ආසියා-පැසිෆික් සමුලුව අමතමින් ට්‍රම්ප් ආර්ථීක යුද්ධය ඉස්මතු කලේය

Trump sets out economic war in address to Asia-Pacific summit

නික් බීම්ස් විසින්, 2017 නොවැම්බර් 11

වියට්නාමයේ ඩා නැංහි පැවති ආසියා-පැසිෆික් ආර්ථීක සමුලුවේදී (ඒපෙක්) ජාතිකවාදය ලෙස පමනක් විස්තර කල හැකි “පලමුව ඇමරිකාව” පිලිබඳ කථාව තුලින් 10දා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රාජ්‍ය නායකයින් හා වෙලඳ ඇමතිවරුන් හමුවේ තබනු ලැබුවේ, මුලුමනින්ම පාහේ ආර්ථීක යුද්ධ ප්‍රකාශයකි.

පෙර දින දෙක තුල චීනයේදී ඔහු අනුගමනය කල සාපේක්ෂව මැඩගත් තත්වය පැත්තකට දමා ට්‍රම්ප්, කලාපය තුල ඔහු සඳහන් කල, “උල්ලංඝනය කිරීම්, වංචා කිරීම් හෝ ආර්ථීක ආක්‍රමනකාරිත්වයට” එරෙහිව බැන වැදුනේය. පැහැදිලිවම ඒවා එල්ල කලේ බීජිනයට එරෙහිවය.

කථාව තුල ගොනු කලේ, වොෂින්ටනය ඉන්දු-පැසිෆික් ලෙස හඳුන්වන කලාපයේ ඇමරිකානු පිලිවෙත පිලිබඳ මූලික පැහැදිලි කිරීමකි. ශාලාවේ ශබ්ද විකාශන දෙදරුම් කන හඬින් බිරුසන් දෙමින් ට්‍රම්ප්, ඇමරිකානු රැකියා උදුරා ගන්නා ප්‍රතිපත්ති අනුගමනය කිරීම පිලිබඳව චීනයට හා අනෙකුත් රටවලට දොස් පැවරීය.

“අපට තවදුරටත් මෙවන් උග්‍රම වෙලඳ අපයෝජන ඉවසිය නොහැකිය, අප ඒවා ඉවසන්නේ නැත.”

“වසර ගනනාවක කඩවුනු පොරොන්දු පැවතියදීම අපට පැවසුවේ, ඉක්මනින්ම යම් දිනක සෑම කෙනෙක්ම සාධාරන හා වගකිවයුතු ලෙස කටයුතු කරනු ඇති බවය. ඇමරිකාවේත් ඉන්දු-පැසිෆික් කලාපයේත් ජනතාව ඒ දිනය එලඹෙන තෙක් බලා සිටියහ. එහෙත් ඒ දිනය උදාවුනේ නැත, අද මා මෙහි සිටින්නේ එබැවින්ය, අප මුහුන දෙන අභියෝග ගැන අවංකව කතාකිරීමටය...අදින් පසුව අපි මුලුමනින්ම සාධාරන හා සමාන පදනමකට එන්නෙමු. තවදුරටත් අපි එක්සත් ජනපදය වාසියට හරවා ගන්නට ඉඩ නොතබන්නෙමු. මම හැම විටම පලමුවෙන් ඇමරිකාව තැබීමට යන්නෙමි.”

ට්‍රම්ප්ගේ දෝස්මුරයට වැදගත් උපාංග දෙකක් ඇතුලත්ය. ලෝක වෙලඳ සංවිධානය (ලෝවෙසං) යටතේ ක්‍රියාත්මක වන වෙලඳාමේ බහු පාර්ශවික ක්‍රමයට පහර දීම හා චීනයට එරෙහිව යොමු කල, ඇමරිකාව ප්‍රමුඛත්වය දරන කලාපීය කන්ඩායමක් සඳහා කැඳවුම් කිරීම ඒ දෙකයි.

විශේෂයෙන් චීනය නම් නොකරමින් ට්‍රම්ප් “ලෝක වෙලඳ සංවිධානය විසින් සමහර රටවල් වැලඳගෙන සිටින්නේ, ඒවා එහි මූලධර්ම පවා පිලි නොගන්නා තත්වයකය. සරලව කිවහොත් ලෝක වෙලඳ සංවිධානය විසින් අපට සාධාරනය ඉටුකරනු ලැබ නැතැයි” හෙතෙම පැවසීය.

ඇමරිකාව ලෝවෙසං මූලධර්මයන්ට අනුකූලව කටයුතු කර ඇති බව ට්‍රම්ප් පැවසීය. පෞද්ගලික ව්‍යවසායන් නගාසිටුවීම, නවීකරනය හා කර්මාන්තය ඒ අතර වේ. එහෙත් “අනෙකුත් රටවල්, ආන්ඩුවේ කාර්මික සැලසුම් හා රාජ්‍යයට ව්‍යවසායන් යොදාගන්නේ, සහනාධාර සහිත භාන්ඩ ගොඩගැසීමටත්, මූල්‍ය මගඩි හා කොල්ලකාරී කාර්මික ක්‍රමෝපායන්හි” නිරතවීමටත්ය.

මේ රටවල් තමන් අනුගමනය කරන රටවලට වඩා වැඩි වාසි සලසා ගැනීම පිනිස නීති රෙගුලාසි නොතකා කටයුතු කරමින්, වෙලඳාමේ “දැවැන්ත විකෘතීන්” ඇතිකර තිඛෙන අතර ජාත්‍යන්තර වෙලඳාමේ පදනමටම තර්ජනය කරයි.

“ඊට අමතරව, රැකියා, කර්මාන්තශාලා හා කර්මාන්ත, එක්සත් ජනපදයෙන් ද තවත් බොහෝ රටවලින් ද ගලවා ඉවත්කර ඇත.”

චීනය ඉලක්ක කල, ඇමරිකාව මාධ්‍ය කරගත් නව කන්ඩායමක් සඳහා කරන කැඳවුම, කලින් ආසියා-පැසිෆික් ලෙස හැඳින්වූ කලාපය ධවල මන්ඳිරය විසින් ඉන්දු-පැසිෆික් ලෙස හඳුන්වනු ලැබීම තුල ගැබ්ව තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය සඳහන් කල පරිදි, ඩා නාංහිදී කල ට්‍රම්ප්ගේ කථාව අසා සිටි සමහරෙක් එම වචන භාවිතාව, කට වැරදීමක් ලෙස බැහැර කරති. එහෙත් එය “ආසියාව තුල චීනය පවත්වන පැතිර යන අනුහසට හරස් කැපීම පිනිස, එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර වැඩෙන සහයෝගිතාව පෙන්නුම් කරමින් ආසියාව සඳහා ඔහු ගනන් බලා තම මූලෝපාය ඉදිරිපත් කිරීමේ වෑයමකි.”

ඇමරිකානු ජනාධිපති, පසුගිය දශක හත තුල ජාත්‍යන්තර වෙලඳාම පාලනය කල, දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ඇමරිකාව විසින්ම පිහිටුවන ලද බහුපාර්ශවිකත්වයේ ආකෘතිය පසෙකට දැමීය. “අපගේ කොටස්කාරයෙකු වීමට අවශ්‍ය හා සාධරන ද සමාන ද වෙලඳාමේ මූලධර්මයන්ට ගරු කරන කුමන හෝ ඉන්දු-පැසිෆික් ජාතියක්” සමග ද්විපාර්ශවික ගිවිසුම් වලට ඇමරිකාව එලඹෙනු ඇතැයි ඔහු පැවසීය.

“අප තවදුරටත් නොඑලඹෙනු ඇත්තේ, අපගේ දෑත් බැඳ දමන, අපගේ ස්වෛරීත්වය බිලිදෙන හා ප්‍රායෝගිකව නොකල හැකි අර්ථයේ බලගැන්වීම් වලටය.” ට්‍රම්ප් පැවසීය.

ඔහු කියන අන්දමේ “ඉන්දු-පැසිෆික් සිහිනය” ගෙනහැර දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, නීති නියාමයන්ට ගරු කරන අය “අපගේ සමීප ආර්ථීක කොටස්කරුවන්” බවය. එසේ නොවන අය, “එක්සත් ජනපදය තවදුරටත් උල්ලංඝනයන්, වංචා කිරීම් හෝ ආර්ථීක ආක්‍රමනකාරිත්වය කෙරෙහි දෑස් පියාගෙන නොසිටින බව තේරුම්ගත යුතු යයි” ඔහු බිරුසන් දුන්නේය. “ඒ කාලය අහවරය.”

බීජිනය යෙදී සිටින්නේ යයි ඇමරිකාව චෝදනා නගන කටයුතු මාලාවක් ගෙනහැර දැක්වීම මගින් ට්‍රම්ප්, නව මූලෝපාය එල්ල කෙරෙන්නේ කොහාටදැයි සැකයකට ඉඩක් නොතැබීය.

“බුද්ධිමය දේපොල එක පැහැර සොරකම් කිරීම අප තවදුරටත් ඉවසන්නේ නැත. සිය තාක්ෂනය රාජ්‍යයට නතු කරන ලෙස ව්‍යාපාර වලට බල කිරීමේ විනාශකාරී භාවිතයන්ට හා වෙලඳපොල ප්‍රවිෂ්ටය වෙනුවෙන් හුවමාරු කරන බද්ධ ව්‍යාපාර වලට එලඹෙන ලෙස බල කිරීමට එරෙහිව අප කටයුතු කරනු ඇත.

“පෞද්ගලික තරඟකරුවන් ව්‍යාපාර වලින් අතුගා දැමෙන, යෝධ රාජ්‍ය ව්‍යවසායන් තුලින් දැවැන්ත සහනාධාර ලබමින් පවත්වාගෙන යන කර්මාන්ත සම්බන්ධයෙන් අප පියවර ගනු ඇත.”

බීජිනයේ එක් තීරුවක් එක් මාවතක් ව්‍යාපෘතිය තුලින් කලාපය පුරා රටවලට ගලා යන චීන ආයෝජන බලාපොරොත්තු වලට වල කැපීමේ උත්සාහයක් දැරෙන න්‍යායපත්‍රයක් ට්‍රම්ප් ගෙනහැර දැක්වීය. “ආර්ථීක වර්ධනය නගාසිටුවන, උසස් වර්ගයේ යටිතල ආයෝජන වෙතට” ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඔවුන්ගේ කටයුතු යොමු කල යුතු බව කියා සිටිමින් ඇමරිකාව, සිය සංවර්ධන ව්‍යායාමය යලි සකසනු ඇති බව ඔහු පැවසීය.

ඇමරිකාව “අපගේ සංවර්ධන මූල්‍ය ආයතන” ප්‍රතිසංස්කරනය කරනු ඇත. “එමගින් ඔබගේ ආර්ථීකයන්හි පෞද්ගලික අංශයේ ආයෝජන වඩා හොඳින් දිරිගන්වනු ඇත. එසේම බොහෝ කොන්දේසි ඇතුලත් රාජ්‍යය විසින් මෙහෙයවන ව්‍යවසායන්ට ශක්තිමත් විකල්පයන් සම්පාදනය කරනු ඇත.”

ප්‍රධාන චීන ආයෝජන ව්‍යාපෘතින් හමුවේ, “තවත් කල යුතුය” යන හිස් කැපවීම, සංයුක්ත ආර්ථීක මුලපිරීමේ මාවතෙහි පිලිගැන්වීමට ඇමරිකාව සතුව ඇත්තේ සොච්චමක්ය යන්න ඉස්මතු කරනවා පමනි.

ට්‍රම්ප්ගේ කථාවෙන් මිනිත්තු ගනනකට පසුව චීන ජනාධිපති සී ජින්පින් සමුලුව ඇමතීය. ට්‍රම්ප්ගේ කථාව ගැන සඳහන් නොකර සී අවධාරනය කලේ, ජාත්‍යන්තර සහයෝගීතාව, ආර්ථීක විවෘත භාවය හා බහුපාර්ශවිකත්වය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයි.

මෑත දශක වලදී ආර්ථීක ගෝලීයකරනය ගෝලීය වර්ධනයට වැදගත් දායකත්වයක් සැපයූ බව සී පැවසීය. එය “ආපසු හැරවිය නොහැකි ඓතිහාසික ප්‍රවනතාවක් බවට පත්ව ඇති” බව ඔහු අවධාරනය කලේය. “සියලු දෙනාට වාසි සැලසෙන විවෘත ආර්ථීක පිලිවෙත දිරිමත් කිරීමට අපි කටයුතු කල යුත්තෙමු. විවෘත භාවය ප්‍රගතිය සලසයි, පැත්තකටවී සිටීම යමෙක් පිටුපසට යවයි.”

සීගේ කථාවට ඇතුලත් වුන වගන්ති හා තේමාව, එක් කාලයක ඇමරිකානු ජනාධිපතිවරයෙක් කල හැකිව තිබූ කථාවකට සමානකම් දරයි. මෙය සලකුනු කරන්නේ ලෝක ආර්ථීක ව්‍යූහයේ සිදුව ඇති දැවැන්ත පරිවර්තනයයි.

ඇමරිකාවට නොඅඩු ලෙස චීනය, ජාතික ආර්ථීක අවශ්‍ය තාවන්ගේ පදනම මත ක්‍රියාත්මක වේ. වෙනස නම් ඇමරිකාව, වත්මන් ගෝලීය පර්යාය තමන් තව තවත් ආර්ථීක පරිහානියට යවන බව දැකගැනීමත්, රටේ පාලක පන්තිය සැදුම්ලත් ප්‍රකෝටිපතියන් හා කතිපයාධිකාරීන්ගේ අවශ්‍යතා නියෝජනය කරන චීන නායකත්වය, එය අවස්ථා විවෘත වීමක් ලෙස දැකගැනීමත්ය.

මේ ආකෘතිය තුල බීජිනය සිය වර්ධනය වන ආර්ථීක ශක්තිය යොදාගැනීමට උත්සාහ කරන්නේ, පසුගිය මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂ සමුලුවේදී සීගේම වචන වලින් පැවසූ පරිදි, “ලෝක බලවතෙකු” බවට පත්වීමත්, “මධ්‍ය කරලියට සමීප වීමත්” පිලිබඳ මූලෝපායික ඉලක්කය සපුරාගැනීමට ය.

මෙම ගැටුමට සාමකාමී විසඳුමක් ඇත්තේ නැත. එහි වෛෂයික තර්කනය ගමන් කරන්නේ එක් පැත්තකට පමනි. එනම්, ඇමරිකානු ධනපති පන්තිය මිලිටරි මාධ්‍යය තුලින් සිය පැහැදිලි ආර්ථීක පරිහානිය ජයගැනීමට දරන වෑයම හමුවේ, ඇමරිකාව හා චීනය අතර යුද්ධයේ පැත්තටය.

Share this article: