපති මාධ්‍ය විසකුරු උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ. මේ අතරින් ඩේලි මිරර් සහ දිවයින පත‍්‍ර දෙකේ පිලිවෙලින් මාර්තු 9 සහ 13 වෙනිදා පලවූ කතුවැකි දෙක සුවිශේෂය. රට තුල උද්ඝෝෂන වර්ධනයවීම ගැන අනතුරු අඟවන එම කතුවැකි දෙක ඒවා මර්දනය කිරීම පිනිස ආන්ඩුව නොපමාව පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරනය කර තිබුනි.

ඩේලි මිරර් කතුවැකිය පල කර තිබුනේ “බිෆෝ ද වීල්ස් කම් ඕෆ්” (තත්වය නරක අතට හැරීමට පෙර) මැයෙන් වූ සිරස්තලය යටතේ ය. නිශ්චිතව තත්වය තවමත් නරක අතට හැරී නැතත් ඉක්මනින් එසේ විය හැකි බවට ආන්ඩුවට අනතුරු අඟවන එය උද්ඝෝෂන සමනය කිරීමේ ක‍්‍රම දෙකක් යෝජනා කරයි: “පලමු වැන්න උද්ඝෝෂකයන්ගේ දුග්ගැනවිලි වලට විසඳුමක් දීම. දෙවැන්න ඒවා තලා දැමීම. පලමු වැන්න කිරීමට ආන්ඩු අසමත් වන විට දෙවැන්න අනිවාර්ය” බව කතු වැකිය කියයි.

අසීමිතව නය ගැතිව සිටින හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නිර්දේශ යටතේ රාජ්‍ය වියදම් අවම කිරීමේ ආර්ථික කප්පාදු පිලිවෙතක් ක‍්‍රියාවට දැමීමට බල කෙරී ඇති ආන්ඩුවට කම්කරු- පීඩිත ජනතාවගේ දුග්ගැනවිලි වලට විසඳුම් දීමට නොහැකි බව මෙරට ධනපතියන්ගේ හා මහ ව්‍යාපාරිකයේ හොරනෑවක් වන ඩේලි මිරර් පත‍්‍රය නොදන්නවා නොවේ.

වේගවත් ආර්ථික වර්ධනයක් ගැන පම්පෝරි තිබිය දී, ගෝලීය ආර්ථික අවපාතය තීව‍්‍ර කෙරෙන කොන්දේසි තුල ආන්ඩුව මුහුන දී සිටින්නේ අපනයන ආදායම්, සෘජු විදේශ ආයෝජන සහ විදේශ සංචිතයන්ගේ එක දිගට සිදුවන කඩා වැටීමකට ය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2015 නොවැම්බර් හා 2016 නොවැම්බර් අතර සමස්ත අපනයන ආදායම සියයට 3.4 න් හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 807.7 සිට 624 දක්වා පහත වැටී ඇත. එහි ප‍්‍රතිපලයක් ලෙස වෙලඳශේෂ හිඟය සියයට 47.2 න් එනම් ඩොලර් මිලියන 922.4 දක්වා 2016 වසරේ ඉහල ගොස් තිබේ.

සෘජු විදේශ ආයෝජන 2015 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 970 සිට 450 දක්වා සියයට 54 න් පසුගිය වසරේ පහත වැටුනි. 2010 දී ඩොලර් බිලියන 30 වූ රටේ නය ප‍්‍රමානය 2016 දී බිලියන 62 ට නැගුනි.

රට තුල ආර්ථික අර්බුදය ගැඹුරුවීමේ කොන්දේසි යටතේ පෙබරවාරි මාසයේ අග රැස්වූ ඇමති මන්ඩලය හා මහ බැංකු අධිපති ඇතුලු ආර්ථික විශේෂඥයන් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්ෂනික පියවරයන් ගැන සාකච්චා කල බව සන්ඩේ ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේ ය. සාකච්චාව ගැන වැඩිමනත් තොරතුරු හා යෝජිත පියවරයන් මොනවාදැයි එලිදරව් වී නැතත් නිසැකව ම ජාමුඅ විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීම කඩිනම් කෙරෙනු ඇත.

ඒ අනුව, නිදහස් අධ්‍යාපනය, රාජ්‍ය සෞඛ්‍ය සේවය, දුගී ගොවි හා අවශේෂ පීඩිත ජන කන්ඩායම් වල සමාජ සුබසාධන කප්පාදු කිරීම, රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහකරනය සහ පුද්ගලීකරනය කිරීම හා අත්‍යාවශ්‍ය භාන්ඩ සහ සේවාවන් සඳහා බදු වැඩිකිරීම මගින් නය පියවීමත්, අය වැය පරතරය අඩු කිරීමත් කල යුතු ය. මෙම ආර්ථික ප‍්‍රතිසංස්කරන මගින් කම්කරු-පීඩිත ජනතාවගේ ජීවන තත්වයන් ට හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරය තීව‍්‍ර කෙරෙනවා මිස අඩුවන්නේ නැත. පන්ති අරගල වර්ධනය වන්නේ එම ප‍්‍රහාරයන් ට එරෙහිවය. එහෙයින්, නිසැකව ම, ඩේලි මිරර් කතුවැකිය යෝජනා කරන්නේ පලමු වැන්න නො ව, දෙවැන්න ය. එනම් පන්ති අරගල තලා දැමීම ය.

දිවයින කතුවැකිය ලියා ඇත්තේ “මහජන පීඩාව” යන සිරස්තලය යටතේය. උද්ඝෝෂන මගින් මහ ජනතාවට සිදුවන “පීඩනය” ගැන චෝදනා කරන එය “මේ උද්ඝෝෂන පිටු පස සැඟවුන කූට අරමුන හෙලි කල යුතු” බව කියයි. පසුගිය මාස දෙක තුල උද්ඝෝසන 49 ක් පැවති බවට වෙනත් පත‍්‍රයක පල වූ වාර්තාවක් උපුටා දක්වන දිවයින කතුවැකිය “කොලඹ නගරය නිතිපතා සිරවී තිබෙනු දකින විදෙස් ආයෝජකයන් මේ රටේ කර්මාන්ත ආරම්භ කිරීමට උනන්දු වන්නේ ද? කොලඹට පැමිනෙන සංචාරකයන් මේ රට ගැන යහපත් ආකල්පයක් ඇති කර ගනී ද?” යැයි ප‍්‍රශ්න කරයි.

උද්ඝෝෂන වලට විරුද්ධව දිවයින කතුවරයා එල්ල කරන චෝදනාවත්, ආන්ඩුව ගොතන චෝදනාවත් දෙක ම එකය. එනම්, උද්ඝෝෂන ආන්ඩු විරෝධී “කුමන්ත‍්‍රනකාරයන්ගේ” වැඩකි. ආන්ඩුව පැත්තෙන් එය සිය දේශපාලන විරුද්ධවාදීන්ට -ඒකාබද්ධ විපක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ)- එරෙහිව එල්ල කරන චෝදනාවක් ලෙස පින්තාරු කෙරුනත්, ඇත්ත වශයෙන් ම, එය වැඩ කරන ජනතාවට කරන චෝදනාවකි.

උද්ඝෝෂන හා වර්ජනවලට විරුද්ධව ජනමතයක් අවුස්සා ගැනීම සඳහා ආන්ඩුව දැනටමත් මුල පුරා ඇත. පෙබරවාරි 17 පැවති “තොරතුරු දැන ගැනීමේ පනත” ක‍්‍රියාවට දැමීමේ සමාරම්භක උත්සවයේ දී වර්ජන හා උද්ඝෝෂන හෙලා දුටු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, 1959 අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක ඝාතනය කලේ ඔහුගේ ආන්ඩුවට විරුද්ධව වර්ජන මෙහෙයවූවන් බව ඇඟවෙන ප‍්‍රකාශයක් කරමින් වර්තමාන වැඩ වර්ජන හා උද්ඝෝසන පිටුපස ආන්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රනයක් තිබෙන බවට ඉඟි කලේ ය. පෙලපාලි සහ උද්ඝෝෂන කරන්නන් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන “අන්තවාදීන්” යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑත දී චෝදනා කලේ ය.

ධනපති ආන්ඩුව සහ මාධ්‍ය සැබවින් ම භීතියට පත්වී ඇත්තේ වෘත්තීය සමිති නිලධරයේ, අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මන්ඩලය හා ව්‍යාජ වාම සංවිධාන වල කකුලෙන් ඇදීම හා නොමග යැවීම් තිබියදී ම වැඩකරන ජනතාවගේ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ අරගල පුපුරා ඒම සහ වර්ධනයවීම කෙරෙහිය. වැටුප්, සේවාකොන්දේසි හා පුද්ගලීකරනය ට එරෙහිව කම්කරුවන් දහස් ගනනක් පසුගිය මාස දෙක තුල විරෝධතා උද්ඝෝෂන වල නිරත වූහ. නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අඛන්ඩව උද්ඝෝෂනය කරති.

මෙම අරගල තලා දැමීම සඳහා ආන්ඩුව උද්ඝෝෂන තහනම් කිරීමේ හා මර්දනය කිරීමේ සැලසුම් සකස් කරමින් සිටී. “මහජනයාට සිදුවන පීඩනය අවම කිරීම” නමැති කඩතුරාව යටතේ කොලඹ නගරය හා ඒ අවට උද්ඝෝෂන පැවැත්වීම දිනකට සීමා කිරීමේ නීති ගෙන ඒමට ආන්ඩුව සූදානම් වෙයි. එය වර්ජන හා උද්ඝෝෂන තහනම් කිරීම පිනිස තබන මුල් පියවරකි. අධිකරනය යොදා ගනිමින් වර්ජන හා උද්ඝෝෂනවලට විරුද්ධව වාරන නියෝග පනවන ආන්ඩුව අනෙක් අතින් රාජ්‍ය මැර බලඇනි සහ ආරක්ෂක හමුදා හා ජනතා උද්ඝෝෂන මැඩීමේ පොලිස් රාජ්‍ය විධික‍්‍රම ශක්තිමත් කරයි. අපරාධ මර්දනය කිරීමේ නමින් මාර්තු 11 දා රාත‍්‍රියේ, 12,000 ට ආසන්න පොලිස් බලඇනියක් යොදා ගනිමින් දිවයින පුරා කල හදිසි මෙහෙයුම ඒ සඳහා පෙරහුරුවකි.

ධනපති මාධ්‍ය වර්ජන හා උද්ඝෝෂන වලට විරුද්ධව ආරම්භ කර ඇති උද්ඝෝෂනය පන්ති අරගල තලා දැමීම සඳහා ආන්ඩුව තීව‍්‍ර කෙරෙන මෙම පොලිස් රාජ්‍ය සැලසුම් වලට උඩගෙඩි දෙන එකකි.

ආන්ඩුවත්, සමස්තයක් ලෙස ධනපති දේශපාලන සංස්තාපිතයත් විසින් සුදානම් කෙරෙන ප‍්‍රහාර හමුවේ වැඩකරන ජනතාව මුහුන දී සිටින්නේ බරපතල අන්තරායකට ය. එක අතකින් වැඩෙන මහාජන අරගල තලා දැමීම සඳහා ආන්ඩුව පොලිස් රාජ්‍ය සැලසුම් තීව‍්‍ර කරන අතර අනෙක් අතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ඇතුලු ප‍්‍රතිගාමී බලවේග ආන්ඩුව කෙරෙහි උත්සන්න කෙරෙන මහජන වෛරය ගසා කමින් කම්කරු පන්තියට විරුද්ධව වර්ගවාදී හා අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමට උත්සාහ කරමින් සිටි. ධනපති දේශපාලන සංස්තාපිතයේ ම කොටසක් වන හා වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ජනතා විමුක්ති පෙරෙමුන (ජවිපෙ) සහ ඊට අනුබද්ධිත ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය එවන් දක්ෂිනාංශික ව්‍යාපාරයක් රැලි කිරීමේ වෙනම උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.

නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලූ ව්‍යාජ වාම පක්ෂ, වෘත්තීය සමිති නිලධරය සහ ඔවුන් සමග පෙල ගැසී සිටින පුරවැසි පෙරමුන වැනි ඊනියා සිවිල් සමාජ සංවිධාන මෙම අන්තරායන් ඉදිරියේ දැනුවත්ව ම කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමේ ව්‍යායාමයක යෙදී සිටිති. ජීවනතත්වයන් ට හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට එල්ල කල ප‍්‍රහාර නිසා රාජපක්ෂ ආන්ඩුව ට එරෙහිව වර්ධනය වෙමින් පැවති මහජන විරෝධය අවමන්ගත කරමින් රාජපක්ෂ “ඒකාධිපති රෙජීමය” පරාජය කිරීමේ නමින් ඊනියා යහපාලන ආන්ඩුව බලයට ගෙන ඒමට නසසප සහ පුරවැසි පෙරමුන සෘජුව සහයෝගය දුන් අතර එසප සහ පෙසප ඒ සඳහා වක‍්‍රව සහයෝගය දුන්නෝ ය.

දැන් රාජපක්ෂ නතර කල තැනින් පටන් ගෙන වඩා රුදුරු ලෙස ආර්ථික කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දමන හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ට පහර එල්ල කරන “යහපාලන සම්මුති” ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන අසතුට හා කෝපය අවමන්ගත කිරීමට මෙම සංවිධාන වැඩ බෙදාගෙන වැඩ කරති. නසසප, පුරවැසි පෙරමුන හා වෘත්තීය සමිති රාජපක්ෂ යලි බලයට ඒම වැලැක්වීමේ නමින් දැන් සම්මුති ආන්ඩුවට විරුද්ධව වැඩෙන මහජන විරෝධය හා පන්ති අරගල යටපත් කිරීමට හා මර්දනය කිරීමට ආන්ඩුව සමග පෙල ගැසී ඇත. එසප, පෙසප හා පෙසප විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමංඩලය හා ඔවුන් සමග පෙල ගැසී සිටින අක්ෂය සාමූහිකය වැනි විවිධාකාර මධ්‍යම පන්තික නඩ ආන්ඩුවට විරුද්ධව “පුලුල් වාම පෙරමුනු” හැදීමේ සහ නිස්සාර විරෝධතා උගුල් වලට කම්කරු පන්තිය සහ විශ්වවිද්‍යාල සිසුන් කොටු කරමින් දේශපාලනිකව ඔවුන් නිරායුධ කිරීමේ ප‍්‍රතිගාමී ව්‍යායාමයක යෙදී සිටිති.

කම්කරු පන්තිය සහ පීඩිත මහ ජනතාවට තම අයිතීන් දිනා ගත හැක්කේ ධනපති පක්ෂවලින් හා ඔවුන් සමග පෙල ගැසී සිටින මෙම ව්‍යාජ වාම නඩ වලින් ස්වාධීනව වර්ධනය කරන දේශපාලන අරගලයක් මගින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක‍්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට කරන දේශපාලන අරගලයක් මගින් පමනි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

කියවන්න: ජනාධිපති සිරිසේන වර්ජන හා උද්ඝෝෂන විරෝධී ජනමතයක් ඇවිස්සීමේ වෑයමක

ශ‍්‍රී ලංකාව තුල පන්ති අරගල රැල්ලක්: තම අයිතීන් රැක ගැනීමට කම්කරුවන් සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදිය යුතුය

Share this article: