එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ මානව ව්‍යසනය: 2000 වසරේ සිට මලසිරුරු 6,000කට වඩා සොයා ගැනේ

On the eve of the French presidential election

2017 මැයි 5

වසර 2000 හා 2016 අතරතුර එක්සත් ජනපද රේගුව හා දේශසීමා ආරක්ෂක ඒජන්සිය (සීබීපී), මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට සංක‍්‍රමනයවීමේ දී මියගිය, ලේඛන නොමැති පුද්ගලයන් 6,023ගේ භෂ්මාවශේෂ සොයා ගෙන ඇත.

මැයි මස 4දා නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ ලිපියක සඳහන් වන මෙම සිත්කම්පා කරවන ඉලක්කම්, සමස්ත මරන සංඛ්‍යාව වාර්තා නොකර යි. ටෙක්සාස් ප‍්‍රාන්තයේ එක් ආරක්ෂක නිලධාරියෙකුට (ෂෙරීෆ්) අනුව, “අප සොයා ගන්නා සෑම අයෙකු ම (මලසිරුරු) වෙනුවෙන් අපට ස්ථිර වසයෙන් ම පස්දෙනෙකු මග හැරනෙවා.” එහි අර්ථය වන්නේ සොයා නොගැනුනු මලසිරුරු සංඛ්‍යාව දසදහස් ගනනක් විය හැකි බව යි.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව දිගේ මලසිරුරු හමුවන්නේ, “විශ්මය ජනක නිත්‍ය ලතාවක් සමගින්” බව ටයිම්ස් වාර්තාව සඳහන් කර යි. ටෙක්සාස් ජනපදයේ, බෘක්ස් කෝරලය නම් එක් දේශසීමා ප‍්‍රදේශයක, බරක් ඔබාමාගේ සාමාරම්භක මාසය වන 2009 ජනවාරියේ සිට මලසිරුරු 500ක් සොයා ගෙන ඇත. ටෙක්සාස් හි එක් විශාල ගොවිපොලක් තුල, 2014 සිට මලසිරුරු 31ක් සොයා ගෙන ඇත. සීබීපී ගරුසරු නැතිව “සමූහ මිනීවල්වලට” ඇතම් මල සිරුරු විසි කරන්නේ බොහෝ කොට ඒවා බහා ඇති ජෛව අන්තරා මලුවලින් ඉවත් නොකර ය.

කාන්තාර සූර්යයාගෙන් දැවුනු හෝ ගිජුලිහිනියන් විසින් ඩැහ ගැනුනු බොහෝ මලසිරුරු හඳුනා ගත නොහැක. බොහෝ සේ ආ ගිය සංක‍්‍රමන මං ඔස්සේ “මල මිනී මග සලකුනු කර යි.” ලමුන්ගේ මල සිරුරු ඔවුන්ගේ පුලුන් පිර වූ සතුන් පසෙකින් සොයා ගැනුනි. සීතලෙන් මිය ගිය එක් කාන්තාවක උනුසුම සඳහා ප්ලාස්ටික් කසල මල්ලක් වෙලාගෙන තිබුනි.

2015දී, මෙක්සිකෝවේ හිටපු යාන්ත්‍රිකයෙකු වූ ෆ‍්‍රැන්සිස්කෝ ගොන්සාලස්, සිය ජීවිතය බේරා ගැනීම සඳහා තමා අත්අඩංගුවට ගන්නා ලෙස කාන්තාරය මැද සිට දේශසීමා රැකවලුන්ට දුරකතනයෙන් කතා කලේ ය. ඔහු රැකවලාට පැවසුවේ ඔබාමා පාලනාධිකාරය යටතේ පිටුවහල් කරනු ලැබීමෙන් පසුව පලමු වතාවට, තමාගේ අලුත උපන් දියනිය බැලීමට එමින් සිටින බව යි. නිලධාරීන්ට ඔහු සිටි තැන සොයා ගත නො හැකි වූ විට, ගොන්සාලස් ඔහුගේ බිරිඳගේ දුරකතන අංකය රැකවලාට ලබා දී මෙසේ පැවසුවේ ය, “ඇයට කතා කර මට එය කර ගත නො හැකි වූ බව ඇයට කියන්න. මම ඇයට ආදරය කරන බවත් අපගේ බබා රැකගන්න ලෙසත් ඇයට කියන්න.” ඊට ටික වේලාවකට පසු ඔහු කාන්තාරය මැද මැරී වැටුනි.

ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්ය ඩැනියෙල් මාටිනස් ටයිම්ස් පත‍්‍රයට කීවේ මෙය යි, “මෙම මරන වෙනත් ඕනෑ ම අවස්ථාවක වුනි නම්, මහා ජලගැල්මක හෝ භූමිකම්පාවක හෝ මහා ගුවන් අනතුරක ප‍්‍රතිඵලයක් වුනා නම් මිනිස්සු එය ගැන කතා කරනවා ඇත්තේ මහා විනාසයක් ලෙසට ය.”

සැබවින් ම මල සිරුරුවල මුලු සංඛ්‍යාව 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරය හා කැත්‍රීනා කුනාටුව එක්ව මරා දැමූ සංඛ්‍යාවට වඩා විශාල වන බව ටයිම්ස් සඳහන් කර යි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පත්වීමේ සිට සිදුවන සංක‍්‍රමනිකයන්ගේ පහල යාම නො තකා, 2017 පලමු මාසවල දී සොයා ගැනුනු මලසිරුරු සංඛ්‍යාව දැනටමත් 2010 වසර පුරා සොයා ගැනුනු සංඛ්‍යාවට වඩා වැඩි ය.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ මහා විපත්ති, අඩු වසයෙන් දශක දෙකක් තිස්සේ ඩිමොක‍්‍රටික් මෙන් ම රිපබ්ලිකානු ආන්ඩු ඕනෑකමින් ක්‍රියාත්මක කල ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිවිපාකයෝ වෙති. 1990 මැද භාගයේ පලමුවරට ඩිමොක‍්‍රටික් ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ නීති ගත කෙරුනු “දොරටුපාල මෙහෙයුම” හා “(සංක‍්‍රමන) වැලක්වීමේ මෙහෙයුම” වැනි වැඩසටහන් යටතේ මිලිටරි ආරක්ෂාව සැපයීම හා කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ හා ටෙක්සාස්වල එල් පාසෝ වැනි නගර කේන්ද්‍ර ගතව මුර සංචාර දැඩි කිරීම සමගින් ආන්ඩුව පුලුල් සංක‍්‍රමනික ගහනයක් වැලක්වී ය.

ප‍්‍රතිවිපාක මුලුමනින් ම කලික් කීමට හැකි වූ අතර සැබවින් ම එසේ කෙරුනි. ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් පලා යන සංක‍්‍රමනිකයන්ට, උෂ්නත්වය ෆැරන්හයිට් අංශක 120 (සෙල්සියස් අංශක 49)ක්මවා යා හැකි මාරාන්තික කාන්තාර කලාප හරහා යාමට බල කෙරුනි.

බුෂ් හා ඔබාමා යටතේ වැඩිදුරටත් ඇතුලුවීමේ බාධක දැමුනි. 2010දී, “‍ප්‍රධාන පිටුවහල් කරන්නා” වූ ඔබාමා විලෝපිත ඩ්‍රෝන් යානා පාවිච්චිය සමග එක්සත් ජනපද දේශසීමා තවදුරටත් මිලිටරීකරනය කෙරුනු නීතිවලට අත්සන් කල අතර මංමුලා සහගත සංක‍්‍රමනිකයන් ඉවත් කොට තැබීමට ජාතික ආරක්ෂක භටයින් 1500ක් රැඳවී ය.

දැන් ට‍්‍රම්ප් සමග ඇමරිකානු පාලක පන්තිය ඊටත් වඩා දුර යමින් සිටී. එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ “තාප්පයක්” ඉදිකිරීම සමග අද දවසේ ගෙස්ටාපෝවක් ලෙස ක්‍රියාත්මක වන දේශසීමා පාලන ඒජන්තයින්ට පැනවී ඇති සීමා බාධා ඉවත් කිරීමට ට‍්‍රම්ප් පොරොන්දු වෙයි.

ට‍්‍රම්ප් පාලනාධිකාරිය මේ වන විටත් දසදහස් ගනනක් පිටුවහල් කර ඇති අතර සංක‍්‍රමනික හා දේශසීමා පාලන නිලධාරීන් දහස් ගනනක් බඳවා ගැනීමට සැලැසුම් කර යි. ඔබාමා යටතේ පිහිටුවන ලද විශාල රැුඳවුම් මධ්‍යස්ථාන ප‍්‍රමානයෙන් දෙගුන කෙරෙමින් තිබෙන අතර ෆෙඩරල් ආන්ඩුව පොලීසිය සමග සංක‍්‍රමනිකයන් වැටලීමට රට පුරා වැඩ කරමින් සිටී. ට‍්‍රම්ප් පාලනාධිකාරය වොයිස් නමින් වැඩසටහනක් ස්ථාපිත කර ඇත, එහි අරමුන වන්නේ 1930ස් ගනන්වල යුදෙව් විරෝධී අපරාධකරුවන්ට එරෙහිව නාසීන්ගේ මාධ්‍යය ගෙන ගිය ප‍්‍රහාරයට සමාන ආකාරයකින් අපරාධ චෝදනා සමගින් සංක‍්‍රමනිකයන් ප‍්‍රසිද්ධියේ හෙලා දැකීම යි.

සරනාගත අර්බුදය අධිරාජ්‍යවාදය හා යල්පැනගිය ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියේ නිර්මිතයකි.

එක්සත් ජනපද කාන්තාරවල මියයන දිලිඳු පුද්ගලයන් දහස් ගනන් පලා යමින් සිටින්නේ, අධිරාජ්‍යවාදී කොල්ලය හා ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් මගින් දශක ගනනාවක් තිස්සේ ඇති කෙරුනු දුප්පත්කම හා යුද්ධය නිසාය. එක්සත් ජනපදය මුලු මධ්‍යම ඇමරිකානු බිම් තීරුවේ ම ව්‍යසනය පැතිරුවේ ඒකාධිපතියන්ට පිටුබලය දෙමින්, ඝාතක කල්ලිවලට අරමුදල් සපයමින්, හා 1970, 1980 හා 1990 ගනන්වල සිය ගනනක් මරනයට පත් කල සිවිල් යුද්ධයේ ගිනිදැල් පතුරුවා හරිමිනි.

මංමුලාසහගත ලෙස යුරෝපයේ සරන පතමින් හා දහස් ගනනින් මධ්‍යධරනී මුහුදේ ගිලෙමින්, සිරියාව, ලිබියාව, යේමනය, ඉරාකය, සෝමාලියාව හා වෙනත් තැනක එක්සත් ජනපදය පිටුබලය දෙන යුද්ධවලින් වාර්තාගත සංඛ්‍යාවක් සරනාගතයින් පලා යන මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ ද කතාන්දරය එකම ය. 2015දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙර නො වූ විරූ ලෙස මිලියන 65.3ක සරනාගතයන් සිටින බව වාර්තා කලේ ය, එම සංඛ්‍යාව එක්සත් රාජධානියේ මුලු ජනගහනට වඩා වැඩි ය.

තාක්ෂනයේ වර්ධනයන් මනුෂ්‍ය ලෝක අන්තර් සම්බන්ධතා මට්ටකට ගෙන විත් ඇත. වසර 30කට පමන පෙර දී එය සිතා ගැනීමට පවා නොහැකි වන්නට තිබුනි. ජංගම දුරකතන, අන්තර්ජාලය, ගෝලීය සැපයුම් ජාලයන් හා ප්‍රවාහනයේ ඉදිරි ගමන්වල අර්ථය වන්නේ, ලෝකයේ ඉතාමත් හුදකලා ගමක වැසියන්ට ලෝකයේ මහා නගරවල මිතුරන් හා ලබැඳියන් සමග සන්නිවේදනය කල හැකි බව මෙන්ම ඇඟිල්ලක තට්ටුවකින් ලෝක සිදුවීම් උගත හැකි බව යි.

නමුත් මානව ප‍්‍රගතිය සඳහා වන විභවය වලක්වනු ලබන්නේ අතලොස්සක් සූරාකන්නන් ලෝකයේ නිෂ්පාදන බලවේග පාලනය කරන අතර ආන්ඩුවල ප‍්‍රතිපත්ති නියම කරන්නේය යන කාරනය විසිනි.

මෙහි ප‍්‍රතිඵලයක් වසයෙන්, ජාතික රාජ්‍යයන් අතර ගැටුම් උග‍්‍රවන අතර තුන්වැනි ලෝක යුද්ධය ක්ෂනික හැකියාවක් වී ඇත. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප‍්‍රන්සය, ජර්මනිය හා අන් තැනක ආන්ඩු තුලට ඔසවා තැබෙන අන්ත දක්ෂිනාංශික පක්ෂ, අසමානතාව හා දරිද්‍රතාවට වන විරුද්ධත්වය හරවනු ලබන්නේ සංක‍්‍රමනිකයන්ට එරෙහිව ය. ජාතික ශ්‍රේෂ්ටත්වයේ ධජය යටතේ සෑම ප‍්‍රධාන බලවතෙකු ම, ඔහුගේ 1934 ජාතිකවාදය හා ආර්ථික ජීවිතය නම් රචනාව තුල ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි “තම ආරක්ෂාව සොයන්නේ රේගු බාධක හා බයිනෙත්තු වැටවල පිහිටෙනි.”

සමාජවාදී සමානතා පක්ෂය ලෝකය තරඟකාරී ජාතික රාජ්‍යවලට බෙදීමට විරුද්ධ වන අතර මෙම යල්පැනගිය පද්ධතියේ විෂකුරු සංකල්පය වන ජාතික රාජ්‍යයේ සියලුම රූපාකාරයන්ට ද විරුද්ධ වෙයි. 18වැනි සියවසේ දාර්ශනිකයෙකු වූ මොන්ටෙස්ක්යූ පැවසූ පරිදි, “මම අවශ්‍යයෙන් ම මිනිසෙක්මි, අහම්බෙන් පමනක් ප‍්‍රන්ස ජාතිකයෙකු වෙමි.” වීසා, ගමන් බලපත‍්‍ර, හෝ හිරහැරකිරීම හෝ පිටුවහල් කිරීමේ තර්ජනයෙන් තොරව, ඔවුන් තෝරා ගන්නා පරිදි සියලු ම පුද්ගලයන්ට සුරක්ෂිත ලෙස සංචාරය කිරීමට ඇති අයිතිය සසප අවධාරනය කරයි.

ලෝක ජනගහනයෙන් ඉතා කුඩා කන්ඩායමක් ධනය පාලනය කරන අතර බයිනෙත්තු “එමෙන් ම න්‍යෂ්ටික අවිවලින් තම ආරක්ෂාව සොයන තාක් දුරට මෙය අත්පත් කර ගත නො හැක. ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර ස්වභාවය ලෝක කම්කරු පන්තියේ ද්‍රව්‍යමය අවශ්‍යතාවන් සමග සුසංයෝගයට ගෙන ඒමට අවශ්‍යවන්නේ ලෝක සමාජවාදී විප්ලවයකි.

එරික් ලන්ඩන්

Share this article: