මක්‍රොංට එරෙහි අරගලයේ ඉදිරි මාවත කුමක් ද?

What way forward in the struggle against Macron?

2017 මැයි 9

07දා රාත්‍රියේ මැතිවරනය අවසන්වූ වහාම ප‍්‍රන්සයේ ජනාධිපති ලෙස පත්වූ එමෑනුවෙල් මක්‍රොංගේ කටයුතු වලින් හෙලිදරව් වන්නේ, ඔහු ප‍්‍රජාතන්ත‍්‍රය සුරකිමින් නව නාසිවාදී ජාතික පෙරමුනේ (එෆ්එන්) නැගීම වලක්වනු ඇතැයි යන ප‍්‍රචාර ප්‍රෝඩාකාරී බවය. ඉරිදා ජයග‍්‍රහනයෙන් පසුව “ජාතික එකමුතුවේ” නාමයෙන් පැවැත්වූ කථාවෙන් මක්‍රොං, එෆ්එන් හා එහි පරාජයට පත්වූ අපේක්ෂක මරී ල පෙන්ට එක හඬින්ම “සමූහාන්ඩු ආචාරය” පුදකලේය.

සඳුදා ඔහුගේ සංක‍්‍රමන කන්ඩායම, මක්‍රොං ද ඇමතිවරයෙක්වූ, බලයෙන් ඉවත්වන ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද්ගේ සමාජවාදී පක්ෂ (පීඑස්) ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටි වැඩපිලිවෙලම පුලුල් කරන ප‍්‍රතිගාමී න්‍යායපත‍්‍රය විස්තාරනය කිරීම ආරම්භ කලහ. ඔහු, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අත්හිටවු ප‍්‍රන්සයේ හදිසි නීතිය යටතේ පොලිස් බලමුලුගැන්වීම් දැඩි කරනු ඇත. ඔහු, ධනවතුන්ගේ බදු අඩු කිරීමටත් පොලිස් භටයින් හා සිර ගෙවල්වල ඇඳන් සංඛ්‍යාව වැඩිකිරීමටත් සිරියාවේ, ඉරාකයේ හා මාලි රටේ යුද්ධ අඛන්ඩව පවත්වාගෙන යාමටත් සැලසුම් කරයි.

මක්‍රොං සිය අගමැති ලෙස පත්කිරීමට සලකා බලමින් සිටින පුද්ගලයින් දෙස බලන විට පැහැදිලි වන්නේ, ඔහු දක්ෂිනාංශික ආන්ඩුවක් සඳහා සූදානම් වෙමින් සිටින බවයි. ඔවුන් අතර එල් හාවිහි ඩිගෝල්වාදී නගරාධිපති එඩුවාඩ් ෆිලිප්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී ක්‍රිස්ටිනා ලගාඩ් හා සමාජවාදී පක්ෂයේ දන්ඩමුක්තික ඝාතන වැඩසටහනේදී ඔලන්ද් සමග සමීපව වැඩ කල එම ආන්ඩුවේ ආරක්ෂක ඇමති ජීන් යෙව්ස් ලූදරියොං ද වෙති.

සියල්ලටත් වඩා මක්‍රොං කම්කරු පන්තිය සමග ගැටුමක් සැලසුම් කරයි. එහිදී ඔහු පීඑස්හි කම්කරු නීති මත පදනම්ව, ඒකපාර්ශවික ආඥා පැනවීමට අදහස් කරයි. එම නීති පැනවූයේ මහජන විරෝධතා හා ජනතාවගේ බලගතු විරුද්ධත්වය හමුවේය. ඒ යටතේ කම්කරු සාමූහික ගිවිසුම් ඉරා දමා වැඩකරන කාලය දිගුකොට සමාජ පිරිවැය කැපීම සිදුවිය.

නාසීන් සමග සහයෝගීව කටයුතු කල විචී තන්ත‍්‍රය සමග එක්ව සිටියවුන්ට මක්‍රොං සිය ආචාරය පුද කිරීම, ප‍්‍රන්ස ධනේශ්වරයේ සැබෑ ස්වරූපය හෙලිදරව් කරයි. ඒ, සෑමවිටම කම්කරු පන්තියට එරෙහිව සිය වරප‍්‍රසාද රැකගැනීමට ෆැසිස්ට් ප‍්‍රතිගාමීත්වය සමග සමීපයෙන් වැඩකිරීමට ඔවුන්ගේ ඇති සූදානමයි. ඔල්න්ද් කිහිප වතාවක් ල පෙන් එලිසි ජනාධිපති මන්ඳිරයට කැඳවා, සිය ආන්ඩුව කෙරෙහි වැඩෙමින් පැවති මහජන සතුරුකම මධ්‍යයේ එෆ්එන් නගාසිටවූ පරිද්දෙන්ම මක්‍රොං ද බලාපොරොත්තු වන්නේ, තම ප‍්‍රතිගාමී න්‍යායපත‍්‍රය සඳහා දේශපාලන පදනමක් ලෙස අන්ත දක්ෂිනාංශය නීත්‍යානුකූල කර නගාසිටුවීමටය.

මක්‍රොං කම්කරු පන්තියේ පුපුරන සුලු සමාජ විරුද්ධත්වයකට මුහුනපා සිටී. අපේක්ෂකයින් දෙදෙනාම කෙරෙහි නොකැමැත්ත පල කරමින් ජනතාවගෙන් සියයට 12ක් හිස් ඡන්ද පත්‍රිකා දැමීම හෝ ඡන්දය කටුගෑම සිදුකලහ. ජනතාවගෙන් විශාල කොටසක් ඡන්දය දීම ප‍්‍රතික්ෂේප කලහ. ඒ අතර වයස අවුරුදු 18-24 අතර වූවන්ගෙන් සියයට 34ක් ද වයස 25-34 අතර සියයට 32ක් ද රැකියා විරහිත අයගෙන් සියයට 35ක් ද අනියම් කම්කරුවන්ගෙන් සියයට 32ක් ද විය. මක්‍රොංට ඡන්දය දුන් අයගෙන් හරි අඩකට සමීප (සියයට 43) පිරිසක් පැවසුවේ, තමන් ල පෙන්ට විරුද්ධව මිස මක්‍රොංට පක්ෂව ඡන්දය නොදුන් බවයි. එසේම ජීන් ලූක් මෙලෙන්ෂොන්ට ඡන්දය දුන් අයගෙන් සියයට 40ක් දෙවැනි වටයේදී ඡන්දය පාවිච්චි නොකලහ.

මෙම වර්ධනයන්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රන්ස ශාඛාව වන සසප විසින් ගන්නට යෙදුන ආස්ථානයේ නිරවද්‍යතාව පෙන්නුම් කලේය. මක්‍රොං හෝ නියෝජිත මන්ත‍්‍රී මන්ඩලය තුල ඔහුගේ ආධාරකරුවන් සමග අත්වැල් බැඳගත් පාර්ලිමේන්තු සන්ධානය හෝ මක්‍රොං, එෆ්එන් ෆැසිස්ට්වාදයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගනු ඇතැයි යන මිත්‍යාවන්ට එරෙහිව එය ජනාධිපතිවරනයේ දෙවන වටය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියේය.

සසප කම්කරුවන්ට කියා සිටියේ මැතිවරනය වර්ජනය කර අපේක්ෂකයින් දෙදෙනාටම විරුද්ධව නැගී සිටින ලෙසයි. පක්ෂය එසේ කලේ, කම්කරු පන්තියේ දේශපාලන විඥානය නගා සිටුවා එලඹෙන අරගලයන්ට එය සූදානම් කිරීම පිනිසය. කම්කරු පන්තිය මුහුනදෙන දේශපාලන අර්බුදය විසඳාලිය හැකි මැතිවරන ක‍්‍රමෝපායන් ඇත්තේ නැති බව එය අවධාරනය කලේය. ඒ වෙනුවට මූලික ප‍්‍රශ්නය වන්නේ, මේ අරගලයන්හිදී කම්කරු පන්තියට අවශ්‍ය කෙරෙන විප්ලවවාදී නායකත්වය ගොඩනැගිය හැකි මාක්ස්වාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරදර්ශනයක් සම්පාදනය කිරීම බව එය අවධාරනය කලේය.

දශක ගනනාවක් තිස්සේ තමන් ප‍්‍රන්සයේ වාමාංශික දේශපාලනය නියෝජනය කරනවා යයි කියාගත් සමාජවාදී පක්ෂය හා ඒ වටා සිටින සංවිධානවලින් සසප වෙන්කරන්නේ පන්ති ආගාධයකිනි. ප‍්‍රන්ස දේශපාලන සංස්ථාපිතය කේන්ද්‍රගතව තිබෙන පීඑස් හා දක්ෂිනාංශික එල්ආර් යන දක්ෂිනාංශික රිපබ්ලිකානුවන් හෝදාපාලු වෙද්දී, මෙම කන්ඩායම්, ප‍්‍රතිරෝධය විසුරුවා හැර එය මක්‍රොං පිටුපස පෙල ගස්වන ආවෘත අන්තරයකට කම්කරු පන්තිය ඇද දමති.

ජීන් ලූක් මෙලෙන්ෂොන්ගේ හිස නොනමන ප‍්‍රන්සය (යුඑෆ්) ව්‍යාපාරය, ස්ටැලින්වාදී ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය (පීසීඑෆ්) හා නව ධනේශ්වර විරෝධී පක්ෂය වැනි බලවේග කම්කරුවන්ට සටන් කල හැකි කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීම ප‍්‍රතික්ෂේප කරති. ජූනි 11 හා 18 දිනයන්හි ව්‍යවස්ථාදායකයේ මැතිවරනයකට ප‍්‍රන්සය සූදානම් වෙද්දී ඔවුන්, විවිධ ධනේශ්වර ගැති පාර්ලිමේන්තු සන්ධාන වලට කම්කරු පන්තිය ගැටගැසීමට වලි කති.

දෙවන වටයට පෙර මෙලෙන්ෂොන්, මක්‍රොංගේ අගමැති ලෙස සේවය කිරීමට කැමැත්ත පල කල අතර දැන්, “නව පාර්ලිමේන්තු බහුතරයක්” ගොඩනැගීමේ අටියෙන්, “සමාජ හා පාරිසරික මානවවාදයේ” පදනම මත ව්‍යවස්ථාදායක මැතිවරනයට ඉදිරිපත් කරන යූඑෆ් අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියි. පීසීඑෆ් නායක පියරි ලොහොන් සඳුදා, “නව වමේ උපතක් පොරොන්දු වන අයට අප්‍රේල් 23දා ඡන්ද පෙට්ටි පුරවමින් සහාය දෙන” ලෙස කියා සිටිමින් ඇඟවුම් කලේ, ඔවුන් මෙලෙන්ෂොන්ගේ ව්‍යාපාරයට හුරේ දමන තැනට පැමින සිටින බවයි.

එන්පීඒ කියන්නේ, “අපගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා එකමුතුවේ පෙරමුනක්” ගොඩනැගිය යුතු බවය. මක්‍රොං සිරියාවේ ආක‍්‍රමනකාරී යුද්ධය ඉදිරියට ගෙනයන තාක් දුරට ඔහුට සහාය දෙන බව, ඔහු ගැන කරන කුමන විවේචන තිබුන ද එම යුද්ධයේ ආධාරකරුවෙකු වන එන්පීඒ කියයි.

මෙම යෝජනා වනාහි, කම්කරු පන්තිය මත පීඑස් සමග බැඳී සිටින සංවිධානවල ආධිපත්‍යය පවත්වාගෙන යාම අරමුනු කරගත් නරුම හා ප‍්‍රතිගාමී උපාමාරුය. ඔවුන් කිසිදු අයුරකින් බලය ගැනීම සඳහා කම්කරු පන්තියට විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් නොකරනවාක් මෙන්ම මක්‍රොං කෙරෙහි සමාජ විපක්ෂය ලෙස පෙනී සිටිනවාය යන ල පෙන්ගේ වාචාල ප‍්‍රකාශයන්ට අභියෝග නොකර යන්ට හරියි. තමන්ගේ සමාජ සේවා, සෞඛ්‍ය පහසුකම් හා රැකියාවන්ට පහරදීම සම්බන්ධයෙන් පිලිතුරු බලාපොරොත්තු වන හා පීඑස්, මෙලෙන්ෂෝන් හා එන්පීඒ සංවිධාන වලට ඒවා සම්පාදනය කර දීමට පවතින නොහැකියාව ගැන දන්නා නිසා ල පෙන්ට ඒ වෙනුවෙන් ඡන්දය දුන් බොහෝ කම්කරුවන් සමාජවාදයේ බැනරය යටතේ යලි පෙල ගස්වා ගැනීම සඳහා කිසිදු මූලෝපායක් ඔවුන් ඉදිරිපත් කරන්නේ ද නැත. ජනාධිපතිවරනයේ අවසන් වටයට ඔන්න මෙන්න කියා තිබියදී එන්පීඒ විසින් නිකුත් කරන ලද අවසන් ප‍්‍රකාශයෙන් හෝ මක්‍රොංගේ ජයග‍්‍රහනයෙන් පසුව පල කල පලමු ප‍්‍රකාශයෙන් හෝ “සමාජවාදය” යන වචනය ඇහිඳ ගැනීමට නොහැකිවීම සැලකිය යුතුය.

තමන් “වමේ” යයි කියාගන්නා සංස්ථාපිතයේ කිසිදු පක්ෂයක් සතුව, වැඩකරන ජනතාවට ඉදිරිපත් කිරීමට කිසිවක් ඇත්තේ නැත. ට්‍රොට්ස්කිවාදය හා විප්ලවවාදී මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කිරීමේ පදනම මත හතරවන ජාත්‍යන්තරයෙන් බිඳී ගිය පක්ෂවල බංකොලොත්කමේ නිමැවුමකි මේ අවෘත අන්තරය. ඔවුන් 1968 මැයි ජූනි මහ වැඩවර්ජනයෙන් ඉක්බිතිව 1971 සිට සමාජවාදී පක්ෂයේ පදනම් වලටම ගැටගැසී සිටින අතර ඔවුන් නිර්මානය කර ඇත්තේ, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී බලමුලූ ගැන්වීමක් පදනම් කරගත් කිසිදු අව්‍යාජ ප‍්‍රගතිශීලී විකල්පයකින් කම්කරු පන්තිය ඉවත් කල දේශපාලන රාමුවකි. 1976දී පීඑස්ට බැඳුන මෙලෙන්ෂොන්, ජනාධිපති ප‍්‍රන්සුවා මිතරොංගේ ප‍්‍රමුඛ උපදේශකයෙකු බවට පත්වෙමින්, පීසීඑෆ් සමග එක්ව 2008දී වාම පෙරමුන ගොඩනැගීම පිනිස පීඑස් හැර යාමට පෙරාතුව එහි සෙනේට් සභිකයෙකු ලෙස ද කටයුතු කලේය.

මතු කෙරෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය නම් කම්කරු පන්තියේ විප්ලවකාරී මාක්ස්වාදී නායකත්වයක් ගොඩනැගීමයි. ප‍්‍රන්සය හා යුරෝපය පුරා පාලක පන්තිය හා කම්කරුවන් අතර පුපුරන සුලු සමාජ ගැටුම් සූදානම් වෙමින් තිබේ. මෙම අරගල වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව සංවිධානය කල යුතු අතර විප්ලවවාදී ඉදිරිදර්ශනයකින් ඒවා සන්නද්ධ කල යුතුය.

රුසියානු විප්ලවයෙන් සියක් වසරකට පසුව සසප අවධාරනය කරන්නේ, කම්කරු පන්තියට ඇති එකම ඉදිරි මාවත, විප්ලවවාදී මාවතට යලි පිවිසීම පමනක් බවයි. සසප තෙමේ කම්කරු පන්තියේ විප්ලවවාදී පෙරටු බලඇනිය බවට පත්විය යුතුය. හජාජාක විසින් ආරක්ෂා කරන ලද ට්‍රොට්ස්කිවාදයේ උරුමය, 1917 ලෙනින් හා ට්‍රොට්ස්කිගේ බොල්ශෙවික් පක්ෂයෙහි සමාජවාදය හා ජාත්‍යන්තරවාදය පිලිබඳ නියෝජිතයෝ ඔවුහුය. මක්‍රොං පිලිබඳ අපේ විශ්ලේෂනය සමග එකඟ වන කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ සසපට ද එහි ක්‍රියාමාර්ගයට ද සහාය දක්වමින්, පක්ෂය ප‍්‍රන්සය තුල කම්කරු පන්තියේ දේශපාලන පෙරටු බල ඇනිය ලෙස ගොඩනැගීමේ අරගලය හා එක්වන ලෙසයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: