රොහින්ගියානු සරනාගතයන් ආරක්ෂා කරනු!

2017 ඔක්තෝබර් 05

මියන්මාර මිලිටරියේ රුදුරු ප‍්‍රහාරයන් හමුවේ තම දිවි ගලවා ගැනීම සඳහා පලා එන ලක්ෂ සංඛ්‍යාත රොහින්ගියානු සරනාගතයන් තම රටවලට ඇතුලුවීම වලකාලමින් සහ ඇතුලුවූවන් පිටමං කිරීමට පියවර ගනිමින්, ඉන්දියාව, ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය ඇතුලු කලාපයේ ධනපති ආන්ඩු ගෙනයන ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සහ අමානුෂීය කි‍්‍රයාදාමයට, දකුනු ආසියාවේ සහ ලොවපුරා කම්කරුවන් එකහෙලා විරුද්ධ විය යුතුය. එමෙන්ම, ස්වෝත්තමවාදදී ෆැසිස්ට් නඩවල සැහැසිකම් වලින් මෙම සරනාගතයන් ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන්, තරුනයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියල්ලන් පෙරට පැමිනිය යුතුය.

මියන්මාරයේ බටහිර ප‍්‍රාන්තයක් වන රකිනේ හි සියවස් ගනනාවක් ජීවත් වූ රොහින්ගියානු මුස්ලිම් ජන වර්ගයට එරෙහිව අවුන් සාන් සුකී තන්ත‍්‍රය විසින් පසුගිය අගෝස්තුවේ සිට දියත්කොට ඇති කුරිරු මිලිටරි මෙහෙයුම, එරට පාලකයන් විසින් දිගු කාලයක් පුරා ක‍්‍රමානුකූලව ගෙනයන වාර්ගික නොපනත්කම් සහ මර්දනයේ නව ඉහලකි. “ස්වයංනිර්නය” සඳහා සටන් වදින රොහින්ගියානු කැරලි කන්ඩායමක් විසින් පසුගිය අගෝස්තු 24 දා මිලිටරියට එල්ල කල කුඩා ප‍්‍රහාරයන් කීපයක් දඩමීමා කර ගනිමින් සුකී තන්ත‍්‍රය විසින් මුදාහල මෙම මෙහෙයුම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබුවේ “වාර්ගික ශුද්ධකරනය සඳහා පාඨග‍්‍රන්ථමය උදාහරනයක්” ලෙස යි.

රකිනේ හි ජීවත් වූ දහතුන් ලක්ෂයක රොහින්ගියානුවන්ගෙන් බහුතරයක්, එනම් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක්, රැකවරනය පතා පැමින ඇත්තේ යාබද බංග්ලාදේශයට යි. ජාත්‍යන්තර සරනාගත නීතියට අනුව ඔවුන් දැනටමත් සරනාගතයන් ලෙස සැලකෙන බැව් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන ප‍්‍රකාශ කලද, රොහින්ගියානුවන්ට බංග්ලාදේශය තුල නිල සරනාගතමය තත්වය ලබා නොදෙන බවට ෂීක් හසීනා ආන්ඩුව යලියලිත් පිලින දෙයි. සැප්තැම්බර් 24 දා මාධ්‍ය හමුවක් අමතමින් කර්මාන්ත ඇමති අමීර් හුසේන් අමූ, නරුම ලෙස කියා සිටියේ “රොහින්ගියානුවන්ට සරනාගතමය තත්වය ලබාදීමේ කවර හෝ සැලැස්මක්” නොමැතිබව යි.

මේ අතර, කඳවුරුවල රඳවා සිටින දහස් සංඛ්‍යාත සරනාගතයන්ගේ ජීව දත්ත වාර්තාකර ගනිමින් ඔවුනට හැඳුනුම්පත් ලබාදීම අරඹා ඇත. සරනාගතයන් ඔවුන් ජීවත් වූ ප‍්‍රදේශ වලට ඉක්මනින්ම තල්ලුකර යැවීමේදී හඳුනා ගැනීමේ පහසුව තකා මෙය සිදු කෙරෙන බව අමූ විසින්ම නිර්ලජ්ජිතව හෙලි කලේ මෙසේය:

“මෙම කි‍්‍රයාදාමය යටින් පවත්නා හේතුව රොහින්ගියානුවන්ගේ වාර්තා එක්රැස් කිරීමයි. ඔවුන් තමාගේම තැන් වලට යලි යාම අපට අවශ්‍ය යි.”

තථ්‍ය සරනාගතයන් වන රොහින්ගියානුවන්ට සරනාගත තත්වය නිල වශයෙන් ලබා දී ඔවුනට රැකවරනය ලබාදීම බංග්ලාදේශ ආන්ඩුව විසින් මෙලෙස ප‍්‍රතික්ෂේප කරනුයේ ජාත්‍යන්තර සරනාගත සම්මුතියට තම රට අත්සන් තබා නැතැයි යන කඩතුරාව යටතේය. මෙම සම්මුතියට අත්සන් නොතැබීමමත් බංග්ලාදේශ ධනපති පාලක පන්තියේ ඓතිහාසික ප‍්‍රතිගාමිත්වය පිලිබඳ පැහැදිලි ප‍්‍රකාශනයකි.

කෙසේ වුවද, හියුමන් රයිට්ස් වොච් සරනාගත ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බි‍්‍රල් ෆ්‍රෙලික්මත් මෙයට විරෝධය දක්වමින් පවසන්නේ, බංග්ලාදේශය ජාත්‍යන්තර සරනාගත සම්මුතියට අත්සන් තබා නොමැති වුවද, “ජාත්‍යන්තර සම්ප‍්‍රදායේ නීතියට” අනුව, රැකවරනය පතා පැමිනි ජන කොටසක් ඔවුනට ඉතා දරුනු හානි සිදුවිය හැකි ස්ථානයකට යලි තල්ලුකර නොයවීමේ වගකීමට එරට බැඳී ඇති බව යි.

උන්හිටිතැන් අහිමිව, තම දූ දරුවන් සමග දින ගනන් නිරාහාරව, කිලෝමීටර සිය ගනන් මග ගෙවා හව්හරනක් සොයා පැමිනෙන මෙම අසරන මිනිසුන් යලි මකර කටට හරවා යැවීමේ තිරස්චීන කාර්යයේ යෙදී සිටිනුයේ බංග්ලාදේශය පමනක් නොවේ. පලා එන සරනාගතයන්ට රටට ඇතුලුවිය නොහැකි වනසේ දැඩි මිලිටරි මුරකාවල් යොදමමින් ඉන්දියාවේ මෝදි ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙල මෙහිදී වඩාත් කැපී පෙනෙයි.

දහස් සංඛ්‍යාත රොහින්ගියානු සරනාගතයන් රටතුලට ඇතුලුවීම වලකාලීම සඳහා ඉන්දියාවේ නිරිතදිග දේශ සීමාව ඔස්සේ ආරක්ෂක හමුදා රඳවා තැබීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත. සැප්තැම්බර් 22 දා රොයිටර් වාර්තාවන්ට අනුව, සරනාගතයන් වලකාලීම සඳහා “රලු පරලු ක‍්‍රමවේදයන්” භාවිතා කිරීමට මෝදි ආන්ඩුව ආරක්ෂක හමුදාවන්ට බලය පවරා තිබේ. රටතුලට ඇතුලු වීමට උත්සාහ කරන සරනාගතයන් පලවා හැරීම සඳහා මිරිස්කුඩු බෝම්බ ප‍්‍රහාරයන් මෙන්ම, ඇස් නිලංකාර කරමින් සහ කන්බිහිරි කරමින් පුපුරා යන “ස්ටන් ග්‍රෙනේඩයන්” භාවිතා කිරීමට තම භටයන්ට නියෝග කල බව බටහිර බෙංගාලයේ දේශ සීමා ආරක්ෂක භටකායන් මෙහෙයවන නියෝජ්‍ය ඉන්ස්පෙක්ටර් ජනරාල් ආර්.පී.එස්. ජස්වාල් පිලිගෙන ඇත.

සැප්තැම්බර් 27 දා හින්දු පුවත්පත වාර්තා කලේ ති‍්‍රපුර ප‍්‍රාන්තයට ඇතුලුවීමට යත්න දැරූ රොහින්ගියානුවන් ආරක්ෂක භටකායන් විසින් ආපසු හරවා යැවූ බවයි. ඇසෑම් සහ මනිපූර් ප‍්‍රාන්තයන්හි ප‍්‍රධාන ඇමතිවරුන් ද තම ප‍්‍රාන්තයන්ට රොහින්ගියානුවන් ඇතුලූවීම වලක්වනු සඳහා දේශසීමා ආරක්ෂක භටකායන්ට උපදෙස් දී ඇති බව වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

මුරකාවල් තර කරමින් රටට ඇතුලුවීමට යත්න දරන සරනාගතයන් පලවා හරින නවදිල්ලි ආන්ඩුව, දැනටමත් රටට ඇතුලුවී සිටින රොහින්ගියානුවන් 40,000 ක් පිටමං කිරීමට සැලසුම් කරමින් සිටී. පසුගිය ජූලි මාසයේ සිදු කෙරුනු මෝදිගේ මියන්මාර සංචාරයේදී, ඔහු, රකිනේ හි සිදුවෙමින් පවත්නා මිලිටරි ප‍්‍රචන්ඩත්වයන් වනාහි “අන්තවාදී ප‍්‍රහාරයන්ට” දක්වන ප‍්‍රතිචාරයක් වෙතැයි යන සුකී ආන්ඩුවේ ප‍්‍රලාපයන් කුහක ලෙස අනුමත කලේය.

රොහින්ගියානු සරනාගතයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත මෝදි ආන්ඩුවේ සහ හසීනා ආන්ඩුවේ පිලිවෙත් තරමටම නරුම ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගල්කිස්සේ ආරක්ෂක නිවාසයක රඳවා සිටි රොහින්ගියානු සරනාගතයන්ට, බෞද්ධ භික්ෂූන් ප‍්‍රමුඛ ෆැසිස්ට් මැර නඩයක් පසුගිය දා එල්ල කල තිරිසන් ප‍්‍රහාරය සම්බන්ධයෙන්, ආන්ඩුව රකිනුයේ පූර්න නිශ්ශබ්දතාවයකි.

ප‍්‍රහාරයට විරෝධය පෑම කෙසේ වෙතත්, ආන්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක්ම, මෙම අන්තවාදී නඩ වලට පිටුබලය ලබා දෙමින් ආන්ඩුවේ සරනාගත-විරෝධී පිලිවෙත ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත් කලහ. වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මාධ්‍යයට කියා සිටියේ ශී‍්‍ර ලංකාව සරනාගත සම්මුතියට අත්සන් තබා නොමැති බැවින් සරනාගතයන්ට රැකවරනය ලබාදීම සඳහා ආන්ඩුව බැඳී නොමැති බවයි. අන්තවාදී නඩ සනසමින් ඔහු කියා සිටියේ හැකි ඉක්මනින් මියන්මාර සරනාගතයන් තෙවන රටකට පිටමං කරන බවයි.

තමා කැමති කවර හෝ රටක ජීවත්වීම සරනාගතයන් ඇතුලු සියලු මිනිසුන් සතු මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියකි. මෙම අයිතිය නරුම ලෙස යටපත් කොට බලහත්කාරයෙන් සරනාගතයන් පිටමං කිරීමේ සහ රටතුලට පැමිනීම වලකාලීමේ මෙම ප‍්‍රතිගාමී පිලිවෙත සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පමනක් නොව කොලඹ ධනපති පාලක පන්තිය ඇතුලත් ඉන්දියානු උපමහාද්වීපීය පාලක පන්තීන්ගේ පිලිවෙතයි.

ශී‍්‍ර ලංකාවේ කොලඹ පාලක පන්තිය වනාහි දශක තුනක් පුරා දෙමල ජන වර්ගයට එරෙහිව ගෙනගිය යුද්ධයේ දී දහස් ගනනක් මරා දැමූ සහ දසදහස් ගනනක් සරනාගතයන් බිහිකලාවූ ද, මියන්මාරයේ රහනේ හි සිදුවෙමින් පවත්නා මිලිටරි අපරාධයන්ට සමාන සහ සමහරවිට ඒවා ඉක්මවා යන යුද අපරාධයන් සිදු කලාවූද පාලක නඩයකි. ඔවුනගේ සමස්ත පාලන කාලය තුල කම්කරු පන්තිය බෙදීම සඳහා යොදාගත් දෘෂ්ටිවාදාත්මක අවිය වනුයේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය යි. බෞද්ධ භික්ෂූන් ප‍්‍රමුඛ, දෙමල සහ මුස්ලිම් විරෝධී ෆැසිස්ට් නඩ වැඞී ආවේ මෙහි සෘජු ප‍්‍රතිඵලයක් ලෙසිනි. අවශ්‍ය විටෙක කම්කරු පන්තියට එරෙහි මුගුරු ලෙස යොදා ගැනීමේ අරමුනෙන් මෙම සංවිධාන හදා වඩා පෝෂනය කලේ කොලඹ පාලක පන්තිය යි.

ශී‍්‍ර ලංකාවේ අන්තවාදී බොද්ධ භික්ෂු නඩ සහ බෞද්ධ ස්වෝත්තමවාදය අධිකාරිත්වය දරන මියන්මාරය තුල කි‍්‍රයාත්මක වන එවැනිම නඩ අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයකි. විශේෂයෙන්ම මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකරනයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව තුල කුප‍්‍රකට බොදු බල සේනා (බොබසේ) සංවිධානය මියන්මාරයේ මුස්ලිම්-විරෝධී බෞද්ධ සවිධානයන් සමග කාලයක සිට එක්ව වැඩකටයුතු කරයි. 2014 සැප්තැම්බරයේදී බොබසේ කොලඹ දී පැවැත්වූ “සමුලුවක” විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවූයේ තම මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකාරිත්වයන් හේතුවෙන් කුප‍්‍රකට මියන්මාරයේ අශින් විරාතු නම් බෞද්ධ භික්ෂුවයි.

“බෞද්ධාගමට පවත්නා බලගතු තර්ජනය ඉස්ලාම්වාදය යැයි” යන මතය පදනම් කරගත් “969” නම් වූ සංවිධානයේ නායකයා වන විරාතු, බොබසේ සංවිධානය සමග අතිනත ගෙන වැඩ කරන බවට එම සමුලුවේදී ශපථ විය.

බොබසේ ඇතුලු මෙම අන්තවාදදී නඩ තම මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නැංවීම සඳහා රොහින්ගියානු සරනාගත ප‍්‍රශ්නය යහමින් යොදා ගැනීමට යත්න දරති. ගල්කිස්සේ දී රොහින්ගියානු සරනාගතයන්ට එල්ල කෙරුනු ප‍්‍රහාරය එහි කොටසකි.

ලොවපුරා මෙම ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයන් ඉස්මත්තට ගෙන ඇත්තේ, ගෝලීය ධනවාදය මුහුන දී සිටින ගැඹුරුතම අර්බුදය හමුවේ පාලක පන්තීන් විසින් එල්ල කරමින් පවත්නා ප‍්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් වැඩෙන පන්ති අරගල දියකර හැරීම සඳහා කම්කරු පන්තිය භේද කිරීමටයි. තමා පෙලන මූලික ප‍්‍රභවය වන්නේ ධනේශ්වර පද්ධතිය ය යන්නෙන් කම්කරු පන්තියේ ඇස් ඉවතට හැරවීම මෙම භේදකරනයේ අරමුනයි.

ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු වන ලියොන් ට්‍රොට්ස්කි, දෙවන ලෝක යුද්ධය අද්දරදී, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක කි‍්‍රයා මාර්ගය තුල මෙසේ ලිවීය: “මානව සංහතිය සම්පූර්නයෙන්ම අවසන් කිරීමට හෝ ලෙයෙහි ගිල්වා දැමීමට පෙර ධනවාදය ජාතික සහ වාර්ගික ද්වේශයේ විෂ දුමාරයෙන් ලෝක වාතාවරනය අපවිත‍්‍ර කරයි.” ට්‍රොට්ස්කිගේ මෙම වචන, තුන්වන ලෝක යුද්ධයක අද්දර සිටින අද දින, එදිනටත් වඩා වලංගු වෙයි.

ධනේශ්වරයේ මෙම ප‍්‍රතිගාමී ප‍්‍රහාරය පරාජය කල හැක්කේ අධිරාජ්‍යවාදයට සහ මූල්‍ය කතිපයාධිකාරයට ද එහි ගැත්තන් වන පසුගාමී රටවල “ජාතික ධනපති පන්තීන්ට” ද එරෙහිව සමාජවාදය සඳහා පොදු අරගලයක් තුල කම්කරු පන්තිය එකමුතු කිරීමෙනි.

1947-48 දකුනු ආසියාව වාර්ගික හා ආගමික පදනම් මත බෙදා වෙන් කර - ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, බුරුමය, නේපාලය හා පසුව බංග්ලාදේශය - පිහිටුවන ලද්දේ බි‍්‍රතාන්‍ය විජිත පාලකයන් ප‍්‍රමුඛව ජාතික ධනපති පන්තිය සමග සිදු කල කුමන්ත‍්‍රනයන්ගෙනි. එහි ඉලක්කය වූයේ කම්කරුවන්ද කෝටි සංඛ්‍යාත දුගීන් ද වර්ගවාදය අවුලුවමින් භේද කිරීම සඳහා අධිරාජ්‍ය ගැති ධනපති පන්ති පාලනයන් ආරක්ෂා කර ගැනීම යි. මෙම රාජ්‍යයන්, තථ්‍ය වසයෙන් නම්, ඒවායේ වෙසෙන ජනයා සඳහා තැනූ හිරගෙවල් ය.

ලෝක ධනවාදයේ අර්බුදයෙන් හා භූ දේශපාලන ආතතීන්ගෙන් මිරිකී සිටින්නාවූ ද කම්කරුවන්ගේ හා දුගීන්ගේ විප්ලවකාරී නැගිටීම් පිලිබඳ භීතියෙන් පෙලෙන්නාවූ ද මෙම රටවල පාලක පන්තීහු වර්ගවාදී ඇවිස්සීම් ගැඹුරු කරති. අධිරාජ්‍යවාදීන් හා මෙම ධනපතියන් තමන් විසින් ම නිර්මානය කල සරනාගතයන් මෙම ගිනි ඇවිලවීමේ ඉලක්කයක් කර ගෙන ඇති සැටි රොහින්ගියා වරුන්ට එරෙහි තිරිසන් ප‍්‍රහාරයෙන් පෙන්නුම් කෙරේ.

මෙය නතර කිරීමට දකුනු ආසියාවේ කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතුය. මෙම ග‍්‍රහලෝකය තුල මනුෂ්‍යයාට තමන් කැමති ස්ථානයක ජීවත්වීමේ මූලික අයිතිය තහවුරු කල හැක්කේ කම්කරු පන්තියට පමනකි. ධනේශ්වර රාජ්‍ය සීමා අහෝසි කරන දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයකට සටන් කිරීම මෙම අයිතිය තහවුරු කිරීම සමග බැඳී පවතී. සමාජවාදී සමානතා පක්ෂය මෙම කි‍්‍රයා මාර්ගය මත සටන් කරයි.

පානි විජේසිරිවර්ධන

Share this article: