ඩිමොක‍්‍රටිකයන්ගේ මැකාතිවාදී දඩයම

The Democrats’ McCarthyite witch hunt

2017 නොවැම්බර් 3

අන්තර්ජාලයේ පලවන “අන්තවාදී අන්තර්ගතයන්” පිලිබඳ ව, කොංග‍්‍රසය විසින් මේ සතියේ පවත්වන සාක්ෂි විමසීම්, තොරතුරු වාරනය යුක්තිසහගත කිරීමට හා අන්තර්ජාලය මත නිදහසේ අදහස් පලකිරීමේ අයිතියට පහර දීම සඳහා, රහස් තොරතුරු ඒජන්සි සහ ප‍්‍රමුඛ මාධ්‍ය නාලිකාවන් සමගින් ඩිමොක‍්‍රටික් පාක්ෂික කොංග‍්‍රස් සභිකයන් විසින් ගෙනයමින් සිටින උද්ඝෝෂනයේ නව අවධියක් සලකුනු කරයි.

තම අන්තර්ජාල වේදිකාවන් “සමාජමය බෙදීම්” හා “අන්තවාදී” දේශපාලනික මතිමතාන්තර වැපිරීම සඳහා භාවිතා කරනු ලබන බවට පිලිගන්නා ලෙස, ගූගල්, ට්විටර් හා ෆේස්බුක් සමාගම්වල නියෝජිතයින්ට කොංග‍්‍රස් හා සෙනට් සභිකයන් එකෙකුට පසු තෙවෙකක් විසින් බලකරනු ලැබේ. මෙම උද්ඝෝෂනයේ ඉලක්කය වන්නේ, එක්සත් ජනපදය තුල සමාජ අතෘප්තිය වනාහි ලෝකයේ අන් කිසිදු දියුනු රටක දක්නට නැති මට්ටමේ සමාජ අසමානතාවක් ඇමරිකාව තුල පැවතීම මගින් පැනනංවන්නක් නො ව, ක්‍රෙම්ලිනයේ සේවය වෙනුවෙන් ක‍්‍රියාකාරී වන “පිටස්තරින් පොලඹවන්නන්ගේ” වැඩවලින් හටගන්නා දෙයක් ලෙස තහවුරු කිරීම යි.

සාක්ෂි විමසීම් භ‍්‍රමනය වන්නේ, එක්සත් ජනපදය තුල සමාජ කෝපාග්නිය යොදා ගනිමින් අන්තර්ජාලය “ආයුධකරනය” කිරීමට රුසියාව යත්න දැරුවේ ය යන්න වටා ය. “ බෙදීම්වලට හේතුවන අනුරාගයන්ට ඉන්ධන සපයමින් එක්සත් ජනපදය තුල ඝර්ෂනයන් රුසියාව විසින් දිරිමත් කලේ” යයි ඩිමොක‍්‍රටික් කොංග‍්‍රස් සභික ඇඩම් ෂිෆ් කීවේ ය. ”අන්තර්ජාල පෙත්සම්වලට අත්සන් කිරීම, රැස්වීම් හා විරෝධතාවන්ට ඒකාබද්ධවීම ආදියට සැබෑ ඇමරිකානුවන් පෙලඹවීමට” රුසියාව යත්න දැරූ බව ද ඔහු කීවේ ය.

වාමාංශික චින්තනය මර්දනය කරමින් 1950 ගනන්වල ක‍්‍රියාත්මක වූ මැකාතිවාදී දඩයම් කිරීම්, වාමාංශික හා සියලු ආකාරවල විරුද්ධ මතයන් අවජාතක හා දේශද්‍රෝහී ඒවා යයි හංවඩු ගැසූහ. හොලිවුඩ් චිත‍්‍රපට කර්මාන්තය, වෘත්තීය සමිති හා විශ්ව විද්‍යාල තුල වාමාංශික මත දැරූවන් ව විරේක කර දැමීමට එම දඩයම්වලට නායකත්වය දුන් පුද්ගලයෝ ක‍්‍රියා කලහ.

ඒ අයුරින් ම අද්‍යතන නව මැකාතිවාදයේ ඉලක්කය වන්නේ වාමාංශික සංවිධාන සහ ඒවායේ නිරත පුද්ගලයන්, අනිවාර්යයෙන් ම ක්‍රෙම්ලිනයේ ඒජන්තයන් ලෙස දේශද්‍රෝහී ක‍්‍රියාකාරකම්වල නිරත හා ඒ නිසා ම, අපරාධ නීතිය යටතේ චෝදනාවන්ට ලක්කරනු ලැබිය යුතු අය ලෙස යක්ෂාරෝපනය කිරීම එල්ල කර ගත් දේශපාලන පරිසරයක් නිර්මානය කිරීමයි.

මේ ඉලක්කය ඇති කොංග‍්‍රස් දඩයම්කරුවෝ පොලිස් ප‍්‍රචන්ඩත්වයට හා සමාජ අසමානතාවට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන “රුසියානු සම්බන්ධකම්” ඇති සමාජජාල අදහස් දැක්වීම් ගනනාවක් නිකුත් කලහ. එක්සත් ජනපදය තුල සමාජමය බෙදීම් වැපිරීමට රුසියාව ක‍්‍රියා කරන්නේ කෙසේ ද යන්නට “තවම රස්නය පවතින” උදාහරන ලෙස මේවා සේවය කරයි.

එක්සත් ජනපදය බෙදීමට හේතුව ව්ලැදිමීර් පුටින් ය යන තර්කය අවංක ලෙසම හාස්‍යජනක වේ. මේ වසර ඇතුලත මේ දක්වා, මිනිසුන් හතර දෙනකු හෝ ඊට වැඩි දෙනෙකු ඝාතනයට ලක් වූ වෙඩිතැබීම් 273ක් එක්සත් ජනපදය තුල සිදු වී ඇත. සෑම වසරක් පාසා ම පොලීසිය විසින් 1,000කට වැඩි දෙනෙකු මරා දමනු ලැබේ.

සමාජ අතෘප්තිය සමගින් එක්සත් ජනපද සීමා පුපුරා යමින් තිබේ. අසමානතාව, යුද්ධය, දරිද්‍ර මට්ටමේ වැටුප් ගෙවන රැකියාවන්ගෙන් ඇති කර තිබෙන පීඩනය ආදී සියල්ල යෝධ සමාජමය කෝපයක මූලාශ‍්‍රයන් ය.

ඩිමොක‍්‍රටික් පක්ෂය 2016 වසරේ ලද ව්‍යසනීය පරාජයට පත්වීමේ සැබෑ හේතු ඉවත දමා, එය වනාහි ක්‍රෙම්ලිනයේ පිටුබලය සහිත කුමන්ත‍්‍රනයක් මිස සමස්ත රට ම අතෘප්තියට පත්කරන සමාජ කාලකන්නිභාවය කෙරෙහි එම පක්ෂය දක්වන නො තැකීම හේතුවෙන් සිදු වූවක් නො වේය යන්නෙන් මෙම තකතීරු කතන්දරය පැනනගී.

ගැටලුව “පිටස්තර” එකක් නො ව “බිය හා කෝපය උද්දීපනය කිරීමට හේතුපාදක වන” සමාජජාල සමාගම් විසින් භාවිතා කරනු ලබන වැඩසටහන් ක‍්‍රමලේඛන තුල පදනම් තිබෙන එකක් බවට නොවැම්බර් 2දා පැවති සාක්ෂි විමසීමේ දී ෂිෆ් මැසිවිලි නැගුවේ ය.

“අතට ගන්නා ශ‍්‍රාවකයක් මගින් එය වෛරසයක් මෙන් පැතිර යාමට හා විශාලනය වීමට උපකාරී විය හැකි” අතර එහි විපාකය, “ සමාජය තුල පුලුල් වන බෙදීම් ඇති කිරීම යි” යනුවෙන් ඔහු කියා සිටියේ ය.

ෂිෆ් හෝ ඔහුගේ අන් කිසිදු සහකරුවෙක් ඇමරිකාව බෙදී වෙන්වීමේ හෝ එහි සමාජ අතෘප්තියේ සැබෑ මූලාශ‍්‍ර ගැන අවසන් වරට සාක්ෂි විමසීමක් පවත්වා ඇත්තේ කවර විටක ද? ඔවුන් සාක්ෂි විමසමින් සිටින්නේ ඇෆ්ගනිස්තානය හෝ සිරියාව තුල කරගෙන යන අපරාධකාරී යුද්ධවලින් මූල්‍ය ප‍්‍රභූව උපයන පිම්බෙන ලාභ ගැන ද? නැත, ෂිෆ් කනස්සල සහගත වන්නේ, තමන්ගේ “කෝපය” ඉහල නැංවීමට හේතුවන කිසිවක් දැනගැනීමෙන් මහජනයා වලකාලීම ක‍්‍රියා කරන්නේ කෙස්ද යන්න පිලිබඳවයි.

මේ අනුව ඔහු ෆේස්බුක්, ට්විටර් හා ගූගල් සමාගම්වල නියෝජිතයන්ගෙන් විමසූවේ “අප විසින් සොයනු ලබන දේ මත ලැබෙන තොරතුරු අවසානයේදී පෙරා ඉදිරිපත් කෙරෙන සේ” කරුනු වෙනස් කිරීමට ඔවුන්ට පවතින “සමාජමය වගකීම” කුමක්ද යන්නයි.

ප‍්‍රකාශනය මගින්, ඩිමොක‍්‍රටික් පක්ෂයේ “ව්‍යාජ පුවත්” හා “රුසියානු අතපෙවීම්” පිලිබඳ ඝෝෂාවෙහි සැබෑ අන්තර්ගතය ෂිෆ් විසින් පැහැදිලි කලේ ය. ෂිෆ් හා ඔහුගේ සහකරුවන් කනස්සලු වන්නේ “ව්‍යාජ පුවත්” පිලිබඳ ව නො වේ; මහජන කෝපය පිලිබිඹු කරමින් “වෛරසයක්” මෙන් පැතිර යන හා එමෙන් ම, එම කෝපය “විශාලනය” කරන සත්‍ය ප‍්‍රවෘත්තීන් පිලිබඳවය.

ෂිෆ් හා කොංග‍්‍රසයේ සිටින ඔහුගේ අනෙකුත් සහකරුවන්ට අනුව ගැටලුව වන්නේ, සංගතයන්ගේ පාලනය යටතේ පවතින පුවත්පත් හා රුපවාහිනී ප‍්‍රචාරක ආයතනවල ප‍්‍රවෘත්ති තුලින් දකින හා කියවන දේවලට විරුද්ධ දේවල්, දේශපාලනික ව විවේචනශීලී මතයන් සොයමින් සිටින මහජනයාට අන්තර්ජාලය තුලින් මුනගැසෙනු ඇති ය යන්න යි.

පිම්මේ ඉහල යන සමාජ අසමානතාව, සර්පිලාකාරව වැඩෙන දේශපාලන අර්බුදය හා න්‍යෂ්ටික යුද්ධය පිලිබඳ අනවරත තර්ජනය යන ඒවා, අතෙර් මහජනයා යුක්තියුක්ත ලෙස ධනේශ්වර පද්ධතියට හා දේශපාලන සංස්ථාපිතයට සතුරු ආස්ථානයකට තල්ලු කර ඇත. අන්තර්ජාලයේ යෝධ ජනප‍්‍රියත්වය පිලිබිඹු කරන්නේ, රහස් තොරතුරු ඒජන්සි හා සන්ධානගත ව වැඩකරන නිව් යෝක් ටයිම්ස් වැනි ප‍්‍රවෘත්ති බෙදාහරින්නන් මහජනයාගෙන් සැඟවීමට උත්සාහ කරන තොරතුරු එයින් (අන්තර්ජාලයෙන්) ලබාගැනීමේ අවස්ථාව තිබෙන්නේ ය යන කාරනය යි.

සමාජ අතෘප්තියේ සහ අන්තර්ජාලය විසින් සම්පාදනය කරනු ලබන තොරතුරුවලට සීමාවලින් තොර ව පිවිසිය හැකිවීමේ සංයෝජනය, වාරනය හරහා සටන් කර පැරදවිය යුතු වන තමන්ගේ පැවැත්මට ම එල්ල වන තර්ජනයක් යයි පාලක ප‍්‍රභූව දැකගනී. “සිවිල් යුද්ධයන් ඇරඹෙන්නේ තුවක්කු වෙඩිපහරවල් සමගින් නෙවෙයි, වචනවලින්. ඇමරිකාව තමන් සමග ම ගෙනයන යුද්ධය දැනටමත් පටන් අරගෙනයි තියෙන්නෙ. තොරතුරු කැරලි මැඩපැවැත්වීමට අපි දැන් සමාජජාල මාධ්‍ය සටන්බිම් මත ක‍්‍රියාකල යුතු යි... ව්‍යාජ තොරතුරුවල කාලතුවක්කු වෙඩිපහර වැල සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මතට ලැබීම නැවැත්වීම සිදුවන්නේ බොරු කතන්දර බෙදාහරින්නන් නිහඬ කලවිට පමනයි- තුවක්කු නිශ්ශබ්ද කලවිට වෙඩිපහරවල් අවසන්වනු ඇති” යයි හිටපු එක්සත් ජනපද හමුදා නිලධාරියෙක් හා එෆ්බීඅයි ඒජන්තයෙක් වන ක්ලින්ට් වොට්ස් නොවැම්බර් 1දා සෙනට් අධිකරන කමිටුව හමුවේ ප‍්‍රකාශ කලේ ය.

වාරනය පිලිබඳ ව මෙතරම් විවෘත ව කතාකිරීමෙහි අර්ථය වන්නේ ප‍්‍රමුඛ තීව‍්‍ර වීමක් අතලඟ පැමිනෙමින් තිබෙන බව යි. වොට්ස්ගේ වචන භාවිතා කර කියන්නේ නම්, තමන් මේ වනවිටත් තමන්ගේ රටෙහි ජනයා සමග සිවිල් යුද්ධයක නිරත ව සිටින බවට විශ්වාස කරන ඇමරිකානු පාලක ප‍්‍රභූව, අන් සියල්ලට වඩා “කැරලිකාරීත්වයේ” මූලාශ‍්‍ර “නිශ්ශබ්ද” කිරීම සඳහා වාරනය යොදාගැනීම ඉලක්ක කරයි.

තම වෙබ් අඩවිවල පලවන දෙයෙහි අන්තර්ගතය මධ්‍යස්ථ කිරීමට හා පූර්ව විමර්ශනයට ලක්කිරීමට “දහස් ගනන්” මිනිසුන් කුලියට ගනිමින් සිටින ගූගල්, ෆේස්බුක් හා ට්විටර් සමාගම් දැනට මත් වාරන ක‍්‍රියාවලියෙහි යෙදී සිටිති. මේ මස මුල දී, ප‍්‍රධාන මාධ්‍යයන් විසින් බොහෝ සෙයින් වාරනයට ලක් කරන ලද වාර්තා පලකරන රුසියානු අනුග‍්‍රහය ලබන රුපවාහිනී නාලිකාවක් හා අන්තර්ජාල පුවත් සේවයක් වන ආර්ටී, ගූගල් සමාගම විසින් යූ ටියුබ් හි නාලිකා අතුරින් තම “මනාපය” ඇති ලැයිස්තුවෙන් ඉවත් කලේ ය. ට්විටර් අඩවිය ද එලෙසින් ම තම දැන්වීම් ප‍්‍රචාරන සේවාව ලබාගැනීමේ අවස්ථාව ආර්ටී නාලිකාවට අහිමි කලේය.

අප්‍රේල් මාසයේ ගූගල් සමාගම ක‍්‍රියාවට දැමූ එහි සෙවුම් යන්ත‍්‍ර ක‍්‍රමලේඛනයෙහි වෙනස්කම් කිරීම, වාමාංශික, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවලට එලඹෙන පිවිසුම් ගනන සියයට 55කටත් වැඩියෙන් පහත දැමුවේ ය. ගූගල් නිවුස් නමැති එහි ප‍්‍රවෘත්ති පිටුවලින් >ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු පිටු සහ පුලිට්සර් සම්මානලාභී ක‍්‍රිස් හෙජස් වැනි ඉදිරිපෙලේ වාමාංශික ජනමාධ්‍යවේදීන්ගේ ලිපි ද අඩංගු පිටු ඉවත් කිරීමට එම සමාගම පසුගිය මාසයේ පියවර ගත්තේ ය.

අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස විනාශ කිරීමට ගෙනයන මෙම ධාවනයට එරෙහි විය යුතු ය! එක්සත් ජනපදය තුල පමනක් නො ව සමස්ත ලෝකය පුරා ම ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සුනුවිසුනු කිරීම ඉලක්ක කරගන්නා හීතුඩ එම ධාවනය යි.

ගූගල් සමාගම ගෙනයන වාරනයට විරුද්ධ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෙනයන උද්ඝෝෂනයට මුදලින් ආධාර කරන ලෙසත් සමාජවාදය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා වූ අරගලයේ කොටසක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටනට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බැඳෙන ලෙසත් අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: