ජනාධිපති සිරිසේනගේ කැබිනට් මාරුව ආන්ඩුවේ ප‍්‍රහාර උත්සන්න කිරීමේ අලුත් උපාමාරුවක්

2017 මැයි 25

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග ගෙන යන “එකමුතු ආන්ඩුවේ” අර්බුදය හා ගැටුම් විසඳා ගැනීමේ ප‍්‍රතිකර්මයක් ලෙස හුවා දක්වමින් සඳුදා කැබිනට් ඇමැතිකම්වල වෙනස්කම් කීපයක් සිදු කලේය. මාස ගනනක් ඇමති මාරුව ගැන තෙපරබාද්දී සිරිසේන ඇඟවූයේ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් ඉවත් කිරීමේ පෙරලියක් කරන බවයි. මහජනයාගේ ඇස්වලට වැලි ගසමින් සිදුකල මේ ඇමති මන්ඩල සංශෝධනය සලකුනු කරන්නේ කප්පාදු වැඩපිලිවෙල වේගයෙන් ඉදිරියට ගෙන යාමට හා ඊට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන විරෝධය තලා දැමීමට ආන්ඩුව ඒකාග‍්‍ර කර ගැනීමේ සීරුමාරුවීමකි.

සිරිසේන ජනාධිපති පදවියට පත් කෙරුනු 2015 ජනාධිපතිවරනයෙන් මේ ආන්ඩුව බලයට ආවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයට එරෙහිව නැගී තිබුනු මහජන අප‍්‍රසාදය ගසාකෑම සඳහා සිරිසේන, වික‍්‍රමසිංහ සහ ඔවුන් වටා ගොනුවූ පක්ෂ හා ව්‍යාජ වාම කන්ඩායම් “යහපාලනය” ඇති කිරීම, ආර්ථික සංවර්ධනය, ජීවන හා සමාජ තත්වයන් නගා සිටුවීම ගැන පොරොන්දු රොත්තක් ඇදබෑහ. සිරිසේන එම කුහක පොරොන්දු දුන්නේ රාජපක්ෂගේ පාලනය දක්වා ආන්ඩු ගනනාවක ඇමතියෙක් ලෙස කම්කරුවන්ට හා දුගීන්ට ප‍්‍රහාර එල්ල කිරීමට දායක වීමෙන් පසුවයි. වික‍්‍රමසිංහට ඇත්තේද එබඳු ම කුප‍්‍රකට වාර්තාවකි.

වත්මන් ආන්ඩුවේ ආයු කාලය අවුරුදු දෙක හමාරකට ආසන්න වන විට මහජනයාට අත් දකින්නට ලැබී ඇත්තේ ආර්ථික අර්බුදය ගැඹුරුවීම, සමාජ හා ජීවන කොන්දේසිවලට අතොරක් නැතිව ප‍්‍රහාර එල්ල කිරීම සහ ඊට විරුද්ධව නැගෙන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල මැඩීමට පොලිස් මර්දනය උසි ගැන්වීමයි.

ආන්ඩුවට එකතුවී සිටින වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සිරිසේනට හිතවත් කන්ඩායමේ මන්ත්‍රීන් මහජන විරෝධය නැගෙන තතු තුල ආන්ඩුවේ අසාර්ථක කම ගැන එකිනෙකාට විරුද්ධව ප‍්‍රසිද්ධියේ බැන අඬගසා ගනිති.

කැබිනෙට්ටුවේ ඇතිකල ප‍්‍රධාන වෙනසක් නම් මුදල් ඇමතිකම රවි කරුනානායකගෙන් මංගල සමරවීරට මාරුකර, ඔහුගේ විදේශ ඇමතිකම කරුනානායකට පැවරීමයි. රටේ සියලු ආර්ථික ව්‍යාධීන් මුදල් ඇමති වූ කරුනානායකගේ ඇඟට කැපීමට ආන්ඩුවේත් විපක්ෂයේත් චෝදනා එල්ල වූයේ ඒවා ඔහුගේ පුද්ගලික වැරැද්දකින් පැන නැගුනු ඒවා බවට අඟවමින් ධනපති ක‍්‍රමයේද පන්ති පාලනයේ ද වගකීම වහංගු කිරීමටයි. ආන්ඩුවේ බොහෝ ඇමතියන් මෙන්ම කරුනානායක ද දුෂිතකම් ගැන චෝදනා ලැබූවෙකි.

කරුනානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියම කල කප්පාදු වැඩපිලිවෙල දිගටම ගෙන ගිය අයෙකි. එහෙත් එම ප‍්‍රහාර ගැඹුරු කරන ලෙස ජාමුඅ නියෝග කරන තතු යටතේ, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ භූදේශපාලන උවමනාකම් වලට මනාව සේවය කරන්නෙක් ලෙස කුප‍්‍රසිද්ධ සමරවීර මුදල් ඇමති කමට පත් කිරීමේදී එම ඉල්ලීම් ඉටු කිරීමට මනා සමර්තයෙක් ලෙස සැලකුවාට සැක නැත. සමරවීර පත් කිරීම ගැන සතුටු වෙමින්, ලංකා වෙලඳ මන්ඩලයේ සභාපති සමන්ත රනතුංග, “අපේ ප‍්‍රධාන බලාපොරොත්තූන් නම් ප‍්‍රතිපත්ති අඛන්ඩව හා ධෛර්යමත්ව ක‍්‍රියාත්මක කිරීමයි” යනුවෙන් ප‍්‍රකාශ කලේ එම සමර්ථකම සලකා ගෙන විය යුතු ය.

අනෙක් වැදගත් වෙනස් කිරීමක් වූයේ මහින්ද සමරසිංහට වරාය ඇමතිකම හා ඉන් ඉවත් කල අර්ජුන රනතුංගට ඛනිජ සම්පත් සංවර්ධනය පිලිබඳ ඇමතිකම පැවරීමයි. මෙම වෙනස් කිරීම ආන්ඩුවේ ආර්ථික හා භූදේශපාලන උවමනාකම් මත සිදු කෙරුනකි.

රනතුංග හම්බන්තොට වරායේ වැඩි කොටස් ප‍්‍රමානයක් චීන මර්චන්ට්ස් පෝට්ස් හෝල්ඩින්ග්ස් සමාගමට විකිනීමට විරුද්ධ වූයේ ඉන් රටේ “ස්වාධිපත්‍යයට” හානි වන බව කියමිනි. ඔහු විදේශ සමාගම්වලට ආන්ඩුවේ ආයතන විකිනීමට හා පුද්ගලීකරනයට විරුද්ධ නැත. ආන්ඩුව බලාපොරත්තු වුයේ චීන නයකින් තැනූ වරාය එරට සමාගමකට විකුනා නය බේරීමට ය. තවමත් මේ ගනුදෙනුව ඇද්දීයාම ගැන චීනය උත්සුකය පලකර ඇත.

එලෙසම, ත්‍රීකුනාමලයේ ඇති බ්‍රිතාන්‍ය විජිත සමයේ තැනු තෙල් ටැංකි දකුනු ආසියාවේ ප‍්‍රධාන තෙල් ගබඩා සංකීර්නයක් ලෙස “සංවර්ධනය කිරීමට” ඉන්දියාවට පැවරීමේ සැලසුම කලින් සිටි ඛනිජ සම්පත් ඇමති චන්දිම වීරක්කොඩි ප‍්‍රසිද්ධියේ විවේචනය කලේය. ඔහුට වෙන ඇමති කමක් දී රනතුංගට එය පැවරුයේ ඔහු ඉන්දියාව සමග ව්‍යාපෘතිවලට ප‍්‍රසිද්ධියේ පක්ෂව සිටි බැවිනි.

මාධ්‍ය විෂය සමරවීරට පවරා එය භාරව සිටි ගයන්ත කරුනාතිලකට ඉඩම් ඇමතිකම දී ඇත. සමරවීර ජන මාධ්‍ය ඇමති ලෙස මාධ්‍ය හා මාධ්‍යකරුවන් මැඩීම සම්බන්ධව කුප‍්‍රකට ඉතිහාසයක් ඇත්තෙකි. මහින්ද අමරවීර, එස්. බී. දිසානායක හා ඩබ්ලිවු. ඩී. ජේ. සෙනවිරත්න යන ශ්‍රීලනිප ඇමැතිවරුනට දකුනු, උඩරට උරුමය සහ සබරගමු සංවර්ධන විෂයයන් ද පවරා ඇත. මෙය සිරිසේනගේ ශ්‍රීලනිප කන්ඩායම තමන්ට ආන්ඩුවේ බලවත් තැන හිමිව නැති බවට කරන කන්කෙඳිරියට ඇලවූ පැලැස්තරයකි.

අලුත් ඇමතියන් දිවුරුම් දීමෙන් පසු සිරිසේන මෙසේ ප‍්‍රකාශ කලේය: “කැබිනෙට් සංශෝධනය කලේ නව ජවයකින් රට ඉදිරියට ගෙනයාමටයි.” කැබිනෙට්ටුවේ “සාමූහික වගකීමට” කැපවී මහජනයාගේ අපේක්ෂා ඉටු කිරීමට සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා කැපවන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

එහෙත්, මේ කැබිනට් සංශෝධනයෙන් ආන්ඩුවේ ආර්ථික හා දේශපාලන අර්බුදය කිසිසේත්ම විසඳෙන්නේ නැත. ගිය අවුරුද්දේ ආර්ථික වර්ධනය සියයට 4.4 දක්වා වැටුනු අතර අපනයන සියයට දෙකකින් අඩුවිය. මේවා අඛන්ඩ ප‍්‍රවනතා ය. රටේ විදේශ නය ඇමරිකානු ඩොලර් බිලියන 46ට නැගී තිබේ. පසුගිය වසරේ ගෙවුම් ශේෂ හිඟය ඩොලර් මිලියන 500කි.

බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ආන්ඩුවේ හරිබරිගැසීම පිටුපසින් පෙනෙනවාට වඩා දුරදිග යන සූදානම් වීමක් සිදුවේ.

ලෝක අර්බුදය තුල ලංකාවේ ධනපති ක‍්‍රමය ගිලී යද්දී ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ද මහ ව්‍යාපාරිකයන්ගේ ද න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැත. ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමට යයි දුන් ඇප නයේ තුන්වන කොටස ජාමුඅ විසින් අප්‍රේල් මාසයේ ඇන හිටුවනු ලැබුවේ ජූනි මාසයේදී නව බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් පුද්ගලීකරනය ඇතුලු ආර්ථික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දැමීමත් නොකල හොත් තවදුරටත් නය දීම කල් යන බවට තර්ජනය කරමිනි. උද්ගතව ඇත්තේ 2014 පටන් ග‍්‍රීසිය තුල මූල්‍ය අරමුදල කරන මැදිහත්වීමට සමාන මැදිහත් වීමකි.

කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල වැඩෙන තත්වය තුල ආන්ඩුවේ සැබෑ සූදානම ආඥාදායක පාලනයකට මාරුවීමයි. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය නමින් ඉතිරිව පවතින වහන්තරාවන් සියල්ලම අතුගා දමන්ට ආන්ඩුව පියවර ගනිමින් සිටී.

සමිති නායකයන් කොටු කිරීම් මධ්‍යයේම කම්කරුවන්ගේ අරගල වතු, තෙල්, වරාය, විදුලිය, තැපැල්, දුම්රිය හා සෞඛ්‍ය ඇතුලු ක්ෂේත‍්‍ර ගනනාවක එක දිගට පැන නැගුනි. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සිසුන්ගේ උද්ඝෝෂන එක දිගටම සිදුවෙමින් යයි. යුද්ධයෙන් අවුරුදු තිහක් ව්‍යසනයන්ට මුහුන දුන් උතුරු-නැගෙනහිර ජනයා සමාජ ප‍්‍රශ්න හා හමුදා වාඩිලා ගැනීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිගින් දිගටම මැඩලීම නිසා පෙරලිකාරී වෙමින් සිටිති.

මෙම සමාජ පිපිරීම් ගැන භීතියෙන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව වඩවඩාත් මිලිටරිය මත වාරුවෙමින් පොලිස් රාජ්‍ය පියවර ගැන සාකච්ඡා කරමින් සිටියි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් යුද්ධය අවසන් කිරීමෙන් අටවසරක් ගතවීම සමරමින් මිලිටරිය උත්කර්ෂයට නැංවීමට ගිය සතියේ පැවැත්වූ “රනවිරු දිනයේ” සිරිසේන මෙසේ කීවේය: ”අද දවසෙත් හෙටත්, මේ අභියෝග ජය ගැනීමට සංවර්ධනය ද සංහිඳියාව ද ඇති කරමු. අලුත් ආන්ඩුව ජාතිය ශක්තිමත් කිරීමට ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් මාතෘ භූමියේ සුබ සිද්ධියට අපි පියවර ගනිමු.” නව ජාතික ආරක්ෂක පද්ධතියක් සහ සැලසුමක් සඳහා පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි සිරිසේන කීවේය.

ප‍්‍රති ත‍්‍රස්තවාදී පනත නමින් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතටද එහා ගිය පනතක් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආන්ඩුව සැරසෙයි. එහි ඉලක්කය අරගලයට එන කම්කරුවන්, තරුනයන් හා දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන්ම සමාජවාදය සඳහා අරගලය කරන්නන් දඬු ගැසීමයි.

ගිය මාසයේ සිරිසේන අරගල මැඩීමට විශේෂ බලකායක් තැනීම ගැන හිටපු හමුදා පති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට කැබිනට් රැස්වීමක දී යෝජනා කලේය.

ලංකාව තුල පොලිස් රාජ්‍යපාලන විධික‍්‍රම මෙලෙස පෙරට ගැනීම ඇමරිකාව හා යුරෝපීය රටවල ද ඉන්දියාව ඇතුලු පසුගාමී රටවල ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ වැටී යාමේ ජාත්‍යන්තර ක‍්‍රියාවලියේම කොටසකි. ධනපති ක‍්‍රමය බිඳවැටෙමින් පවතින වත්මන් අවධියේ අධිරාජ්‍යවාදී ධනපති පන්ති හැරී සිටින්නේ වැඩකරන ජනතාව දිනාගත් අයිතීන් උදුරා ගන්නා සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමීමට හා ලෝකය මත තම ආධිපත්‍ය තහවුරු කරන යුද්ධවලට හා න්‍යෂ්ටික යුද්ධයකට ලෝකය ඇද දැමීමටයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රතිපත්ති තීන්දුවී ඇත්තේ මේ ලෝක වර්ධනයන්ගෙනි.

රාජපක්ෂ, ආන්ඩුව පෙරලා දැමීමට සිංහල බෞද්ධ වර්ගවාදී බලවේග එකතු කිරීම වේගවත් කර ඇත. ඔහුගේ සැබෑ ඉලක්කය සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව නොවේ. ආන්ඩු බලය අල්ලා ගෙන රුදුරු ලෙස කම්කරුවන් හා දුගීන් තලා දැමීමට ඔහු සුදානම් වෙමින් සිටී. රාජපක්ෂ බලයට පැනීමට ඇමරිකාවේ අන්ත දක්ෂිනාංශික ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ හා ඉන්දියාවේ අගමැති ස්වෝත්තමවාදී නරේන්ද්‍ර මෝදිගේ සහය ලබා ගැනීමට හැකිදැයි ගනන් බලමින් සිටියි.

දුෂ්ටම ක‍්‍රියා කලාපයක් ඉටු කරමින් සිටින්නේ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද ව්‍යාජ වම්මුන් ය. දූෂිත රාජපක්ෂලා මැඩලීමට ආන්ඩුව ක‍්‍රියා නොකරන්නේ යයි ආඩපාලි කියන නව සම සමාජ පක්ෂය, පුරවැසි බලය හා සමාජ සාධාරනත්වය සඳහා ව්‍යාපාරය කරවන වික‍්‍රමබාහු කරුනාරත්න, සරත් විජේසූරිය, ගාමිනී වියන්ගොඩ, සමන් රත්නප‍්‍රිය අතුලු නඩය ආන්ඩුවේ අත් ශක්තිමත් කිරීමට කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගලවලට එරෙහිව අවි අමෝරාගෙන සිටිති. මෙම සංවිධාන නියෝජනය කරන්නේ ධනපති පන්තියට ගැට ගැසුනු ඉහල මධ්‍යම පන්තිකයන්ගේ උවමනාකම් ය. සිසුන්ගේ හා කම්කරුවන්ගේ අරගල රාජපක්ෂට සහයෝගයට ගෙන යන ඒවා බවට පහර දෙන මොවුන් ක‍්‍රියා කරන්නේ ආඥාදායක පාලනයකට මාරුවීමට ආන්ඩුවට කර උර දෙන්නන් ලෙසය.

කේ. රත්නායක

Share this article: