ට‍්‍රම්ප්ගේ මැතිවරන උද්ඝෝෂන අධිචෝදනා හා ඇමරිකාව තුල දේශපාලන අර්බුදය

The Trump campaign indictments and the political crisis in America

2017 නොවැම්බර් 1

විශේෂ උපදේශක මෙන් ම හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ රොබට් මියුලර් විසින් බදාදා ට‍්‍රම්ප්ගේ (මැතිවරන) උද්ඝෝෂන ආධාරකරුවන්ට එරෙහිව නිකුත් කල අධිචෝදනා එක්සත් ජනපදය තුල දේශපාලන අර්බුදයේ කැපීපෙනෙන තීව‍්‍රවීමක් සලකුනු කලේ ය.

ට‍්‍රම්ප්ගේ හිටපු උද්ඝෝෂන සභාපති පෝල් මනෆෝර්ට් ද උද්ඝෝෂන කන්ඩායමේ සේවය කල මනෆෝර්ට්ගේ දීර්ගකාලීන සහායක රිචඩ් ගේට්ස් ද අයතා ලෙස මුදල් විශුද්ධකරනය කිරීම, කුමන්ත‍්‍රනය කිරීම, සාවද්‍ය වාර්තා ගොනු කිරීම හා විදේශීය බලවතෙකුගේ නියෝජිතයෙකු ලෙස ඇඟවීමට (ලියාපදිංචි වීමට) අසමත්වීම යන චෝදනා 12ක් මත අධි චෝදනා ලැබූහ. අවසාන චෝදනාව සම්බන්ධ කෙරුනේ යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් හා රුසියාවට හිතවත් ඔහුගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් බලපෑම් කරන්නන් ලෙස ඔවුන් කල වැඩකටයුතුවලට ය.

ඇතම් විට ට‍්‍රම්ප්ට ඊටත් වඩා තර්ජනාත්මක වූයේ ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනයේ හිටපු විදේශ ප‍්‍රතිපත්ති උපදේශකයෙකු වූ ජෝජ් පපඩෝපෝලස් විසින් ඉදිරිපත් කරන ලද සමාව අයැදීම යි. ඔහු ජූලි මස දී අත්අඩංගුවට ගැනුනු අතර එතැන් සිට මියුලර්ගේ විමර්ශනයට සහාය දක්වමින් සිටී. ඔහු ඔක්තෝබර් 5වැනිදා, සමාව අයැදීමට ඉදිරිපත් වුනේ, එෆ්බීඅයි ඒජන්තට බොරු කී බව පිලිගනිමිනි, නමුත් මියුලර් ඔහුට එරෙහිව චෝදනා ද සමාව අයදීමේ ගිවිසුම ද සඳුදා වන තෙක් රහසක් ලෙස තබා ගත්තේ ය.

තමන්ට ක්‍රෙම්ලිනය සමග සම්බන්ධකම් ඇතැයි ද එමෙන් ම 2016දී ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනයට ඩිමොක‍්‍රටික් ජනාධිපතිවරන අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පිලිබඳ “කුනුකන්දල්” සැපයීමට පොරොන්දු වුයේ යැයි පැවසෙන රුසියානුවන් කීප දෙනෙකු හමු වූ බව ද පපඩෝපෝලස්, මියුලර්ගේ පැමිනිලි මෙහෙයවන්නන්ට පැවසී ය. උසාවි ලිපි ට‍්‍රම්ප්ගේ ඉහල මට්ටමේ උද්ඝෝෂන නිලධාරීන් සමග පපඩෝපෝලස්ගේ සාකච්ඡා පිලිබඳව සඳහන් කරන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු රුසියානු සම්බන්ධකම් හඹායමින් සිටි මනෆෝර්ට් යැයි මාධ්‍ය විසින් හඳුනා ගෙන ඇත.

ඩිමොක‍්‍රටිකයන් හා මාධ්‍ය හොරනෑ මෙයට ප‍්‍රශංසා කර ඇත්තේ ට‍්‍රම්ප්ගේ වාසිය සඳහා 2016 මැතිවරනය තල්ලු කිරීමට ට‍්‍රම්ප් උද්ඝෝෂනය හා ව්ලැඩිමීර් පුටින්ගේ රුසියානු ආන්ඩුව අතර පැවති කුමන්ත‍්‍රනය පිලිබඳ සාක්ෂියක් ලෙස ගෙන හැර දක්වමිනි.

ට‍්‍රම්ප් මත ම කේන්ද්‍රගත කෙරුනු එදිරිවාදී පරීක්ෂනයක් තුලදී වඩ වඩා අභිචෝදනා පැමිනෙනු ඇති බව සැබවින් ම ඒකාන්ත ය. විශේෂ නඩු පවරන්නෙකු ලෙස මියුලර් පත්කෙරුනේ පසු ගිය මැයි මාසයේ දී ට‍්‍රම්ප් විසින් එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ දොට්ට දැමීමෙන් පසු ය. මැතිවරනය තුල චූදිත රුසියානු මැදිහත්වීම් මෙන් ම ට‍්‍රම්ප් හා ඔහුගේ කන්ඩායම කලා යැයි කියනු ලබන කුමන්ත‍්‍රන හා නීතියට බාධා කිරීම් පරීක්ෂා කිරීමට ඔහුට නියෝගයක් දෙන ලදී.

ට්වීටර් පනිවිඩ මලාවක දී, ට‍්‍රම්ප් තම ජයග‍්‍රහනය හා ඔවුන්ගේ වැඩ අතර සම්බන්ධයක් නො තිබුනු බව පවසමින් මනෆෝර්ට් හා ගේට්ස්ගේ අධිචෝදනා ප‍්‍රතික්ෂේප කල අතර ඔහුගේ උද්ඝෝෂනය තුල වැදගත් කාර්යභාරයක් ඉටු නො කල පපඩෝපෝලස් බොරුකාරයකැ යි හැදින්වී ය. බේරයිට්බාර්ට් නිවුස් ප‍්‍රධානී ස්ටීවන් බෙනන් ඇතුලු ඔහුගේ අන්ත දක්ෂිනාංශික සහචරයන් මෙන් ම රූපට් මර්ඩොක්ගේ වෝල් ස්ට්‍රීට් ජර්නල් කතුවැකි පිටුව, මියුලර්ගේ ඉල්ලා අස්වීම, ඔහුගේ පරීක්ෂනය අඩපන කිරීමේ පියවර ගැනීම, හා රුසියානු මැදිහත්වීම පිලිබඳ කොංග්‍රසීය විමර්ශනය අවසන් කිරීමට මෙන් ම ඒ වෙනුවට මොස්කව්ව සමග ඩිමොක‍්‍රටික් පක්ෂයේ කුමන්ත‍්‍රනයක් පිලිබඳ චෝදනාව ගැන කොංග‍්‍රසීය රිපබ්ලිකානුවන් ආක‍්‍රමනකාරී ලෙස පරීක්ෂනයක් ඉල්ලා සිටිය යුතු බව තර්ක කරමින් සිටී.

මෙම අධිචෝදනා සලකුනු කරන්නේ මැතිවරන උද්ඝෝෂනයේ සිට දැඩි වී තිබෙන්නා වූ ද ට‍්‍රම්ප්ගේ පදවිප‍්‍රාප්තියේ සිට උත්සන්න වී ඇත්තා වූ ද ඇමරිකානු පාලක පන්තිය තුල බියකරු ගැටුම යි. මෙම ගැටුම තුල, එක පැත්තක හෝ යන්තම් වත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ ප‍්‍රගතිශීලි කිසිවක් නොමැත.

ජනරාල්වරුන් හා බිලියනපතියන් විසින් ආධිපත්‍යය දරන ට‍්‍රම්ප් පාලනාධිකාරිය එක්සත් ජනපද ඉතිහාසයේ ඉතාමත් ප‍්‍රතිගාමී ආන්ඩුව මෙන් ම කම්කරු පන්තියේ කුරිරු සතුරෙකු ද වන්නේ ය. සෞඛ්‍ය රක්ෂනය විනාස කරමින්, මහා ව්‍යාපාර මත සියලු අධීක්ෂනයන් ඉවත් කරමින්, පොලිස් ප‍්‍රචන්ඩත්වය ඉහල දමමින්, සංක‍්‍රමනිකයන් දඩයම් කරමින් හා පොහොසතුන් සඳහා බහුමිලියන බදු කප්පාදු ක්‍රියාත්මක කිරීම සූදානම් කරමින් සිටින අතර, උතුරු කොරියාවට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීම මෙන් ම ඉරානයට හා චීනයට එරෙහිව අවසානයක් නැති ප‍්‍රකෝපකිරීම් එල්ල කිරීමත් සමග, එය මූල්‍ය කතිපයාධිකාරිය හා මිලිටරියේ කන්ඩායම් අතර පුලුල් සහායක් භුක්තිවිඳියි.

ට‍්‍රම්ප්, බැනන් සමග එක් ව, පාර්ලිමේන්තු පද්ධතියට පිටින්, අවශ්‍ය වුවහොත් රිපබ්ලිකානු පක්ෂයෙන් ද ස්වාධීනව බියකරු ලෙස ජාතිකවාදී මෙන් ම ව්‍යාජ ජනප්‍රියවාදී ව්‍යාපාරයක් හිතාමතා වර්ධනය කරමින් සිටී.

එහෙත් ට‍්‍රම්ප්ට එරෙහිව ඩිමොක‍්‍රටික් විරුද්ධත්වයේ පදනම කුමක් ද? නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් හා ඩිමොක‍්‍රටික් පක්ෂයට සම්බන්ධ අනෙකුත් මාධ්‍ය හොරනෑවල අදහස් දැක්වීම් තුල ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිගාමී දේශීය හා විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ කිසිදු සඳහනක් සැබවින් ම නැත්තේ ය. ඒ වෙනුවට, ඩිමොක‍්‍රටිකයෝ රුසියාව ගැන ට‍්‍රම්ප් “මෘදු” වී සිටීම වෙනුවෙන් පහර දෙමින් සිටින අතර මිලිටරිය හා ඔත්තුසේවා ඒජන්සිවලට ඔවුන්ගේ ආයාචනය යොමු කරමින් සිටිති.

වසර බොහෝ ගනනක් එෆ්බීඅයි ප‍්‍රධානියා වූ මියුලර්, පුද්ගලාරෝපනය කරන්නේ අභ්‍යන්තර ආන්ඩුව (deep state) යි. එනම් එක්සත් ජනපදයේ දේශීය හා විදේශ ප‍්‍රතිපත්තියේ සැබෑ තීරකයා වන පොලිස්, මිලිටරි හා ඔත්තු සේවාවල ඡන්දයකින් පත් නොවුනු නිලධරය යි. ඩිමොක‍්‍රටික් පක්ෂය මර්දනය හා ප‍්‍රචන්ඩත්වයට සම්බන්ධ මෙම ප‍්‍රතිගාමී සංවිධානවල උකුලේ නැලවෙ යි.

ට‍්‍රම්ප් විසින් මිලිටරිය උත්කර්ෂයට නැංවීම හා යුද තර්ජනයෙන් ලෝකය බිය ගැන්වීමට ඩිමොක‍්‍රටිකයෝ විරුද්ධ නොවෙති. මෑත දී ඔවුහු එක්සත් ජනපද ඉතිහාසයේ විශාල ම පෙන්ටගන් අයවැය සඳහා (ට‍්‍රම්ප් විසින් ඉල්ලන ලද ප‍්‍රමානයටද වඩා වැඩි) ඒකමතිකව ඡන්දය දුන් අතර, මිලිටරි මැදිහත්වීම් සඳහා හිස් චෙක් පතක් සහතික කිරීමට අධිකාරී බලය දීමේ යෝජනාවක් සම්මත කිරීම සඳහා කොංග‍්‍රසය තුල උත්සාහ දරමින් සිටිති.

ඔවුහු සංක‍්‍රමනිකයන් හා සරනාගතයන් මත ට‍්‍රම්ප්ගේ ප‍්‍රහාරයන්ට එරෙහි තම සංකේතාත්මක විරුද්ධත්වය ඉවත දමා ඇති අතර නව සෞඛ්‍ය රක්ෂන කප්පාදු හා සංගත බදු දැවන්ත ලෙස අඩු කිරීමේ එකඟත්වයක් සඳහා ඇම දමමින් සිටිති.

ට‍්‍රම්ප්ගේ ජනප්‍රියත්වය වාර්තාගත ලෙස පහල මට්ටමක ගිලී ගොස් ඇත්තා වූ ද එමෙන් ම රිපබ්ලිකානු පක්ෂය ට‍්‍රම්ප්-විරෝධී හා ට‍්‍රම්ප් ගැති කන්ඩායම් අතර විවෘත ගැටුමකට මුහුන දෙමින් සිටින්නා වූ ද තතු යටතේ, ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට වන මහජන විරුද්ධත්වය බලමුලු ගැන්වීමක් දිරිමත් කිරීම ඩිමොක‍්‍රටිකයන්ට අවශ්‍ය අවසාන දෙය වන්නේ ය. පලමු කොට, ඩිමොක‍්‍රටිකයෝ පාලනාධිකාරියේ යුද්ධ, කප්පාදු හා මර්දන වැඩසටහන් සමග මූලික වසයෙන් ම එකඟ වෙති. දෙවනුව, පාලක පන්තිය තුල ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ පලි ගැනීම්වලට ට වඩා කම්කරු පන්තියේ නැගිටීමකට ඔවුහු දහස් වාරයක් බියවෙති.

සාධක මත නොව ඔත්තුසේවා ඒජන්සි එසේ කීම මත පාදක රුසියානුවන්ගේ ඇඟිලි ගැසීම් පිලිබඳ ප‍්‍රකාශය, නව-මැකාතිවාදී දඩයමක ස්වභාවය ගෙන ඇත. එහි දී පාලක පන්තියේ ප‍්‍රතිපත්තිවලට වන සමාජ හා දේශපාලනික විරුද්ධත්වය ක්‍රෙම්ලිනයේ දුෂ්ට මැදිහත්වීම්වලට ආරෝපනය කෙරේ.

රුසියානු කඩාකප්පල් කිරීම පිලිබඳ ප‍්‍රතිගාමී හා විකාර කථාන්තරය වැඩි වැඩියෙන් එල්ල කරමින් ඇත්තේ වාමාංශික හා යුද විරෝධී විරුද්ධත්වය මර්දනය කිරීම දෙසට ය. ඩිමොක‍්‍රටිකයන් හා ඔවුන්ට සම්බන්ධ නිව් යෝක් ටයිම්ස් මෙන් ම වොෂින්ටන්පෝස්ට් වැනි මාධ්‍ය හොරනෑ පෙරමුනේ සිටීම සමගින්, රුසියානු ආවේශිත “ව්‍යාජ ප‍්‍රවෘත්ති” පිලිබඳ උපකල්පිත තර්ජනය යොදා ගැනී ඇත්තේ, ගූගල්, ෆේස්බුක් හා ට්වීටර් වැනි තාක්ෂන යෝධයන් විසින් වඩ වඩා අසාදු ලේඛනගත කෙරෙන, ප‍්‍රගතිශීලී හා වාමාංශික වෙබ් අඩවි, විශේෂයෙන් ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය මත කඩාපැනීමකට ය. මෙම උද්ඝෝෂනය හැම විට ම විවෘත ලෙස නිදහස් භාෂනය හා දේශපාලනික අදහස් ප‍්‍රකාශය මත ප‍්‍රහාරයක් වී ඇත.

ට‍්‍රම්ප්ට වන ඩිමොක‍්‍රටික විරුද්ධත්වයේ දක්ෂිනාංශික ස්වභාවය සම්පින්ඩනය කෙරුනේ “ඇමරිකාවට එරෙහිව කුමන්ත‍්‍රනය” නම් ශීර්ෂපාඨයකින් යුක්තව මයිකල් ගෝල්ඩ්බර්ග් විසින් නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ ප‍්‍රසිද්ධ කෙරුනු තීරුලිපියක ය. නේෂන් හා සැලොන් වෙබ් අඩවිවල ලියා ඇත්තා වූ ද දැනට ඩිමොක‍්‍රටිකයන්ට සම්බන්ධ ඇමරිකන් ප්‍රොස්පෙක්ට් නම් සඟරාවේ කාර්යමන්ඩලයේ සිටින්නා වූ ද ගෝල්ඩ්බර්ග් “අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව (ට‍්‍රම්ප්-රුසියා) උද්ඝෝෂනය” හෙලාදකින අතර “ඔහුගේ (ට‍්‍රම්ප්ගේ) ජාතිකවාදී කයිවාරු සම්බන්ධයෙන් ගත් විට, ඔහුගේ උද්ඝෝෂනය රුසියානු පෙරලිකාරිත්වයට වාහනයකැ”යි ප‍්‍රකාශ කලේ ය.

ඒ අතරම, ටයිම්ස් පත‍්‍රයේ විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මාන් කතුවැකියට ඉදිරිපස පිටුවේ එකකට පසු එක ලිපියක් බැගින් ප‍්‍රසිද්ධ කරන්නේ ජනාධිපති ට‍්‍රම්ප් පලවා හැර රාජ්‍ය පාලන කටයුතු සෘජු පාලනයට ගන්නා ලෙස ඉල්ලමිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2017 ජූනි 13වැනිදා, මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය හා කම්කරු පන්තියේ මූලෝපාය නම් ප‍්‍රකාශනයේ මෙසේ සඳහන් කලේ ය:

ට‍්‍රම්ප් හා ඔහුගේ පාලනය තුල, කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතින් සහ කම්කරු පන්තියේ ජීවන තත්වයන් විනාශ කිරීම ට සපථ කල දුෂ්ට සතුරෙකුට ය. එය වනාහි “පලමුව ඇමරිකාව” යන ජාත්‍යෝත්තමවාදය පදනම් කරගත් ගෝලීය න්‍යාය පත‍්‍රයක් පෙරටුකර ගත් ආන්ඩුවකි. කම්කරු පන්තිය මේ ආන්ඩුවට විරුද්ධ විය යුතුය; එය ඉවත් කර දැමීමට වැඩ කල යුතුය. එහෙත් මේ කටයුත්ත පාලක පන්තිය තුල ඉන්නා ට‍්‍රම්ප් විරෝධීන්ගේ කාන්ඩයට අතහැරිය යුතු නැත. ට‍්‍රම්ප් සහ ඩිමොක‍්‍රටිකයන් අතර ඝට්ටනය සිදුවන තතු තුල, කම්කරු පන්තිය පසෙකට වී බලා සිටිය යුතු නැත. කම්කරු පන්තිය ට‍්‍රම්ප්ට එරෙහිව සිය අරගලය වර්ධනය කල යුත්තේ තමාගේ ම ධජය සහ තමන් ගේ ම ක්‍රියා මාර්ගය යටතේ ය. මෙහි අර්ථය නම් කම්කරු පන්තිය දිගහැරෙන දේශපාලන අර්බුදයේ පන්ති ගතිකයන් පිලිබඳ පැහැදිලි වැටහීමක් වර්ධනය කරගත යුතු බවය. මෙහි අර්ථය නම් කම්කරු බලය, කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒ්කාබද්ධතාව, හා සමාජවාදය මත පදනම්ව ධනපති පන්තියේ පක්ෂ දෙකට හා සියලු කන්ඩායම් වලට විරුද්ධව කම්කරු පන්තිය මත පදනම්ව ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කල යුතු බවයි.

බැරී ග්‍රේ

Share this article: