ට‍්‍රම්ප් ඉවත් කිරීමේ කථා මැද වොෂින්ටනයේ දේශපාලන අර්බුදය ගැඹුරුවේ

Mounting political crisis in Washington amidst talk of removal of Trump

පැට්‍රික් මාටින් විසින්, 2017 ඔක්තෝබර් 12

ප‍්‍රමුඛ සෙනේට් රිපබ්ලිකානුවෙක් වන විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති බොබ් කෝකර්, ජනාධිපති ට‍්‍රම්ප් “තුන්වන ලෝක යුද්ධයේ” අවදානම ගෙන එන බවට අනතුරු ඇඟවීමෙන් හා සිය ආන්ඩුව තුල අභ්‍යන්තර ගැටුම් පිලිබඳව පලවූ මාධ්‍ය වාර්තාවන්ට ප‍්‍රතිචාර වශයෙන් ට‍්‍රම්ප්, එන්බීසී මාධ්‍ය ජාලයේ ප‍්‍රකාශන බලපත‍්‍රය අවලංගු කල යුතු බව පැවසීමෙන් ද පසුව, මේ සතිය තුල ඇමරිකානු රාජ්‍ය සංස්ථාපිතය තුල ගැටුම නව උත්සන්න මට්ටමකට ලඟා විය.

කොන්ග‍්‍රස් මන්ඩලයත් ධවල මන්ඳිරයත් අතර මෙන්ම ට‍්‍රම්ප් ආන්ඩුව ඇතුලතමත් එකිනෙකාට දොස් දොස් පවරා ගැනීම්, විශේෂයෙන්ම පුපුරන සුලු තත්වයකට පත්ව ඇත්තේ, ඒවා සිදුවන්නේ, ට‍්‍රම්ප් විසින් යලි යලිත් කිම් ජොන් උන් තන්ත‍්‍රයට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය එල්ල කිරීම හමුවේ, ඇමරිකානු ආන්ඩුව හා උතුරු කොරියාව අතර ආතතීන් නැගී යමින් තිබියදීය.

ට‍්‍රම්ප්ගේ විදෙස් පිලිවෙත 3 වන ලෝක යුද්ධය ඇතිකරන බවට කෝකර් අනතුරු ඇඟවූ අතර, ට‍්‍රම්ප් ජනාධිපතිත්වය තුල ඊට පෙර ඔහු කිවූ ස්ථාවරත්වය හා නිපුනත්වය නොමැතිකම පිලිබඳව විවේචන එල්ල කලේය. ග‍්‍රාම්‍ය අපහාස සහිත ට්වීටර් සටහන් මගින් ට‍්‍රම්ප් ඊට ප‍්‍රතිචාර දැක්වූ අතර, ධවල මන්ඳිර ප‍්‍රකාශිකා සරා හකබී, ඉරානය සමග ඇමරිකාවේ න්‍යෂ්ටික ගිවිසුම සඳහා කෝකර් වගකිව යුතුය යන සාවද්‍ය ප‍්‍රකාශය කලාය. ට‍්‍රම්ප් අද දවසේදී ගිවිසුම අවලංගු කිරීමට සූදානම් වන බව පෙනෙන්නට තිබේ.

උත්තරීතර “අඥාපතිගේ” පැත්තෙන් ඉවබව නැති කෝපය හා වනචාරී බැනවැදීම් සිදුවන බවට වාර්තා පලවන අතර, මන්ත්‍රී මන්ඩලයේ වැඩි ඡන්දයක් හා සෙනේට් සභාවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය කෙරෙන දෝෂාභියෝගයකින් නැතිනම්, ව්‍යවස්ථාවේ 25වන සංශෝධනය යටතේ උප ජනාධිපතිට හා කැබිනට්ටුවේ බහුතරයකට, ජනාධිපති තනතුරේ වැඩ කිරීමට නුසුදුසු බව ප‍්‍රකාශ කිරීමෙන්, ට‍්‍රම්ප් තනතුරෙන් පහ කිරීමේ හැකියාව ගැන, ව්‍යාපාරික මාධ්‍ය තුල නව වටයක සාකච්ඡාවක් අවුලුවා තිබේ.

“නුසුදුසු ජනාධිපති කෙනෙක් සමග කුමක් කරන්න ද” යන සිරස්තලය යටතේ අසාමාන්‍ය කතුවැකියක්, 10දා (වොෂින්ටන්) පෝස්ට් පත‍්‍රයේ පල විය.

කතුවැකිය නිගමනය කලේ දෝෂාභියෝගයක් ගෙන නොඑනු ඇති බවයි. නැෆ්ටා වැනි වෙලඳ ගිවිසුම් යලි බලගැන්වීම, විදේශයන්හි ඇමරිකාවේ දේශපාලන අනුහස පතුරුවා හැරෙන විදේශ ආධාර වැඩසටහන් පවත්වාගෙන යාම වැනි, සියලු ආකාරයෙන් ව්‍යාපාරික අවශ්‍යතාවන්ට වැදගත් වන ක්ෂේත‍්‍ර ගනනාවකදී, ඊට පටහැනි ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්ති වලට විරුද්ධව නැගී සිටින ලෙස එය කොන්ග‍්‍රසයෙන් ඉල්ලා ඇත.

ට‍්‍රම්ප් ආන්ඩුවේ ද කොන්ග‍්‍රසයේ ද සියල්ලන් කියවන, රටේ අගනුවර පලවන ප‍්‍රමුඛ පුවත්පතක කතුවැකියෙන්, ට‍්‍රම්ප් ජනාධිපති තනතුරට “නුසුදුසු” බව පැවසීම පෙන්නුම් කරන්නේ, පාලක පන්තිය තුල මතුව ඇති අසාමාන්‍ය තියුනු මතභේදය.

ව්‍යාපාරික මාධ්‍ය ට‍්‍රම්ප්ගේ ධවල මන්ඳිරය ඉලක්ක කරමින් ඇත්තේ, එක පැත්තකින් ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කෙරෙහි දක්වන ලැදියාව පිලිබඳ කනස්සල්ල ද සිරියාව, නැගෙනහිර යුරෝපය හා බෝල්ටික් කලාපයේදී රුසියාවට විරුද්ධ වීමේ ඔබාමා ආන්ඩුවේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට මැලිකම් දක්වන්නේ යයි කියනු ලබන කාරනා ද නිසාය.

එසේම, ඇමරිකාව දේශපාලනිකව අස්ථාවර කරන ට‍්‍රම්ප් ආන්ඩුවේ පිලිවෙත් හා ක‍්‍රමෝපායන්, විශේෂයෙන්ම දෙමසකට පෙර වර්ජිනියා ප‍්‍රාන්තයේ චාර්ලොටස්විල්හි කැරලි ගැසූ අන්ත දක්ෂිනාංශික, වර්ගවාදී හා ෆැසිස්ට් බලවේගයන්ට එය වඩ වඩාත් ඇරයුම් කිරීම, පිලිබඳ ගැඹුරු කනස්සල්ලක් ද පවතී.

පසුගිය සෘතුවේ රිපබ්ලිකානු පාලනය යටතේ ඇති කොන්ග‍්‍රස් න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන මාතෘකාව බවට පත්වූ, සංගත හා ධනවතුන්ගේ දැවැන්ත බදු කපාහැරීමේ ව්‍යායාමය, බහුතරයේ නායක මිච් මැක්කොනල් හා විදේශ සම්බන්ධතා කොමිටියේ සභාපති බොබ් කෝකර් වැනි ප‍්‍රමුඛ රිපබ්ලිකානු සෙනේට් සභිකයින් සමග ට‍්‍රම්ප්ගේ සම්බන්දකම් බිඳවැටීමෙන්, අඩාල වනු ඇතැයි, ව්‍යාපාරික හා බැංකු ක්ෂේත‍්‍රය තුල විශේෂ කනස්සල්ලට හේතුවී තිබේ.

ටී පාටි දේශප්‍රේමීන්, සෙනේට් කොන්සවේටිව් අරමුදල, ෆ්‍රීඩම් වර්ක්ස්, මාධ්‍යයට පරියේෂන මධ්‍යස්ථානය හා කොන්සවේටිව් එච්කිව්.කොම් ඇතුලු ධවල මන්ඳිරයට බැඳී ඇති දක්ෂිනාංශක ලොබි කන්ඩායම් හයක් 11දා, ඔබාමා කෙයා (ඔබාමා සෞඛ්‍ය සහන අහෝසි කිරීම හා අනෙකුත් දක්ෂිනාංශික පියවරයන් ගැනීමට අසමත් වීම නිසා මැක්කොනල්ට ඉවත් වන ලෙස කියා සිටි අතර, ලබන වසරේ පැවැත්වීමට නියමිත ප‍්‍රාථමික මැතිවරන වලදී දැනට සිටින රිපබ්ලිකානුවන්ට එරෙහිව කටයුතු කරන බවට තර්ජනය කලහ.

ධවල මන්ඳිරයේ හිටපු නීති උපදේශක ස්ටීව් බැනන් ද ඒවා ප‍්‍රතිරාවය කරමින් 9දා කෝකර් වහාම ඉල්ලා අස්විය යුතු බව හා රිපබ්ලිකානු ප‍්‍රාථමික මැතිවරන වටයේදී මැක්කොනල් විරෝධී අපේක්ෂකයින්ට සහාය දක්වන බවට තර්ජනය කලේය.

පෙන්ටගනයේදී ජූලි 20දා පැවති විදේශ ප‍්‍රතිපත්ති හා න්‍යෂ්ටික මූලෝපාය පිලිබඳ සාකච්ඡාවකින් පසුව රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, ට‍්‍රම්ප්ට “මුග්ධයා” යයි පැවසූ බවට පසුගිය සතියේ එන්බීසී මාධ්‍යයේ වාර්තාවක් පලවීමත් සමග යුද්ධයේ අලුත්ම වටය ඇරඹින.

මේ තත්වය, පසුව ටිලර්සන්ගේ ප‍්‍රතික්ෂේප කිරීම් හා පුද්ගලයින් දෙදෙනා බුද්ධි පරීක්ෂනයකට ඉදිරිපත් කලොත් තමා මුල් තැනට එන බව ට‍්‍රම්ප් 10දා ෆෝබ්ස් සඟරාව සමග පැවති හමුවකදී පවසන, දරුනු චෝදනා මාලාවකින් කුලූගැන්වුනි.

මාධ්‍ය ජාලය 11දා තවත් විස්තර ගෙනහැර දැක්වීය. වාර්තා වූ ආකාරයට, වසර 50ක් තිස්සේ ඇමරිකාවේ න්‍යෂ්ටික අවි සංඛ්‍යාවේ පහත වැටීම, 1960 ගනන්වල පැවති මට්ටමට යලි ගෙන ආ යුතු යයි ට‍්‍රම්ප් යෝජනා කල බව ටිලර්සන් විසින් පවසනු ලැබීමෙන් ගැටුම පුපුරන සුලු මට්ටමකට නැගුනි. ට‍්‍රම්ප් පැවසුවා යයි කියන මට්ටමට අවි තොග ගෙන ඒමට නම් න්‍යෂ්ටික අවි සංඛ්‍යා තව 10 ගුනයකින් වැඩි කල යුතුය.

සිය ආන්ඩුව ගැන “බොරු ප‍්‍රවෘත්ති” පල කරන බව කියමින් ට‍්‍රම්ප්, ඉන් පසුව එන්බීසී මාධ්‍යයට දැඩි ලෙස දොෂාරෝපනය කලේය. එහි ප‍්‍රකාශන බලපත‍්‍රය අවලංගු කල යුතු බව පැවසීමේදී ඔහු, මාධ්‍ය ජාලයන්ට බලපත‍්‍ර ලබාදී නැතිකම හා ෆෙඩරල් ආන්ඩුවට අවලංගු කිරීමේ එවන් නීතිමය බලතල නැති බව පිලිබඳ කාරනය ගැන ඔහුගේ අඥානකම පෙන්නුම් කලේය.

මෙය හුදෙක් ට‍්‍රම්ප්ගේ ආඥාදායකත්වය කරා වන නැඹුරුව ප‍්‍රකාශිත වීම පමනක් නොවේ. ඉහල නිලධාරීන්, ට‍්‍රම්ප්ගේ මානසික තත්වය, පැහැදිලි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ නොහැකියාව හා කුමන හෝ මහජන විවේචනයකට මුහුන දීමේදී කඩාපැනීමේ ප‍්‍රවනතාව ගැන හෙලා දැකීමේ හා බියකරු ප‍්‍රකාශ මාධ්‍ය වෙත කාන්දු කිරීම හමුවේ ධවල මන්ඳිරය ගැඹුරු අභ්‍යන්තර අර්බුදයකට මුහුනපා ඇත.

එයට අනුව, එන්බීසී වාර්තාව පදනම් වුනේ, න්‍යෂ්ටික අවි පිලිබඳ ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ මෙන්ම ටිලර්සන්ගේ “මුග්ධයා” පිලිබඳ කථාව ද අසා සිටි, පෙන්ටගනයේ යුද ශාලාවේ පැවති අති රහසිගත රැස්වීමට සහභාගී වූ නිලධාරීන් තිදෙනෙකු දුන් තොරතුරු මතය.

කැපී පෙනෙන මුල් පිටුවේ ලිපියක වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය, “විවිධ ධවල මන්ඳිර නිලධාරීන් හා පිටස්තර උපදේශකයින්” උපුටා දක්වමින් 10දා වාර්තා කලේ, ජනාධිපතිගේ “වාග් ප‍්‍රහාර, සන්ධාන පලූදු කරමින් හා ඔහුගේම ව්‍යවස්ථාමය න්‍යායපත‍්‍රය අනතුරේ හෙලන” බවය.

“මෑත දිනවල ට‍්‍රම්ප් පෙන්නුම් කර ඇති කෝපයෙන් වෙව්ලීම, ධවල මන්ඳිරයේ මාන්ඩලික ප‍්‍රධානී ජෝන් එෆ් කෙලී ද ඇතුලු ඔහුගේ ආධාරකරුවන් ඒවාට මුහුන දීමට නොහැකිව අපහසු තාවට පත් කලේය. ට‍්‍රම්ප්ගේ එක් විශ්වාසවන්තයෙක් ජනාධිපති සමාන කලේ (වතුර උතුරන විට) උරුවම් හඬ නගන කේතලයකටය. ඔහු වාෂ්ප (පීඩනය) පිටකලේ නැති නම් පීඩන උදුනකට පරිවර්තනය වී පුපුරා යා හැකි බවය. මම හිතන්නේ අපි ඉන්නේ පීඩන උදුනක වටපිටාවේය. එසේ පැවසූ කෙනා නම හෙලිකිරීමෙන් වැලකී සිටියි. එහෙත් ඔහු කෙලින් කථා කලේය.”

මෙම බෙහෙවින් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ ”ධවල මන්ඳිර නිලධාරීන් 18කගෙන්, පිටස්තර උපදේශකයින් හා ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන්” අඩුම තරමින් එක් අයෙක්, තෝමස් බරක් ලෙස ඊට පසු දිනයේදී හඳුනාගෙන ඇත. ඔහු දේපොල ජාවාරම්කාර මිලියනපතියෙක් හා ට‍්‍රම්ප්ගේ දිගු කාලීන හෙංචයියෙක් හා උපදේශකයෙකි. ඔහු ජනාධිපති දිව්රුම් දීමේ උත්සවය සඳහා අරමුදල් රැස් කල කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අතර දැන් තමා ට‍්‍රම්ප්ගේ ට්වීටර් කුනාටුවෙන් “බය බිරාන්තියට” පත්ව සිටින බව කියා සිටියේය.

Share this article: