ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පත්වීමේ තැන් සිට වසරක්

One year since the election of Donald Trump

2017 නොවැම්බර් 8

අදට වසරකට පෙර, 2016 නොවැම්බර් 8වැනිදා, රිපබ්ලිකානු අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපතිවරනය ජය ගත්තේ ය. ආසන්න වසයෙන් මිලියන තුනකින් මහජන ඡන්දය පරාජය වීම නො තකා, ට‍්‍රම්ප් මැතිවරන විද්‍යාලයේ දී ඩිමොක‍්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලිටන් පරාජය කලේ මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා යන කාර්මික ප‍්‍රාන්තවල පටු ජයග‍්‍රහනයන් මාර්ගයෙනි.

ඡන්ද ගනන් කිරීමෙන් පසු පැය කීපයක් ඇතුලත ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ගැන මාක්ස්වාදී විශ්ලේෂනයක් ප‍්‍රකාශයට පත් කලේ ය. අපි මෙසේ සඳහන් කලෙමු:

එක්සත් ජනපද ජනාධිපතිවරනය තුල ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අග‍්‍රස්ථ අර්බුදය මුලු ලෝකයා ඉදිරියේ හෙලිදරව් කර ඇති දේශපාලන භූමිකම්පාවකි. එය අශ්ලීල වංචාකාරයෙකු මෙන් ම බිලියනපති කයිවාරුකාරයෙකු එරට ඉහල ම තනතුරුට උස්සා තිබීම පෙන්වූයේ ධනේශ්වර පාලනයේ පරිහානියේ තරම යි. එලඹෙන දිනවල ඔහු මොනතරම් ශාන්ත වාගාලාප නිකුත් කිරීමට ඉඩ තිබුනත් ජනාධිපති ට‍්‍රම්ප් මෙහෙය වනු ඇත්තේ පන්ති යුද්ධය, ජාතික ස්වෝත්තමවාදය, මිලිටරිවාදය හා පොලිස් රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයේ ආන්ඩුවකි...ට‍්‍රම්ප් යටතේ, ඇමරිකාව “නැවතත් ශ්‍රේෂ්ට” නො කෙරෙනු ඇත. එය තල්ලු කෙරෙනු ඇත්තේ කසල ගොඩට ය.

ඊ ලඟ මාස දොලහේ ඝෝෂාකාරී සිදුවීම් මෙම තක්සේරුව බලවත් ලෙස සනාථ කර ඇත. ට‍්‍රම්ප් බිලයනපතියන්, ජනරාල්වරුන් හා අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන්ගේ කැබිනට් මන්ඩලයක් තෝරා ගත්තේය. දේශීය ප‍්‍රතිපත්තිය තුල ඔහු ඔහුගේ ප‍්‍රධාන ඉලක්කය ලෙස තැබුවේ සංගත ඇමරිකාව වෙනුවෙන් නියාමනහරනය හා දැවන්ත බදු කප්පාදු ඇති කිරීම ඔස්සේ පොහොසත් පරපුට්ටන්ගෙන් යුත් තම පන්තිය ම පොහොසත් කිරීම යි. අධිපතිවාදී පාලනයකට පදනමක් නිර්මානය කිරීමට ඔහු වැඩ කලේ පොලීසිය, මිලිටරිය, දේශ සීමා මුරකාවල් හා එක්සත් ජනපද සංක‍්‍රමනික හා රේගු බලගැන්වීම් මගින් මෙන් ම වර්ජීනියාවේ චලොටස්විලේ හි කැරලි ගැසූවන් වැනි පුරෝගාමී ෆැසිස්ට්වාදීන්ට ආයාචනා කරමිනි. ඔහු ඇරඹුවේ මිලිටරිවාදය හා න්‍යෂ්ටික යුද තර්ජනය මත පාදක විදේශ ප‍්‍රතිපත්තියකි.

සංගත පාලිත මාධ්‍ය හා ඩිමොක‍්‍රටික් දේශපාලඥයින් ට‍්‍රම්ප්ට සලකන්නේ ඔහු ධනේශ්වර දේශපාලන සම්මතයේ අපසරනයක් නියෝජනය කරන බව මවා පාමිනි. නමුත්, අපසරනයක් නියෝජනය කරනවාට වඩා වෙනස් ව, ඔහුගේ ජනාධිපතිත්වය දසක ගනනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන ප‍්‍රවනතාවන්ගේ, විශේෂයෙන් ම සමාජ හා ආර්ථික අසමානත්වයේ යෝධ වර්ධනය හා සැබවින් ම නිමක් නැති විසිපස් වසරක යුද්ධයේ නිර්මිතයකි. ඇමරිකානු ධනවාදයේ මෙම ප‍්‍රමානකයන් දෙක හා ද්විපක්ෂ ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවත්වා ගෙන යාම හා නො පෑහේ.

එක්සත් ජනපදය කතිපයාධිකාරියක් වන අතර, එය තුල සැබෑ දේශපාලන බලය පවත්වාගෙන යනු ලබන්නේ ඡන්දයෙන් තෝරා පත් කර නො ගැනුනු බිලියනපතියන්, ඔත්තුසේවා ක‍්‍රියාකාරීන් හා ජනරාල්වරුන් විසිනි.

ඇතැම් විට එවා ඒවායේ ඉතාමත් විනාසකාරී හා විකෘත ප‍්‍රකාශනය වෝල් වීදිය හා වොෂින්ටනය තුල සොයා ගත්ත ද, ක‍්‍රියාදාම දෙක ම, එනම් වේගයෙන් වැඩෙන ආර්ථික අසමානතාව මෙන් ම බහුලව පැතිරෙන මිලිටරිවාදය සමස්තයක් වසයෙන් ලෝක ධනවාදයේ ම ගති ලක්ෂනය වනවා මිස එක්සත් ජනපදයට පමනක් සීමා වූවක් නො වේ.

ට‍්‍රම්ප් ම ද ජාත්‍යන්තර ක‍්‍රියාදාමයක කොටසක් වන අතර, එය තුල අන්ත දක්ෂිනාංශික ගෝසාබද්දයින් දේශපාලනිකව වාසි ලබා ඇත්තේ, 1930ස් ගනන්වලින් පසු පැමිනි නරක ම ධනේශ්වර ආර්ථික අර්බුදයෙනි. ජර්මනිය සඳහා විකල්පය; ප‍්‍රන්සයේ ල පෙන්; ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, චෙක් සමූහාන්ඩුව හා ඉතාලියේ අන්ත දක්ෂිනාංශික පක්ෂ; හා බ්‍රිතාන්‍ය තුල බ්‍රික්සිට් ඡන්දය තුල එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ ප‍්‍රධාන කාර්යභාරය යන සියල්ල එකම ස්වභාවයක ප‍්‍රපංචයෝ වෙති.

ධනේශ්වර අර්බුදය ශක්තිමත් කර ඇත්තේ අන්ත දක්ෂිනාංශය මිස ධනේශ්වර දේශපාලන වර්නාවලිය තුල නාමික වම නො වේ යයි පෙනෙන පරස්පරය පන්ති කොන්දේසි තුල වටහා ගත යුතු ය. නිල “වාමාංශික” පක්ෂ, තෙමේ ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, කම්කරු හෝ එක්සත් ජනපදය තුල මෙන් ඩිමොක‍්‍රටික් කියා ගත්ත ද, බොහෝ කලකට පෙර ඒවා කම්කරු පන්තියේ උත්සුකයන්ට ඔවුන්ගේ පස්ස හරවා ඇති අතර මූල්‍ය ප‍්‍රභූවට වාසිවන කප්පාදු ප‍්‍රතිපත්ති අනුගමනය කර ඇත. දැවන්ත දේශපාලනික හිදසක් නිර්මානය කෙරී ඇති අතර, එය ආරම්භයේ දී පිරවී ඇත්තේ පරිහානියට පත්වන ජීවන තත්වයන් හා යහපත් පූර්නකාලීන රැකියා අහිමිවීම සම්බන්ධ දුක්ගැනවිලිවලට ආයාචනා කිරීමට දක්ෂිනාංශික ජනප‍්‍රියවාදී කයිවාරු යොදා ගන්නා අන්ත දක්ෂිනාංශික හා අර්ධ-ෆැසිස්ට් කන්ඩායම්වලිනි.

2016 එක්සත් ජනපද මැතිවරනය සටහන් කලේ, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකානු යන පක්ෂ දෙක තුල ම “කැරලිකාර” අපේක්ෂකයින් මතුවීම තුලින් ප‍්‍රකාශ වුනු, සමස්ත දේශපාලන සංස්ථාපිතය සමග පවතින විශාල අසන්තෘප්තිය හා කෝපය යි. ප‍්‍රධාන වසයෙන් තරුනයන් හා කම්කරුවන් වූ, මිලියන 13ක් පමන පුද්ගලයින් ඩිමොක‍්‍රටික් පක්ෂයේ මුල් වටයේ දී බර්නි සෑන්ඩර්ස්ට ඡන්දය දුන්නේ, සෑන්ඩර්ස් තෙමේ ම සමාජවාදියෙකැ යි කියා ගත් අතර “බිලියනපති පන්තියට” එරෙහිව “දේශපාලන විප්ලවයක්” මෙහෙයවනවා යැයි ප‍්‍රකාශ කල බැවිනි. දැවන්න සමාජ අසන්තෘප්තිය විසින් ඉවතට හැරවූවන් යලි ඩිමොක‍්‍රටික් පක්ෂයේ ආවෘත අන්තයට ගෙන ඒම ඔහුගේ කාර්යභාරය වූ අතර, හිලිරි ක්ලින්ටන්ට අනුමැතිය දීම මගින් ඔහු තමා බාර ගත් දේ සම්පූර්න කලේ ය.

සංස්ථාපිතයේ අපේක්ෂිකාව වූ ක්ලින්ටන්, ඔබාමාගේ අවිච්චින්නයා ලෙස තරඟ කලේ මහජන අසන්තෘප්තිය ගසා කෑමට ට‍්‍රම්ප්ට ඉඩ දෙමිනි. වෙනස සඳහා වූ අභිලාෂයට සංගත පාලිත ද්විපක්ෂ පද්ධතියේ යකඩ සැට්ටය තුල ප‍්‍රගතිශීලී කිසිවක් සොයා ගත නො හැකි විය.

මෙම මහජන අසන්තෘප්තිය තව දුරටත් ගිනි අවුලුවා ඇත්තේ පත්වීමේ සිට ට‍්‍රම්ප්ගේ වාර්තා මගිනි. ඔහුගේ පදවිප‍්‍රාප්තියෙන් පසු ඇමරිකානු ඉතිහාසයේ විශාල ම විරෝධතාවන් පැනනැගුනේ, සැබිවන් ම සෑම ප‍්‍රධාන නගරයක ම ඒවා පිපිරෙමිනි. සංක‍්‍රමනිකයන් මත ඔහුගේ ප‍්‍රහාරය, පාරිසරික විද්‍යාඥයින් සම්බන්ධ ඔහුගේ මුඛවාඩම්, සෞඛ්‍ය රැකවරනය ඇතුලු සමාජ ශුභසාධන වැඩසටහන්වලට එරෙහිව ඔහුගේ තර්ජන මෙන් ම වර්ගවාදය හා ෆැසිස්ට්වාදය සම්බන්ධ ඔහුගේ විවෘත දිරිමත් කිරීම්වලට සියදහස් ගනනක් විරුද්ධත්වය දක්වා ඇත. මත විමසුම්වල ට‍්‍රම්ප්ට හිමිවන තැන නූතන ඉතිහාසයේ ඔනෑම ජනාධිපතිවරයෙකු පලමු වසරේ දී ලබා ඇති පහලම තැන වන්නේ ය.

ක‍්‍රියාමාර්ගයේ සෑම අඩියක දී ම, ට‍්‍රම්ප්ට වන විරුද්ධත්වය දක්ෂිනාංශය හා යුද-ගැති කානු ඔස්සේ අවමංගත කිරීමට ඩිමොක‍්‍රටිකයන් උත්සාහ ගෙන ඇත්තේ, 2016 මැතිවරනය තුල රුසියානු මැදිහත්වීම පිලිබඳ ව්‍යාජ චෝදනාව පාවිච්චි කරමින් මොස්කව් වෙත වඩා යුදකාමී ප‍්‍රතිපත්තියක් ගැනීමට පාලනාධිකාරිය තල්ලු කිරීමට මෙන් ම දේශපාලනික අසංතෘප්තිය පිලිබඳ ඕනෑ ම ප‍්‍රකාශනයක් මැඩ පැවත්වීමට අන්තර්ජාල වාරනයක් ඉල්ලීමටත් ය.

මැතිවරනයෙන් වසරකට පසු, ඇමරිකාව තුල විකල්ප දේශපාලන බලයක් බෙදා හදා ගන්නා ධනේශ්වර පක්ෂ දෙක ම පවතින්නේ ගැඹුරු අර්බුදයක ය. රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් ට‍්‍රම්ප් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් ලෙස හෙලා දකින අතර, ස්ටීවන් බෙනන් ඇතුලු ෆැසිස්ට්වාදී ට‍්‍රම්ප් සහචරයෝ පක්ෂ සංස්ථාපිතය ඉලක්ක කරන අතර ම සුදු ස්වෝත්තමවාදීන් හා නව-ෆැසිස්ට්වාදීන්ගේ වීදි ප‍්‍රචන්ඩතා සමග පෙල ගැසෙති. ක්ලින්ටන් හා සෑන්ඩර්ස් පාර්ශ්වයන් අතර ගැටුම්වලිනි ඩිමොක‍්‍රටික් පක්ෂය දෙකඩ කෙරේ. සංගත උත්සුකයන්ගේ උපකරන ලෙස සලකා පක්ෂ දෙකම වැඩකරන ජනයා විසින් පුලුල් ලෙස අවමනට ලක් කෙරේ.

සෑම ප‍්‍රධාන රටක් තුල ම සමස්ත ධනේශ්වර දේශපාලනික පරාසය ම උග‍්‍ර ලෙස දකුනට මාරු වී ඇත. නමුත් කම්කරුවන් හා තරුනයන් බහුතරයේ මනෝගතිය විරුද්ධ දිශාවට, එනම් වමට ගමන් කර ඇත. මැයි මාසයේ දී, යුරෝපීය ප‍්‍රචාරකයන්ගේ සංගමය (Union of European Broadcasters) විසින් මත විමසන ලද වයස 18ත් 35ත් අතර පුද්ගලයින්ගේ බහුතරය පවතින තත්වයට එරෙහිව “මහා පරිමාන නැගිටීම්වලට” තමන් සහභාගී වන බව පැවසූහ. ඔක්තෝබරයේ දී, එක්සත් ජනපදය තුල ඒ ආකාරයේ ම මත විමසුමක් නිගමනය කලේ බොහෝ ඇමරිකානු තරුනයන් ධනවාදයට වඩා සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදයට පක්ෂ බව යි.

කම්කරු පන්තිය සඳහා යහපත් වැටුප් ගෙවන රැකියා හෝ යෝග්‍ය රාජ්‍ය සේවයක් හෝ සැපයීමට ලාභ පද්ධතිය අසමත් ය. එය තල්ලු කෙරෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයීතීන් මත ප‍්‍රහාරයට හා කලාපීය හා අවසානයේ දී ගෝලීය මට්ටමින් වඩ වඩා ලේවැකි යුද්ධවලට ය. මිලියන සිය ගනනාවක් පුද්ගලයින් දැනටමත් ගෝලීය මූල්‍ය ප‍්‍රභූවේ හා තමන්ගේ ම උත්සුකයන් අතර ගැටුම අවබෝධ කර ගනිති. අර්බුදය ගැඹුරුවත් ම, ඔවුන් ඒ ගැන දේශපාලනිකව දැනුවත් විය යුතු අතර එයට එරෙහිව සටන් කල යුතු ය.

මැතිවරනයට පසු දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ප‍්‍රකාශ කලේ ය: ”එලඹෙන කාලපරිච්ඡේදය කම්පාවේ, ක්‍රෝධයේ හා වඩ වඩා කටුක අරගලයන්ගේ එකක් වනු ඇත.”

ගෙවී ගිය වසරේ අත්දැකීම් තහවුරු කරන්නේ මෙම අනාවැකිය යි. මෙම දිග හැරෙන දේශපාලන අර්බුදය තුල කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සඳහා මහජන අරගලයක් වර්ධනය කිරීමට බැඳුනු කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් එක්සත් ජනපදය තුල මෙන් ම සෑම රටක් තුල ම ගොඩනැගීම යි.

පැට්‍රික් මාටින්

Share this article: