ට‍්‍රම්ප් විසින් කොමී පහකිරීම : පන්ති පාලන අර්බුදයේ නව අවධියක්

Trump’s firing of Comey: A new stage in the crisis of class rule

2017 මැයි 11

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී ධුරයෙන් පහකිරීම එක්සත් ජනපද දේශපාලන පද්ධතියේ දිග්ගැසුනු අර්බුදයේ නව අවධියක් සලකුනු කරයි. විදේශ පිලිවෙත පිලිබඳ, විශේෂයෙන්ම රුසියාව සම්බන්ධයෙන්, පාලක පන්තිය ඇතුලත පවතින ගැටුම් මත කේන්ද්‍රගතවූ දේශපාලන යුද්ධය ඉහල යෑමත් සමග පසුගිය අඟහරුවාදා කොමීගේ ඉවත්කිරීම සිදු කොට ඇත.

ප‍්‍රධාන ඩිමොක‍්‍රටිකයන් සහ ඇතැම් රිපබ්ලිකානුවන් රුසියාව හා ට‍්‍රම්ප්ගේ ක‍්‍රියා කලාපය අතර සම්බන්ධතා විභාග කිරීම පිනිස ස්වාධීන කොමිසමක් හෝ විශේෂ නීතිඥයෙකු කැඳවුම් කරමින් සිටී. ඊයේ සවස (බදාදා) සෙනෙට් බුද්ධි අංශ කමිටුව රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමග සම්බන්ධතාවයන්ට අදාල තොරතුරු ඉල්ලා සිටිමින් ට‍්‍රම්ප්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් ට සිතාසියක් නිකුත් කොට ඇති බව නිවේදනය කලේය.

රාජ්‍ය යාන්ත‍්‍රනය මත සිය පාලනය ශක්තිමත් කරගැනීමට මංමුලා සහගත උත්සායක යෙදී සිටින දේශපාලන අර්බුදයට පත් පරිපාලනයක සියලු ලක්ෂන කොමී ධුරයෙන් පහකිරීම සඳහා ට‍්‍රම්ප් ගත් තීරනය තුල පවතී. තමා ධුරයෙන් පහ කිරීමට පෙර, ජනාධිපතිවරනයට අදාල තොරතුරු රුසියාව විසින් හොර රහසේ ලබා ගත්තේ යැයි, කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් වූ විමර්ශනය කරගෙන යාමට අවශ්‍ය වැඩිදුර මූලාශ‍්‍ර අධිකරන දෙපාර්තමේන්තුවෙන් කොමී ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියානු විරෝධී ව්‍යාපාරයේ පෙරමුන ගෙන ඇති නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, 1973 ඔක්තෝම්බරයේ දී සිදුවූ “ශනිදා රාත‍්‍රී සංහාරය” සහ වොෂිංටනයේ දැන් දිගහැරෙමින් පවතින සිද්ධීන් අතර සමාන්තරයන් දකී. වෝටර්ගේට් අර්බුදය මධ්‍යයේ දී නික්සන් විසින් තම නීතිපතිට සහ නියෝජ්‍ය නීතිපතිට ඉල්ලා අස්වන ලෙස (1973 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා රාත‍්‍රියේ- පරිවර්තක) බල කලේය. පසුව ඔහු වෝටර්ගේට් සිද්ධිය විමර්ශනය කිරීම සදහා පත් කල විශේෂ නීතීඥ ආර්කිබෝල්ඩ් කොක්ස් ද ධුරයෙන් පහකලේය. “සතුරු විදේශ බලයක් විසින් එනම් රුසියාව විසින් සත්‍යවශයෙන්ම ජනාධිපතිධුරය සොරකම් කලේද” යන්න තහවුරු කර ගැනීමට විමර්ශනයක් අවශ්‍ය වන බව ටයිම්ස් ප‍්‍රකාශ කලේය.

වෝටර්ගේට් සිද්ධිය සහ වත්මන් ගැටුම අතර සාම්‍යයක් පවතී නම් එම සාම්‍යය වන්නේ එම සිද්ධීන් දෙකෙන්ම පන්ති පාලනයේ දැවැන්ත අර්බුදයක් ප‍්‍රකාශයට පත්වීමයි. කෙසේ වුවද, වෝටර්ගේට් සිද්ධිය මෙන් නොව, වත්මන් ගැටුම තුල කවර පාර්ශ්වයක් විසින් හෝ, තහවුරු කෙරුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයක් සීමිත වශයෙන් හෝ නියෝජනය නොකරයි.

ට‍්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකානු දේශපාලනය තුල නව යමක් එනම්, ෆැසිස්ට්වාදී මැර කල්ලියක් විධායක බලයේ මුදුනට එසවී ගත් බවක්, නියෝජනය කරන බවට කිසිදු සැකයක් නැත. ට‍්‍රම්ප් විසින් කතිපයාධිකාරයේ විවෘත හා නග්න පාලනය පුද්ගලාරෝපනය කරයි.

කෙසේ වුවද, ට‍්‍රම්ප් අහසින් කඩා පාත් වූවකු නොවේ. ඔහු වනාහි, සොරකම් කෙරුනු 2000 මැතිවරනය තුලින් හැරවුම් ලක්ෂයක් කරා ලඟා වූ දිග්ගැසුනු දේශපාලන පරිහානියේ නිශ්පාදිතයෙකි. බහුතර මහජන ඡන්දයෙන් අල්ගෝර්ට පරාජය වූ බූෂ් ට ජනාධිපති පුටුවේ අසුන් ගැනීමට ඉඩ සලසමින් දක්ෂිනාංශික බහුතරයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරනය හරහා ජනාධිපතිත්වය මංකොල්ල කෑ අවස්ථාවේදී ඩිමොක‍්‍රටික් පක්ෂයට එයට එරෙහිව නැගී සිටීමට නොහැකි විය.

බුෂ් පාලනයේ අට වසර, යුදමය (ඉරාකයේ), සමාජමය (කැට්රිනා චන්ඩ මාරුතය), සහ ආර්ථික (2008 වෝල්වීදිය බිඳවැටීම) ආදී බහුවිධ විනාශයන් තුලින් සමාප්ත විය. ධුරයෙන් ඉවත්ව ගිය, නික්සන් ගෙන් පසු වඩාත්ම වෛරයට පාත‍්‍ර වී ඇති ජනාධිපති වූ බුෂ්ගේ අට වසරක පාලනයෙන් පසු පාලක ප‍්‍රභූවට යහපත් මුහුනුවරක් ලබා දීමට ඔබාමා බලයට ගෙන එන ලදී. 2008 ආර්ථික හා මූල්‍ය බිඳවැටීම හේතුවෙන් පැනනැගි සමාජ අතෘප්තිය මැඩපවත්වා විවිධ මාවත් ඔස්සේ හරවා යැවීම එහි ඉලක්කය විය. නමුත් ඔබාමාගේ ප‍්‍රතිපත්ති වල අන්තර්ගතය වූයේ විදේශයන්හි එජ යුද ආක‍්‍රමනයන් ප‍්‍රසාරනය කිරීම සහ කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වලට දේශීය වශයෙන්ම (සිය රට තුලම) එල්ල කෙරෙන ප‍්‍රහාර තීව‍්‍ර කිරීමය.

වෝල්වීදියේ මහා පරිමාන ලාභයන්ට තියුනු ලෙසම පරස්පරව අඛන්ඩව පහල ගිය වැඩකරන ජනතාවගේ සමාජ කොන්දේසි මහජන කලකිරීම හා අතෘප්තිය සිය වාසියට හරවා ගැනීම සඳහා ට‍්‍රම්ප්ට වේදිකාව සකස් කලේය.

පාලක පන්තිය සම්බන්ධයෙන් ගත් කල, ට‍්‍රම්ප් පරිපාලනය තුල ප‍්‍රකාශයට පත්වන ව්‍යවස්ථාමය පාලන රූපාකාරයන්ගෙන් බිඳී වෙන්වීම අන්තරායන්ගෙන් පිරි එකකි. පාලක පන්තිය ඇතුලත පවත්නා උත්සුකයන් ප‍්‍රකාශයට පත් කරමින් හිටපු බුෂ් ආධාරකරුවෙකු වන පීටර් වේනර්, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට මෙසේ ලිවීය: ට‍්‍රම්ප් යනු ”සම්මතයන් සහ සම්ප‍්‍රදායන් තුල රැඳවිය නොහැකි ප‍්‍රතිලිබරල්වාදී ප‍්‍රවනතාවයන්ගේ මිනිසෙකි. ඔහු බලය යහපත් පරිදි භාවිතා නොකරනු ඇත. නමුත් අඥාන ලෙස, නොසැලකිලිමත් ලෙස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන හා අපේ ආන්ඩුව කෙරෙහි ඇති විශ්වාසයට හානි පමුනුවන ආකාරයට බලය භාවිතා කරනු ඇත.”

ක්ලින්ටන් පරිපාලනයේ හිටපු නිලධාරියෙකු වූද, කිසින්ජර් ඇසෝසියේට්ස් සමාගමේ හිටපු කලමනාකරන අධ්‍යක්ෂ වූද, ෆොරීන් පොලිසි සඟරාවේ කර්තෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රොත්කොෆ් එම සඟරාවට ලියමින් මෙසේ අනතුරු ඇඟවීය. ට‍්‍රම්ප් යටතේ “බනානා සමූහාන්ඩුවක ඇති සියල්ල අපට ඇත. (බනානා සමූහාන්ඩුවක් යනු රටේ ආර්ථිකය තනි පුද්ගලයන් කිහිපදෙනෙකු අත තිබීමේ හේතුව මත දේශපාලන වශයෙන් අස්ථාවර කුඩා රටකි) “එජ බිහිකෙරුනු කේන්ද්‍රීය අදහස් වලට -කිසිදු තනි පුද්ගලයෙක් නීතියට ඉහලින් නොසිටි- පිටුපස හරවමින් සිටින අසමත් රාජ්‍යයක් ලෙස ලෝකය විසින් එක්සත් ජනපදය දැකගන්නාවූ” තත්ත්වයක් නිර්මානය කරමින් මරනීය අපකීර්තියකට පත්වීය හැකි අවදානම් සහිත ගමනක එජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යෙදී සිටින බව රොත්කොෆ් ලිවීය.

කෙසේ වුවද, සිරියාව තුල සහ රුසියාවට එරෙහිව වඩාත් ආක‍්‍රමනකාරී විදේශ පිලිවෙතක් සඳහා වූ ඉල්ලීම් වලට යොමු වූ, වඩාත් ප‍්‍රතිගාමී පදනමක් මත ඩිමොක‍්‍රටික් පක්ෂය ආරම්භයේ සිටම ට‍්‍රම්ප්ට විරුද්ධ වූ බව දේශපාලනමය වශයෙන් දැවැන්ත අර්ථභාරී සාධකයකි. මොස්කව්හි පුටින් තන්ත‍්‍රය රකුසෙක් බවට පත්කිරීම තුල ඩිමොක‍්‍රටිකයන් (ජෝන් මැකේන් බඳු දැඩි මතධාරී යුදවාදීන් සමග සම්බන්ධිත) මෙම ග‍්‍රහලෝකය න්‍යෂ්ටික මූලෝත්පාටනයට හේතු කාරක වන රුසියාව සමග මහා පරිමානයක යුද්ධයක් සඳහා පදනම් සකසමින් සිටී.

ට‍්‍රම්ප් පරිපාලනයේ පලමු සිව් මස තුල පැන නැගි ප‍්‍රධාන විරෝධතා තුලින් පුපුරා ගොස් ට‍්‍රම්ප් පරිපාලනයට එරෙහිව, කම්කරු ජනයා සහ තරුනයන් අතර පැන නැගී ඇති මහජන විරෝධයත් ඩිමොක‍්‍රටික් පක්ෂය හා මිලිටරි බුද්ධි අංශ එක්ව ගෙන යන ට‍්‍රම්ප් විරෝධි උද්ඝෝෂනයත් අතර නොපෑහිය හැකි සමාජ ආගාධයක් පවතී.

සංක‍්‍රමනිකයන් දඩයම් කිරීමේ ට‍්‍රම්ප්ගේ වැඩ පිලිවෙලට, දේශගුන විද්‍යාව මර්දනය කිරීමේ ඔහුගේ ප‍්‍රයත්නයට, පරිසර නීති අකුලා ගැනීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් ට එරෙහිව මිලියන ගනනින් පෙලපාලි ගොස් ඇත. ඔවුන් එෆ්බීඅයි ආරක්ෂා කිරීමට හෝ රුසියාව සමග යුද්ධයක් ඉල්ලමින් පෙලපාලි ගියේ නැත. නමුත් හමුදා බුද්ධි සංස්ථාපිතයේ බලවත් කොටස් සමගමත් සන්ධාන ගතවෙමින් මෙම ආස්ථානය තෝරා ගැනීමට ඩිමොක‍්‍රටික් පක්ෂය තල්ලු කෙරුනු පසුබිම එයයි. එය ට‍්‍රම්ප්ටත් වඩා බිය වන්නේ සමාජ පතුලින් නැග එන ව්‍යාපාරයකටයි. එහි එල්ලය වනුයේ පහලින් එන විරෝධතාවය පූර්ව භංග කොට ප‍්‍රතිගාමී මංපෙත් ඔස්සේ හරවා යැවීමයි.

පාලක පන්තිය අතර ගැටුමේදී ඊලඟට කුමක් වේදැයි නිශ්චිත නැත. නමුත් පන්ති පාලනයේ අර්බූදයක් යනු සමාජ විප්ලවයක පෙර නිමිත්තක් බව ඉතිහාසය විසින් පෙන්වා දෙයි.

කම්කරු පන්තිය සිය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සදහා, දේශපාලන සංස්ථාපිතයේ කවර හෝ පාර්ශ්වයක් පිටුපස පෙල ගැසීම ප‍්‍රතික්ෂේප කල යුතුය. ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යනු බිලියනපතියන්ගේ පක්ෂයන් ය. ද්විපක්ෂ ක‍්‍රමයෙන් දේශපාලනික වශයෙන් පරිපූර්නව ස්වාධීනවීමේ සහ සමස්තයක් ලෙස ලාභ පද්ධතියට එරෙහිව මෙහෙයවුනු තමාගේම විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තිය ට‍්‍රම්ප් පරිපාලනයට එරෙහි විය යුතුය.

පැට්‍රික් මාටින් විසිනි

Share this article: