ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කප්පාදු වැඩපිලිවෙල සම්පූර්න කරන ලෙස ආන්ඩුවට කියයි

සමන් ගුනදාස විසිනි, 2017 මැයි 05

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පසුගිය ජූනි මස අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක අරමුදලෙහි තුන්වන වාරිකය වන ඩො. මිලියන 162 ගෙවීම එහි කොන්දේසි පරිපූර්න ලෙස කි‍්‍රයාවට දමන තෙක් අත්හිටුවා ඇත. මෙම අත් හිටුවීම ආන්ඩුවේ විෂම නය චක‍්‍රය ප‍්‍රමුඛ කොට ගත් මූල්‍ය අර්බුදය තව දුරටත් උග‍්‍ර කරනු ඇත.

ජාමුඅ පීඩනය කොතෙක්ද යන්න මැයි 3 දා එය නිකුත් කල නිවේදනයකින් පෙන්නුම් කෙරේ. “පූර්වයෙන් පියවර ගැනීම සම්පූර්න කිරීමට යටත්ව, ආර්ථික ප‍්‍රතිසංස්කරන කි‍්‍රයාමාර්ගය මත කෙරෙන දෙවන සමාලෝචනය පිලිබඳව ලංකාවේ බලධාරීන් සමග ජාමුඅ දුත පිරිස මාන්ඩලික මට්ටමේ එකඟත්වයකට පැමිනි බව” එහි සඳහන් වේ. එම එකඟත්වය ජුනි මාසයේදී විධායක මන්ඩලයේ දී සලකා බැලෙනු ඇත.

ඉන් එක පියවරක් වන්නේ කල්දමමින් පැවති දේශීය ආදායම් බදු පනත ජුනි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආන්ඩුව පොරොන්දු වීමයි. දෙවැන්න ආර්ථික ප‍්‍රතිසංස්කරන කඩිනම් කිරීමයි. ජුනි මාසයේ දී ලංකාවට නය වාරිකය දීම සහතික වන්නේ මේ පියවර ගැනීම මත ය. දේශීය ආදායම් බදු පනත කල් දැමුනේ පලල් ලෙස බදු වැඩි කිරීමක් ඉන් යෝජනා වී ඇති තතු තුල මහජන විරෝධයක් පුපුරා එනු ඇතැයි ආන්ඩුව පැකිලීම නිසාය.

පසුගිය මාසයේ ජාමූඅ පැවසූයේ “සමහර ප‍්‍රතිසංස්කරන සඳහා දෙන ලද කාල සීමාවන් ඉකුත් වීමක් සහිතව, ව්‍යූහාත්මක ප‍්‍රමිතීන් කි‍්‍රයාවට දැමීමේ ප‍්‍රගතිය අසමාන බවක්” පෙන්නුම් කල බවයි.

මුදල් ඇමති රවි කරුනානායක මෙම අත් හිටුවීම ඒතරම් ගනන් ගත යුත්තක් නොවේ යැයි පෙන් වීමට උත්සාහ කරමින් පැවසූයේ “ලැබෙන මුදල් ප‍්‍රමානය ඒතරම් විශාල නැති නමුත් ඉන් ලැබෙන පිටුවහල වන්නේ අප ආර්ථිකය හොඳින් පරිපාලනය කරන බව පෙන්වා දීමට ඉන් හැකියාව ලැබීම” බවයි.

මෙම ප‍්‍රකාශයේ තේරුම වන්නේ එක් පසෙකින් ආන්ඩුවේ අර්බුදය වහංගු කිරීමට යත්න දරන අතරේ වුව අනෙක් පසින් ආන්ඩුවට වානිජ නය ගැනීම සඳහා ජාමූඅ හි ආශීර්වාදය ලබා ගැනීම අවශ්‍ය බවයි.

ආන්ඩුව නය වාරික ගෙවීම සඳහා ඇ. ඩො. බිලියන 1.5 ක ස්වෛරී බැඳුම්කරද තවත් ඩොලර් බිලියනයක සම්මේල නයක්ද ගන්නා බව කරුනානායක පැවසීය. මෙලස තව තවත් වානිජ නය ගැනීමෙහි අර්ථය නම් ආන්ඩුවේ නය තව තවත් ගොඩ ගැසෙන බවයි.

සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන ආර්ථික විද්‍යාඥයෙකු වන නිමල් සඳරත්න පසු ගිය ඉරිදා ඔහුගේ තීරු ලිපියේ සඳහන් කලේ 2019 වනතෙක් නය ආපසු ගෙවීමට තිබෙන ප‍්‍රමානය මගින් මෙම නය අර්බුදයේ පරිමාව ප‍්‍රකාශයට පත්ව ඇති බවයි.

මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව නය ආපසු ගෙවීම් 2017 දී ඩො බිලියන 2.4 සිට 2018 දී බිලියන 2.5 දක්වාද අනතුරුව 2019දී බිලියන 4 දක්වාද ඉහල යාමට නියමිතය. “මෙම වසරේ හා ඊලඟ වසරේ නය ආපසු ගෙවීම් අතිශය උග‍්‍ර වනු ඇත. 2019 දී ඩො බිලියන 4ක නය ආපසු ගෙවීම දැනට සිතා ගැනීමට පවා නොහැකිය”යි සඳරත්න පවසයි.

එසේ වුවත් සඳරත්න ගේ ඊනියා විසඳුම වන්නේ ලෝක ආර්ථික අර්බුදයේ ප‍්‍රතිපල ලෙස අපනයන ඉහල දමා ගැනීමට අපහසු කොන්දේසි යටතේ ආනයන කපා දමා හෝ වෙලඳ ශේෂ හිඟය පහත දැමිය යුතු බවයි. මෙහි අර්ථය නම් කම්කරුවන්ගේ හා ගම්බද ගොවි ජනයාගේ අත්‍යවශ්‍ය අහාර, ඉන්ධන, බෙහත් හා පොහොර වැනිදේ රටට ගෙන්වීම සීමා කිරීම මගින් මෙම මූල්‍ය අර්බුදය කම්කරු පන්තිය හා දුගීන් මත පැටවිය යුතු බවයි.

මෙවන් නිර්දේශ ජාමූඅහි කප්පාදු නියෝග සමග පෑහෙන ඒවා වේ.

ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කල පරිදි “ජාමූඅ බදු සංශෝධන හා මූල්‍ය පිලිවෙත පිලිබඳ නිවැරදි කිරීම් අවධාරනය කල අතර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිසංස්කරනය කිරීම ශී‍්‍ර ලංකාව විසින් වේගවත් කල යුතු ය” යි අවධාරනය කර තිබේ.

දැනට වසර දෙකකට පෙර ඝානාවේ කි‍්‍රයාවට දැමූ බදු නීතිය ලංකාව තුල කි‍්‍රයාත්මක කල යුතු බව ජාමූඅ නිර්දේශ කරයි. ඝානාවේ මෙම බදු නීතියට අනුව බදු ගෙවන්නන් පුලූල් ලෙස පැතිරී ඇත. එහි අර්ථය නම් කුඩා ව්‍යාපාරයන් හා තනි පුද්ගලයන් ආදායම් බදු දැලට හසු කර ඇති බවයි.

ස්වයං රැකියාවල නියුතු වූවන්ද ඇතුලූ ලියාපදිංචි නැති ව්‍යාපාර, වෙලෙන්දන් හා පුද්ගලික ව්‍යාපාරවල නියුතු වෘත්තිකයන්ද ඔවුන්ගේ ආදායම අනුව සියයට 5 සිට 25 දක්වා බදු ගෙවිය යුතුය. ඝානාවේ බදු නීතියට අනුව මෙවන් කන්ඩායම් සඳහා තක්සේරු කිරීම් සෑම බදු වර්ෂයකම මුලදී ආදායම් බදු කොමසාරිස් විසින් සිදු කරනු ලැබේ.

කම්කරු වැටුප්, පාරිතෝෂික දීමනා, අතිකාල හා ඕනෑම පහසුකමක් ඝානාවේ බදු නීතිය අනුව බදු වලට යටත් කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදලද සියයට 14ක ආදායම් බද්දකට හා තවත් සියයට 14 ක රඳවා ගැනීමේ බද්දකට, එනම් සියයට 28ක අධික බදු ගැසීමකට ලක් කිරීමට ආන්ඩුව සැරෙසන බවට වාර්තා පල විය. මෙම යෝජනාවේ පදනම කුමක්ද යන්න පැහැදිලිව සඳහන් නොවුනද මෙම බදු යෝජනාවන් ජාමූඅ හි නිර්දේශ සමග සම්බන්ධ වීමට ඉඩ තිබේ. අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන වන යුරෝපීය මහ බැංකුව හා ලෝක බැංකුව සමග එක්ව ජාමූඅ විශ‍්‍රාම වැටුප් කැපීම පිලිබඳව කුප‍්‍රකටය. සමහර යුරෝපීය රටවල විශ‍්‍රාම වැටුප් සියයට 50න් කපන ලෙස ජාමූඅ නිර්දේශ කර තිබේ.

ආන්ඩුව විසින් රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලික අංශයට විකිනීමේ කි‍්‍රයාවලියක නිරත වී සිටින අතර දැනට ආන්ඩුව විසින් කර ගෙන යන ඉන්ධන, විදුලිය හා ජලය බෙදා හැරීමේ සේවාවන් ගේ ගාස්තු විශාල ලෙස ඉහල දමමින් එම සේවා බෙදා හැරීම වානිජ ව්‍යාපාර බවට පත් කිරීමට වැඩ කරමින් සිටියි. රාජ්‍ය ව්‍යවසායයන්ගේ කම්කරුවන්ගෙන් මෙම කප්පාදු වැඩ පිලිවෙලට එල්ලවී ඇති විරෝධය හා ගෝලීය මූල්‍ය අර්බුදය මෙම ජාමූඅ හි නිර්දේශ කි‍්‍රයාවට දැමීමට බාධා එල්ල කර තිබේ.

“වරාය හා පාඩු ලබන ජාතික ගුවන් සේවය ආදිය විකුනා දැමීමේ ආන්ඩුවේ සැලසුම කි‍්‍රයාවට දැමීම විරුද්ධවාදී උද්ඝෝෂන හා ආයෝජකයන්ගේ මන්දෝත්සාහය නිසා සිරවී තිබේ” යැයි ඒඑෆ්පී වාර්තා කලේය.

ආන්ඩුවේ මෙම අර්බුදය දිගින් දිගටම පවතින්නාවූ ලෝක අවපාතයේ පීඩනයට හසුව නොනවැතී පහත වැටෙන අපනයන මගින් උත්සන්න වී තිබේ. 2015දී ඩො. බිලියන 10.5ක් වූ අපනයන 2016 ඩො. බිලියන 10.3 දක්වා සියයට 2.2න් කඩා වැටිනි. මෙම කඩා වැටීම හා ආනයන වියදම් ඉහල යාම නිසා වෙලඳ ශේෂ හිඟය 2015 හි ඩො. බිලියන 8.4 සිට 2016 ඩො. බිලියන 10.5 දක්වා ඉහල ගොස් ඇත.

දිගින් දිගටම පුලුල් වෙමින් ඇති වෙලඳ ශේෂ හිඟය පියවා ගැනීමට ආන්ඩුව වාරුවී සිටින්නේ ප‍්‍රධාන වශයෙන් මැද පෙරදිගින් ලැබෙන්නාවූ කම්කරුවන්ගේ තැන්පතු මතය. ඇමරිකා එක්සත් ජනපදයේ ට‍්‍රම්ප් පරිපාලනය දැන් උග‍්‍ර කරමින් පවතින මැද පෙරදිග යුද තත්වය මෙම ආදායම් අතිශයින්ම අවදානම් අස්ථාවර තත්වයකට ඇද දමා තිබේ. ආන්ඩුවේ අනෙක් ආදායම් මාර්ගය වන සංචාරක ව්‍යාපාරයද ගෝලීය ආරක්ෂක තත්වය හා ජාත්‍යන්තර මූල්‍ය වටිනාකම් උච්චාවචනය වීම් මත රඳා පවතින ආදායම් මාර්ගයකි.

ආර්ථිකයේ මෙම උග‍්‍ර වන අස්ථාවරත්වය මධ්‍යයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පසුගිය අපේ‍්‍රල් 19 දින මාධ්‍ය ප‍්‍රධානීන් අමතා “රට ඉතාම ධනාත්මක හා ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින” බවට බේගලයක් දෙසා බෑවේ ය.

“රටෙහි විදේශ සංචිත දැනටම ඩො. බිලියන 5 ඉක්මවා ඇති අතර වඩ වඩා ආර්ථික වර්ධනයන් ලඟදීම දක්නට ලැබෙනු ඇතැ”යි ඔහු තව දුරටත් පැවසීය. කෙසේ වෙතත් ඩො. බිලියන 5 සංචිත සෑහෙන්නේ අවම රෙකමදාරුව වන තෙමසක ආනයනයන්ට පමනි. තව දුරටත් මෙය පසුගිය වසර අවසානයේ පැවති ඩො. බිලියන 6ක විදේශ සංචිත නොකඩවා පහත වැටීමේ ප‍්‍රතිපලයකි.

මින් දින කිහිපයකට පසුව මුදල් ඇමති කරුනානායක පැවසුවේ විදේශ මුදල් සංචිත “මෙම වසර අවසානයට පෙර ඩො. බිලියන 10 ඉක්මවන” බවයි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කල පැහැදිලි කිරීම මෙසේය. “මැයි මාසයේ තහවුරු කෙරෙන සම්මේල නයක් මගින් ඩො. බිලියනයක්ද ජූනියේ නිකුත් කෙරන ස්වෛරී බැඳුම්කර මගින් ඩො. බිලියන 1.5ද, ශී‍්‍ර ලංකා සංවර්ධන බැඳුම්කර, හම්බන්තොට වරාය සඳහා චීන ආයෝජන මුදල්, විදේශ මුදල් ගනුදෙනු සඳහා වන නීති ලිහිල් කිරීමෙන් ශී‍්‍ර ලාංකිකයන් රටින් පිට තබා ඇති මුදල් ආපසු ගෙන ඒ්මෙන් ලැබෙන මුදල් වලින් මෙම මුදල (ඩො. බිලියන 10) සම්පූර්න වනු ඇත.” මෙම පැහැදිලි කිරීම ම ආන්ඩුව මුහුන දී ඇති අර්බුදයේ තරම ඉස්මතු කරයි.

ආන්ඩුවේ සියලූ වහංගු කිරීම් අභිබවමින් කම්කරු පන්තිය උකහා ගත යුතු අනතුරු ඇඟවීම වන්නේ ජාමූඅ විසින් නිර්දේශිත දරුනු කප්පාදු මෙම ඉහවහා යන මූල්‍ය අර්බුදය කම්කරු පන්තිය පුමුඛ දුගීන්ගේ කර මත පැටවීම සඳහා ආන්ඩුව කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි. ජනාධිපති සිරිසේන “රට විනය ගත කිරීම සඳහා වගකීම” භාර ගන්නා ලෙස යෝජනා කලේ මෙම තතු තුල ය. ආන්ඩුවත් ලංකාවේ පාලක පන්තියත් ගනන් බලමින් සිටින්නේ ආඥාදායක පාලනයකට මාරුවීමේ ක‍්‍රමෝපක‍්‍රම පිලිබඳවයි.

Share this article: