හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 2017 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය දේශපාලන තක්සේරුවක්

A political appraisal of the ICFI’s 2017 International May Day Online Rally

2017 මැයි 02

2017 අප්‍රේල් 30 ඉරුදින පවත්වන ලද ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීමේ සැලකිය යුතු වර්ධනයක් සලකුනු කරයි.

2014 මැයි දිනයේ සිට සිව්වන වරට ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද මෙම රැලිය සඳහා, විවිධ රටවල් 50 ට වැඩි සංඛ්‍යාවක ශ‍්‍රාවකත්වයක් ආකර්ෂනය කර ගැනුනි. සැබැවින් ම, විවිධ කාල කලාප හරහා විකාශනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස, බොහෝ ශ‍්‍රාවකයින් රැලියට පසුව කතාවලට සවන් දුන් අතර, අනතුරුව ඔවුහු අන්තර්ජාලය මගින් ප‍්‍රතිචාර දැක්වූහ. මැයි දින රැලියට ෆේස්බුක් හෝ යූ ටියුබ් මගින් ප‍්‍රවේශ වූ ශ‍්‍රාවකත්වය, මුල් පැය 24 තුල ආසන්න වශයෙන් 7,500 ක් පමන විය.

සහභාගිත්වය ම රැලියේ දේශපාලන අන්තර්ගතය සුවිශේෂව විදහා දැක්වූ අතර, රටවල් හතකින් කථිකයන් 13 දෙනෙක් භාෂා හතරකින් කතා කලහ. සාමූහිකව, ඔවුහු ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ඓතිහාසික හා සමකාලීන දේශපාලන ප‍්‍රශ්න කෙරෙහි විප්ලවවාදී මාක්ස්වාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කලහ. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය ප‍්‍රමුඛතම විෂය විය. මෙම සමාකෘතිය තුල, ගෝලීය ආර්ථික අර්බුදය, දකුනු ආසියාවේ සමාජ සහ දේශපාලන තත්වය, බ්‍රෙක්සිට් හා යුරෝපීය සංගමයේ ඉරිතැලීම, ජාත්‍යන්තර සරනාගත අර්බුදය, එක්සත් ජනපද ධනවාදයේ දේශපාලන හා සමාජ අර්බුදය සහ ලතින් ඇමරිකාවේ පුපුරන සුලු කොන්දේසි කථිකයෝ විශ්ලේෂනය කලහ.

1970 න් පසුව ප‍්‍රථම වතාවට, ජාත්‍යන්තර කමිටුවේ මහජන රැස්වීමක්, ප‍්‍රන්සයේ අලුතෙන් පිහිටුවන ලද ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රන්ස ශාඛාව වන පාටි ඩි ලීගලිතේ සෝෂලිස්ට් (සමාජවාදී සමානතා පක්ෂය) අමතන ලදී. පීඊඑස් නායක ඇලෙක්ස් ලැන්ටියර්, ජාතික පෙරමුනේ නව ෆැසිස්ට් නායක ල පෙන් හා හිටපු බැංකු කරුවෙකු හා සමාජවාදී පක්ෂයේ හිටපු දක්ෂිනාංශික සාමාජිකයෙක් වූ එම්මානුවෙල් මැක්‍රොං අතර පැවැත්වෙන ජනාධිපතිවරනය ක‍්‍රියාකාරී වර්ජනයක් සඳහා පක්ෂයේ කැඳවුම පැහැදිලි කලේය.

බර්ලිනයේ හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) හි මාධ්‍ය ප‍්‍රකාශක, ස්වේන් ව’ම්ගේ කතාවක් ද රැලිය තුල අසනු ලැබිය හැකි විය. සසජාතශි හා ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝග් බබරොව්ස්කි විසින් නායකත්වය දෙනු ලබන ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය කිරීමට ජර්මන් ඉතිහාසය නැවත ලියනු ලැබීමේ දුෂ්ප‍්‍රයත්නයට එරෙහිව සටන් කර ඇත. ජර්මානු ට්‍රොට්ස්කිවාදීන් මෙම ඓතිහාසික සංශෝධනවාදයේ නියමාර්ථය පැහැදිලි කිරීමේ නිමග්නව සිටී. ඔවුන්ගේ උද්ඝෝෂනය ජර්මනියේ කේන්ද්‍රීය දේශපාලන ප‍්‍රශ්න තුලට වර්ධනයක් අත් කර ගෙන තිබෙන අතර ප‍්‍රධාන ධනේශ්වර පුවත්පත් සියල්ලට ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සසජාතශි බලපෑම කෙරෙහි ප‍්‍රකෝපිත ප‍්‍රකාශ පල කිරීමට බල කෙරී ඇත.

1917 රුසියානු විප්ලවය පූර්ව වසරවල ලෙනින්ගේ දේශපාලන සුධීමත්භාවයේ තීරනාත්මක අංගයක් වූ දේශපාලන පක්ෂ හා ප‍්‍රවනතාවල වර්ධනය කෙරෙහි සාවධාන අධ්‍යයනය තුල හමු වන ප‍්‍රකාශනය නම්, ඔහු එය වටහා ගත්තේ වඩා පුලුල් පන්ති බලවේගයන්ගේ මාරු වීමක් සහ චලනයන් පිලිබිඹු වීමක් ලෙස ය. මෙම මැයි දින රැලියේ දේශපාලන වැදගත්කම පරීක්ෂාවක් සඳහා මෙම ප‍්‍රවේශය අදාල කිරීමේ දී, අප මෙම සිදුවීමෙහි “සාර්ථකත්වය” වටහා ගැනීමට ප‍්‍රයත්න දැරිය යුත්තේ - ශ‍්‍රාවකත්වයේ ප‍්‍රමානය සහ න්‍යායාත්මක සහ දේශපාලන මට්ටමේ ඉහලභාවය; වෛෂයික සමාජ සංතතියක ප‍්‍රකාශනයක් ලෙස ය.

පසුගිය වසරේ දේශපාලනික සීමාසහිතතා මධ්‍යයේ වුවත් කම්කරුවන් හා තරුනයන් අතර රැඩිකලීකරනයක සංඥා දැක ගත හැකිව තිබිනි. එක්සත් ජනපදයේ වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ට ලැබුනු සහයෝගය හා ට‍්‍රම්ප් පරිපාලනයට එරෙහි විරෝධතා; ප‍්‍රන්සයේ ප‍්‍රතිගාමී කම්කරු “ප‍්‍රතිසංස්කරන” හා මැක්‍රොං හා ල පෙන් අතර “තේරීම” පලල් පරිමානයෙන් ප‍්‍රතික්ෂේප වීම; ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රයට එරෙහිව ඉතිහාසයේ විශාලතම එක් දින වැඩවර්ජනය; සහ චීනයේ පන්ති අරගලයන්ගේ සැලකිය යුතු වර්ධනයක් මීට ඇතුලත් ය.

මෙම රැඩිකලීකරනයේ වැදගත්ම සාධකය ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය වේ. 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසුව දශකයකට ආසන්න කාලයක් තිස්සේ පැවතෙන එය නව හා වඩාත් අන්තරායකාරී අවධියකට පිවිසෙමින් තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් පෙරමුන ගත්, ශතක කාලක නිමක් නැති යුද්ධය, විශාල වශයෙන් න්‍යෂ්ටික බලවතුන් පටලවන පෙර නොවූ විරූ සෘජු ගැටුමක් දක්වා වර්ධනය කර ඇත. ගෝලීය සමාජ අසමානතාව මෙලෙස ඉහලට ම යාමක් 20 වන ශතවර්ෂයේ ආරම්භයේ සිට දැක තිබුනේ නැත. පාලක පන්තිය පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රූපාකාරයන් අහෝසි කොට, මහා සංගත සහ මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ ඉල්ලීම්වලට එරෙහි සියලු විරෝධතාවන් මැඩ පැවැත්වීමේ රාමුවක් සකසා ගැනීම සඳහා සංක‍්‍රමනිකයන් බිල්ලට ගැනීමේ අන්ත ජාතිකවාදී සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන් කැඳවමින් සිටී. එක්සත් ජනපදය තුල, ට‍්‍රම්ප් පරිපාලනය නියෝජනය කරන්නේ කතිපයාධිකාරී පාලනයේ සැබෑ ස්වරූපය යි.

කෙසේ වෙතත්, තවමත්, ඉහල ම තත්වයේ පවතින ධනවාදයේ අර්බුදය හා කම්කරු පන්ති විඥානයේ වර්තමාන මට්ටම අතර දැවැන්ත පරතරයක් තිබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ඔහුගේ කථාවේ දී මෙම ප‍්‍රශ්න ආමන්ත‍්‍රනය කලේ ය:

ධනවාදය ආගාධයට ලුහුටා යද්දී, ලෝකයේ අස්සක් මුල්ලක් නෑර (බිලියන සංඛාත මානවයාගේ) කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය සඳහා ද එය කොන්දේසි නිර්මානය කරයි. සමාජ විඥානය සමාජ පැවැත්ම පිටුපසින් ගාටන බව සැබෑවකි. එහෙත් ඉන් අදහස් කෙරෙන්නේ, පවතින සමාජ ක‍්‍රමය පිලිබඳව කම්කරු පන්තිය අන්ධව සිටින බව නොවේ. එය ජනතාවට කිසිවක් පිලිගන්වන්නේ නැත. අන් සියල්ලටත් වඩා යහපත් අනාගතයක් පිලිබඳ බලාපොරොත්තුව...

ඔව් කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය පිලිබඳ අර්බුදයක් තිබේ. එහෙත් එය විසඳිය හැකි අර්බුදයකි. මක්නිසා ද යත්, සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා වෛෂයිකව පවත්නා ශක්‍යතාව ගැබ්කරගන්නා විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය වන නිසාය.

අද දින, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් පිටත කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩ නැගීම සඳහා උත්සුක වන කිසිදු දේශපාලන ප‍්‍රවනතාවක් නැත යි ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කලේ ය. “කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන හෝ විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්නේ යැයි කිව හැකි, යම්තමින් හෝ බරසාර වෙනත් සංවිධානයක් ලොව නොමැත,” යි ඔහු පැවසීය.

ලෝක ධනවාදයේ අර්බූදය පිලිබඳව බරපතල ඇගයුමක සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා මූලෝපායක් සහ ඉදිරිදර්ශනයක් වර්ධනය කරන ලෝකයේ කොතැනක හෝ පැවැති එකම මැයි දින රැලිය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ රැලිය ය යන්න දේශපාලන කරුනකි. සුලු ධනේශ්වර ව්‍යාජ-වම- හෝ පැබ්ලෝවාදී, රාජ්‍ය ධනවාදී, අරාජකවාදී හෝ අසංඛ්‍යාත වර්ගයන්ගේ ජාතිකවාදීන්, ජනවාර්ගික, වාර්ගික සහ ලිංග භේද දේශපාලනයේ නිරත සංවිධාන එකකටවත් කම්කරු පන්තියට ඉදිරිපත් කිරීමට ඉදිරිදර්ශනය හෝ ක‍්‍රියාමාර්ගය යැයි කිවහැකි කිසිවක් නිසැකව ම නොමැත. පසුගිය සතියේ හතරවන ජාත්‍යන්තරය සමග සහයෝගීව සිටින බව ප්‍රෝඩාකාරි ලෙස කියා ගන්නා පැබ්ලෝවාදීන්ගේ ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට් හි ප‍්‍රකාශයට පත් කරන ලද ලියවිල්ලක - ඔවුන් තමන්ගේ දේශපාලන බංකොලොත්කම පුදුම සහගත ලෙස අවංකව පිලිගනිමින්, මෙසේ කියයි: “එෆ්අයි (හතරවන ජාත්‍යන්තරය) කර තිබෙන්නේ කුමන මාදිලියක්දැයි පිලිබඳ මූලික අදහස පොදු වශයෙන් අපට අවබෝධ කර ගත නො හැකිය...”

විප්ලවවාදී මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදයේ එක ම නියෝජිතයා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වේ. එලඹෙන දිනයන් හි දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මැයි දින රැලියේ දි පැවැත් වු සියලු ම කථා පල කරනු ඇත. අපි අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ දේශපාලන වැඩපිලිවෙල වර්ධනය කිරීමට මාක්ස්වාදී න්‍යාය යොදාගෙන ඇති ඒ එක් එක් කථා ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කරන ලෙස ය.

ජෝසප් කිශෝර්

Share this article: