අසමානතාව හා ඇමරිකානු කතිපයාධිකාරය: ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයේ සමාජ හා ආර්ථික මූලයන්

Inequality and the American oligarchy: The social and economic roots of the attack on democratic rights

2017 ඔක්තෝබර් 6

එක්සත් ජනපද ෆෙඩරල් මහබැංකුව සැප්තැම්බර් 27වැනිදා නිකුත් කරන ලද, පාරිභෝගික මූල්‍යය තත්ව සමීක්ෂනය නම් වාර්තාවක්, ඇමරිකානුවන්ගේ ඉහල සියයට 10 දැන් සමස්ත ධනයෙන් සියයට 77ක් හිමි කර ගන්නා බව පෙන්වා දෙයි. ඉහල සියයට 1 ධනයේ තම පංගුව 2013දී සියයට 35.5ක සිට 2016 වන විට සියයට 38.5 දක්වා වැඩි කර ගත්තේ ය. එම කාලපරිච්ඡේදයේ දී ම පතුලේ සියයට 90 පංගුව සියයට 25 සිට සියයට 22.9 දක්වා පහත වැටුනි.

මෙම ප‍්‍රතිශතයෙන් පෙන්වා දෙන්නේ යන්තම් වසර තුනක දී කම්කරු පන්තියෙන් ධනවතුන් හා ඉසුරුමතුන්ට ඩොලර් ට්‍රිලියන ගනනාවක් මාරුවී ගිය බව යි.

ජනගහනයේ පතුලේ හතරෙන් තුන් පංගුව, එනම් පුද්ගලයන් මිලියන 240ක් පමන දැන් හිමි කර ගන්නේ ධනයෙන් සියයට 10ටත් අඩු ප‍්‍රමානයකි. එනම්, එක්සත් ජනපදය පුද්ගලයන් 100දෙනකු සහිත මහල් නිවාස සංකීර්නයක් ලෙස ගතහොත්, ඉන් පොහොසත් ම මිනිසා ඉහල මහල් හතරම අයත් කරගෙන් ජීවත් වෙයි. ඊ ලඟට පොහොසත් ම 9දෙනා ඊ ලඟ මහල් හතරේ ද, 15දෙනෙකු දෙවැනි මහලේ ද ජීවත් වනු ඇති අතර, පුද්ගලයන් 75ක් බිම්මහලේ තෙරපී ජීවත් වෙති.

ෆෙඩරල් මහබැංකුව ප‍්‍රත්‍යක්ෂ වචනවලින් පෙන්වා දෙන්නේ දේශපාලනික, සංස්කෘතිමය හා බුද්ධිමය ජීවිතයේ සියලු පැති සසල කරමින්, මිලියන සිය ගනනාවක පුද්ගලයන්ට බලපාන සමාජ සම්බන්ධතාවන්ගේ ප‍්‍රගාඪ වෙනසකි. එක්සත් ජනපදය කතිපයාධිපත්‍යයකි, එය තුල ආන්ඩුව, වෘත්තීය සමිති, මාධ්‍ය, විශ්වවිද්‍යාල හා ප‍්‍රධාන දේශපාලන පක්ෂ වනාහි, මහජනයා හැසිරවීමට, තමන්ගේ ම ධනය වසන් කිරීමට හා පහලින් එන සමාජ විරෝධය කුඩු කර දැමීමට පාලක පන්තිය විසින් යොදා ගැනෙන උපකරනයෝ වෙති.

“රුසියානු ප‍්‍රචන්ඩ භාවයට” එරෙහිව සටන් කිරීම යන ව්‍යාජය යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා අනෙකුත් වාමාංශික වෙබ් අඩවි අවහිර කිරීමේ වැඩපිලිවෙලක් පාලක පන්තිය තුලින් මතු වී ඒමේ භෞතික පදනම මෙම සංඛ්‍යාලේකන මගින් හෙලිකරයි.

කතිපයාධිකාරයක් තුල, සමාජ අසමානතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සමග නො පෑහේ. මහජනයාගේ අවශ්‍යතාවන් විසඳීමට අසමත් මෙන් ම අකමැති ආන්ඩුව තම මනාප ක‍්‍රමවේදය ලෙස වාරනය, සෝදිසි කිරීම, අපලේඛනගත කිරීම හා ප‍්‍රචන්ඩත්වය දෙසට හැරෙන්නේ පාලක පන්තිය විසින් පෙර නො වූ විරූ ලෙස ධනය මුලුමනින් ම තම ඒකාධිකාරයට ගැනීම ආරක්ෂා කිරීම සඳහා ය.

ප‍්‍රධාන බෙදුම් රේඛාව තිබෙන්නේ ඉහල සියයට 10 හා කම්කරු පන්තිය සමන්විත පහල සියයට 90 අතර බව දත්ත පෙන්වා දෙයි. එක්සත් ජනපද ජනගහනයේ බහුතරය “මධ්‍යම පන්තියට” අයත් වන බවට දේශපාලඥයින් හා මාධ්‍ය පන්ඩිතයින් විසින් කෙරෙන ප‍්‍රකාශ බොරු බව ෆෙඩරල් මහබැංකු සංඛ්‍යා හෙලිදරව් කර යි.

නිව් යෝක්, සැන් ෆ‍්‍රැන්සිස්කෝ බොක්ක ප‍්‍රදේශය, ලොස් ඇන්ජලිස්, විකාගෝ, හූස්ටන්, හා අනෙකුත් නගරවල නිශ්චිත ප‍්‍රදේශ වල සංකේන්ද්‍රිත සිටින ප‍්‍රභූව හා ඉසුරුමතුන්ට පහලින් ඇති එක්සත් ජනපදය අතිමහත් ආර්ථික දුෂ්කරතාවන්ට යටත්ව ඇති රටකි. දත්ත පෙන්වා දෙන්නේ, ජනගහනයේ එක් එක් ස්තර විවිධ තීව‍්‍රතාවන්ගෙන් නමුත් ආර්ථික අනාරක්ෂිතභාවයට මුහුන දෙන බවයි. ප‍්‍රධාන පක්ෂ දෙකේ ම (රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රටික්) සමාජ ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රතිපත්ති මෙම පහල ස්තර එකිනෙකට කිට්ටුවට ගෙන එමින් සිටින්නේ ඔවුන් සියලුදෙනා පන්ති සූරාකෑමේ එකම කැලල්වලින් සලකුනු කරමිනි.

ජනගහනයෙන් දුප්පත් ම සියයට 10, එනම් පුද්ගලයන් මිලියන 30ක් පමන හිමිකම් පාන්නේ සෘන වත්කම්වලට ය. නිවාස නැතිකම හා අපේක්ෂා විරහිත නය ගැතිකම ඒවාට ඇතුලත් ය. දල වසයෙන් ටෙක්සාස් හා නිව් යෝක් ප‍්‍රාන්තවල ඒකාබද්ධ ජනසංඛ්‍යාවට සමාන ජනගහනයකින් යුත් මෙම කන්ඩායමේ ජීවිතාපේක්ෂා කාලය, රෝග අනුපාත, හා ජීවන තත්වයන් සමාන වන්නේ තුන්වැනි ලෝකයේ ඒවාට ය.

ඊ ලඟ දුප්පත්ම සියයට දහයටද ධනයක් ඇත්තේ නැත; එනම් පවුලකට ඩොලර් 0 සිට ඩොලර් 5,000 අතර, නැතහොත් වසර දහයක් පැරනි පාවිච්චි කල වාහනයක වටිනාකමට වඩා අඩු අගයකි. මෙම ස්තරය විසින් හිමිකම් පාන ඒකාබද්ධ ධනය සමස්ත ධනයේ කොටසක් ලෙස අතිශයින් සුලුය.

දල වසයෙන් ජනගහනයේ පහල මධ්‍යම තුනෙන් පංගුව, එනම් 20 සිට 50වැනි ප‍්‍රතිශතය දක්වා පාලනය කරන්නේ සමස්ත ධනයෙන් යන්තම් සියයට 1.6කි. සාමාන්‍ය-මිල වාහනයක් මිස වෙනත් දේපලක් නොමැති ව අවම වැටුපකට පූර්නකාලීනව වැඩ කරමින් සිටින දෙමව්පියන් සමග හතරදෙනෙකුගෙන් යුත් පවුලක්, කම්කරුවන්ගේ මෙම පුලුල් කාන්ඩයට අයත් වනු ඇත.

50 සිට 70 දක්වා ප‍්‍රතිශත පරාසයේ පුද්ගලයෝ මිලියන 64ක් ධනයේ යන්තම් සියයට 5.1ක් පාලනය කරති. ඩොලර් 150,000ක් වටිනා සාමාන්‍ය-මිලට වඩා පහල නිවසක් සමග වාහනයක් හිමි, ඉතිරිකිරීම් නොමැති පවුලක් ධනයේ 60වැනි ප‍්‍රතිශතයට ඉහලින් සිටිනු ඇත. එකිනෙකා ඩොලර් 40,000 සිට ඩොලර් 50,000 දක්වා උපයමින් වැඩ කරන වැඩිහිටියන් දෙදෙනෙකු සහිත පවුලක්, 70 සිට 80 දක්වා ප‍්‍රතිශතයට වැටෙන්නේ, සමහර විට කාර් දෙකක්, ඩොලර් 175,000ක ජාතික සාමාන්‍යට යන්තම් වැඩි වටිනාකමක නිවසක් හා යාන්තම් ඩොලර් 10,000 ඉතිරියක් හා ජීවිත රක්ෂනයක් හිමි කර ගනිමිනි.

80 සිට 90වැනි ප‍්‍රතිශතය ධනයෙන් සියයට 11.2ක් හිමිකම් කිය යි. එකිනෙකාගේ අදායාම ඩොලර් 60,000 සිට ඩොලර් 90,000 දක්වා වන, එක් විශ‍්‍රාම වැටුපක් හා ඩොලර් 300,000ක නිවසක්, හා වාහන දෙකක් සහිත පුහුනු කම්කරුවන් මේ දහයෙන් පංගුවට අයත් වෙති. මෙම කන්ඩායම යන්තමින් සැපපහසු ජීවිතයක් සහිත වුවත්, මූල්‍ය වසයෙන් ආරක්ෂිත යැයි ඉන් අදහස් නො කෙරේ.

ඉහල සියයට 10 කම්කරු පන්තියෙන් වෙන් කරන අගාධය මෑත වසරවල දී පලල් වී ඇත. 2004 සිට 2016 දක්වා සියලු ම ස්තර හරහා තම ධනය ප‍්‍රපාතාකාරව පිරිහෙන බව කම්කරු පන්තිය දුටුවේ ය. දුප්පත් ම පහෙන් එකේ මධ්‍යස්ථ පවුල තම ධනයෙන් සියයට 29.5ක් අහිමි කර ගත් අතර ඊට පිටිපසින් සිටින්නේ සියයට 24.7ක් අහිමි කර ගත්, 20ත් 39ත් අතර ප‍්‍රතිශතයේ “මධ්‍යස්ත” පවුල යි. 40-59 ප‍්‍රතිශතයේ සියයට 10.8ක් හා 60-79 ප‍්‍රතිශතයේ සියයට 17.3ක් හා, 80-89 ප‍්‍රතිශතයේ සියයට 1.3 ක් ලෙස ආදායම් අඩු විය. මේ සියලු ධනය ඇදී ගියේ ඉහලම සියයට දහයේ කන්ඩායමටයි. ඔවුන්ගේ මධ්‍යස්ථ පවුලක ධනය, මේ කාලය තුලම, සියයට 38.7කින් වැඩි විය.

ධනයේ අතිවිශාල මාරුවේ ප‍්‍රතිඵලයක් ලෙස, ඉහල සියයට 10 මධ්‍යස්ථ කුටුම්භ ධනය, 80 සිට 90 දක්වා ප‍්‍රතිශතයේ මෙන් ආසන්න වසයෙන් තුන් ගුනයක් ද, 50ස් වැනි ප‍්‍රතිශතයේ පවුලක මෙන් 20 ගුනයකට වඩා වැඩි වන අතර දුප්පත් ම 20 වැනි ප‍්‍රතිශතයේ මධ්‍යස්ථ පවුලකට වඩා 254 ගුනයක් ද වන්නේ ය.

මෙම මාරුව අධීක්ෂනය කල දේශපාලන සංස්ථාපිතය ජනගහනයේ අතිවිශාල බහුතරය මුහුන දෙමින් සිටින හදිසි සමාජ ගැටලුව ක‍්‍රමානුකුලව නොසලකා හැර ඇති අතර එය තව තවත් උග‍්‍ර කරවයි.

පියෝටෝ රිකා හි ප‍්‍රචන්ඩ කුනාටුවෙන් විපතට පත්වූවන්ට ට‍්‍රම්ප් කඩදාසි තුවා රෝල විසිකිරීමේ, රූපරාමු මූර්තිමත් කරන්නේ කම්කරු පන්තියේ ගැටලුවලට පොහොසතුන් දක්වන අනුකම්පා විරහිත මෙන් ම නින්දා සහගත ප‍්‍රතිචාරය යි. ට‍්‍රම්ප්ගේ ක‍්‍රියා “අචේතනික” බවට ඩිමොක‍්‍රටිකයන් විසින් කරන බොරු සිල් අඟවන ප‍්‍රකාශ මුලු පාලක පන්තිය ම සමාජ ව්‍යසනය වෙනුවෙන් වග කිව යුතු ය යන කාරනය නො සලකා හරි යි. සියල්ලටමත් වඩා, මිචිගන් ප‍්‍රාන්තයේ ෆ්ලින්ට් නගරයට ගොස් “වතුර බොන්න යි” මහජනයාට පැවසුවේ බරක් ඔබාමා ය. ඩිමොක‍්‍රටික් හෝ රිපබ්ලිකානු පක්ෂවල කිසිවෙකු මත්ද්‍රව්‍ය අර්බුදය, නිවාස නැතිකම, ජීවිතාපේක්ෂා කාලය පහල යාම, කුනාටුවලින් ආරක්ෂාව හා ආපදා පොදුකාර්ය (ඉදි කිරීම්), අහස උසට යන ශිෂ්‍ය නය හා සෞඛ්‍ය සේවා අර්බුද විසඳීමට කිසිදු සැබෑ උත්සායක් ගෙන නොමැත.

විශාල වසයෙන් මිලියනපතියන් හා බිලියනපතියන්ගෙන් සැදුම්ලත් ආන්ඩුවේ ශාඛා තුන (ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරන) විශේෂයෙන් ම අවධානය යොමු කරන්නේ ඉහල 1, වඩා පුලුල් ලෙස කිව හොත්, සමාජයේ ඉහල සියයට 10 උත්සුකයන් හා සමාජ අවශ්‍යතාවන් ගැන ය. පොහොසත් සියයට 10යේ ප‍්‍රධාන උත්සුකයන් වන්නේ සමාජ ප‍්‍රතිවිරුද්ධත්වයේ වර්ධනය අවහිර කිරීම හා තමන්ගේ ම ධනය හා වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීම යි. මෑත වසරවල දී, යුද්ධය, අසමානතාව හා දරිද්‍රතාවට එරෙහිව මහජනතාව අතර වන සමාජ විරුද්ධත්වයේ වර්ධනය පිලිබඳ ඇමරිකානු පාලක පන්තිය බොහෝ සේ දැනුවත් වී ඇත.

අන්තර්ජාල හා සමාජ මාධ්‍ය වේදිකාවල තාක්ෂනික දියුනුව විකල්ප දේශපාලන දෘෂ්ටිවාදයන්ට මග හෙලි කරනු ඇතැ යි බිය පත් කතිපයාධිකාරය වාමාංශික වෙබ් අඩවි වාරනය කිරීමට හා එක්සත් ජනපද දේශපාලන පද්ධතිය තුල “රුසියානු මැදිහත්වීම්” අවහිර කිරීමේ නාමයෙන් සමාජ මාධ්‍ය වේදිකා මත කඩා පැනීමට වැඩපිලිවෙලක් අරඹා ඇත. ඔවුන්ගේ ප‍්‍රකාශවලට සහාය වන විශ්වාසනීය සාක්ෂියක ලේශමාත‍්‍රයක් හෝ නොමැතිව, ප‍්‍රවෘත්තිපත‍්‍ර කතුවරු, රූපවාහිනීවල දොඩන ඇත්තෝ, සෙනෙට් හා ව්‍යවස්ථාදායක සභා සාමාජිකයෝ, සංගත විධායකයෝ, වෘත්තීය සමිති නායකයෝ හා ශාස්ත‍්‍රාලිකයෝ අන්තර්ජාල වාරනය කිරීමට හා “ව්‍යාජ ප‍්‍රවෘත්තිවලින්” මහජනතාව ආරක්ෂා කිරීමේ උමතු ප‍්‍රහාරයක නිරත වී සිටිති.

“ව්‍යාජ-ප‍්‍රවෘත්ති” වාරනය හා අපලේඛනගත කිරීමට මුලපිරීම් පොලිස් රාජ්‍ය පාලන ක‍්‍රමවේදයන් සඳහා රාමුව නිර්මානය කිරීමට පාලක පන්තිය විසින් වසර ගනනාවක් තිස්සේ ගෙන යන ලද ක‍්‍රියා පිලිවෙල උත්සන්න කිරීමකි. ඒ අතර ම, ෆෙඩරල් මහබැංකු සංඛ්‍යා තුල හෙලිදරව් කෙරෙන සමාජ අසමානතාවේ වර්ධනය පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය තුල සමාජවාදී විප්ලවයට වෛෂයික පදනම සපයන සමාජ හා පන්ති ගැටුම්වල අනුකම්පා විරහිත තීව‍්‍ර වීමයි.

එරික් ලන්ඩන්

Share this article: