ව්‍යාජ වම්මු ආන්ඩුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහුනක් පැලඳවීමේ අලුත් ව්‍යායාමයක

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 මාර්තු 23

මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ස්වභාවය කම්කරුවන් හා දුගීන් ඉදිරියේ එලිදරව් වෙමින් ඇති තතු තුල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහුනක් පලඳා එය රැක ගැනීමේ අලුත් ව්‍යාපාරයක් ව්‍යාජ වම්මුන් විසින් ආරම්භ කර තිබේ. ඒ සඳහා ඔවුන් උස්සා ගෙන ඇති කොඩිය “අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” යන්නයි.

මෙම ව්‍යාපාරය වර්තමාන ආන්ඩුව බලයට දමාගැනීමට දරදිය ඇද්ද පුරවැසි බලය, සාධාරන සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, ඊට සම්බන්ධ වෘත්තීය සමිති, නිදහසේ වේදිකාව අතුලු මධ්‍යම පන්තික සංවිධානවල එකතුවකි. නව ව්‍යවස්ථාවක් සඳහා ”ජනතා සංවාදයක් ඇති කිරීමේ” නමින් ගෙනයන මෙම ව්‍යාපාරයේ සැබෑ අරමුන ඊනියා යහපාලනයේ හෙලුව නිරාවරනය වන තත්වය තුල ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන කෝපය සමනය කර දැමීමයි.

මාර්තු 15 කොලඹ පදනම් ආයතනයේ දී මේ ව්‍යාපාරය පැවැත්වූ ප‍්‍රථම රැස්වීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ද මංගල සමරවීර, සරත් ෆොන්සේකා හා මහින්ද අමරවීර යන ඇමැතිවරුන් ද සහභාගීවී ආන්ඩුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාට ඉලීමේ නව ව්‍යාපෘතියට ආන්ඩුවේ බැකිම ලැබෙන බව පෙන්නුම් කලහ. 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී ඇමරිකානු ගැති තන්ත‍්‍ර මාරුවකින් සිරිසේන බලයට පත් කිරීමට මූලික වැඩ කොටසක් කලේ කුමාරතුංගයි.

කථිකයන් සියල්ලෝම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ බලයට ඒමේදී දුන් පොරොන්දු සම්පූර්නයෙන්ම ඉටු කර නැති බවට කනිපින්දම් කීහ. සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරයේ නායකයා වන මහාචාර්ය සරත් විජේසූරිය සභාවට කියා සිටියේ මාස හයකින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර රටට වග කියන පාර්ලිමේන්තුවකට බලය පවරන බවට සිරිසේන ද අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරනයේ දී නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට වික‍්‍රමසිංහ ද පොරොන්දු වූ නමුත් ඒවා ඉටුවී නැති බවයි. ජනමත විචාරනයකින් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට රටපුරා සංවාදයක් ගෙනයන බව ඔහු කීවේය.

අවුරුදු තිහක යුද්ධය නිසා අනෙක් රටවලට වඩා පස්සට ලංකාව තල්ලු වූ බවත් “ආගමික හා ජාතික සංහිදියාව ඇති කිරීමට හොඳම වෙලාව දැන් පැමින ඇති නිසා” නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් දඹර අමිල භික්ෂුව ප‍්‍රකාශ කලේය. නිදහසේ වේදිකාව නමින් වික‍්‍රමසිංහ සමග හවුලේ අටවා ගෙන ඇති සංවිධානයේ බ්‍රිටෝ ප‍්‍රනාන්දු මෙසේ කීවේය: “දෙමල ජනතාවටත් පිලිගත හැකි නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අපි ආන්ඩුවට බල කරනවා.”

තොත්ත බබාලා මෙන් ඔවුන් කල මේ ප‍්‍රකාශ අන්ත කුහක ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අධිපතිවාදී මර්දනකාරී පාලනයටත් ජීවන තත්වයන් කපා හෙලීමටත් එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙමින් පැවති විරෝධය සිරිසේන පිටුපස පෙල ගැස්වීම සඳහා ඔහු “යහ පාලනයක්” උදා කර දෙන බවට රට වටා යමින් ප‍්‍රකාශ කලේ මේ සංවිධාන හා ඒවායේ නායකයන් ය. දැන් ඔවුන් මහ ජනයාගෙන් ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආන්ඩුවට බල කිරීමේ ව්‍යාපාරයකට කරබදු වන ලෙසයි.

සිරිසේන බලයට ගෙන ඒමට දාඩිය වැගුරූ මේ “වම්මු” දැන් දේශපාලනිකව නිරුවත්ව සිටගෙන සිටිති. ඔහු බලයට එන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ තන්ත‍්‍ර මාරු මෙහෙයුමකින් බවත් සිරිසේන හා වික‍්‍රමසිංහ අවුරුදු තිහක වර්ගවාදී යුද්ධයට සම්මාදන් වීමේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට කෙටීමේ ද වාර්තාවකට හිමිකම් කියන බව මොවුන් නොදැන සිටියා නොවේ. රාජපක්ෂ පාලනය තුල තමන් කොන්වීමෙන් විරසකවී සිටි මේ ඉහල මධ්‍යම පන්තික කඩායම් තම වරප‍්‍රසාද ලබා ගැනීමේ උවමනාවෙන් සිරිසේන-වික‍්‍රමසිංහ පිටුපස රොක්වූයේ, අන් සියල්ලටමත් වඩා, කම්කරුවන් හා දුගීන් අතර රාජපක්ෂ පාලනයට එරෙහිව වැඩුනු විරෝධය සමාජ පිපිරීම් ඇති කරමින් ධනපති පාලනය අර්බුදයට යවනු ඇතැයි බියපත් වෙමිනි.

ඉහත කී කොලඹ රැස්වීම පැවැත්වීමට පෙර දින, “රුසියානු විප්ලවය සැමරීමේ” නමින් ඊට පහරදීම සඳහා රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කල රැස්වීමකදී අගමැති වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේ දේශපාලන ප‍්‍රතිසංස්කරන ඇති කිරීමට හදිසි නොවීමට තමන් හා ජනාධිපති තීන්දු කර ඇති බවයි. “අප මන්දගාමී විය යුතුයි” ඔහු ප‍්‍රකාශ කලේය. සිරිසේන හා වික‍්‍රමසිංහ ව්‍යවස්ථාවක් ගැන හොර ගල් අහුලන්නේ දැනුවත්වම ය. සමස්ත පාර්ලිමේන්තුව ම “ව්‍යවස්ථාදායක සභාවක්” බවට පරිවර්තනය කිරීම ගැනත් ව්‍යවස්ථා කෙටුම්පතක් සඳහා “මහජන අදහස්” ලබා ගැනීම පිනිස කොමිටි පත්කර තිබීම ගැනත් ආන්ඩුවේ කයිවාරු මහජනතාව නොමග යැවීමේ ප්‍රෝඩාවකි.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහිව ගොඩනගන මිලිටරි ජාලයට ලංකාව බැඳ ගන්නා තතු යටතේ කොලඹ පාලනය ස්ථාවර කර ගැනීමේත් ලංකාවේ දෙමල මහජනයා මර්දනකාරී පාලනයට එරෙහිව නොසන්සුන්වීම ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ ඇතිකරන බලපෑම නතර කර ගැනීමේත් උවමනාවෙන් වොෂින්ටනය හා නව දිල්ලිය දෙමල ප‍්‍රභූවට බලතල කීපයක් ලබා දීමේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා කලේය. විධායක ජනාධිපති ක‍්‍රමය මහජනයාගේ වෛරයට පාත‍්‍රවී ඇත. සිරිසේන හා වික‍්‍රමසිංහ ව්‍යවස්ථා සංශෝධන ගැන ප්‍රචාරය ගෙන ගියේ මේ තතු යටතේය. එහෙත් පාලක පන්තිය තුල ඇතිවී තිබෙන ගැඹුරු දේශපාලන අර්බුදය නිසා මේ සැලසුම් අවුල් වී ඇත. ධනපති පන්ති පාලනය රැක ගැනීමේ මෙවන් උපාමරුවල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත.

ආන්ඩුවේ හා එහි පන්දම් කාර කන්ඩායම් වල මෙන්ම යලි පාලන බලයට පැන ගැනීමට වලිකන රාජපක්ෂ කල්ලියේ ද කකුල් වෙව්ලන්නට පටන් ගෙන ඇත්තේ කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර යලි මතුවී එන පෙරලිකාරිත්වය නිසයි. රාජපක්ෂ කන්ඩායම ආන්ඩුවෙන් බැටකන ජනයා ගැන කිඹුල් කඳුලු හලමින් ඔවුන් අතර වැඩෙන නොසන්සුන්තාව දෙමල විරෝධී වර්ගවාදී උසිගැන්වීම් තුලට පීලි පැන්නවීමේ ප‍්‍රචාරයක යෙදී සිටී. ආන්ඩුව අලුත් ව්‍යවස්ථාවකින් රට බෙදන්ට යන බවද දෙමල බෙදුම්වාදීන් ත‍්‍රස්ත ක්‍රියා පටන් ගෙන ඇති බව ද රාජපක්ෂ මෑතදී ප‍්‍රකාශයක් නිකුත් කර ඇත්තේ වර්ගවාදී ගිනි තැබීමකට උඩගෙඩි දෙමිනි. ආන්ඩුව “රන විරුවන් පාවා දෙන්නේ යැ”යි ප‍්‍රකාශ දෙමින් ඔහු මිලිටරියට ද අයාචනා කරයි. ඔහු ගොඩ නගමින් සිටින්නේ කම්කරු පන්තියට පහරදීම සඳහා අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයකි.

රාජපක්ෂ සමග කරට කර සිටිමින් සිරිසේන සහ වික‍්‍රමසිංහ තමන් රටේ ඒකීය භාවය දිවි පරදුවට තබා රකින බවත් බුද්ධාගමට හා සිංහල භාෂාවට දී ඇති ප‍්‍රමුඛ තැන හිස් මුදුනින් පිලි ගන්නා බවත් පුනපුනා කියති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට කෙටීම සඳහා නීති සකස් කරන ආන්ඩුව උතුරුනැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීම දිගටම ගෙන යන අතර පොලීසියත් මිලිටරියත් මහජන අරගලවලට එරෙහිව කඩා පන්නවමින් සිටියි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කරන ව්‍යවස්ථාවක් ගෙන එතියි බලාපොරොත්තුවීම ඉතිහාස-විරෝධී වඳ අපේක්ෂාවකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගේ විජිත පාලනය තුල ඉදිරිපත් කෙරුන ඩොනමෝර් කොමිසමෙන් යෝජනාවූ සර්වජන චන්ද අයිතිය වැනි සීමිත අයිතීන්ට පවා විරුද්ධ වූ මෙරට පාලක පන්තිය, 1948 ඊනියා නිදහසෙන් මෙපිට සම්මත කල හැම ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් ම කලේ මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීමය. මේ ව්‍යවස්ථා වලින් කෙරුනේ සිංහල ජනයා, දෙමල ජනයා ඇතුලු සුලුතර කොටස්වලට එරෙහිව පිහිටුවීමට ඔවුන්ට වෙනස්කම් කිරීම් නීතිගත කිරීම හා සංස්ථාගත කිරීමයි. කම්කරුවන් හා දුගීන් වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන්කර පාලනය ගෙනයාමේ මෙම ප‍්‍රහාරය ධනපති පන්ති පාලනයේ අර්බුදය උග‍්‍රවන තරමට විසකුරු කෙරුනි.

නිදහසින් මාස කීපයක් යන තැන, එවක පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය නැති කලේය. 1956, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප‍්‍රමුඛ ආන්ඩුව සිංහල රාජ්‍ය භාෂාව කරමින් දෙමල ජනයාට එරෙහිව වෙනස් කම් කිරීම ගැඹුරු කලේය. මෙම ප‍්‍රහාරය අලුත් මට්ටමකට ගෙන ගියේ ශ්‍රීලනිප - සම සමාජ හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ ධනපති හවුල් ආන්ඩුව සිංහල භාෂාවට හා බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දෙමින් 1972 ගෙන ආ ව්‍යවස්ථාවයි. 1978 එජාපය මේ විසඝෝර වෙනස්කම් අලලා ගත් අධිපතිවාදී, විධායක ජනාධිපති ක‍්‍රමයකින් ඔටුනු දැමූ ව්‍යවස්ථාවක් ගෙන ආවේ කම්කරු අයිතීන් සමතලා කරමින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ විවෘත සූරාකෑම සඳහා කොන්දේසි තහවුරු කිරීමට ය. 1983 තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයට පාර කැපුවේ මෙම සිංහල වර්ගවාදයෙන් විස කැවුනු ප‍්‍රතිගාමී ධනපති පන්ති පාලනයයි. දෙමල ධනපති පක්ෂ -එල්ටීටීඊය ද ඇතුලුව- වර්ගවාදී ප‍්‍රතිචාර දක්වමින් ඊට උඩගෙඩි දුන්නේය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පුර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ඒ ඒ ආන්ඩු ව්‍යවස්ථා ගෙන ආ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ආකාරයන්ද ඉන් ඇති කල ප‍්‍රතිගාමී වෙනස්කම් ද තරයේ හෙලා දකිමින් හා කම්කරු පන්තිය මූලිකවී ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවීම අවධාරනය කලේය. 2005 ජනාධිපතිවරනයට සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් ඉදිරිපත් කරමින් නිකුත්කල ප‍්‍රකාශයේ අපි මෙසේ සඳහන් කලෙමු:

සසපය, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමථයක් සඳහා අත්තිවාරම් දැමීමට, ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවීමට යෝජනා කරයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සියලු නොවිසඳුනු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ ප‍්‍රශ්න විසඳාලීම එයට භාරවනු ඇත. සසපයේ යෝජනාවට, 1972 සහ 1978 ව්‍යවස්ථාවන් සකස් කිරීම සඳහා කරන ලද නරුම හරඹයන් සමග කිසිදු පොදු බවක් ඇත්තේ නැත. මෙම ජනපති වරනයෙන් පසු රාජපක්ෂ යලිත් කරන්නට යන්නේ මේ ජාතියේම වැඩකි. බහුතරයේ අවශ්‍යතා සැබවින් ම ප‍්‍රකාශිත කරන්නාවූ නව ව්‍යවස්ථාවක් සකසා ගත යුත්තේ, වැඩ කරන ජනයා විසින් තමන් සඳහා විවෘතව හා ප‍්‍රජාතන්ත්‍රීයව තෝරා පත් කර ගැනෙන, සාමාන්‍ය වැඩකරන ජනතාවගේ නියෝජිත සභාවක් මගින් මිස, මහා ජනතාවට පිටුපසින් ක්‍රියාත්මක වන විවිධ ධනේශ්වර දේශපාලනඥ කල්ලි විසින් නොවේ. (ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය, 2005.10. 27).

ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවීම තුලින් ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් සහතික කිරීමට සමත් වන්නේ, එය ධනවාදය අහෝසි කිරීම උදෙසා කම්කරු පන්තිය හා පීඩිත මහජනයා බලමුලු ගැන්වීමට ගෙනයන දේශපාලනික අරගලයක කොටසක් වන තාක් දුරට පමනක් බව ද අපි අවධාරනය කලෙමු.

සසප මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පාදක වන්නේ ලියොන් ට්‍රොට්ස්කි 1906 දී ඉදිරිපත් කරන ලද, ලෙනින් සහ ට්‍රොට්ස්කි නායකත්වය දුන් 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයේ දී නිරවද්‍යතාව තහවුරු කෙරුනා වූත් නොනවතින විප්ලව න්‍යාය මතයි. මෙම න්‍යායෙන් විස්තාරනය කෙරුනේ, ජාත්‍යන්තරව අධිරාජ්‍යවාදී මූල්‍ය ප‍්‍රාග්ධනය සමග ගැට ගැසී සිටින්නාවූත් රටතුල ප‍්‍රතිගාමී බලවේග සමග බැඳී සිටින්නාවූත් කම්කරු පන්ති විප්ලවවාදී බලවේගය ගැන බියපත් පසුගාමී රටවල ධනපති පන්තීන්ට අධිරාජ්‍යවාදයෙන් බිඳීම, ගොවිජන ප‍්‍රශ්න විසඳීම හෝ පීඩිත ජන කන්ඩායම්වලට සමානතාවය ප‍්‍රදානය කිරීම වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉෂ්ට කල නොහැකි බවයි; එම ප‍්‍රශ්න විසඳිය හැක්කේ, පීඩිතයන්ට හා ගොවිජනයාට නායකත්වය දෙමින් නැගී සිටින්නාවූ කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය මගින් බලය අත්පත් කර ගැනීම මගින් පමනකි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් බව ට්‍රොට්ස්කි අවධාරනය කලේය. කම්කරුවන්, තරුනයන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන් එක්විය යුතු මෙම අරගලයටයි. ඒ සඳහා අවශ්‍ය නායකත්වය ගොඩ නැගීමට සසප සමග එක් වීමයි.

ගිය සියවසේ මුල සිට පසුගාමී රටවල කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ අරගලවල කටුක අත්දැකීම එයයි. ලංකාවේ රුදුරු තිස් අවුරුදු යුද්ධයේ පාඩම එයයි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේත් ගැත්තන් වන සිරිසේන-වික‍්‍රමසිංහ සහ සිංහල දෙමල ධනපති පන්තියේ සියලු කොටස් කම්කරු පන්තියේ හා දුගීන්ගේ ද පන්ති සතුරන් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වලට එරෙහිව සිටිති. නව ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය කරවන්නන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් මොනම සටනක් වත් කිරීමේ ඉතිහාසයක් නැති, ඒවාට හතුරුව ධනපතියන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ කඳවුරට මාරු වූවන්ය.

Share this article: