වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි රාජ්‍ය දඩයම උසිගැන්වීමේ තැත හෙලා දකිනු!

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 මැයි 27

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) සම්බන්ධයෙන් අභියාචනාධිකරනය විසින් ජනවාරි 31 වෙනිදා දෙන ලද තීන්දුව විවේචනය කිරීම මගින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (රවෛනිස) සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය අධිකරනයට අපහාසයක් කල බවට ඉදිරිපත් කර ඇති පෙත්සමකට අදාල චෝදනා උසාවිය විසින් මැයි 24 වෙනිදා වගඋත්තරකරුට භාරදුන් අතර නඩු විභාගය අගෝස්තු 2 වෙනිදා පැවැත්වීමට නියම කර ඇත.

සාධාරන සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ හා කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිනී වියන්ගොඩ පෙත්සම්කරුවෝ වෙති. මෙම සංවිධාන දෙකත්, විජේසූරිය සහ වියන්ගොඩත් ඇමරිකානු ගැති මෛතී‍්‍රපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට බලයට ගෙන ඒමට ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකලහ.

රවෛනිස සභාපති පාදෙනිය එකී නඩු තීන්දුව විවේචනය කිරීම මගින් අභියාචානාධිකරනයේ අධිකාරය හෑල්ලුවට ලක්කර අධිකරනයට අපහාසයක් කර ඇතැයි කියා සිටින පෙත්සම්කරුවන් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය යටතේ වගඋත්තරකරුට විරුද්ධව විභාගයක් පවත්වා දඬුවම් පමුනුවන ලෙස අධිකරනයෙන් ඉල්ලා ඇත.

ජනවාරි 31 දා දුන් අභියාචනාධිකරන තීන්දුව මගින් සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා සිසුන් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස නියෝග කර ඇත. ආන්ඩුව එම තීන්දුව හුවා දක්වමින්, සයිටම් ආයතනය අහෝසිකරන ලෙස සහ අධ්‍යාපනය පුද්ගලීකරනය නතර කරන ලෙස සිසුන් හා වෛද්‍යවරුන් ගෙනයන උද්ඝෝෂනය තලා දමීමට පොලිස්-රාජ්‍ය මර්දනය උත්සන්න කර තිබේ. නඩු තීන්දුව නොපිලිගත් වෛද්‍ය සභාව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කල පෙත්සමක් ඉදිරියේ දී විභාගයට ගැනීමට නියමිතය.

පාදෙනිය තමන් චෝදනාවට නිවැරදිකරු යයි උසාවියට ප‍්‍රකාශ කලේය. ඔහුගේ නීතිඥ ගාමිනී මාරපන උසාවියට කියා සිටියේ එහි කාර්ය සටහන් අනුව අනුරුද්ධ පාදෙනිය දැනටමත් වරදකරු බව සඳහන් කර ඇති බවයි.

මෙම නඩුව දුරදිග යන ඇඟවීම් ගැබ් කර ගනී. උසාවි තීන්දුවක් පිලිබඳව විවේචනාත්මකව අදහස් දැක්වීමට පුද්ගලයන්ට හා සංවිධාන වලට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට නැවතීමේ තිත තැබීමට පෙත්සම්කරුවන්ට හා ඔවුන්ගේ ආන්ඩුවට ගැති සංවිධාන වලට උවමනාවී තිබේ.

පසුගිය මාස කීපයේ පොලීසිය සිසු උද්ඝෝෂන නතර කිරීමට උසාවි නියෝග ගෙන ඒවා ප‍්‍රතික්ෂේප කල සිසුන්ට රුදුරු ලෙස පහර දුන්නේය. මේ සතියේ, නැගෙනහිර පලාතේ රැකියා විරහිත උපාධිධාරීන් උසාවි නියෝගයක් කඩ කර උද්ඝෝනයක යෙදීමෙන් උසාවියට අපහාස කලේයැයි අත් අඩංගුවට ගන්නා ලදී.

උසාවිය, පොලීසිය, හමුදාව ඇතුලු රාජ්‍යයේ මර්දනකාරී බලවේග මෙහයවාගෙන කම්කරුවන්ට, සිසුන්ට, ගොවීන්ට එල්ල කරන ප‍්‍රහාර වඩවඩාත් උග‍්‍ර කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටියි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව සමාජ පිපිරීම් ඇතිවීම ගැන බිය පත්ව සිටින ආන්ඩුව ඒවා තලා දමා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ කොන්දේසි පැටවීමට ආඥාදායක පාලනයක් කරා මාරුවෙමින් සිටින බවයි.

කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට ගරුකරන සියලු දෙනා විජේසූරිය ගේ හා වියන්ගොඩ ගේ මෙම ප‍්‍රතිගාමී ප‍්‍රයත්නය හෙලා දැකිය යුතුය. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ආවේ, මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රයේ චීනයට හිතැති විදේශ පිලිවෙතට එරෙහිව එක්සත් ජනපදය විසින් ජනාධිපතිවරනයට මුවාවී මෙහෙය වූ තන්ත‍්‍රමාරු මැදිහත්වීමක් මගිනි. ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කල රුදුරු ප‍්‍රහාර නිසා රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි පැවති මහජන වෛරය සිරිසේන ට හා වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට යහමින් ගසා කෑමට හැකි විය.

රාජපක්ෂ ආඥාදායක පාලනය පරාජය කර “යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ඇතිකිරීමේ ව්‍යායාමයක් ලෙස එම තන්ත‍්‍ර මාරුව හුවාදක්වමින්, විජේසූරිය හා වියන්ගොඩ නියෝජනය කරන ඊනියා සිවිල් සංවිධාන සහ නව සම සමාජ පක්ෂය (නසසප) ඇතුලු ව්‍යාජ වාම පක්ෂ ඊට සෘජුව සහයෝගය දුන්හ. රාජපක්ෂ නතර කල තැනින් එහාට යමින් පුද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝගකර ඇති ආර්ථික කප්පාදු පිලිවෙත වේගවත් කර ඇති ඇති ආන්ඩුව මහජනතාව ඉදිරියේ බරපතල ලෙස අපකීර්තියට හා විරෝධයට ලක්ව ඇත. එම කල්ලි කන්ඩායම් වියරු වැටී ඇත්තේ රාජපක්ෂ පාලනයට එරෙහිව නැගී ආ වැඩ කරන ජනතාවගේ පෙරලිකාරිත්වය නව බලයකින් යලි මතුවීම ගැනයි.

මෙම ධනපති ගැති සංවිධාන හා ඒවා මෙහෙයවන විජේසූරිය, වියන්ගොඩ, සමාජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරයේ සමන් රත්නපි‍්‍රය, නසසපයේ වික‍්‍රමබාහු කරුනාරත්න ආදීන් නිතිපතා පුවත්පත් සාකච්ඡාවල යෙදෙමින් සිසුන්ගේ කම්කරුවන්ගේ හා වෛද්‍ය වෘත්තිකයන්ගේ අරගලවලට පහර දෙති. ඔවුන් ඒවාට මඩ ගසන්නේ රාජපක්ෂගේ ඒකාධිපති හෝ ෆැසිස්ට් පාලනයට පාර කැපීමට කරන ඒවා ලෙස නම් කරමිනිි.

වැඩකරන ජනයාට එරෙහිව අවි අමෝරාගෙන සිටින මෙම කල්ලි නියෝජනය කරන්නේ, ධනපති පන්තියට හා අධිරාජ්‍යවාදීන්ට ගැට ගැසුනු සහ ඉන් තම වරප‍්‍රසාද මඩි තර කර ගැනීමට කි‍්‍රයා කරන ඉහල මධ්‍යයම පන්තියේ අවශ්‍යතාවන් ය.

රාජ්‍ය මර්දනයේ තියුනු තුඩු එල්ලවන තත්වයේදී යලිත් එලිදරව් වී ඇත්තේ අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව අරගලයට පැමින සිටින සිසුන් හා වෛද්‍යවරුන් මුදුනේ සිටින රවෛනිස සහ ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ඉදිරිපත් කරන වැඩපිලිවෙලේ බංකොලොත්කමයි. ආන්ඩුවේ අධ්‍යාපන පුද්ගලීකරන පිලිවෙත වනාහි ධනේශ්වර අර්බුදයේ බර පැටවීම සඳහා කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ අයිතීන් උදුරා ගැනීමේ පලල් සමාජ ප‍්‍රතිවිප්ලවයක කොටසකි. අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි අරගලය හුදෙක් සයිටම් විරෝධී අරගලයක් බවට සිඳුවා ඇති අවිශිබම හා රවෛනිස ආන්ඩුව මත පුලුල් බලපෑමක් යෙදීම මගින් සයිටම් අහෝසි කල හැකිය යන මිත්‍යාවකට සිසුන් හා වෛද්‍යවරුන් කොටුකර ඇත.

මෙම සංවිධාන රාජපක්ෂගේ ප‍්‍රතිගාමී ව්‍යාපාරය ද ඇතුලු ධනපති කන්ඩායම් සමග පෙලගැසී සිටින්නේ කෙක්කෙන් හෝ බලපෑම පුලුල් කිරීමේ නමිනි. එහෙත් එහි වාසිය ගන්නේ මෙම ප‍්‍රතිගාමී බලවේගයන් ය.

ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහි සටන දේශපාලන අරගලයකි. ආන්ඩුවේ ප‍්‍රහාරවල මූලය ධනේශ්වර ක‍්‍රමයයි. ශිෂ්‍යයන් සහ වෛද්‍යවරුන් කම්කරුවන් වෙතට හැරී, ධනේශ්වරයේ සියලු කොටස්වලින් ස්වාධීන වූ සමාජවාදී ව්‍යාපාරයක් මගින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම මෙම දේශපාලන අරගලය සඳහා ඇති කි‍්‍රයා මාර්ගයයි.

Share this article: