“සාර් ටු ලෙනින්” චිත‍්‍රපටයට මධ්‍යම කඳුකරයෙන් බලගතු ප‍්‍රතිචාරයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 21

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) එක්ව සංවිධානය කරන ලදුව, මධ්‍යම කඳුකරයේ, හැටන් නගරය කේන්ද්‍ර කරගත් ස්ථාන තුනක පවත්වන ලද “සාර් ටු ලෙනින්” චිත‍්‍රපටයේ දර්ශනයන්, ගුරුවරුන්, වතු කම්කරුවන්, තරුනයන්, ගෘහනීන් සහ සිසුන්ගෙන් සමන්විත සැලකියයුතු ප්‍රේක්ෂකයක් ආකර්ෂනය කර ගැනීමට සමත් විය.

1917 ඔක්තෝබරයේ දී රුසියාවේ සිදුවූ ලොව ප‍්‍රථම කම්කරු පන්තික විප්ලවයේ ශත සංවත්සරය නිමිත්තෙන්, සසප සහ සසජාතශි, තම ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග එක්ව ගෙනයන වැඩකටයුතු මාලාවේ කොටසක් ලෙස මෙම චිත‍්‍රපටය දිවයිනේ විවිධ ස්ථානයන්හි ප‍්‍රදර්ශනය කෙරේ.

රුසියානු විප්ලවය පිලිබඳව ලොව එතෙක් මෙතෙක් නිර්මානය කෙරුනු විශිෂ්ටතම වාර්තා චිත‍්‍රපටය ලෙස සැලකෙන “සාර් ටු ලෙනින්”, හර්මන් ඇක්සල්බෑන්ක් විසින් නිර්මානය කොට ඇති අතර එහි සංස්කරනය සහ පසුබිම් කථනය මැක්ස් ඊස්ට්මන් ගෙනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් චිත‍්‍රපටය සම්බන්ධයෙන් කරන ලද හැඳින්වීමක, සිංහල සහ දෙමල පරිවර්තනයන් අඩංගු පත්‍රිකා තුන් දහසක් පමන, හැටන්, කොටගල, බොගවන්තලාව, අප්කොට්, මස්කෙලිය සහ පතන ආදී ප‍්‍රදේශයන්හි බෙදා හරිමින් සසප සහ සසජාතශි කල උද්ඝෝෂනයක් තුලින් මෙම චිත‍්‍රපට දර්ශන සංවිධානය කෙරුනි.

හැටන් පුරහල, ගවරවෙල දෙමල මහා විද්‍යාලය සහ කොටගල දෙමල ගුරු විදුහල යන ස්ථානයන්හි පැවැත්වූ මෙම දර්ශනයන්ට පෙරාතුව, සසප දේශපාලන මන්ඩල සාමාජික පානි විජේසිරිවර්ධන විසින් චිත‍්‍රපටය පිලිබඳ කෙටි හැඳින්වීමක් කලේය.

ව්ලැදිමීර් ඉලීච් ලෙනින් සමග රුසියානු විප්ලවයට සමනායකත්වය දුන් ලියොන් ට්‍රොට්ස්කි විසින් විප්ලවය තුල සහ ඉන් අනතුරුව වසර ගනනාවක් ඇදී ගිය සිවිල් යුද්ධය තුල ඉටුකල සුවිශිෂ්ට සහ ඓතිහාසික භූමිකාව ඇතුලු සුවිශේෂී කරුනු චිත‍්‍රපටය තුල ඉදිරිපත් කෙරෙන විශ්වාසනීය ආකාරය හේතුවෙන්, 1937 දී එය ප‍්‍රථම වරට තිරගත කෙරුනු අවස්ථාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ සහ සංවිධානයන්ගෙන් එයට එල්ල වූ බලගතු විරෝධය පිලිබඳව විජේසිරිවර්ධන පැහැදිලි කලේය. එවකට සෝවියට් සංගමය පාලනය කරමින් සිටි ජෝසෆ් ස්ටාලින් ප‍්‍රමුඛ නිලධාරි තන්ත‍්‍රය සහ ඔවුනගේ ජාත්‍යන්තර සගයන් රුසියානු විප්ලවය තුල ට්‍රොට්ස්කි ඉටුකල භූමිකාව අකාමකා දමමින් ඔහු ද්‍රෝහියකු ලෙස හංවඩු ගැසීමට සෑම ප‍්‍රයත්නයක්ම දරමින් සිටි තතු තුල, “සාර් ටු ලෙනින්” තම ව්‍යායාමයට එරෙහි මරු පහරක් ලෙස ඔවුන් දැකගත් බව ද සසප සාමාජිකයා පෙන්වා දුනි.

1917 පෙබරවාරි විප්ලවයෙන් පසු, කැඩෙට් පක්ෂය, සමාජ විප්ලවවාදී පක්ෂය සහ මෙන්ෂේවිකයන් එක්ව ගොඩ නැගූ තාවකාලික ආන්ඩුව ධනපති උපකරනයක් බවත්, සාමය, පාන් සහ ඉඩම් යන කම්කරු-පීඩිත මහජනතාවගේ මූලික ඉල්ලීම් වලින් කවරක් හෝ ඉටු කිරීමට එම ආන්ඩුව අසමත් බවත් ප‍්‍රකාශ කරමින්, කම්කරුවන් අතට බලය ලබා ගැනීමේ අත්‍යවශ්‍යභාවය සහ හදිසිභාවය පිලිබඳව ලෙනින් සහ ට්‍රොට්ස්කි එක්ව කල අවධාරනය සහ ඒ සඳහා කම්කරුවන් මෙහෙයවූ ආකාරය චිත‍්‍රපටයේ ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරෙන බව මෙම හැඳින්වීම් වලදී විජේසිරිවර්ධන පැවසීය.

හැටන් පුරහලේ පැවැත්වූ දර්ශනය

සැප්තැම්බර් 24 වන දා හැටන් පුරහලේ පැවැත්වූ “සාර් ටු ලෙනින්” දර්ශනයට කම්කරුවන්, තරුනයන් සහ ගෘහනීන් ඇතුලු 35 දෙනෙක් පමන සහභාගි වූහ. දර්ශනය අවසානයේ සිදු කෙරුනු සංවාදයට එක් වෙමින් එස්. රාම්දාස් නම් වූ ඡායාරූප ශිල්පියෙකු මෙසේ කියා සිටියේය: “විප්ලවයට පෙරාතුව රුසියානු මහජනතාව මුහුනදුන් තත්වයන්ට බොහෝ සෙයින් සමාන තත්වයන් දැන් ලොවපුරා නිර්මානය වෙමින් පවතිනවා. එක් අතකින් දරිද්‍රතාව සහ විරැකියාව. අනෙක් අතෙන් රාජ්‍ය මර්දනය. සැබැවින්ම න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය මේ තරම් බලගතුව තිබෙන බව මම දැන ගත්තෙ චිත‍්‍රපටයට පෙරාතුව කල හැඳින්වීමෙන්.”

“පලමුවැනි ලෝක යුද්ධය නතරවුනේ රුසියානු විප්ලවය නිසා බව චිත‍්‍රපටයෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් තුන්වන ලෝක යුද්ධය නතර කිරීමට තියෙන එකම ක‍්‍රමය ලෝක සමාජවාදී විප්ලවය කියන එක පැහැදිලි”යැයි ඔහු තවදුරටත් පැවසීය.

“රාජ්‍ය මර්දනය මෙතරම් දරුනු ලෙස පවතිද්දී ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තියට රුසියානු කම්කරු පන්තිය මෙන් සංවිධානය වී බලය ලබාගත හැකිද?” යනුවෙන් ගුරුවරියක් ප‍්‍රශ්න කලාය.

2008 න් ඇරැඹී වඩාත් ගැඹුරු වෙමින් පවත්නා ලෝක ධනේශ්වර ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ද ඇතුලු ලොවපුරා පාලක පන්තීන් කම්කරු-පීඩිත මහජනතාවන්ගේ සමාජ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සියල්ල උදුරා ගනිමින් සිටිද්දී එයට එරෙහිව රටක් රටක් පාසා කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් අරගලයට අවතීර්න වෙමින් සිටින අයුරු පෙන්වා දෙමින් විජේසිරිවර්ධන ඇගේ ප‍්‍රශ්නයට පිලිතුරු දීම ආරම්භ කලේය.

“සැබැවින්ම තම විමුක්තිය සඳහා සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැති තැනට කම්කරුවන් ඇද දමා තිබෙනවා. මර්දනය වඩවඩාත් ගැඹුරු කරද්දී කම්කරුවන් සහ සිසුන් එම මර්දනය නොතකා අරගලයට අවතීර්න වන ආකාරයයි අපි ලොවපුරා අත් දකින්නේ. ලංකාව තුල, රාජ්‍ය ආයතන ‘ප‍්‍රතිව්‍යූහකරනය’ යටතේ එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව පැන නැගුනු, වරාය, විදුලිබල සහ තෙල් කම්කරුවන්ගේ මෑත අරගල සහ අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි සිසු අරගල මගින් ප‍්‍රකාශයට පත් වන්නේ මෙම ජාත්‍යන්තර ප‍්‍රවනතාවයි. එපමනක් නොවෙයි, එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් සමස්ත මනුෂ්‍ය වර්ගයා න්‍යෂ්ටික යුද්ධයක් දෙසට වේගයෙන් ඇදගෙන යන තතු තුල ලෝක මහජනතාව තුල බලගතු යුද විරෝධයක් වර්ධනය වෙමින් පවතිනවා.”

1917 සහ 2017 අතර සමාජ, දේශපාලනික සහ ආර්ථික සමාන්තරයන් පෙන්වා දුන් විජේසිරිවර්ධන පැවසුවේ එදා මෙන්ම අදත් ලෝක යුද්ධයද? නැතහොත් ලෝක සමාජවාදී විප්ලවය ද? යන ප‍්‍රශ්නය මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ ඉතාමත් තියුනුව මතුකෙරී ඇති බවයි. “සැබැවින්ම එදා සාර් පාලනය යටතේ රුසියාව තුල පැවති මර්දනය ලංකාවේ අද පවත්නා මර්දනයට වඩා අඩු එකක් නොවෙයි. රාජ්‍ය පාලනයට එරෙහි සියලු දේශපාලනික වැඩකටයුතු නීති-විරෝධී තත්වයට පත් කරල තිබුනෙ. ලෙනින් සහ ට්‍රොට්ස්කි ඇතුලු කම්කරු පන්තික නායකයන් රටෙන් පිටත සිට දේශපාලනයෙ නිරත වුනෙ. නමුත් යුද්ධය මධ්‍යයේ ලෝකතත්වය වෙනස් වුනා. තවදුරටත් යුද්ධය සහ කුසගින්න ඉවසා නොහැකි තත්වයේදී දසදහස් සංඛ්‍යාත කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන්, දැඩි මර්දනය නොතකා, 1917 පෙබරවාරියේදී සාර් පාලනයට එරෙහිව වීදි බැස්සා. සාර්ගෙ හමුදාවත් දහස් ගනනින් කම්කරු පන්තිය පැත්තට මාරු වෙන්න පටන් ගත්ත. එහෙම තමයි විප්ලවය ආරම්භ වුනේ. ලංකාවෙ කම්කරු පන්තියත් ගමන් කරන්න පටන් අරගෙන තියෙන්නෙ ඒ දිශාවට.”

කෙසේ වෙතත්, අරගලයට අවතීර්න වන මෙම කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් සමාජවාදී විප්ලවය කරා මෙහෙයවීමට, බොල්ශේවික් වර්ගයේ කම්කරු පන්තික විප්ලවවාදී පක්ෂයක් අත්‍යවශ්‍යවන බවත් චිත‍්‍රපටය තුල එය අවධාරනය කෙරෙන බවත් විජේසිරිවර්ධන පැවසීය. “බොල්ශෙවික් සම්ප‍්‍රදායන් උරුම කරගත් එකම ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ ලොවපුරා සෑම රටකම ගොඩනැගීම පෙරනොවූවිරූ අත්‍යවශ්‍යභාවයකින් සහ හදිසිභාවයකින් මතු කෙරී පවතිනවා. සසප ගොඩ නැගීම සඳහා එක්වන ලෙස මෙහි සිටින සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

ගවරවෙල දෙමල මහා විද්‍යාලයේ පැවැත්වූ දර්ශනය

ඔක්තෝබර් 12 වන දා, අප්කොට් හි පිහිටි ගවරවෙල දෙමල මහා විද්‍යාලයේ වැඩමුලුවකට සමගාමීව පැවති චිත‍්‍රපට දර්ශනයට සාමාන්‍ය පෙල සහ උසස් පෙල සිසු-සිසුවියන් 200 ක් පමන සහභාගි වූහ. චිත‍්‍රපටයේ එන සුවිශේෂී දේශපාලනික සහ ඓතිහාසික කරුනු පිලිබඳව සටහන් ලියා ගැනීමට තරම් ඔවුන් උනන්දු සහගත විය.

චිත‍්‍රපටය අවසානයේදී පැවති සංවාදයට එක් වෙමින් එක් ශිෂ්‍යයෙකු මෙසේ පැවසුවේය: “මෙය අපට ඉතා නවමු අත්දැකීමක්. අපේ පන්තිය වන කම්කරු පන්තිය පිලිබඳ බලගතු හැඟීමක් මෙම චිත‍්‍රපටයෙන් ජනිත වෙනවා. කම්කරු පන්තියේ ශක්තිය මෙන්ම බෝල්ශෙවික්වරුන්ගේ කැපවීම සහ නිර්භීතභාවය අප තුල ඇති කරන්නේ අපට ලෝකය වෙනස්කල හැකිය යන හැඟීමක්.”

කොටගල දෙමල ගුරු විදුහලේ “සාර් ටු ලෙනින්” දර්ශනය

ගූගල් සෙවුම් යන්ත‍්‍රය තුල පනවා ඇති වාරනයට එරෙහිව
අන්තර්ජාල පෙත්සමට අත්සන් තබන ගුරු සිසුහු

මෙම ගුරු විදුහලේ ශ‍්‍රවනාගාරයක් නොමැති බැවින්, ඔක්තෝබර් 16 දා පැවති චිත‍්‍රපට දර්ශනයට සහභාගිවීමේ අවස්ථාව ලැබුනේ 700 ක් පමන වන ගුරු සිසුන්ගෙන් 250 කට ආසන්න සංඛ්‍යාවකට පමනි.

චිත‍්‍රපට දර්ශනය අවසානයේදී සංවාදයට එකතු වූ කථිකාචාර්යවරයෙකු “චිත‍්‍රපටය තුල ස්ටැලින් නොමැත්තේ ඇයි ද?” යන්නත්, “ලෙනින් සහ ට්‍රොට්ස්කි අතර පැවති මතභේද කවරේද?” යන්නත් ප‍්‍රශ්න කලේය.

ජෝසෆ් ස්ටැලින් රුසියානු විප්ලවය තුල කවර හෝ තීරනාත්මක න්‍යායික සහ දේශපාලනික භූමිකාවක් ඉටු නොකල බවත් ඔහු සෑම තීරනාත්මක ප‍්‍රශ්නයකදීම පසුපසට වී සිටි දේශපාලනික සහ න්‍යායික අලසයෙකු බවත් විජේසිරිවර්ධන පැහැදිලි කලේය. “ස්ටැලින් චිත‍්‍රපටය තුල නොමැත්තේ ඔහු විප්ලවය තුල තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු නොකල නිසා බැවින්” යැයි ඔහු පැවසීය.

“ලෙනින් සහ ට්‍රොට්ස්කි අතර පැවති මතභේද සම්බන්ධයෙන් අප ගතයුත්තේ ඉතාමත් පරිස්සම් සහගත ඓතිහාසික ප‍්‍රවිෂ්ටයක්. විශේෂයෙන්ම රුසියානු විප්ලවයේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ ඓතිහාසික සන්තතිය තුල ඔවුන් ගන්නා ලද ආස්ථානයන් සහ මතභේදයන් වෛෂයිකව පරීක්ෂාවට ලක්කල යුතුයි.”

විප්ලවවාදී පක්ෂයක පැවතිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවය සම්බන්ධයෙන් ලෙනින් දැරූ දෘඪතර ආස්ථානය සහ ඒ සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි දැරූ මාධ්‍යමික ආස්ථානය පැහැදිලි කල විජේසිරිවර්ධන, රුසියානු විප්ලවයේ අත්දැකීම් මගින් ලෙනින්ගේ ආස්ථානයේ නිරවද්‍යතාව සනාථ වූ ආකාරය පැහැදිලි කලේය. “විප්ලවවාදී පක්ෂයක පැවතිය යුතු දෘඪතර මධ්‍යගතභාවය පිලිබඳ අදහසට ලෙනින් පැමිනියේ 1871 දී පැරිසියේ කම්කරුවන් විසින් ගොඩනැගූ ලොව ප‍්‍රථම කම්කරු කොමියුනය බිඳ වැටුනේ කෙසේද යන්න හැදෑරීමෙන්. මධ්‍යගතව සංවිධානය වූ ධනේශ්වර රාජ්‍ය බලයක් සමග සටන් වැදී බලය ලබා ගැනීමට නම් කම්කරු පන්තියට මධ්‍යගතව සංවිධානය වූ විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය බව ලෙනින් එහිදී වටහා ගත්තා. 1917 දී ට්‍රොට්ස්කි බොල්ශේවික් පක්ෂයට බැඳෙනුයේ ලෙනින්ගේ ආස්ථානයේ නිරවද්‍යතාව පිලිගනිමින්. එතැන් පටන් 1940 ස්ටැලින්ගේ ඒජන්තයෙකු විසින් මරා දමන තුරු ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෘඪතර බොල්ශේවික්වාදියෙක්.”

“ට්‍රොට්ස්කි පොරබදමින් සිටියේ විශේෂයෙන්ම ජාත්‍යන්තර වර්ධනයන් සම්බන්ධයෙන්. විසිවන සියවස ආරම්භ වන විට වඩාත් ඒකාග‍්‍ර වෙමින් පැවති ධනේශ්වර නිශ්පාදන ආර්ථික පද්ධතිය පිලිබඳව ගැඹුරින් හැදෑරූ ඔහු 1905 දී සුප‍්‍රසිද්ධ ‘නොනවතින විප්ලව න්‍යාය’ ඉදිරිපත් කලා. ධනේශ්වර විප්ලවය කල්පමාවූ රුසියාව වැනි රටවල ධනපති පන්තියට කවර හෝ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයක් ඉටුකල නොහැකි බවත්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කාර්යභාරයන් පවා ඉටු කෙරෙනු ඇත්තේ කම්කරු පන්තික සමාජවාදී විප්ලවයෙන් බවත් ට්‍රොට්ස්කි තම න්‍යාය තුල පෙන්වා දුන්නා. මෙන්ෂේවිකයන් ඉදිරිපත් කල ‘අවධි දෙකේ විප්ලව න්‍යාය’ ට, එනම් පලමුව ධනේශ්වර විප්ලවය මගින් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර දෙවනුව කම්කරු පන්තික විප්ලවය සිදුකලයුතු බවට ඉදිරිපත් කෙරුනු සූත‍්‍රයට, ට්‍රොට්ස්කි විරුද්ධ වුනා.”

ලෙනින් විසින් ‘අවධි දෙකේ විප්ලව න්‍යාය’ ප‍්‍රතික්ෂේප කල නමුදු, ඔහු රුසියානු විප්ලවය සම්බන්ධයෙන් ඉදිරිපත් කල ‘කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආඥාදායකත්වය’ පිලිබඳ සූත‍්‍රය, පන්ති දෙකක ආඥාදායකත්වය පිලිබඳ පරස්පර විරෝධය අත්පත්කරගත් බවත් අවසානයේ ඔහු ඔහුගේම මාවතේ ට්‍රොට්ස්කිගේ ආස්ථානය කරා පැමිනි බවත් විජේසිරිවර්ධන පැහැදිලි කලේය. ”අප්‍රේල් ප‍්‍රවාද නමින් චිත‍්‍රපටයේ පෙන්වූයේ ලෙනින් විසින් නිරවද්‍ය කරගත් එම ආස්ථානයයි.”

වාමාංශික වෙබ් අඩවි වලට එරෙහිව ගූගල් සෙවුම් යන්ත‍්‍රය තුල පනවා ඇති වාරනයට එරෙහිව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස අත්සන් කරනු ලබන අන්තර්ජාල පෙත්සමට අත්සන් තැබූ ගුරු සිසුහු සසප වැඩපිලිවෙල පිලිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ඔවුනගේ දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනයන් ලබා දුන්හ.

Share this article: