ට‍්‍රම්ප්ගේ ආසියානු සංචාරය: නැගෙන ඇමරිකානු ආර්ථික හුදෙකලාව මිලිටරි තල්ලුව දැඩි කරයි

Trump’s Asia visit: Growing US economic isolation to fuel military push

නික් බීම්ස් විසින්, 2017 නොවැම්බර් 13

මේ දිනවල ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් යෙදී සිටින ආසියානු සංචාරයෙන් මතුවන වඩාත්ම වැදගත් වර්ධනය වන්නේ, ලෝක ආර්ථිකයේ ව්‍යූහය තුල ඇතිව තිබෙන දුරදිග යන වෙනස්කම් වලින්, එක් කලෙකදී ඇමරිකානු අධිරාජ්‍යවාදය හිමිකරගත් අනභිභවනීය ගෝලීය ආධිපත්‍යට කෙතරම් නම් වලකැපී තිබේ ද යන්නයි.

මෙම මාරුවේ දුරදිග යන භූදේශපාලනික ප‍්‍රතිවිපාක ගැබ්ව ඇත. ඇමරිකාව සිය පරිහානිය මිලිටරි මාධ්‍යයෙන් ආපසු හැරවීමට දරන උත්සාහය පිටුපස ඇති අත්‍යාවශ්‍ය ගාමක බලය එයයි.

වොෂින්ටනය වඩ වඩාත් ආර්ථික වශයෙන් හුදෙකලා වෙමින් ඇති බව ට‍්‍රම්ප්ගේ සංචාරයෙහි සෑම අදියරකදීම පෙනෙන්නට තිබේ.

වියට්නාමයේ ඩා නැංහි පැවති ආසියා පැසිෆික් ආර්ථික සමුලුව (ඒපෙක්) අමතා 10දා කල කථාවේදී ට‍්‍රම්ප්, ඇමරිකාවේ වියදමෙන් අනෙක් රටවලට වාසි සලසාදුන් බව කියමින් ලෝක වෙලඳ සංවිධානයට (ලෝවෙසං) දොස් පැවරීය. එබැවින් “පලමුව ඇමරිකාව” යන පිලිවෙත පාදක කර ගනිමින් ද්වි පාර්ශවික ගිවිසුම් ඇතිකර ගැනීමට ඔහු උත්සාහ කලේය.

කෙසේ වෙතත් දින ගනනාවක් පැවති කඹ ඇදීමෙන් පසුව ඒපෙක් සමුලු ප‍්‍රකාශය, “ආරක්ෂනවාදයට එරෙහිව සටන් වැදීමට” පිලින දුන්නේය. ලෝවෙසං, නිදහස්, විවෘත, සාධාරන, විනිවිද පෙනෙන හා කල්තියා කිව හැකි ද ඇතුලත් වන්නාවූ ද නීති පදනම් කරගෙන ජාත්‍යන්තර වෙලඳාම හසුරුවන්නේ යයි “ඇමතිවරුන් වටහාගෙන ඇති බව” එය පැවසීය. සිය සාමාජිකයින් “ලෝවෙසං කටයුතු නගාසිටුවීමට” කැපවන බව එය ප‍්‍රකාශ කලේය.

පසෙකින් රැස්වූ අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වයේ (ටීපීපී) සාමාජික රටවල් 11 නියෝජිත රැස්වීමකදී, (ඔබාමා ආන්ඩුව විසින් යෝජනා කරන ලදුව, ජනවාරියේදී බලයට පත්වූ වහාම ට‍්‍රම්ප් ඉන් ඉවත්වූ ආර්ථික හවුල) ඇමරිකාව නැතිව ගිවිසුමකට එලඹීමට උත්සාහ කිරීම සඳහා ඊට එකඟත්වය පල විය.

පූර්න ටීපීපී ගිවිසුම 11දා නිවේදනය කිරීමට බලාපොරොත්තු වූ නමුත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ අවසන් මිනිත්තුවේදී ඉන් ඉවත්විය. ගිවිසුමට ඇතුලත් “සංස්කෘතික ප‍්‍රශ්න” පිලිබඳ කැනඩාවට ගැටලු ඇතැයි සලකනු ලබන අතර ජපානයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිය පාලනය කරන නීති ඇතුලත් යෝජනා එරට ඉදිරිපත් කලේය. එසේම කැනඩාවේ ආස්ථානය, ට‍්‍රම්ප් ආන්ඩුව විසින් උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුමට (නැෆ්ටා) ඇතුලත් විය යුතු යයි ඉල්ලා සිටින වෙනස්කම් පිලිබඳව ඇමරිකාව සමග කරන සාකච්ඡාවන් නිසා ද සංකීර්නවී ඇත.

කෙසේ වුව ද යෝජිත ටීපීපී ගිවිසුම සජීව ලෙස පවතියි. කැනේඩියානු ආස්ථානයෙන් පසුව ජපානය මූලිකත්වය දරන ටීපීපී 11 දෙනා පැවසුවේ, “මූලික කාරනා” පිලිබඳව තමන් ගිවිසුමකට එලඹෙන බවයි. කැනඩාවේ ඉල්ලීම පිරිදි යොදාගත් අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය යන නාමය යටතේ, පුලුල් හා ප‍්‍රගතිශීලී එකඟත්වයක් ඇතිකර ගැනීමේ සාකච්ඡා දිගටම පැවැත්වෙනු ඇත.

ආර්ථික නිමුවුම ඩොලර් ට්‍රිලියන 10ක් හා මිලියන 500ක ජනගහනයෙන් යුත් කන්ඩායමේ, වෙලඳාම් කෙරෙන භාන්ඩ වලින් සියයට 95ක තීරුබදු අහෝසි කෙරෙන අවසන් ගිවිසුම ලබන වසරේදී අත්සන් තැබීමට සැලසුම් කර ඇතැයි නිලධාරීහු පවසති.

ඇමරිකාව සමග බෙදීමක පැහැදිලි සලකුනක් මධ්‍යයේ ජපාන ආර්ථික ඇමති ටොෂිමිට්සු මොටිගි පැවසුවේ, “එක්සත් ජනපදයට ද අනෙකුත් ආසියා-ශාන්තිකර රටවලට ද මෙයින් ප‍්‍රබල පනිවිඩයක් යවනු ඇති” බවය.

පසුගිය සතියේ ජපානයේදී ට‍්‍රම්ප්, එරට සමග කරන ඇමරිකානු වෙලඳාමේ හිඟය ඩොලර් බිලියන 69ක් බව සඳහන් කරමින් “අන්‍යොන්‍ය” වශයෙන් වඩාත් සාධාරන වෙලඳාමක් සිදුවිය යුතු බව කියා සිටියේය. ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයින්, “වාහන පටවා එවීම වෙනුවට ඒවා ඇමරිකාව තුල නිපදවීමට උත්සාහ කල යුතු” යයි ඔහු යෝජනා කලේය. ජපාන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සමුලුව ඊට ප‍්‍රතිචාර වශයෙන් කියා සිටියේ, ජපාන වෙලඳ නාමයන් යටතේ ඇමරිකාව තුල අලෙවි කරන වාහන වලින් සියයට 75ක්ම නිපදවන්නේ උතුරු ඇමරිකාවේ බවය.

ට‍්‍රම්ප්ගේ සංචාරයෙන් පසුව ජපන් මුදල් ඇමති ටාරෝ අසෝ නිකුත්කල ප‍්‍රකාශයක නිශ්චිතවම සඳහන් කලේ, වෙලඳ අසමතුලිතකම විසඳා ගැනීමට ජපානය ඇමරිකාව සමග ද්වි පාර්ශවික ගිවිසුමකට නොඑලඹෙන බවය.

චීනයේදී ට‍්‍රම්ප්, දෙරට අතර වෙලඳාමෙන් චීනය වසරකට ඩොලර් බිලියන 347ක අතිරික්තයක් හිමිකර ගන්නා ආර්ථික සබඳතාවේ “අපිලිවෙල” ගැන දොස් නැගීය. කෙසේ වුව ද මේ අතිරික්තයෙන් වැඩි පංගුව නිර්මානය වන්නේ, සිය ගෝලීය මෙහෙයුම් සඳහා චීනය පදනම ලෙස සලකන ඇමරිකානු සමාගම් වලින් හා ඇමරිකානු සංගතයන්ට චීන අමුද්‍රව්‍ය සැපයුමෙනි.

තම සංචාරය ජයග‍්‍රහනයක් ලෙස සැලකීමට ට‍්‍රම්ප් දක්වන කැමැත්ත ගැන සංවේදී චීන තන්ත‍්‍රය, ඔහුට රතු පලසේ සත්කාරය ලබා දෙමින්, ඩොලර් බිලියන 250ක වටිනාකමෙන් යුත් ව්‍යාපාරික ගිවිසුම් ඇතිකර ගැනීමට පහසුකම් සැපයූහ. එය බොහෝකොටම ඇස්බැන්ඳුමක් පමනි.

බ්ලූම්බර්ග් මාධ්‍ය මෙසේ පැවසීය: “සිරස්තල අංකය සිත්ගන්නා සුලුය. චීනයෙන් ඩොලර් ට්‍රිලියන කාලක් තරම් වන ගිවිසුම් ලබාගෙන ඇත....තම වාසියට ට‍්‍රම්ප්ට කිව හැක්කේ, තමන් එක්සත් ජනපදය සඳහා රැකියා අවස්ථාවන් ද ව්‍යාපාරික අවස්ථාවන් ද නිර්මානය කරන බවකි. කෙසේ වෙතත් යථාර්තය නම් , 9දා ප‍්‍රකාශයට පත් කල ගිවිසුම් වලින් දල වශයෙන් 15ක්ම බොහෝකොටම නොබැඳුනු අවබෝධතා ගිවිසුම් වන අතර යථාර්තවත් වීමට වසර ගනනාවක් ගතවන ඒවාය, එහෙමවත් යථාර්තවත් වුනොත්ය.”

වැදගත් කාරනය නම් වසර ගනනාවක් තිස්සේ වොෂින්ටනය ඉල්ලා සිටින ප‍්‍රධාන කරුනු දෙකක් පිලිබඳව කිසිදු ගිවිසුමක් ඇති නොවීමය. චීන වෙලඳපොලවලට වඩාත් පුලුල් ප‍්‍රවිෂ්ටයක් ඇමරිකානු සමාගම් වලට ලැබීම හෝ චීන මූල්‍ය ක‍්‍රමය ඇමරිකාවට විවෘත කිරීම ඒවාය.

ට‍්‍රම්ප්ගේ ආසියානු සංචාරය කැටි කර දක්වමින් එක් ව්‍යාපාරික ප‍්‍රධානියෙක් ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයට පවසා ඇත්තේ: “මම හිතන්නෙ සෑම කෙනෙක්ම ඔහුට හොඳ හිත පාමින් සියල්ලන්ම ඔහු සමග දේවල් කිරීම පිනිස කැමැත්තෙන් හා ආශාවෙන් සිටින්නේ යයි ඔහුට සිතෙන පරිදි කටයුතු කර තිබෙන බවයි. එහෙත් මට හිතෙන්නේ ඊට වෙනස් ආකාරයකට ඔවුන් ඔහුගේ පස්ස පැත්තට සිනහ වන බවයි, නිසැකවම චීන්නු එසේ කරන බවයි. නිසැකවම ඔහුට අවශ්‍ය කොන්දේසි වලට අනුව, ඔහු සමග ගිවිසුමකට එලඹීමට, ඔවුන් කිසිවෙකුත් අදහස් කරන බව මම හිතන්නෙ නෑ.”

ඔබාමා ආන්ඩුවේ ප‍්‍රධාන ටීපීපී නියෝජිතයා ලෙස කටයුතු කල මයිකල් ෆ්‍රෝමන් පැවසුවේ, ටීපීපී 11 දෙනාගේ පෙරට යාමේ සම්මුතිය පෙන්වන්නේ, “අපගේ මිතුරන් හා කොටස් කරුවන්” වෙලඳ බාධක ඉරා දැමීමට අදහස් කරන බවකි. “පැහැදිලිවම එක්සත් ජනපදය පසුබසිද්දී අවශේෂ ලෝකය ඉදිරියට යයි.”

ට‍්‍රම්ප්ගේ ආසියානු සංචාරය, භූ-ආර්ථික පෙරමුනේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෝලීය වශයෙන් මුහුනදෙන නැගීඑන ගැටලු සලකුනු කරයි.

දැන් ලෝවෙසං නියෝජනය කරන, දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේ ඇමරිකාව තහවුරු කරගත් බහු පාර්ශවික වෙලඳාමේ ආකෘතිය, වඩ වඩාත් එරට අවශ්‍යතාවන්ට පටහැනිව ක්‍රියාත්මක වන්නේය. මෙම තක්සේරුව හුදෙක් ට‍්‍රම්ප් පාලනයේ ගනන් බැලීම පමනක් නොවේ. ටීපීපීයේ අත්‍යවශ්‍ය අභිප්‍රේරනය ද එයයි. ඔබාමා ආන්ඩුව චීනයේ නැගීම හරස්කිරීමේ තම “ආසියාවට හැරීම” පිලිවෙතේ කොටසක් ලෙස ටීපීපීය වර්ධනය කලේය.

එසේම ඇමරිකාව සමග ද්වි පාර්ශවික වෙලඳ ගිවිසුම් වලට එලඹෙන ලෙස එම රටවලින් ට‍්‍රම්ප් කල ඉල්ලීම ද පල දරන්නේ නැත. ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” වැඩසටහන යටතේ සපාකනු ලැබීමට, සිංහයාගේ මුඛය තුලට හිස දැමීමට කිසිදු රටකට අවශ්‍ය වන්නේ නැත.

වෙනත් වචන වලින් කිවහොත්, වත්මන් පර්යාය තුල සිය තත්වය වෙනස් කරන ආර්ථික මාවතක් ඇමරිකාවට නැති බවයි. එබැවින් සිය අවශ්‍යතා සඵල කර ගැනීම සඳහා මිලිටරි බලය මත වාරුවීමට ඔවුන්ට සිදුව ඇත.

ට‍්‍රම්ප්ගේ ආසියානු සංචාරය පුරාම උතුරු කොරියාවට පීඩනය යෙදීම දිගටම සිදු විය. අවසන් විග‍්‍රහයේදී එහි එල්ලය චීනයයි. ට‍්‍රම්ප් දිගටම ආසියා පැසිෆික් වෙනුවට ඉන්දු-පැසිෆික් යනුවෙන් කල සඳහන ලියලන්නට පටන්ගෙන තිබේ. මැනිලාහිදී 12දා ආරම්භ වුන ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව යන රටවල නිලධාරීන් අතර රැස්වීම පැවැත්වෙන්නේ, කලාපීය “ආරක්ෂක වටපිටාව” තුල “පරියේෂනාත්මක කථා” මුල්කරගෙනය.

එවන් “කන්ඩායමක්” සඳහා මුලින්ම යෝජනා ඉදිරිපත් වුනේ 2007 වසරේ ජපානයෙනි. එහෙත් එය මුල්ලකට තල්ලුවී තිබුනි. එය “දැන් ජවයකින් යුතුව යලි පනගසා ඇත්තේ, වසරකට පෙර කිහිප දෙනෙකුට පමනක් සිතිය හැකිව තිබූ ආකාරයට” බව පැවසුවේ, ලන්ඩන්හි කිංග්ස් කොලෙජ්හි ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ මහාචාර්ය හාෂ් වී පැනීය. “හේතුව සරලය, ප‍්‍රමුඛ ගෝලීය බලවතෙක් ලෙස චීනයේ නැගී ඒම පිලිබඳව ඉන්දු පැසිෆික් කලාපයේ බල කේන්ද්‍රයන්හි, වැඩෙන තැතිගැන්මක් ඇත.”

“කන්ඩායමේ” රැස්වීම ඇමති මට්ටමේ එකක් නොවූ අතර ඇමරිකාව පැහැදිලිවම මැදිහත් වුනේ, චීනයට එරෙහිව මූලෝපායික හා මිලිටරි ප‍්‍රතිබලයක් ලෙස කලාපයේ කියනු ලබන “ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ” හවුලක් සඳහාය.

ඇමරිකාව සමග පවතින ආර්ථික වෙනස්කම් තිබියදීම ටෝකියෝව, චීනයට එරෙහි සිය මූලෝපායික අවශ්‍යතා පෙරට ගැනීමේ මාධ්‍යයක් ලෙස “කන්ඩායම” දැකගන්නා බව පැහැදිලිය. ඉන්දියාවට ද එවැනිම උත්සුකයන් ඇත. කලාපය තුල තමන්ගේම අවශ්‍යතා ද ඇමරිකානු මූල්‍ය ක‍්‍රමය මත එරට ආර්ථික රඳාපැවැත්මේ කාරනය නිසා ද ඕස්ට්‍රේලියාව, පසුගිය සියවස් කාල තුල සෑම යුද්ධයකදීම ඇමරිකාවේ පෙරමුනු සහකරුවෙක්ව සිටියේය.

ට‍්‍රම්ප්ගේ ආසියානු සංචාරය තුල එතරම් කැපී පෙනෙන පරිදි ඉස්මතුවූ, ලෝක ධනවාදය නියාමනය කල සම්බන්ධකම්වල බිඳ වැටීමෙහි අර්ථය, උග‍්‍ර අතට හැරෙමින් තිබෙන තම ආර්ථික ගැටලු වලට මිලිටරිමය විසඳුමක් සෙවීමට වන ඇමරිකාවේ නැඹුරුව එලඹෙන කාලය තුල වේගවත් වනු ඇති බවයි.

Share this article: