ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධයට ඉන්දියාව සහාය දුන් බව හිටපු තානාපති පිලිගනී

Former diplomat admits India’s role in Sri Lankan communal war

විජිත් සමරසිංහ විසිනි, 2017 පෙබරවාරි 10

හිටපු ජ්‍යෙෂ්ට ඉන්දියානු තානාපතිවරයෙක් වන ශිවශංකර් මෙනන් විසින් මෑතදී රචිත පොතක් මගින්, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන සමයේදී නවදිල්ලිය විසින් කොලඹ ආන්ඩුවට ලබාදුන් සහයෝගය පිලිබඳව කරුනු හෙලි කරයි.

හිටපු ඉන්දියානු විදේශ ලේකම් වරයෙක් හා අගමැති මන්මෝහන් සිං ගේ ජාතික ආරක්ෂක උපදේශකව සිටි මෙනන්, යුද්ධයේ අවසාන සමයේ ඉන්දු-ශ්‍රී ලංකා සම්බන්ධතා මෙහෙයවූ ඉහල නිලධාරින් අතරින් කෙනෙකි. ඉන්දියානු පාලක පන්තිය තුල ඔහු නියෝජනය කරන්නේ, චීනය ආර්ථිකව හා මිලිටරි වශයෙන් වටලෑම ඇතුලු කලාපය තුල වොෂින්ටනයේ මූලෝපායික අවශ්‍යතාවන් සමග නව දිල්ලිය පෙලගැස්වීම වෙනුවෙන් සෘජුව පෙනී සිටින කොටසකි.

Entitled Choices: Inside the making of India’s foreign policy“අදාල විකල්ප: ඉන්දියානු විදෙස් පිලිවෙත ගොඩනැගීමේ ඇතුලාන්තය” යන ශීර්ෂයෙන් පලකර ඇති මෙනන් ගේ පොත ඇමරිකාව, චීනය, පකිස්තානය හා ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය සාධාරනීකරනය කිරීමේ උත්සාහයකි.

සෝවියට් සංගමය බිඳ වැටීම, 1990-91 ආර්ථික අර්බුදය හා ඉන්දියාව තියුනු ලෙස ඇමරිකාව දෙසට ගත් හැරීම හමුවේ, මේ විදේශ ප‍්‍රතිපත්ති වර්ධනය කිරීමේ මුඛ්‍ය කාර්යභාරයක් මෙනන් ඉටු කලේය. මෙම වර්ධනයන් “දේශීය දේශපාලන හා ආර්ථික පිලිවෙත් වලින් බිඳීමට ඉන්දියාවට අවකාශ සලසා දුන්නේ” යයි ඔහු සඳහන් කරයි.

පොතේ හතරවන කොටසේ එන ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිලිබඳ විස්තරය, ඉන්දියානු පාලක පන්තියේ මෙම ඇමරිකානු නැඹුරුව හා බැඳී තිබේ. වොෂින්ටනයේ “ආසියාවට හැරීම” ප‍්‍රතිපත්තියට සහාය දෙමින් කලාපය තුල බීජිනයේ අනුහසට වලකැපීම සඳහා නවදිල්ලි පාලනය, දකුනු ආසියාතික රටවල් ගනාවක් තුල මැදිහත් විය.

“බලය පල දරයි: ශ්‍රී ලංකාවේ දෙමල කොටි විනාශ කිරීම, 2009” යන ශීර්ෂයෙන් යුතු පරිච්චේදය, 30 අවුරුදු සිවිල් යුද්ධය තුල ඉන්දියාව ඉටුකල කාර්ය භාරය හෙලි කරයි. නවදිල්ලිය නිර්දය ලෙස ගනන් බැලුවේ, එල්ටීටීඊයේ විනාශයත්, කොලඹ පාලනය මත තම අනුහසත් සහතික කරන්නේ නම්, ශ්‍රී ලංකාව තුල මහා පරිමාන ජන සංහාරයක් තමන්ට පිලිගත හැකි බවය.

2009 මුල් භාගයෙදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකා ආන්ඩුව එල්ටීටීඊය විනාශ කිරීම සඳහා ගෙනගිය යුද්ධයට ඉන්දියාව ධෛර්ය දෙමින් හා ද්‍රව්‍යමය ආධාර සපයමින් සිටියේය. “බුද්ධි අංශ තොරතුරු ලබාදෙමින් හා සෘජු නාවුක බාධක මගින් මුහුදු සැපයුම් මාර්ග අවහිර කරමින් ඉන්දියානු නාවුක හමුදාව, එල්ටීටීඊය හාමත් කර දුර්වල කල” බව මේ පොත සනාත කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හමුදාපති සරත් ෆොන්සේකා සමග සාකච්චා සඳහා වර්තමාන ඉන්දීය ජනාධිපති, එවකට විදේශ ඇමති වූ ප‍්‍රනාබ් මුකර්ජි සමග කොලඹට පැමිනි රහසිගත මධ්‍යම රාත්‍රී ගුවන් ගමන්, මෙනන් මතකයට නගන්නේ ප‍්‍රීතියෙනි. මේ ගමන්, 2009 මුල් මාස පහේ, එනම් මැයි 18 වෙනිදා එල්ටීටීඊයේ මිලිටරි පරාජය සිදුවන තුරු සිදු විය.

කොලඹ ආන්ඩුව මගින් රුදුරු ලෙස යුද්ධය උත්සන්න කිරීම මෙනන් සාධාරනීකරනය කරන්නේ, සම්පූර්නයෙන්ම ඉන්දියාවේ කලාපීය අවශ්‍යතා මතය. රාජපක්ෂ චීනය, පකිස්තානය හා “තරමක් දුරට” ඇමරිකාවෙන් ද යුද්ධය සඳහා දේශපාලන හා මිලිටරි සහාය ලබාගෙන තිබුනු බව මෙනන් පෙන්වා දෙයි. “අපි, ඉන්දියානු අගමැති වරයෙකුගේ (රජීව් ගාන්ධි) ඝාතයකන් ආරක්ෂා කරමින් පසෙකට වී සිටියා නම්, එය භූදේශපාලනිකව වැදගත් අසල්වැසි රාජ්‍යයක් අනෙකුත් බලවතුන් යටතට පත්වීමට ඉඩ හැරීමක් බවට පත් වෙනවා” යනුවෙන් ඔහු සඳහන් කරයි.

1984 සිට 1989 දක්වා ඉන්දියානු අගමැතිව සිට පසුව විපක්ෂ නායක ධුරය දැරූ රාජීව් ගාන්ධි, 1991 දී තමිල් නාඩුවේදී එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් විසින් ඝාතනය කරන ලදී. හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව එල්ටීටීඊය අතින් මිලිටරි පරාජයන් ගනනාවක් ලබා, දකුනේ මහජන නොසන්සුන්තාවකට මුහුන දී සිටි අවස්තාවක, ගාන්ධි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට මැදිහත් විය.

1987 ජූලියේදී, ගාන්ධි, ලංකාවේ උතුරු නැගෙනහිර දෙමල ධනපති පන්තියට සීමාසහිත බලයක් ලබාදුන් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර එල්ටීටීඊය මැඞීමට ඉන්දියානු හමුදාව ලංකාවට එවීය. ගාන්ධි ඝාතනය, මේ සඳහා එල්ටීටීඊය කල පලිගැනීමක් විය.

ආරක්ෂක මූලෝපායඥයෙකුගේ නිර්දය ගනන් බැලීම් සහිතව මෙනන්, ලංකාව හඳුන්වන්නේ ”ඉන්දියානු වෙරලට සැතපුම් දාහතරක් ඈතින් නවතා ඇති ගුවන්යානා වාහක නෞකාවක්” ලෙසය. ශ්‍රී ලංකාව ”සතුරු බාහිර බලපෑම් වලින්” ඈත්කර, තමිල්නාඩුවට බලපෑ හැකි දෙමල බෙදුම්වාදය වර්ධනය වීම වලකා ගැනීම සඳහා ඉන්දියාව අනිවාර්යයෙන්ම ක්‍රියා කල යුතුව තිබිනි. වෙනත් වචන වලින් කියතොත්, ඉන්දියාවට දේශපාලන වශයෙන් වාසිදායක වනතාක් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිදුවූ මහා ජන සංහාරයට ඉඩදිය යුතුව තිබිනි.

යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පලාත් වල සීග‍්‍ර දියුනුවක් ඇති වූ බවට ව්‍යාජ චිත‍්‍රයක් පොත මගින් මවා පායි. රාජපක්ෂ පාලනයට ප‍්‍රශංසා කරමින් මෙනන් ප‍්‍රකාශ කරන්නේ, “මීට වඩා කෙටි සිවිල් යුද්ධ පැවති රටවලටත් වඩා ඉක්මනින් යලි ගොඩනැගීම සිදුකර සාමාන්‍ය තත්වය යලි ඇති කල බව කියාපෑමට ශ්‍රී ලංකාවට අයිතියක් ඇත” යනුවෙනි.

මෙය අමූලික බොරුවකි. උතුරු නැගෙනහිර පලාත් තවමත් මිලිටරි පාලනය යටතේ පවතින අතර, ජනතාව ජීවත් වන්නේ දරුනු ආර්ථික අපහසුතා හා විනාශ වී ගිය යටිතල පහසුකම් වලින් පීඩාවට පත්ව, යුද්ධයෙන් ඇතිවූ මානසික කම්පනයන්ගෙන් මිදීමට කිසිඳු සහායක් නොමැතිවය.

මෙනන් ගේ මේ ව්‍යාජ චිත‍්‍රනයේ අරමුන, රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට ඉන්දියාව ලබාදුන් සහය සාධාරනීකරනය කර, දෙමල සාමාන්‍ය වැසියන් දස දහස් ගනනකට ජීවිත අහිමි කල මේ ලේවැකි සිදුවීම් වලින් යම් ආකාරයක යහපත් ප‍්‍රතිපල ද උදා කර ඇති බව පෙන්වීමය. මෙනන් තර්ක කරන්නේ, ශ්‍රී ලංකාව තුල කල්පවත්නා සාමයක් ඇතිකරගත නොහැකි වූයේ, රාජපක්ෂ පුද්ගලිකව “පරාජිතයා කෙරෙහි දේශපාලන වශයෙන් පරිත්‍යාගශීලී නොවූ නිසාය”; ඔහු අඟවන ආකාරයට මෙය ද පැහැදිලිව මතුවන්නේ යුද්ධයෙන් පසු සමයේදීය.

එහෙත් 2009න් පසුව වොෂින්ටනයට සේම නවදිල්ලියටත්, රාජපක්ෂ චීනයට සමීප වීම පිලිබඳ වර්ධනය වන උත්සුකයක් තිබිනි. රාජපක්ෂ ආන්ඩුවට චීනයෙන් ඈත් වන ලෙස බල කිරීම සඳහා, ඇමරිකාවේ මෙහෙයවීමෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (යූඑන්එච්ආර්සී) යුද අපරාධ විමර්ශනයක් ඉල්ලා සිටියේය.

රාජපක්ෂ මෙයට සතුටුදායක ප‍්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ විට, 2014 මාර්තු මාසයේ වොෂින්ටනය ජාත්‍යන්තර (යුද අපරාධ) විමර්ශනයක් සඳහා කොමිසම තුල යෝජනාවක් ගෙන ආවේය. 2015 ජනවාරියේ ජනපතිවරනයේදී රාජපක්ෂ ඉවත් කිරීමෙන් මුදුන්පත් වුනු තන්ත‍්‍ර-මාරු කුමන්ත‍්‍රනයට වේදිකාව සැකසුනේ මේ අයුරිනි. වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සහායෙන් මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කරන ලදී.

2014 මාර්තු යෝජනාවද ඇතුලුව, වොෂින්ටනය කොමිසම හරහා ගෙන ආ යෝජනාවලට ඉන්දියාව දෙගිඩියා සහගතව සහාය දුන්නේය. ඔවුන්ගේ මෙම පරිස්සමට හේතු වූයේ, වැඩිපුර පීඩනය යෙදීමෙන් කොලඹ පාලනය තව දුරටත් බීජිනය දෙසට තල්ලු වී යා හැකි බව ඔව්න්ට හැඟී යාමයි. රාජපක්ෂ චීන ඉල්ලීම් වලට එකඟ වීමට වැඩි නැඹුරුවක් දැක්වුවත් ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, චීනය හා සමග තම මිලිටරි සම්බන්ධතා වල ස්වභාවය පිලිබඳව ඉන්දියාවට සහතික ලබා දුන් බව මෙනන් පවසයි. ආරක්ෂක ලේකම් වරයා ඉන්දියාවේ උත්සුකයන්ට වඩාත් සංවේදී විය. මෙනන් තව දුරට සඳහන් කරන්නේ, 2014 මැයි මස වන තුරුම, රාජපක්ෂවරු මේ සහතිකය ආරක්ෂා කල බවය.

2014 මැයි මාසයේ සිට ඉන්දියාව සම්බන්ධ තත්වයේ වෙනසක් ඇති වූයේ කෙසේ ද යන්න මෙනන් සඳහන් කරන්නේ නැත. කෙසේ වෙතත්, රාජපක්ෂ බීජිනයේ සංචාරය කරමින් දෙවැනි වරටත් චීනයේ “සමුද්‍ර සේද මාවත” වැඩ පිලිවෙලට තම සහාය පලකලේ ඒ මාසයේදීය. එම වසරේම සැප්තැම්බර් මාසයේදී ලංකාවේ සංචාරය කරන මෙන් ඔහු චීන ජනාධිපති සී ජිම්පින්ට ආරාධනයක් ද කලේය. සේදමාවත වැඩපිලිවෙල, ඉන්දියානු සාගරයේ චීන මිලිටරි ව්‍යාප්තියේ කොටසක් බව පවසමින් ඇමරිකාව සහ ඉන්දියාව, ඊට විරුද්ධ විය.

2014 මැයි මාසයේදී, කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් යුත් ඉන්දියානු ආන්ඩුව පරාජයට පත් විය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ආන්ඩුවක් බලයට පත්වූ අතර, අජිත් දොවාල් නව ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත් කෙරිනි. නව ආන්ඩුව ඇමරිකානු මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ කෙරුනු තන්ත‍්‍ර-මාරු ක්‍රියාවලියට සම්පූර්න සහයෝගය දැක්වීය.

මෙනන්ගේ තොරතුරු මගින් දෙමල ජාතික සන්ධානය ද ඇතුලු ශ්‍රී ලංකාවේ දෙමල ප‍්‍රභූව කියා සිටින පරිදි, ලංකාවේ සුලුතර දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත්‍රීය අයිතීන් ගැන නවදිල්ලි පාලනයට උත්සුකයක් ඇතිය යන බොරුව සම්පූර්නයෙන් සුනුවිසුනු කර දමයි. ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්ති සැම විටම තීරනය කරනු ලැබුවේ පාලක පන්තියේ භූ-දේශපාලන අවශ්‍යතාවන් අනුවය. එලෙසම ලංකාවේ දෙමල ජාතිකවාදී පක්ෂ, ඉන්දියානු හා ඇමරිකානු අවශ්‍යතාවන්ට සහාය දෙන්නේ තමන්ගේ වරප‍්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහාය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූ ආකාරයටම, ඇමරිකානු ගැති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම මගින් වසර තිහක සාහසික සිවිල් යුද්ධයට හේතු වූ කිසිඳු කරුනක් විසඳා නැත. මෙයට ප‍්‍රතිකූලව, කොලඹ පාලනය මගින් කම්කරු පන්තියත්, පීඩිත ජනයාත් පොලිස්-රාජ්‍ය ග‍්‍රහනය යටතට ගැනීමට උත්සාහ කරමින් සිටී.

මෙනන් ගේ පොතෙන්, 2015 ශ්‍රී ලංකා තන්ත‍්‍ර මාරුවෙන් පසු කාලය ආවරනය කරන්නේ නැත. ඔහු නරුම ලෙස තම හෑල්ල අවසන් කරන්නේ, “එල්ටීටීඊයත්, සිවිල් යුද්ධයත් නොමැතිව ශ්‍රී ලංකාව වඩාත් යහපත් තැනක් බවට පත්වී තිබෙනවා, මේ ප‍්‍රතිපලය උදා කිරීමට ඉන්දියාව දායක වුනා” යන අමු කුහක ප‍්‍රකාශයෙනි.

Share this article: