එජ අවශ්‍යතා නංවාලීමට එජ කොන්ග‍්‍රස් සභිකයෝ ශ‍්‍රී ලංකාවට පැමිනෙති

US Congress members visit Sri Lanka to boost US interests

සමන් ගුනදාස විසිනි, 2017 මාර්තු 3

එක්සත් ජනපද (එජ) මන්ත්‍රී මන්ඩල විනිසුරු මඬුල්ලේ සභාපති බොබ් ගුඩ්ලට් ප‍්‍රමුඛ ඩිමොක‍්‍රටික් සභිකයෝ 4 ක් හා රිපබ්ලිකන් සභිකයෝ 4 ක ගෙන් සැදුම් ලත් කොන්ග‍්‍රස් සභිකයන් කන්ඩායමක් ගිය සිකුරාදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හමුවූහ. පෙබරවාරියේදී ලංකාවට පැමිනි දෙවන කොන්ග‍්‍රස් සභිකයන් කන්ඩායම මෙය වූ අතර ඒමගින් ප‍්‍රකට වන්නේ දකුනු ආසියාවේ එජ මිලිටරි ක‍්‍රියාකාරකම් ඉහලයාමෙන් උද්ගත වූ භූ-මූලොපායික ආතතීන්හි වර්ධනයයි.

ශ‍්‍රී ලංකාව තුල තම බලපෑම් වර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්දියානු හා චීන තානාපතිවරු ද ගිය සති දෙක ඇතුලත කොලඹට පැමිනියහ.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහභාගිත්ව ගිවිසුමක් යටතේ පලමු එජ නියෝජිත මංඩලය පෙබරවාරි 20 දා දින දෙකක සංචාරයකට පැමිනියේය. ඔව්හු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ද හමුවූහ.

දෙවන නියෝජිත මංඩලය වඩා අවධානය යොමු කලේ සංවේදී දේශපාලන කාරනා කෙරහිය. නියෝජිතයන් පැමිනියේ “ඉන්දීය-පැසිෆික් කලාපයේ වැදගත් මුහුදු මාර්ගවලට බලපාන මූලෝපායික ගැටලු සාකච්ඡා කිරීමටත්, දිගු කාලීන සහජීවනය හා ගැටුම් නැවත ඇති නොවීම වර්ධනය කිරීමේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය ගැන හැදෑරීමකටත්” හා දෙරට අතර ද්වීපාර්ශවික වෙලඳ හා ආයෝජන ඉහල නංවන “ආර්ථික ප‍්‍රතිසංස්කරන ගැන වැඩි හැදෑරීමකටත්” බව එජ තානාපති කාර්යාලය පැවසීය.

චීනය සමග ගැටුමකට යාම සඳහා සූදානම් වීමට දකුනු ආසියාව ගැන අවධානය යොමු කරන්නට තමන් දිගටම කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ පාලනය ඇඟවුම් කර ඇත. වාර්තාවන ලෙසට, චීනයට එරෙහිව ඔබාමාගේ පාලනය දියත් කල “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස ඇති කර ගත් සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරමින්, ඉන්දියාව සමග තම මූලෝපායික සහභාගිත්වය හා ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කරලීමට එජ අදහස් කරන බව ගිය මස මුලදී එජ ආරක්ෂක ලේකම් ජේම්ස් “පිස්සු බලු” මැටිස් ඔහුගේ ඉන්දීය සමපදවිගතයා වන මනෝහර් පරිකාර්ට පවසා ඇත.

මහින්ද රාජපක්ෂ ඉවත් කරමින් සිරිසේනව ස්ථාපනය කිරීමට, 2015 ජනාධිපතිවරනය හරහා ඔබාමා පාලනය කොලඹ දී තන්ත‍්‍ර-මාරු මෙහෙයුමක් දියත් කලේය. රාජපක්ෂගේ ආන්ඩුව යටතේ බීජිං සමග පැවති ශ‍්‍රී ලංකාවේ සම්බන්ධතාවන්හි අඩිතාලම බිඳීම මෙම මැදිහත්වීමේ මූලික අභිප‍්‍රාය විය.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පුද්ගල නිදහස හා සමගි සන්ධානය ශක්තිමත් කිරීමට ඒකමතිකව ආන්ඩුව” විසින් ගනු ලැබ ඇති ක‍්‍රියා මාර්ග සම්බන්ධව එජ ය සතුටු වන බව නියෝජිත මංඩලයේ ප‍්‍රධානී ගුඩ්ලට් පැවසීය.

වික‍්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) හා සිරිසේන විසින් නායකත්වය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) කොටසකුත් අතර සංධානය මේ “සංධාන ආන්ඩුවයි”. මේ සංධානය ස්ථාපිත කලේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට” නොව, එජය හා එහි මිතුරු ඉන්දියාවට පක්ෂපාතීව විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කල ආන්ඩුව ස්ථාවර කිරීමට හා රාජපක්ෂ යටතේ පටන්ගත් කප්පාදු ක‍්‍රියාන්විතයට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර පුපුරන සුලු සමාජ විරෝධය මැඩ පැවැත්වීමටය.

ඔහුගේ සාකච්ඡාවලදී, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට සේවය කිරීමට තම රජයේ සූදානම සිරිසේන නැවත ස්ථිර කලේය. රජයේ ප‍්‍රකාශනයට අනුව, “ජාත්‍යන්තර මුහුදු මාර්ගවලදී අප රට වැදගත් මූලෝපායික ස්ථානයක පිහිටා ඇති බැවින් ජාතික ආරක්ෂාවට අමතරව කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකාවට වැදගත් වගකීමක් ඇත.... එබැවින් අන්තර්ජාතික ආයෝජන ගිවිසුම් වලට එලඹීමේදී ශ‍්‍රී ලංකාව මේ සියලු දේ ගැන සුපරික්ෂාකාරීව සැලකිලිමත් වේ”යැයි සිරිසේන පැවසීය.

සිරිසේන චීනය සමග ශ‍්‍රී ලංකාවේ ආයෝජන ගිවිසුම් ගැන එජ උත්සුකතා සම්බන්ධව කතා කරන බව පෙනුනි.

ඔහු බලයට පැමිනි වහාම චීනය විසින් මූල්‍යමය දායකත්වය සැපයූ සියලුම ආයෝජන ව්‍යාපෘති නතර කර දැමීය. කෙසේවුවත්, ඔහුගේ මුදල් සිඳුනු ආන්ඩුවට නැවතත් චීන ආයෝජන හා නය ලබා ගැනීමට බල කෙරුනු අතර හම්බන්තොට මාගම්පුර වරායේ පාලන කොටස් චීන සමාගමකට විකුනා දැමීමට සැලසුම් කරමින් සිටී.

රාජපක්ෂ ආන්ඩුව කාලයේදී, චීන නයකින් දැවැන්ත ලෙස මූල්‍ය දායකත්වය සැපයන ලදුව චීන සමාගමක් විසින් මෙම වරාය සාදන ලදී. ඉන්දියන් සාගරය හා ඉන් ඔබ්බට තම අධිකාරිය පැතිරවීම සඳහා යොදා ගනු ලබන බව කියන චීනයේ “මුතු මාලය” මූලෝපායේ කොටසක් ලෙස එජ හා ඉන්දියාව එම වරාය හැඳින්වීය. ඊට ප‍්‍රතිචාර ලෙස, හම්බන්තොට වරායේ චීන මිලිටරියට සිටීමට අවසර නොදෙන බව සිරිසේන හා වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර ඇත.

රාජපක්ෂ යටතේ නවතා දමන ලද ශ‍්‍රී ලංකා හමුදා බල ඇනි පුහුනු කිරීම නැවත ආරම්භ කිරීම පිලිබඳව ස්තූතිය පල කරමින්, නාවික නිලධාරීන් සඳහා “අමතර පුහුනු සැසිවලට ඉඩ ලබා දෙන” ලෙස සිරිසේන ඉල්ලා සිටියේය.

ඔහුගේ රජය එජ සමග මිලිටරි සම්බන්ධතා පුලුල් කරමින් සිටී. නොවැම්බරයේදී, ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා එජ මැරයින් භටයන් 300 ක් සමග යූඑස්එස් සමර්සෙට් නම් වූ භූජලචර නාවික යාත‍්‍රාව ත‍්‍රිකුනාමල වරායේ නැංගුරම් ලෑවේය. ගිය සැප්තැම්බරයේදී, එජ මැරයින් සේනාංකයේ සහායෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව තම ප‍්‍රථම මැරයින් බලකාය ස්ථාපිත කලේය.

වාර්තා වන ලෙසට එජ නියෝජිත මංඩලය “ශ‍්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට චීනයේ හා ඉන්දියාවේ සැලකිල්ල ගැන තමන් සිතන්නේ මොනවාදැයි” දෙමල ජාතික සංධානයෙන් (ටීඑන්ඒ) විමසා තිබේ. චීනය රටේ දේශපාලන කටයුතුවලට මැදිහත් වන්නේ නැති බවත් ඉන්දියාව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරන ගැන උනන්දුව දිගින් දිගටම ප‍්‍රදර්ශනය කරන බවත් ටීඑන්ඒ ප‍්‍රධානී හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පිලිතුරු ලෙස ප‍්‍රකාශ කර ඇති බව දි අයිලන්ඩ් වාර්තා කලේය.

දෙමල ප‍්‍රභූ පැලැන්තිය නියෝජනය කරන ටීඑන්ඒ, වොෂින්ටනයේ 2015 තන්ත‍්‍ර-මාරු මෙහෙයුමට තම සම්පූර්න සහයෝගය දුන් අතර වර්තමාන ආන්ඩුවට සහාය පල කරයි.

සිරිසේන, වික‍්‍රමසිංහ ඇතුලු ඇමතිවරු කිහිපදෙනෙක් හා ටීඑන්ඒ නායකයන් හමුවීමට පෙබරවාරි 18 දා ඉන්දීය විදේශ ලේකම් සුබ‍්‍රමනියම් ජායිසංකර් ශ‍්‍රී ලංකාවට පැමිනියේය.

ඉන්දීය බුද්ධි මංඩල හා මාධ්‍ය වාර්තා කරන අන්දමට ජායිසංකර් එවා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ ආන්ඩුවේ යම් උත්සුකතා සාකච්ඡා කිරීමටය. “ශ‍්‍රී ලංකාවේ ඉන්දියාවට සහායදෙන ආන්ඩුවක් තිබුනේ වුවද, දිවයිනේ තම පැවැත්ම පුලුල් කරන චීනයේ උත්සාහයන් නව දිල්ලියට උත්සුකතා ඇති කරන හේතුවකැ”යි ජවහර්ලාල් සරසවියේ දකුනු ආසියානු හැදෑරීම් අංශයේ මහාචාර්යවරියක් වන සවිතා පාන්ඩේ මාධ්‍යයට පැවසුවාය.

සිංහල අන්තවාදී කන්ඩායම් විසින් දියත් කල ඉන්දියානු-විරෝධී වර්ගවාදී ව්‍යාපාරය හේතුවෙන් ඉන්දියාව සමග අත්සන් කිරීමට සූදානම් වූ ආර්ථික හා තාක්ෂනික සහයෝගීතා ගිවිසුම අවසන් කිරීම ශ‍්‍රී ලංකා ආන්ඩුව විසින් කල් දැමීම ගැන ද නව දිල්ලිය කනස්සල්ල පල කරයි.

පෙබරවාරි 23 දා, සිරිසේන හා වික‍්‍රමසිංහ හමුවීමට චීන ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඇමති සොන් ටා ඕ ගේ ප‍්‍රමුඛත්වයෙන් යුතු දූත පිරිසක් පැමිනියේය. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද හමු විය. හම්බන්තොට වරායට යාබදව ඇති කිරීමට යෝජිත ආයෝජන කලාපය ද ඇතුලත් බොහෝ කාරනා ඔහු සාකච්ඡා කලේය. වරාය ව්‍යාපෘතිය හා කාර්මික කලාපය සඳහා වන ගිවිසුම දිගින් දිගටම කල් දැමීම ගැන බීජිං මහත්සේ කැලඹිල්ලට පත්ව සිටී.

භූ-දේශපාලන ආතතීන් උත්සන්න කරමින්, එජ තම මිලිටරි ශක්තිය වර්ධනය කරන්නට ආක‍්‍රමනශීලී ලෙස වැඩ කරමින් සිටී. අඟහරුවාදා කොලඹදී එජ මැරයින් බලකායේ පැසිෆික් කලාපයේ උප සේනාපති බ්‍රිගේඩියර් ජෙනරාල් බ‍්‍රයන් ඩබ්ලිව්. කවානෝ ශ‍්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුනරත්න හමු වී ඉහල මට්ටමේ සාකච්ඡා පැවැත් වූ බව ශ‍්‍රී ලංකා නාවික හමුදා ප‍්‍රකාශනයක් පැවසීය.

ප‍්‍රකාශනයට අනුව, ද්වීපාර්ශික වැදගත් කාරනා වගේම “ශ‍්‍රී ලංකා නාවික හමුදාව මෑතක දී ස්ථාපිත කල මැරයින් සේනාංකයේ අනාගත මෙහෙයුම් හා පුහුනු ආකාර” සම්බන්ධව “සවිස්තර සාකච්ඡා” පවත්වා ඇත. “අනාගත නාවික කටයුතු සම්බන්ධ කාරනා හා රටවල් දෙක අතර ආරක්ෂක සහභාගිත්වය ශක්තිමත් කිරීමේ උපක‍්‍රම” ගැන සාකච්ඡා පැවැත් වූ බව එය තව දුරටත් පැවසීය.

එජ කොන්ග‍්‍රස් නියෝජිතයන්ගේ හා පැසිෆික් සේනා නිලධාරීන්ගේ පැමිනීම් ශ‍්‍රී ලංකාව, වැඩෙන ගෝලීය ආතතීන් හා යුද අවදානම් දිය සුලියට තවදුරටත් ඇද දමනු ඇත.

Share this article: