දකුනු සුඩාන සිවිල් යුද්ධය මහා පරිමාන සාගත තත්ත්වයක් උදා කරයි

South Sudan civil war causing widespread famine

තෝමස් ගෙස්ට්, 2017 මාර්තු 01

2011 සුඩානය බෙදා වෙන්කිරීම, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ගතවූ වසර 25 ක කාලය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය අනු ගමනය කල නව යටත් විජිතවාදී අප‍්‍රිකානු පිලිවෙතේ විනාශකාරී ප‍්‍රතිපලය බව සනාථ වී ඇත. සුඩානය කපා වෙන් කිරීම ඓතිහාසික ව්‍යසනයකට වේදිකාව සකස් කල බව දැන් පැහැදිලිය.

තම නිදහස උත්සවශ්‍රීයෙන් සමරා වසර 6ක් යෑමට මත්තෙන් වොෂින්ටනය ජුබාහි ස්ථාපනය කල සාපරාධී රෙජිමය, පොලෝතලයේ නරකම මානුෂීය අර්බුදයක තැන දරා සිටී. ඇමරිකානු ආන්ඩුවේ කොල්ලකාරී යුද්ධ හා භූ දේශපාලනික මෙහෙයුම් හේතුවෙන් ක්‍රියාකාරී සමාජ ලෙස පැවත විනාශයට බඳුන් කල දීර්ඝ රටවල් ලැයිස්තුවට දකුනු සුඩානය ද එකතුවේ.

2011 ජූලියේදී ප‍්‍රකාශයට පත්කල දකුනු සුඩානයේ නිදහස, කාටුම්හි මධ්‍ය ම ආන්ඩුව ඛනිජ තෙල් ක්ෂේත‍්‍ර යේ සැලකිය යුතු චීන ආර්ථික සබඳකම් ගොඩනගාගෙන සිටි තතු හමුවේ, සුඩානයේ තෙල් සම්පත් කෙරේ ඇමරිකානු උත්සුකයන් තහවුරු කිරීමට දරන ලද ව්‍යායාමයට අනුකූලව ක්‍රියාත්මක විය. 2005 විස්තීර්න සාම ගිවිසුම (Comprehensive Peace Agreement -CPA) හරහා වොෂින්ටනය තම සහයෝගය දකුනු සුඩාන විමුක්ති ව්‍යාපාරයේ (Sudan People’s Liberation Movement -SPLM) නායකත්වය දෙසට හැරවීම මගින් ඔවුන් දකුනු සුඩානයේ රාජ්‍ය නායකත්වයට ඔසවා තැබින.

2013 දෙසැම්බරයේ ඇරඹුන දකුනු සුඩාන සිවිල් යුද්ධය, රාජ්‍ය යාන්ත‍්‍රනය හා නොයෙකුත් ආර්ථික උත්සුකතාවන්හි පාලනය සඳහා තරග වදින්නාවූ SPLM හි ප‍්‍රති මල්ල කන්ඩායම් අතර අරගලයකි. යුද වැදීගත් පාර්ශව දෙකම - ජනාධිපති සැල්වා මීර් සහ උප ජනාධිපති රයික් මචාර් විසින් නායකත්වය දෙනු ලබන SPLM පාර්ශව දෙකම- පිලිමල් ජන වාර්ගික කන්ඩායම්වල සිවිල් වැසියන්ගේ මහා පරිමාන ඝාතන පිලිබඳ චෝදනා ලැබ සිටිති.

මෑත රොයිටර් වාර්තාවක් සටහන් කල පරිදි, ඉක්මනින්ම 1994 රුවන්ඩා පරිමානයේ සමූල ඝාතනයන්හි දකුනු සුඩානය ගිලී යෑමේ හැකියාව ඇත. දැනට වසර 4ක් ගතවී ඇති දකුනු සුඩාන යුද්ධය, කෙන්යාව, උගන්ඩාව හා ඊජිප්තුව ඇතුලු ප්‍රාදේශීය හමුදාවන් ඒ වෙත ඇදගෙන ඇත. ගැටුමට සම්බන්ධවූ බාහිර බලවතුන්ගේ දීර්ඝ වන්නා වූ ලැයිස්තුව හේතුවෙන්, දකුනු සුඩානය “අප‍්‍රිකානු සිරියාව” ක් ලෙස හඳුන්වනු ලබයි.

පුරා අවුරුදු 3ක් තිස්සේ පෙරට ඇදෙන යුද්ධය, රටේ නිෂ්පාදන බලවේග හා යටිතල ව්‍යූහය කෙරේ ව්‍යසනකාරී බලපෑමක් ඇතිකර තිබෙන අතර පැතිරී ගිය සාගත තත්ත්වයන් නිර්මානය කර ඇත. දකුනු සුඩාන වැසියන් 100,000 ක් දැනට සාගතයට ගොදුරුවී ඇති අතර තවත් මිලියනයක් සාගතය මුව විට සිටී. මීට අමතරව, මිලියන 4.9ක් වන දකුනු සුඩාන වැසියන් “ආහාර අනාරක්ෂිත” තත්වයකට මුහුනපා සිටී. මේ සංඛ්‍යාව ජූලි මස වන විට මිලියන 5.5 දක්වා වැඩිවනු ඇතැයි ප‍්‍රක්ෂේපනය කෙරේ

.

රිලීෆ්වෙබ් ( ReliefWeb ) ට අනුව සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් මෙපිට, දකුනු සුඩානයන් මිලියන 1.5ක් සරනාගත භාවයට පත්ව ඇති අතර එම අර්බුදය අප‍්‍රිකාවේ විශාලතම එක බවටද, සිරියාවට හා ඇෆ්ඝනිස්ථානයට පසුව ලෝකයේ තෙවැනි විශාලතම සරනාගත අර්බුදය බවට ද පත්ව ඇත.

“දකුනු සුඩානයේ මානව හිමිකම් තත්වය මහාද්වීපයේ සහ ලෝකයේ නරකම තත්වයකි. පසුගිය අවුරුදු 3 පුරා ආන්ඩුව සහ ඊට විරුද්ධ බලවේග, දන්ඩ මුක්තික බිහිසුනු යුද්ධයක් ගෙන යමින් සිවිල් වැසියන් නිරන්තරයෙන් ඉලක්ක කලේ” යයි යුරෝ නිව්ස් හි ජොනතන් පැනෝ හියුමන් රයිට්ස් වොච් සංවිධානයට ප‍්‍රකාශ කලේ ය.

“රටේ බොහෝ ප‍්‍රදේශවල සන්නද්ධ කන්ඩායම් සිවිල් වැසියන් බලහත්කාරයෙන් පලවා හැර ඇති අතර සටනේදී ඔවුන්ගේ නිවහන් සහ ජීවනෝපායන් විනාශ කර ඇත.”යි පැනෝ සටහන් කරයි.“මිලියන ගනන් ජනතාව ඉහල යන උද්ධමනයට, මිනිසුන්ට හා ඔවුන්ගේ ජීවනෝපායන්ට පහර දීමට හැරී සිටින කෲර සන්නද්ධ මැරයන්ට ද රුදුරු මානුෂීය ඛේදවාචක තත්වයකට ද මුහුනපා සිටිති.”

අත්‍යවශ්‍ය මූලික භාන්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම සිවිල් යුද්ධය විසින් දරුනු ලෙස කඩාකප්පල් කරනු ලැබ ඇත. ඇම්ස්ටර්ඩෑම් ප‍්‍රවෘත්ති වලට අනුව, සිවිල් යුද්ධය ආරම්භයේ සිට දකුනු සුඩානයේ ආහාර මිල ගනන් සියයට 800 කට වඩා ඉහල ගොස් ඇත.

දේශ සීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානයේ නියෝජිත නිකොලස් පයිසල් මෑත ප‍්‍රකාශයක වාර්තා කල පරිදි, “පිරිසිදු පානීය ජලය, ආහාර සැපයුම්, වාසස්ථාන හා සනීපාරක්ෂාව වැනි මූලික ඕනෑ එපා කම් සපුරා ගැනීම සඳහා මිනිසුන්ට ඇති හැකියාව කෙරේ ඉමහත් බලපෑමක් සීමාන්තික මට්ටමේ ප‍්‍රචන්ඩත්වය විසින් නිර්මානය කෙරී ඇත.”

දකුනු සුඩාන යුද්ධය, මාෆියා හොර දෙටුවන් හා අධිරාජ්‍යවාදය වෙනුවෙන් දූෂිත මූල්‍ය වංචනිකයන් ට වඩා වැඩි වෙනසක් නැති අප‍්‍රිකාවේ “නීත්‍යානුකූල” නායකයන්ගේ සාපරාධී භූමිකාව පිලිබඳ අධ්‍යයනයක් සඳහා සුදුසු නිදසුනක් සපයයි.

ඇමරිකානු පිටු බලය ලැබූ 2005 CPA ගිවිසුම යටතේ පිහිටවුනු සංක‍්‍රාන්ති රාජ්‍ය රාමුව යටතේ, දකුනු සුඩාන රජයේ සහ මිලිටරියේ ඉහල නිලධාරීන් තට්ටුවක් ශීඝ‍්‍රයෙන් ධනවතුන් බවට පත්ව ඇත. කිය(ර්) පවුලේ සාමාජිකයන් හා SPLA ජනරාල් වරුන්, දකුනු සුඩාන ඛනිජ තෙල් ක්ෂේත‍්‍රයේ විසල් හිමිකම් ඒකරාශි කර ගෙන ද මිල අධික විදේශීය ඉඩ කඩම් මිලදී ගෙන ද විදෙස් ඛනිජ තෙල් උත්සුකතාවන් සමග සමීප සබඳතා වර්ධනය කර ගෙන ද ඇත.

ජනාධිපති කියර් ගේ පවුල, දකුනු සුඩානයෙන් පිටත, පොහොසත් නයිරෝබි නගරාසන්නයක වූ මන්දිරයක් පරිහරනය කරමින් සිටිති. යුරෝපයේ නිවාඩු ගෙවති. කියර්ගේ ඉහලම ජනරාල් ග්‍රෙගරි වසිලි, ඛනිජ තෙල්, ඉදිකිරීම්, මූල්‍ය, ගුවන්, ආයුධ සහ ආකර යන ක්ෂේත‍්‍රයන්හි හිමිකම් දරයි. රූබන් හා ජොක් රියක් යන දකුනු සුඩාන ජනරාල්වරු දෙදෙනා කෙන්යා වානිජ බැංකුවේ, පුද්ගලික ගිනුම් වල මිලියන ගනන් මුදල් තැන්පත් කර ඇත.

කැරලි නායක රයික් මචාර්ගේ පවුලේ සාමාජිකයන් ද එවැනිම වරප‍්‍රසාද බුක්ති විඳිමින් අඩිස් අබාබා හා නයිරෝබිහි පිහිටි මන්දිරවල වාසය කරමින් ජාත්‍යන්තර සංචාරයේ යෙදෙති. කියර් කල්ලිය විසින් රාජ්‍ය බලයෙන් නෙරපා හල ද මචාර්ගේ පවුල, වස්තුව පොදි ගැසීම නොනවත්වා කරගෙන යති. 2009 දෙසැම්බරයේ දී මචාර්ගේ බෑනාවූ බාඩිං මචාර් කේ-කේ සෙකියුරිටි නම් පුද්ගලික ආරක්ෂක සේවයේ පාලනය, ජුබාහි පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලය ආක‍්‍රමනය කිරීම මගින් සියතට ගෙන, එහි සේවකයකු ප‍්‍රාන ඇප කරුවකුසේ ගනිමින් සමාගමේ ජංගම බැංකු ගිනුමෙන් මුදල් ගෙවීම් අනුමත කරවා ගත්තේය.

මෙයින් පසු, කොන්කෙල් සෙකියුරිටි නමින් ද හඳුන්වන මෙම ආරක්ෂක සේවා සමාගම , විදේශ ප‍්‍රාග්ධනය සමග මචාර් පවුලේ ගනු දෙනු සඳහා සංස්ථාමය වාහකය ලෙස සේවයේ යොදවා ගෙන ඇත්තේ, කියර් කල්ලිය හා සමග තම බෙදුම්වාදී යුද්ධයේ යෙදී ගන්නා ගමන්ම ය. සුඩානයේ තෙල් සම්පත් කෙරේ ඇමරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවන ලද බලවේගයන් මෙයාකාරවේ.

වඩාත් මූලිකව ගත්කල දකුනු සුඩානයේ සිවිල් යුද්ධය, ගෝලීය ධනවාදී පද්ධතිය අලලාගත් අර්බුදයේ සහ බිඳවැටීමේ තීව‍්‍ර ප‍්‍රකාශනයක් වේ. මහ ජනතාවගේ මූලික සමාජ අවශ්‍යතාවන් සැපිරීමට නොසමත් වූ ද තමන්ට අයත් භූමි ප‍්‍රදේශවල ආරක්ෂාව පවත්වා ගැනීමට අසමත් වූ ද ඇමරිකානු සහ යුරෝපීය පාලන පන්තීන්ගේ උත්සුකතා සමග පරිපූර්නව පෙලගැසී ගත්තා වූ ද අප්‍රිකානු ධනපති ප‍්‍රභූව , විදේශීය උත්සුකයන් සමග තුච්ඡ සහයෝගී පිලිවෙතක් පවත්වා ගනිමින් තමන්ගේ ජනතාවට එරෙහිව මර්දනය හා ත‍්‍රස්තය යොදා ගනිති.

අප‍්‍රිකානු ජාතිකවාදයේ දුශ් සහාය හඳුනා ගන්නා ගමන් අවධාරනය කල යුත්තේ, දකුනු සුඩාන ජනතාවට එරෙහි අපරාධයන් සඳහා වැඩිම වගකීම තම භූදේශපාලනික හා ආර්ථික උත්සුකයන් හඹා යෑම උදෙසා මුලු මහත් සමාජයන්ම විනාශ කිරීමට ඇති තම සූදානම නැවත වතාවක් ප‍්‍රදර්ශනය කල ඇමරිකානු හා යුරෝපීය පාලක ප‍්‍රභූන් වෙත පැවරෙන බවයි.

යුද්ධය, විදෙස් මිලිටරි බලයන් ඇද ගන්නා අතර, අප්‍රිකාවේ අඟ සේ හඳුන්වන භූමි ප‍්‍රදේශය තුලට තම මිලිටරි සහ මූලෝපායික “ගැඹුර” (යුද පෙරමුන හා හදවත් බඳුප‍්‍රදේශ අතර දුර) ප‍්‍රසාරනය කිරීම සඳහා වැඩි වැඩියෙන් උනන්දු සහගත, ඉරාන හා සෞදි මූලිකත්වයෙන් යුත් සන්ධානයන්ගේ ප‍්‍රදේශීය බල අරගලයට ඉන්ධන වත් කරයි. අඩිස් අබාබාහි ඉතියෝපියානු ජනතා විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනු රජයට එරෙහි නැගිටීමකට අනුග‍්‍රහය දැක්වීම සඳහා අඟෙහි පවත්නා තම මිලිටරි බලයන් යොදා ගැනීමට සෞදි හා අනෙකුත් ගල්ෆ් රාජාන්ඩු සැලසුම් කරන බවට සමපේක්ෂන පවතී.

මේ මස මුල් සතියේ දී, ජනාධිපති කියර්ට පක්ෂපාත දකුනු සුඩාන හමුදාවන්ට ආයුධ හා උන්ඩ යැවී යයි ද කාකා අසල දී විරුද්ධවාදී සටන් කරුවන්ට බෝම්බ ප‍්‍රහාර එල්ල කලේ යයි ද ඇමරිකානු පිටු බලය ලබන ඊජිප්තු මිලිටරි ඒකාධිපති තන්ත‍්‍රයට එරෙහිව චෝදනා එල්ල විය. උගන්ඩා නායකයින්, දකුනු සුඩානය තුල ප‍්‍රධාන බලවතුන්ගේ මිලිටරි මැදිහත්වීමක් වෙනුවෙන් කැඳවුම් කර ඇත්තේ, යුද්ධය ආරම්භයේ සිට දේශ සීමාව හරහා උගන්ඩාවට ගලා ආ 700,000 ක් පමන වන දකුනු සුඩාන මහා සරනාගත රැල්ල මැඩීමේ නාමයෙනි.

පසුගිය මස ඉහල පෙලේ දකුනු සුඩාන මිලිටරි නායකයන්ගේ ඉල්ලා අස්වීම් මධ්‍යයේ ජනාධිපති කියර්, ඊජිප්තුව හා ඉතියෝපියාව සමග ගනු දෙනු වලට එලඹ ගත් අතර, අලුතින් ස්ථාපිත ට‍්‍රම්ප් පාලනයට පක්ෂපාතීත්වය පල කරන ප‍්‍රතිඥා නිකුත් කලේය.

“පොදු උත්සුකතාවන් දිනාගැනීම සඳහා අපගේ ආන්ඩුව ට‍්‍රම්ප් පාලනාධිකාරය සමග ඉතා සමීපව කටයුතු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති අතර, නොකඩවා එසේ කරනු ද ඇත. දකුනු සුඩානය හා ඇමරිකාව අතර ශක්තිමත් ද්වී පාර්ශවික සහයෝගීතාවයක් අපගේ කටයුතු අස්ථාවර කරන බාහිර නලුවන් දුර්වල කරනු ඇති බව අපගේ විශ්වාසයයි” කියර් පැවැසීය.

පෙබරවාරි 23දා දකුනු සුඩාන ජනාධිපති, අඩිස් අබාබා හිදී ඉතියෝපියානු නායකයන් සමග ආරක්ෂක කටයුතු පිලිබඳ සාකච්ඡා පැවැත්වූ අතර, සිකුරාදා ඔහු ඉතියෝපියාවේ ගැම්බෙලා දකුනු සුඩානයේ පලූජ් සමග ද දකුනු සුඩානයේ ඩිමා ඉතියෝපියාවේ බොමා සමග ද සම්බන්ධ කරන්නාවූ ඛනිජ තෙල් ප‍්‍රවාහන මාර්ග ද ඇතුලත් සහයෝගීතා ගනුදෙනු සඳහා අත්සන් තැබීය. මෙම ඛනිජතෙල් මාර්ග ඉහල නයිල් නදියේ ඇමරිකානු හා ස්විට්සර්ලන්ත මූල්‍ය දායකත්වයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථාන සඳහා සැපයුම් කරනු ඇත. 2018 වන විට තෙල් නිෂ්පාදනය දෙගුන කිරීමට කියර් රෙජිමය සැලසුම් කරයි.

Share this article: