ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු අර්බුදය පසුබිමේ ඇති ගෝලීය ක්‍රියාදාමයන්

The global processes behind the parliamentary crisis in Australia

2017 නොවැම්බර් 17

ඕස්ට්‍රේලියාවේ නිල දේශපාලනය තිබෙන්නේ කැලඹිල්ලක ය. ඔක්තෝබර් 27දා එරට ඉහල උසාවිය නියෝග කලේ, නියෝජ්‍ය අගමැති ද ඇතුලු ඡන්දයෙන් තේරී පත්වුනු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පස් දෙනෙකු ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දැරීමට නුසුදුසු බව යි.

උසාවිය කලේ, “විදේශීය රටකට පක්ෂපාතීත්වය, යටහත් භාවය හෝ අවනත බව” දක්වන හෝ “වෙනත් රටක පාලිතයෙකුට හෝ පුරවැසියෙකුට හිමි අයිතිවාසිකම් හෝ වරප‍්‍රසාදවලට හිමිකම් කියන” ඕනෑම අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තහනම් කරන 1901 ව්‍යවස්ථාවේ අඩංගු වගන්තිය වඩාත් ම පහසු පදවලින් අර්ථකථනය කොට අනුමත කිරීම යි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට “විදේශ රටවලට කීකරු වීම හෝ ඒවාට බැඳී සිටීම” කල නො හැක්කක් බව හත්දෙනෙකුගෙන් සමන්විත වුනු ජූරිය ඒකමතික ව අවධාරනය කලේ ය. දේශපාලනඥයන් ඕස්ට්‍රේලියාවට “ඉතසිතින් අවනත” විය යුතු ය යන්න උසාවියෙන් අනුමත කරන ලදී.

උසාවි තීන්දුවෙන් පසු තවත් පාර්ලිමේන්තු සභිකයන් තිදෙනෙක් ඉල්ලා අස් වී ඇත්තේ, ඔවුන්ගේ දෙමාපියන්, ඕස්ට්‍රේලියාව විජිතයක් ලෙස යටත් කරගෙන සිටි “විදෙස් බලය” වන මහා බ්‍රිතාන්‍යයේ උපත ලබා තිබීම නිසා ඔවුන්ට එහි පුරවැසිකම හිමි බැවිනි. දැනුදු ඕස්ට්‍රේලියාවේ රැජන වන්නේ බ්‍රිතාන්‍යයේ රැජනවේ.

ලිබරල්-නැෂනල් සභාග ආන්ඩුව හා විපාර්ශවික ලේබර් පක්ෂය අතර ඇති කරගත් එකඟතාවකට අනුව, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම දෙසැම්බර් 1දා වනවිට තම තොරතුරු අනාවරනය කරන ප‍්‍රකාශයක් දිය යුතු ය. සියලු සභිකයන්, ඔවුන් හෝ ඔවුන්ගේ දෙමාපියන් පමනක් නො ව, ඔවුන්ගේ සීයා හා ආච්චිගේ උපන් ස්ථානය මෙන් ම එම තැනැත්තන්ගේ විවාහය තුලින් වත් ඉස්මතු වන වෙනත් රටක පුරවැසිභාවයකට ඇති කිසිදු හිමිකමක් අත්හැර දමන බවට දිවුරුම් දිය යුතු ය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, 226 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු සභික මන්ඩල දෙකෙන් 30 දෙනෙකු තරම් ගනනක් නෙරපා හැරෙනු ඇත. දෙසැම්බර් 1දා වනතෙක් සිදුවිය හැකි නික්ම යාම්වලට පෙරාතුව ම, පාලනය කිරීම සඳහා පහල මන්ත්‍රී මන්ඩලයේ දී සභාග ආන්ඩුවට අවශ්‍ය වන නූලෙන් එල්ලෙන එක් ආසනයේ බහුතරය අහිමි වී තිබේ. හරිතයන් හා දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් පක්ෂ, ඡන්දයෙන් පත් නො වන රාජ්‍ය ප‍්‍රධානියා වන අග‍්‍රාන්ඩුකාරවරයාට පැවරී ඇති ආඥාදායක බලතල යොදා පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරනයක් කැඳවන ලෙස යෝජනා කර ඇත.

අන්තර්ජාතික නිරීක්ෂකයන් පසෙක තැබුවත් බොහෝ ඕස්ට්‍රේලියානුවන් මෙම තත්ත්වය විසින් වික්ෂිප්ත බවට ඇද හෙලා තිබේ. ඕස්ට්‍රේලියාව යනු මෙම ග‍්‍රහලෝකයේ සංස්කෘතික වෙනස්කම් බහුල ම රට යි. 1945 දී යන්තම් හත් මිලියනයක් වූ එහි ජනගහනය, විශාල පරිමාන සංක‍්‍රමනයන් සෘජු ප‍්‍රතිඵලය ලෙස, මේ වනවිට මිලියන 25කට ආසන්න ගනනකට වර්ධනය වී ඇත. ඕස්ට්‍රේලියානු නීතියට අනුව බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසිභාවය දැරීමට පමනක් මිලියන තුනක ජනයාට අයිතිවාසිකම හිමි වේ. තවත් බොහෝ දෙනෙකුට නවසීලන්තයේ, ඉතාලියේ, ග්‍රීසියේ සහ තවත් රටවල් දුසිම් ගනනක ද්විත්ව පුරවැසිභාවය දැරීමට හිමිකම තිබෙන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව දශක ගනනක් පුරා සිදු වූ ජන සංක‍්‍රමනය හේතුවෙනි.

සිඩ්නි හා මෙල්බෝන් වැනි ප‍්‍රධාන නගරාසන්න කම්කරු පන්තික ප‍්‍රදේශ සැබෑ “සම්මිශ‍්‍රන ස්ථානයන්” ය. වැඩබිම් සහ විශේෂයෙන් ම රටේ පාසල්වල ක්‍රීඩාංගන වනාහි, වර්ගවාදය හා ජාතිකවාදය විසින් මංමුලාවට හා බෙදීමට ලක් නො වුවහොත්, විවිධ භාෂාමය හා ආගමික පසුබිම් සහිත ජනවර්ගයන්ට අයත් ජනයාට සහෝදරත්වයෙන් හා සුසංවාදයෙන් ජීවත් විය හැකි හා අන්තර් සබඳතා පැවැත්විය හැකි තැන් බවට සාක්ෂි දරන ස්ථානයන් ය.

එහෙත් 2017 දී ඉහල උසාවිය මැදිහත් වී ඇත්තේ හරියට ම ඒ දෙය එනම් වර්ගවාදය හා ජාතිකවාදය විසින් මංමුලාවට හා බෙදීමට ලක්කිරීම සඳහා ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වනාහි, දුෂ්ට දඩයමක ආරම්භක ඉලක්කයන් ය. නමුත්, සැබෑ ඉලක්කය වන්නේ, ජනවාර්ගිකව හා සංස්කෘතික ව එකිනෙකාට වෙනස් කම්කරු පන්තිය යි. කම්කරුවන්, ඔවුන්, ඔවුන්ගේ දෙමාපියන් හෝ මුතුන් මිත්තන් උපන් රටට ඇති “බැඳී සිටීම” අත්හැර දමා, “නොබෙදුනු පක්ෂපාතීත්වය” තහවුරු කරන තෙක් රටේ ජනගහනයෙන් හරි අඩක් ම “ඕස්ට්‍රේලියානුවන් නො වන” බවට ධනේශ්වර රාජ්‍යයේ සුපිරි අධිකරනමය හස්තය වන උසාවිය ආඥා පනවා ඇත.

දිගහැරෙන්නේ කුමක් ද යන්නෙහි අර්ථභාරය අවබෝධ කරගත හැක්කේ, එම සිද්ධිය එහි ලෝක ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමයන්ගේ සන්දර්භය තුල බහා තක්සේරු කල විට පමනි.

පසුගිය වසර 40 පුරා සිදු වී ඇති නිෂ්පාදනයේ යෝධ ගෝලීයකරනය තුඩු දී තිබෙන්නේ, ජාතික ප‍්‍රතිමල්ලවතාවන් හා ගැටුම් අඩු කිරීමට නො වේ. එමගින් ප‍්‍රතිඵල වී ඇත්තේ සම්පූර්නයෙන් එහි අනිත් පැත්ත යි. මෙය, පරිහානිගත ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නායකත්වය ලබන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින්, චීනය, ජර්මනිය, ජපානය හා අනෙකුත් ආර්ථික ප‍්‍රතිමල්ලවයන්ට විරුද්ධ ව විවෘත වෙලඳ යුද්ධය සඳහා තර්ජනය කරන තැනට ලඟා වී තිබේ. 1930 ගනන්වල මෙන් අද ද ජාත්‍යන්තර ආර්ථික සබඳතාවන්ගේ බිඳවැටීම මිලිටරි ගැටුමේ පෙර ඇඟවුම යි.

ඕස්ට්‍රේලියාවේ දේශානුරාගී උන්මාදය වනාහි හුදෙක් විශ්වීය හා ගෝලීය ප‍්‍රවනතාවන්ගේ එක් ප‍්‍රකාශනයක් පමනි. සෑම රටක ම පාලක ප‍්‍රභූව මහජනයාට හොරෙන් යුද්ධය සූදානම් කරද්දී, “විදේශිකයන්ට” එරෙහි භීතියේ ගිනි පුපුරු අවුලුවාලමින් සිටී. ජාතිකවාදය යනු බහුතර කම්කරු පන්තියේ මනසට, සුපිරි ලෙස ධනවත් සංගත කතිපයාධිකාරයන් තුනී ස්ථරයක අවශ්‍යතා සමග කම්කරුවන්ට පොදු දේවල් තිබේ යයි විෂ කැවීමට පාලක පන්තිය දරන උත්සාහයේ දී භාවිතා කරන දෘෂ්ටිවාදාත්මක මෙවලම යි.

රුපර්ට් මර්ඩොක්ට අයත් ඕස්ට්‍රේලියන් පුවත්පතේ පාර්ශ්වීය කර්තෘවරයා වන පෝල් කෙලී, ජාතිය වෙත ඇති ප‍්‍රශ්න කල නොහැකි පක්ෂපාතීත්වයේ අත්‍යෝත්තම වැදගත් කම පසුගිය සතියේ අවධාරනය කලේ ය. ද්විත්ව පුරවැසි භාවය දරන්නන්ට පාර්ලිමේන්තුවේ වාඩිවීමට හැකිවන පරිදි ව්‍යවස්ථාව කිසිදු අයුරකින් වෙනස් කිරීම කෙලී විසින් හෙලාදැක්කේ, එය, “ජාත්‍යන්තරවාදයේ මාවතක් තුල ඕස්ට්‍රේලියානු ස්වෛරීභාවය දුර්වල කිරීම ඉලක්ක කරගත් සමාජීය ශිල්පක‍්‍රම ව්‍යාපෘතියක්” යයි කියමිනි.

මහ බලවතුන් අතර ගෝලීය අරගලය වර්ධනය වෙද්දී, ඕස්ට්‍රේලියානු විදෙස් පිලිවෙත රඳා පවතින්නේ ආසියා-පැසිෆික් කලාපයේ ආධිපත්‍යය සඳහා තම එක්සත් ජනපද සහකරුවා හා චීනය අතර යුද්ධය නොවැලැක්විය හැකි ය යන නිගමනය මත යි. පාලක පන්තියේ ආධිපත්‍යධාරී කොටස් සහ සභාගය හා ලේබර් පක්ෂය යන දෙක ම, ඕස්ට්‍රේලියාව, වොෂින්ටනය සමග මිලිටරි ගාල්වීමට සම්පූර්නයෙන් හා කොන්දේසි විරහිත ව සහාය දෙති.

ආන්ඩුවෙන් අරමුදල් සම්පාදනය කරන ඕස්ට්‍රේලියානු මූලෝපායික ප‍්‍රතිපත්ති ආයතනය (ඒඑස්පීඅයි) මේ සතියේ පලකල වාර්තාවක්, එක්සත් ජනපදයේ හා ඕස්ට්‍රේලියාවේ මූලෝපායික අවශ්‍යතාවන්ට තර්ජනයක් ලෙස චීනය යක්ෂාරෝපනය කරයි. චීනය සමග වන යුද්ධය “න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීමේ අවකාශය සලකාබැලීමට” හේතුවනු ඇතැයි එම වාර්තාව ඇල් මැරුනු ස්වරයෙන් නිරීක්ෂනය කරයි.

“ඩොලර් මිලියන කිහිපයක් වටිනා අපගේ සබ්මැරීන් යානා, ආරක්ෂක නැව් හා මිසයිල අත්පත් කරගැනීමේ වැඩපිලිවෙලට හරහට සිටින හතුරා චීනය මිස අනෙකෙක් නො වන බව සිතේ තබාගනිමින් රාජ්‍යතාන්ත්‍රික සංවේදීතාවන්ට වේලාවක් නැති බව” පෙන්වීම නිසා, එම වාර්තාවේ කර්තෘවරුන්ට හුරේ දමමින් නොවැම්බර් 16දා කතුවැකියක් ලියූ දි ඕස්ට්‍රේලියන් පත‍්‍රය ඒඑස්පීඅයි වාර්තාව සාදරයෙන් පිලිගත්තේ ය.

ඕස්ට්‍රේලියානු දේශපාලනයට හා සමාජයට “බලපෑම” යයි හඳුන්වන දෙයට එරෙහි ව සංස්ථාපිත මාධ්‍යයන් විසින් නො නවත්වා ගෙනගිය උද්ඝෝෂනය මධ්‍යයේ, පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසි කම අරබයා වූ දඩයම ඉස්මතු විය. මෙය වනාහි, සියලු “යටහත්” පුරවැසියන් ඕස්ට්‍රේලියානු ධජය යටතේ රොක් වී, ජාතියට ඔවුන්ගේ විශ්වාසවන්ත භාවය ප‍්‍රදර්ශනය කරන, යුද කාලීන දේශපාලන වාතාවරනයක් නිර්මානය කිරීම සඳහා ගනන් බලා කරනු ලබන උත්සාහයක කොටසකි.

එලෙසින් ම, දේශානුරාගය වැපිරීම අභිප්‍රේරනය කරනු ලබන්නේ පාලක ප‍්‍රභූවේ භීතිය විසිනි. යුද්ධයේ තර්ජනයට හා සමාජ අසමානතාවට එරෙහි ව කම්කරු පන්තියේ අරගලයන් නිසැකව ම පුපුරා ඒම මගින් තර්ජනයට ලක්වන ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ පන්ති අවශ්‍යතා හෙවත් “ජාතිය” රැකීම පිනිස දක්ෂිනාංශික කන්ඩායමක් වගාදිගා කිරීමට දරන මංමුලා සහගත උත්සාහයකි, එය. ජනගහනයේ ඉහල ම සියයට 10 රටේ ධනයෙන් අවම වසයෙන් සියයට 55කට වත් හිමිකම් කියන අතර, ඉහල ම සියයට 1 එයින් යෝධ කොටසක් පාලනය කරති. සිඩ්නි නගරයේ වරායට ආසන්න පෙදෙස්වල ධනයේ ව්‍යාජෝක්තිමය ප‍්‍රදර්ශනයට නුදුරේ, කම්කරු පන්තික පවුල් හරිහම්බ කරන දෙයින් හිසට වහලක් හෝ ආහාර පාන සපයාගැනීමේ දී අතිශයින් දුෂ්කර තත්ත්වයන්ට මුහුන දෙයි.

පාර්ලිමේන්තු අර්බුදයේ විපාක වනු ඇත්තේ, නිල දේශපාලනය අලුතෙන් හැඩගස්වා ගැනීම යි. සභාගය හා ලේබර් පක්ෂය විසින් ආධිපත්‍යය දරන දීර්ඝ-කාලීන ද්වි-පක්ෂ ක‍්‍රමය, යෝධ භූ-දේශපාලනික ආතතීන් හා පන්ති ප‍්‍රතිඝතිතාවන් යටතේ කඩාහැලෙමින් පවතී. යුරෝපය පුරා ද එක්සත් ජනපදය තුල ද ධනපති පන්තියට අතීතයේ සිය පාලනය ගෙන යා හැකි වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාව බිඳ වැටෙමින් තිබේ. වඩ වඩා විවෘත ව එම පාලන ක‍්‍රමය මුලුමනින් අත්හැර සෘජු ආඥාදායක පියවරයන් පැටවීම සූදානම් කරනු ලැබේ.

ධනවාදයට හා ජාතික බෙදීම්වලට එරෙහි ව සමාජවාදී හා ජාත්‍යන්තරවාදී විකල්පය ඉදිරිපත් කරමින්, පාලක ප‍්‍රභූවේ යාන්ත‍්‍රනයන්ට පිලිතුරු දීමට කම්කරු පන්තිය තමන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තනාගෙන මැදිහත් විය යුතු ය. ඕස්ට්‍රේලියාවේත් ජාත්‍යන්තරවත් මෙම ඉදිරිදර්ශනයට සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය පමනි.

ජේම්ස් කොගාන්

Share this article: