ජෙනරාල්වරු පිරිවරාගත් ට‍්‍රම්ප් “කුනාටුවට පෙර නිශ්චලකම” ගැන කථා කරයි

Surrounded by generals, Trump remarks on “the calm before the storm”

පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 7

ප‍්‍රමුඛ මිලිටරි නායකයින් විසින් වටකරගත් ඇමරිකානු ජනාධිපති 5දා සවස ධවල මන්ඳිරයේදී, වත්මන් ලෝක තත්වය, “කුනාටුවට පෙර නිශ්චලකම” යයි අනතුරු ඇඟවීමක් ලෙස ගෙනහැර දැක්වීය. වඩාත් සංයුක්ත ලෙස සඳහන් කිරීම ප‍්‍රතික්ෂේප කරමින් ට‍්‍රම්ප් කල තර්ජනාත්මක ප‍්‍රකාශය, -නිසැකයෙන්ම උතුරු කොරියාවට විරුද්ධව එල්ල කල- ඇමරිකාව ව්‍යසනකාරී යුද්ධයක් දියත් කිරීමේ අද්දර සිටින බවට තවත් අනතුරු ඇඟවීමකි.

නොසූදානම් කම ඉක්මවා යමින් ට‍්‍රම්ප් මෙම ප‍්‍රකාශය කලේ, “ලෝකයේ ශ්‍රේෂ්ඨතම මිලිටරි ප‍්‍රජාව” හා ඔවුන්ගේ බිරින්ඳෑවරුන් සමග, රාත්‍රී භෝජනයට පෙරාතුව කඩිමුඩියේ සූදානම් කල ඡායාරූප ගැනීමකදීය. ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මාස්ටර්, ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානීන්ගේ සභාපති ජෝසෆ් ඩන්ෆරඩ් හා ධවල මන්ඳිරයේ මාන්ඩලික ප‍්‍රධානී ජෝන් කෙලී යන සියල්ලෝම එයට සහභාගීවී සිටියහ.

සුලු මොහොතකට පෙර ජෙනරාල්වරුන් හමුවූ ජනාධිපති, මාධ්‍යවේදීන් යලි යලිත් අසන ලද “මොන කුනාටුව ද?” යන ප‍්‍රශ්නය නොතකා හැරීමට දරන ලද උත්සාහයෙන් පසුව අන්තිමේදී, “ඔබට දැකිය හැකියි” යනුවෙන් පැවසීය.

පූර්ව රැස්වීමට කල සිය ආරම්භක ප‍්‍රකාශයේදී ට‍්‍රම්ප්, උතුරු කොරියාවට ඔහුගේ දරුනුම තර්ජනය එල්ල කරමින්, “මෙම ආඥාදායකත්වයට සිතිය නොහැකි තරම් ජීවිත විනාශය සමග, අපේ ජාතියට හෝ අපේ මිතුරන්ට කරන තර්ජනයට අපට ඉඩ දිය නොහැකිය. එය සිදුවීම වැලැක්වීමට කල යුතු දේ අප කල යුතුයි” යනුවෙන් පැවසීය.

ඔහු සිය අවසන් සඳහන ගැන තවදුරටත් පැවසුවේ, “අවශ්‍ය නම් අප එය කල යුතුය, මා විශ්වාස කරන්න.”

යථාර්තයේදී, කොරියානු අර්ධද්වීපයේ අතිශයින්ම ආතති සහගත තත්වයට ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ, උතුරු කොරියානු තන්ත‍්‍රය නොව ට‍්‍රම්ප් පාලනයයි. ලෝකයේ බලගතුම මිලිටරි යාන්ත‍්‍රනයේ ප‍්‍රධාන ආඥාපති ලෙස ට‍්‍රම්ප්, කුඩා, ආර්ථික වශයෙන් පසුගාමී රට සුන්කර දමන බවට යලි යලිත් තර්ජනය කර ඇත.

පසුගිය මාසයේදී එක්සත් ජාතීන් හමුවේ කල ෆැසිස්ට් තාලයේ කථාවෙන් පසුව ට‍්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් “වැඩි කලක් ජීවත් නොවනු ඇතැයි” ට්වීටර් සටහන් වලින් දක්වමින්, එරට “සම්පූර්න විනාශයකට” මුහුන දෙනු ඇති බවට අනතුරු ඇඟවීය. ඔහු උතුරු කොරියාව සමග කිසිදු කථාබහක් සහමුලින්ම ප‍්‍රතික්ෂේප කල අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, පියොංයෑනය සමග සාකච්ඡා කිරීමේ හැකියාව ගැන සොයමින් “තම කාලය කා දමන” බව පසුගිය සති අන්තයේදී පැවසුවේ, ඔහුට ප‍්‍රසිද්ධියේ පහර ගසමිනි.

උතුරු කොරියාව සමග යුද්ධයක අතිශයින්ම අනතුරුදායක තත්වය හමුවේ, වොෂින්ටනය හා ධවල මන්ඳිරය තුලම පාලක කවයන්හි මතභේද උත්සන්නවී ඇත. ස්වභාවයෙන් එම බෙදීම් උපක‍්‍රමිකය. ටිලර්සන්, මැටිස් හා මැක්මාස්ටර් යන සියල්ලන්ම, “මිලිටරි විකල්පය අතේ තිබෙන” බවට තර්ජනය කර ඇත. ඒ සමගම ඔවුහු, ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව ද අවධාරනය කරති.

ඉරානයට තම න්‍යෂ්ටික වැඩසටහන බෙහෙවින් සීමා කිරීමට සිදුවූ 2015 ගිවිසුමට ද ට‍්‍රම්ප්ගේ ප‍්‍රමුඛ උපදේශකයින් තිදෙනාම සහයෝගය දක්වති. අනෙක් අතට ට‍්‍රම්ප්, ඇමරිකාව ඇතිකරගෙන තිබෙන “නරකම හා වඩාත්ම ඒක පාර්ශවික ගනුදෙනුව” ලෙස එම ගිවිසුම හෙලා දකියි. ඔහු ලබන සතියේදී ගිමිසුම කටුගා දැමීමට යන බව වාර්තාවේ. එය වනාහි ටෙහෙරානය සමග පමනක් නොව ගිවිසුමට සහාය දක්වන වොෂින්ටනයේ යුරෝපීය සහචරයන් සමග ද ආතතීන් උත්සන්න කිරීමට තුඩු දෙන පියවරකි.

මේ තතු හමුවේ තම ඉහල ජෙනරාල්වරුන් සමග පසුගියදා පැවති ට‍්‍රම්ප්ගේ රැස්වීමේ එල්ලය, සියල්ලටත් වඩා උතුරු කොරියාව සමග යුද්ධය සඳහා ඔහුගේ ඉවබව නැති හා ආක‍්‍රමනික සූදානම සඳහා පූර්න සහාය ගොනුකර ගැනීම බව පෙනී යයි. සාකච්ඡාවට පෙරාතුව ඔහු කල ප‍්‍රකාශ වලදී ට‍්‍රම්ප්, රැස්ව සිටියවුන් “පුලුල් මට්ටමක මිලිටරි විකල්ප.....වඩාත් ඉක්මනින්” තමන් අතට පත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසීය. “නිලධරයේ බාධක ජයගනු ඇති බවට” ඔවුන් කෙරෙහි විශ්වාසය තබන බව පවසමින් ඔහු අවධාරනය කලේ, ජෙනරාල්වරුන්ට බලතල ඇති බවය.

උතුරු කොරියාව සමග ඇමරිකානු යුද්ධයකදී පරදුවට තැබෙන්නේ කුමක් දැයි 6දා ඩිමොක‍්‍රටික් නියෝජිත ටෙඩ් ලියු විසින් පෙන්නුම් කර දුන්නේය. උතුරු කොරියාව සමග ගැටුමක් “නොසිතිය හැකි තරම් බිහිසුනු” වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය. “පරම වශයෙන්ම අනතුරක් හා තර්ජනයක්” බව පවසමින් පියොංයෑන් තන්ත‍්‍රය හෙලා දකිමින් ඔහු පැවසුවේ, “හොඳ මිලිටරි විකල්ප නොමැති” බවය. ලියු 1990 ගනන්වල ගුවාම්හි සේවය කල හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන අතර උතුරු කොරියාව සමග ගැටුමකට සූදානම් වීම සඳහා සැලසුම් කල යුද අභ්‍යාසයන්හි ද නිරතවූ අයෙකි.

ලියු හා නියෝජිත රූබන් ගැලිගෝ, සැප්තැම්බර් 26දා ආරක්ෂක ලේකම් මැටිස්ට ලියමින් පැවසුවේ, “රාජ්‍යතාන්ත්‍රික උපක‍්‍රම ද ඇතුලු අනෙක් සියලු විකල්ප අහවර වන තෙක් මිලිටරි බලය යෙදීම වරදකි” යනුවෙනි. ඔවුහු පහත දැක්වෙන පරිදි මාධ්‍යගත කෙරුනු ප‍්‍රශ්න මාලාවක් සඳහා පිලිතුරු ඉල්ලා සිටියහ. “එක්සත් ජනපදයේ මිලිටරි ප‍්‍රහාරයකට උතුරු කොරියානු සම්ප‍්‍රධායික හා න්‍යෂ්ටික අවි ප‍්‍රතිචාරයකින් (ඇමරිකානු, දකුනු කොරියානු හා ජපන්) සිදුවිය හැකි ජීවිත හානි පිලිබඳ තක්සේරු.”

“මේ පරිපාලනය උතුරු කොරියාව සමග යුද්ධයේ බිහිසුනු හා අනිශ්චිත මාවතකට, ඇමරිකාව අන්ධකාරයට ඇද දැමීමට පෙර, ඇමරිකානු ජනතාව හා කොන්ග‍්‍රසයේ ඔවුන්ගේ නියෝජිතයෝ, ඉහතින් ලැයිස්තුගත කර තිබෙන තීරනාත්මක ප‍්‍රශ්න වලට පිලිතුරු අපේක්ෂා කරති” යනුවෙන් ඔවුහු ලිපිය අවසන් කරති.

තමා යුද්ධයේ විරුද්ධවාදියෙකු නොවන බව පෙන්වීමට ලියු 6දා දැඩි වෙහෙසක් දැරීය. සැබවින්ම ඔහු, 2016 ෆෙඩරල් මැතිවරනයේදී හා ට‍්‍රම්ප් ආන්ඩුව මත ඇතිකලා යයි කියන, “රුසියානු බලපෑමට” එරෙහි මැකාතිවාදී දඩයමට වාචිකව සහාය දැක්වූවෙකි. ඇමරිකානු පාලක පන්තියේ මේ කොටස, උතුරු කොරියාව සමග හා චීනය සමග යුද්ධයකට පලමුවෙන්, අවශ්‍ය නම් රුසියාව සමග ගැටුමකට මනාපය දක්වති.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් පතට අදහස් දක්වමින් විශ‍්‍රාමලත් ගුවන් හමුදා බ්‍රිගේඩියර් ජෙනරාල් රොබ් ගිවන්ස්, පසුගිය මාසයේදී මෙසේ අනතුරු ඇඟවීය: “ඇමරිකානුවන් බොහොමයකට ඇත්තේ එය, (උතුරු කොරියාව සමග ඇමරිකානු යුද්ධයක්) ඉරාක හෝ ඇෆ්ගනිස්ථාන ආක‍්‍රමනය නැතිනම් ලිබියාවේ හෝ සිරියාවේ සටන් වැනි දෙයක් වනු ඇතැයි යන අදහසය. එහෙත් එය යාන්තමින් හෝ ඒවාට සමාන නොවනු ඇත.”

ඔහු මෙසේ ද පැවසීය. “මෙම යුද්ධය අවසන් විය හැක්කේ එක ක‍්‍රමයකට පමනි. ඒ උතුරු කොරියාවේ පරාජයෙනි, එහෙත් කුමන වියදමකින් ද? කොරියානු අර්ධද්වීපයේ සේවය කර ඇති ගිවන්ස්, න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට පෙර පවා, දකුනු කොරියානුවන් 20,000ක් බැගින් දිනපතා ජීවිතක්ෂයට පත්වනු ඇති බවට පෙන්ටගනය ගනන් බලා තිබෙන බව වාර්තා කලේය.

කුමන හෝ උතුරු කොරියානු ප‍්‍රති ප‍්‍රහාරයක් වලක්වාලීමට ට‍්‍රම්ප් ආන්ඩුව, එරට මිලිටරි යාන්ත‍්‍රනය හා නායකත්වය වනසා දමන සම්ප‍්‍රධායික හා/හෝ න්‍යෂ්ටික අවි වලින් එල්ල කරන දැවැන්ත මිලිටරි ප‍්‍රහාරයකට සූදානම් වන බවට සෑම සලකුනක්ම ඇත.

මිලිටරි විශ්ලේෂක ඩැනියෙල් පින්ක්ස්ටන් ලොස් ඇන්ජලීස් ටයිම්ස් වෙත පැවසුවේ, උතුරු කොරියානු න්‍යෂ්ටික ආම්පන්න විනාශ කිරීමේ කවර හෝ උත්සාහයක්, “ඔබ වැලැක්වීමට උත්සාහ කරන දෙයම පුපුරවා හැරීමට ඔබ පියවර ගන්නා බවට නිසැක සලකුනු දැකිය හැක” යනුවෙනි. එනම් න්‍යෂ්ටික යුද්ධයයි.

එවන් අවස්ථාවකදී, උතුරු කොරියානු න්‍යෂ්ටික ප‍්‍රහාර වලින්, ටෝකියෝවේ හා සියොල්හි පමනක් මිනිස් ජීවිත මිලියන 3.8ක් නැතිවන බවට ගනන් බලා ඇතැයි, ජෝන් හොප්කිංස් විශ්ව විද්‍යාලයේ උතුර නිරීක්ෂන කන්ඩායමේ 38 විසින් 6දා නිකුත් කල වාර්තාවක සඳහන් කෙරේ. ඔවුන් පුලුල් පරිමානයේ ජීවිත හානි ගැන තක්සේරුවක් කර නැත ද කොරියාවට එරෙහි ඇමරිකානු න්‍යෂ්ටික ප‍්‍රහාර වලින් තවත් මිලියන ගනනක් මිය යනු නියතය. ඒ න්‍යෂ්ටික අවි යොදාගෙන කරන පුලුල් පරිමානයේ යුද්ධයකින් චීනය හා රුසියාව යන දෙරට ආරම්භයේදී ඉවත තැබූ විට වුවත්ය.

වොෂින්ටනයේ හා ධවල මන්ඳිරයේ දේශපාලන මතභේද වලින්, උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රහාරයක්, නොවිය හැක්කකට වඩා විය හැක්කක් බවට පත් කරයි. ඒ තම ආන්ඩුව නගාසිටුවීමේ මාධ්‍යයන් සොයමින් ඇමරිකාව තුල උග‍්‍ර සමාජ ආතතීන් විදේශීය සතුරෙකුට එරෙහිව හරවා යැවීමට ට‍්‍රම්ප් දරන මංමුලා සහගත උත්සාහය හමුවේය.

Share this article: