මර්කෙල් හා ට‍්‍රම්ප් වොෂින්ටනයේ දී අර්බුද ග‍්‍රස්ත සාකච්ඡාවන්ට එක්වෙති

Merkel and Trump hold crisis talks in Washington

ජොහැනස් ස්ටර්න් විසිනි, 2017 මාර්තු 18

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් අතර පලමු හමුව 17දා වොෂින්ටනයේ දී පැවත්වුනේ, දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් පසුව ජර්මනිය හා එක්සත් ජනපදය අතර ආතතීන් උච්චම අවස්ථාවට ලඟාවී තිබියදීය.

එහි පැවති මනෝගතිය ආතති සහගත මෙන් ම සතුරු ද විය. ඕවල් කාර්යාලයේ පැවති ඒකාබද්ධ ඡායාරූප සන්දර්ශනයේදී ට‍්‍රම්ප්, ඡායාරූප ශිල්පීන් ඉල්ලා සිටි චාරිත‍්‍රානුකූල අතට අත දීම ප‍්‍රතික්ෂේප කල අතර මර්කෙල් පිලි නොගත් තරම්ය.

අනෙකුත් නිලධාරීන් හා දෙරටෙහි ව්‍යාපාරික නායකයින් සමග ට‍්‍රම්ප් හා මර්කෙල් අතර ධවල මන්දිරයේ පැවති හමුවෙන් පසුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී රාජ්‍ය නායකයින් දෙදෙනා එකඟත්වය ප‍්‍රකාශ කලේ, මිලිටරි වියදම් වැඩි කිරීම හා යුද්ධය පිලිබඳ ප‍්‍රශ්න ගැන පමනි. දල දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකක් වන නේටෝ අවමයට වැඩියෙන් ජර්මනිය ආරක්ෂක වියදම් වැඩි කරනු ඇති බවට මර්කෙල් ට‍්‍රම්ප්ට පොරොන්දු වූවා ය. අනෙක් අතට ට‍්‍රම්ප්, නේටෝවට තම කැපවීම් පොරොන්දු විය. “ඇෆ්ගනිස්තානයේ දී අතිනත ගෙන එකට වැඩ කිරීමට ද සිරියාව හා ඉරාකය තුල විසඳුම් සඳහා එක්ව කටයුතු කිරීමට ද” ඔවුහු එකඟවූහ.

විසිවන සියවසේ පලමු භාගයේ ලෝක යුද්ධ දෙකෙහිදී ප‍්‍රතිවිරුද්ධ පැතිවල සිටි දෙරට අතර ගැටුම, අතිශය තියුනු ස්වභාවයක් ගත්තේ, වෙලඳ ප‍්‍රතිපත්තිය පිලිබඳ ප‍්‍රශ්න මත ය. එක්සත් ජනපදයේ මිතුරන්ගේ අතීත චර්යාව හැමවිට ම “අසාධාරන” වී යයි චෝදනා කල ට‍්‍රම්ප්, “සාධාරන වෙලඳ ප‍්‍රතිපත්තියක්” ගැන දැඩිව අවධාරනය කලේ ය.

ට‍්‍රම්ප් මින් අදහස් කලේ කුමක් ද යන්න පැහැදිලි ය. වැඩ බාර ගැනීමට මඳකට පෙර දුන් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු, ජර්මානු මෝටර්රථ නිෂ්පාදන කර්මාන්තයට එරෙහිව සියයට 35 දක්වා තීරු බදු පැනවීම පිලිබඳව විශේෂයෙන් ම අනතුරු අඟවමින්, ජර්මනිය සමග වෙලඳ යුද්ධයක තර්ජනය මතු කලේය. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ජර්මනියේ හැසිරීම “බොහෝ අසාධාරන” යැයි ප‍්‍රකාශ කරමින් තමා මෙය අවසන් කරන බවට විශ්වාස යයි ඔහු පැවසුවේ ය.

පසු ගිය සතියේ දී ට‍්‍රම්ප්ගේ ආර්ථික උපදේශක පීටර් නවාරෝ, ජර්මානු වෙලඳ අතිරික්තය “බරපතල කාරනයක්” යැයි නැවත වතාවක් සඳහන් කල අතර එය, ඇමරිකානු වෙලඳ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැනනැගී ඇති “ඉතා දුෂ්කර ගැටලුවලින් එකක්” යැයි හැඳින්වූයේ ය. එක්සත් ජනපදය මේ වන විට ඊනියා “දේශසීමා ගැලපුම් බද්දක්” සකසමින් සිටින අතර, එය සැලකියු යුතු ලෙස ඇමරිකානු අපනයන මත බදු අඩු කරනු ඇති අතර ජර්මානු හා අනෙකුත් යුරෝපීය ආනයන මත දැඩි බර පටවනු ඇත.

වැඩෙන අන්තර් අත්ලාන්තික් ගැටුම් ජර්මනියේ බේඩන් බේඩන් හි ජී-20 මුදල් අමාත්‍යවරුන්ගේ සමුලුවේ දී ද පිලිබිඹු විය. ඊට පෙර දින සන්ධ්‍යාවේ ජර්මානු මුදල් ඇමති වුල්ෆ්ගැන්ග් ෂෝබල් පලමු වරට සිය ඇමරිකානු සහචරයා වන ස්ටීවන් ම්නුචින් මුන ගැසුනේ ය. වෝල් වීදියේ හිටපු බැංකුකරුවා එක්සත් ජනපදයට වෙලඳ යුද්ධයක් අවශ්‍ය නැති බව අවධාරනය කල නමුත්, නිදහස් වෙලඳාමට පක්ෂව හා ආරක්ෂනවාදයට විරුද්ධ ව චාරිත‍්‍රානුකූල කරන ආකාරයේ ප‍්‍රකාශයක් ජී-20 සමාප්ති ප‍්‍රකාශයට ඇතුලු කිරීමට සහාය දැක්වීම ප‍්‍රතික්ෂේප කලේ ය.

ට‍්‍රම්ප්ගේ ආරක්ෂනවාදය, විශේෂයෙන් අපනයන මත පදනම්ව ඇති ජර්මානු ආර්ථිකයට විනාසකාරී ය. 2015දී, ජර්මනිය යුරෝ බිලියන 260ක වාර්තාගත වෙලඳ අතිරික්තයක් ලැබීය. එය එරට සමස්ත ආර්ථික නිමවුමෙන් සියයට අටකට වඩා වැඩිය. එක්සත් ජනපදය සමග වෙලඳාම අතිරික්තයට එකතු කල මුදල යුරෝ බිලියන 54ක් විය. එමෙන් ම ඊට පෙර වසරේ දී ද යුරෝ බිලියන 107ක වටිනාකමක් සහිතව එක්සත් ජනපදය, ජර්මානු නිෂ්පාදන සඳහා විශාල ම නිර්යාත වෙලඳපොල සැපයුවේ ය.

මර්කෙල්ගේ නියෝජිත පිරිසට ප‍්‍රමුඛ ජර්මානු ආර්ථික නියෝජිතයෝ අයත් වූහ, ඔවුන්ගේ කර්තව්‍යය වූයේ නිදහස් වෙලඳාමේ වැදගත්කම ට‍්‍රම්ප්ට ඒත්තු ගැන්වීම යි. එහෙත් ජර්මානු ආන්ඩුව, එක්සත් ජනපදය සමග ආතතිය අවම කිරීමට දඟලන අතර ම, ඊට වඩා අඩු නොවන එකට එක කිරීමේ ආක‍්‍රමනකාරී පියවරයන් ද සූදානම් කරමින් සිටී.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) පාර්ලිමේන්තු කන්ඩායමේ නියෝජ්‍ය සභාපති කාස්ටන් ෂ්නේයිඩර් ප‍්‍රාග්ධන පාලනයක් ක්‍රියාත්මක කරන බවට තර්ජනය කලේ ය. “අවසානයේ දී, තම ප‍්‍රාග්ධන අපනයන් (ආයෝජන) සමගින් ජර්මනිය, ඇමරිකානු වෙලඳ ශේෂයේ විශාල කොටසකට අරමුදල් සම්පාදනය කරමින් සිටී” යැයි ෂ්නේයිඩර් පැවසී ය. “ට‍්‍රම්ප් මොලොක් නොවන්නේ නම්, අවශ්‍ය පියවර ගැනීමට අප සූදානම් විය යුතු ය.”

17දා උදෑසන ඩොයිෂ්ලෑන්ඩ්ෆන්ක් නම් ජර්මානු ගුවන්විදුලි මධ්‍යස්ථානය සමග සම්මුඛ සාකච්ඡුවක දී ජර්මානු ආර්ථික කටයතු ඇමතිනී බ්‍රිජිට් සයිප්රීස් (එස්ඩී) මෙසේ පැවසුවා ය: “අනෙක් හැකියාව සරල යි. අපි ලෝක වෙලඳ සංවිධානය (ලෝවෙස) ඉදිරියේ ඔහුට එරෙහිව නඩු පවරන්නෙමු. එය ක්‍රියා පටිපාටි සකස් කර යි. මොටර් රථ අපනයනය මත බදුවල දී සියයට 2.5ට වඩා නො ගැනීමට ඔබට අවසර දෙන බවට ලෝවෙස ගිවිසුම තුල පැහදිලිව ම දක්වා තිබේ.”

“උසාවිවල දී ට‍්‍රම්ප් අසාර්ථක වූ පලමු අයස්ථාව මෙය නො වේ; යැයි එස්පීඞී දේශපාලිකාව ප‍්‍රකෝපකාරී ලෙස තවදුරටත් පැවසුවා ය.

ජර්මානු කාර්මික ෆෙඩරේෂනයේ සභාපති, ඩිඑටර් කෙම්ප්, සිය සංචාරයට පෙර මර්කෙල්ට පැවසුවේ, “ඇති තරම් ආත්ම විශ්වාසය ඇතිව ජර්මානු, යුරෝපීය ආර්ථිකයක ආස්ථානය” ට‍්‍රම්ප්ට ඉදිරිපත් කරන ලෙස යි. ආර්ථික ප‍්‍රතිපත්ති ගැන ට‍්‍රම්ප්ගේ ආකල්ප හුදෙක්ම “පලදායී නොවනු ඇතැ” යි ඔහු අවධාරනය කලේ ය.

වඩාත්ම පලදායී ආකාරයකින් ට‍්‍රම්ප්ට ප‍්‍රතිප‍්‍රහාර දෙනු පිනිස බර්ලිනය, එක්සත් ජනපදය හා යුරෝපා සංගමය අතර වෙලඳ යුද්ධය සඳහා සූදානම්වීමේ මූලෝපායක් අනුගමනය කරයි. හන්ඩෙල්ස්බ්ලාට් පුවත්පත, ආර්ථික අමාත්‍යංශයේ හිටපු ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥයා වූ ජෙරෝමින් සෙටෙල්මේයර් මෙසේ පවසන බව උපුටා දැක්වී ය: “ජර්මනියට අවශේෂ යුරෝපයේ සහාය අවශ්‍ය ය. හැකි නම් අපට එරෙහිව ඔවුන්ට වෙලඳ යුද්ධයක් කිරීමට සිදුවෙනවා ඇත.”

ඩර් ස්පීගල් වාර්තාවකට අනුව ජර්මානු ආන්ඩුවේ අරමුන, “ඇමරිකානුන් හුදෙකලා කිරීම යි.” මෙම අරමුන සඳහා “ලෝකයේ අනෙකුත් රටවල් හා කලාප සමග” වෙලඳ ගිවිසුම් සාකච්ඡා කිරීමේ කටයුත්ත යූසං වෙලඳ කොමසාරිස් සිසිලියා මල්ම්ස්ටෝර්ම් හට පැවරී ඇත. ඊට පෙර සතියේ යූසං සමුලුවේ දී, ලෝක වෙලඳාමේ “ආරක්ෂනවාදී ප‍්‍රවනතාවන්ට” එරෙහිව යූසං රටවල් නො වලහා කතා කල අතර, යුරෝපීය ආර්ථිකය එක්සත් ජනපදයට එරෙහිව පිහිට වූ බව ඩර් ස්පීගල් වාර්තා කලේ ය.

යූසං “ජාත්‍යන්තර වෙලඳ හවුල්කරුවන් සමග දිගටම ක්‍රියාකාරී ලෙස සහයෝගයෙන් කටයුතු කරනු” ඇතැ යි යූසං සමුලුවේ අවසන් යෝජනාව පැවසී ය. “මෙම අරමුන පිනිස, මර්කෝසර් (බොලීවියාව, ආර්ජන්ටීනාව, බ‍්‍රසීලය, පැරගුවේ, උරුගුවේ හා වෙනිසියුලාව ඇතුලත් උප කලාපීය රටවල් කාන්ඩයකි) හා මෙක්සිකෝව සමග උන්නතිකාමී හා හොඳින් සමබර නිදහස් වෙලඳ ගිවිසුම් අරභයා කෙරෙමින් පවතින සියලු සාකච්චාවල තීරනාත්මක භාවය සමග ප‍්‍රගතිය අත්පත් කර ගනු ඇත.” ජපානය සමග සාකච්ඡා “ඉක්මනින් ම අවසන් කිරීමට නියමිත” අතර “අන්‍යෝන්‍ය හා මහාපේක්ෂා සහිත ප‍්‍රතිලාභ පිලිබඳ පොදු අවබෝධයේ පදනම මත චීනය සමග වෙලෙඳ සම්බන්ධතා ශක්තිමත් කල යුතු ය.”

එක්සත් ජනපද ආන්ඩුව සමග පොරවදිමින් සිටින රටවල් සමග බර්ලිනය හා බ‍්‍රසීලය සිය ආර්ථික සම්බන්ධකම් ව්‍යාප්ත කරමින් සිටී. උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම(NAFTA) අහෝසි කරන බව ට ට‍්‍රම්ප් මෙක්සිකෝවට තර්ජනය කරන අතර, වොෂින්ටනය වඩා වඩා විවෘත භාවයකින් චීනයට එරෙහිව යුද මාවතක් ගනිමින් සිටී. මෙහි ප‍්‍රතිපල වශයෙන් ජර්මනිය හා එක්සත් ජනපදය අතර ගැටුම් දිගටම තියුනු වනු ඇත.

වොෂින්ටන් සංචාරයට පිටත්වීමට පෙර මර්කෙල් චීන ජනාධිපති ෂි ජින්පින් සමග දුරකතනයෙන් කතා කිරීම කැපී පෙනෙන වෙනසකි. ආරක්ෂනවාදය කෙරෙහි ඇගේ විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට ඈ මෙම අවස්ථාව යොදා ගත්තා ය. මර්කෙල්ගේ ආන්ඩුවේ ප‍්‍රකාශකයෙකුට අනුව, ඔවුන් “එක්ව නිදහස් වෙලඳාම හා විවෘත වෙලඳපොල ප‍්‍රවර්ධනය” කරනු ඇත. ඊට අමතරව, “විශේෂයෙන් ම ජී-20 ජර්මානු සභාපතිත්වයේ රාමුව තුල ඔවුන්ගේ විශ්වාසවන්ත සහයෝගිත්වය” දිගටම පවත්වා ගෙන යාමට නායකයෝ දෙදෙනා එකඟ වූහ. මේ අතර, ජර්මන් මාධ්‍ය “එක්සත් ජනපදයේ නව ආරක්ෂනවාදයට එරෙහිව ඊටත් වඩාත් පැහදිලි ප‍්‍රකාශයක්” ඉල්ලා සිටින අතර “බහුතරයක් රටවල් ට‍්‍රම්ප්ට එරෙහිව බලමුලු ගැන්විය යුතු” යයි ඉල්ලා සිටී. මෙය “අනාගතයේ දී අත්‍යාවශ්‍ය වනු ඇත යි රේනිෂේ පෝස්ට් පත‍්‍රය තුල අදහස් පලවී ඇත. “වොෂින්ටනය විසින් තමන් බිය වද්දනු ලැබීමට ඉඩ දෙනු වෙනුවට ජර්මනිය හා යූසං, සිය ප‍්‍රතිවිරුද්ධ අරමුනු” සමග ට‍්‍රම්ප්ට “ආත්ම විශ්වාසයෙන් යුතු ව විරුද්ධ” විය යුතු ය. මේ සඳහා කොන්දේසි වාසි සහගත ය, පත‍්‍රය පවස යි.

බේඩන් බේඩන් හි දී ජර්මනිය ”යූසං තවත් රටක් පමනක් නොව, වෙලඳ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත් විට සියල්ලටත් වඩා චීනය, බ‍්‍රසීලය හා ජපානය ඇතුලු, ආසන්න වසයෙන් සමස්ත ලෝකයම” සමග සිටින බව එය තව දුරටත් පවස යි.

බර්ලිනය කෙරෙහි ට‍්‍රම්ප්ගේ ආක‍්‍රමනකාරී හැසිරීම මෙන් ම එක්සත් ජනපදයට එරෙහිව හවුලක් ගොඩනැගීමේ ජර්මානු උත්සාහයන්ගේ අතිමූලික හේතු සොයා ගත හැක්කේ, ධනේශ්වර පද්ධතියේ ම විසඳිය නො හැකි ප‍්‍රතිඝතිතාවන් තුල ය. නිෂ්පාදනයේ ජාත්‍යන්තර ස්වභාවය හා ජාතික රාජ්‍ය අතර ප‍්‍රතිඝතිතාවන් ජය ගැනීමට ධනේශ්වරය අසමත් ය. පලමු හා දෙවැනි ලෝක යුද්ධ අද්දර දී, අමුද්‍රව්‍ය, නිර්යාත වෙලඳපොල, ආනුභාවය පවත්වන කලාප හා ලාභ ශ‍්‍රමය සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගැටුම් නැවත වතාවක් ඉදිරියට ඇදෙමින් පවතින අතර ඒවා වෙලඳ යුද්ධයට හා මිලිටරි ගැටුමක් කරා ඇදී යමින් තිබේ.

Share this article: