උතුරු කොරියාවට එරෙහි යුද ව්‍යායාමය හමුවේ, ට‍්‍රම්ප් ආන්ඩුවේ අර්බුදය උත්සන්නවේ

Trump administration crisis worsens amid war drive against North Korea

පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 5

විදෙස් පිලිවෙත් මුල්කරගෙන, ට‍්‍රම්ප් ආන්ඩුව තුල යාන්තමින් සඟවාගෙන ඇති බෙදීම් 4දා යලි වතාවක් එලිමහනට පැමිනියේය. රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, ට‍්‍රම්ප්ට “මුග්ධයෙක්” යයි ජූලි මාසයේදී ට‍්‍රම්ප්ගේ උසස් නිලධාරීන් හමුවේ පෙන්ටගනයේ පැවති රැස්වීමකදී පැවසූ බවටත්, ඔහු ඉල්ලා අස්වීමට ඔන්න මෙන් කියා ඇති බවටත් පලවූ බලගතු සාක්ෂි සහිත එන්බීසී වාර්තාවකට ප්‍රතිචාර දැක්වීමට ඔහුට බල කෙරී ඇත.

මාධ්‍ය වෙත පරිස්සම් සහගතව කල ප‍්‍රකාශයකදී ටිලර්සන්, තමා ඉල්ලා අස්වීමට යන බවටත්, උප ජනාධිපති මයික් පෙන්ස් හා තවත් නිලධාරීන් එසේ නොකරන ලෙස තමා ඒත්තු ගැන්වූ බවටත් පලවූ වාර්තා ප‍්‍රතික්ෂේප කලේය. ඔහු පෙන්ටගනයේදී ට‍්‍රම්ප්ට මුග්ධයෙක් කිවූ බවට පලවූ වාර්තා ඔහු පසෙකට දැමූ නමුත් එය ප‍්‍රතික්ෂේප කලේ නැත. ඔහු ජනාධිපති හා ඔහුගේ විදෙස් පිලිවෙත ප‍්‍රසංසාවට ලක් කලේය.

කිසිදු මතභේදයක් නැති බව පෙන්වීමට, ටිලර්සන් ද ට‍්‍රම්ප් හා ආන්ඩුවේ විවිධ ප‍්‍රකාශකයින් ද විසින් දරනු ලබන සාමූහික උත්සාහය තිබියේවී නමුත් රාජ්‍ය ලේකම් ප‍්‍රසිද්ධියේම ට‍්‍රම්ප් සමග නොරොක්වී සිටියි. ඒ, උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ උත්සන්න වන යුද ව්‍යායාමය මුල්කරගෙන බව වඩාත් කැපී පෙනේ.

පසුගිය සතියේ අසාමාන්‍ය ලෙස ටිලර්සන්ට කල තරවටුවේදී ට‍්‍රම්ප් පැවසුවේ, රාජ්‍ය ලේකම් “තම කාලය නාස්ති කරන” බවයි. මාධ්‍යවේදීන්ට ඔහු පැවසුවේ ටිලර්සන්, කොරියානු අර්ධද්වීපයේ ඇවිල යන අනතුරුදායක ගැටුම සමනය කිරීම උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමේ හැකියාව සොයාබලමින් සිටින බවයි. ට‍්‍රම්ප් විසින් පියොංයෑනය සමග කිසිදු සාකච්ඡාවක් ප‍්‍රතික්ෂේප කිරීම, ටිලර්සන්ට ගැසූ අතුල් පහරක් පමනක් නොව, ඔහු පසුගිය දිනවල සාකච්ඡා කරමින් සිටි චීන නායකයින්ට එල්ල කල ප‍්‍රහාරයක් ද විය.

ට‍්‍රම්ප් හා ටිලර්සන් අතර කුමන මතභේද පැවතිය ද ඒවා තනිකරම උපක‍්‍රමිකය. ට‍්‍රම්ප් මෙන්ම ටිලර්සන් ද උතුරු කොරියාව ඇමරිකාවේ නියමය පරිදි සිය න්‍යෂ්ටික ආම්පන්න අතහැර දැමීමට එකඟ නොවන්නේ නම්, එරටට එරෙහිව යුද්ධයට පැනීමට කැපව සිටී. එහෙත් මිලියන ගනනාවකගේ ජීවිත විනාශ කල හැකි හා ලෝකය යුද්ධයකට ඇද දමන ගැටුමේ දැවැන්ත කම හමුවේ ඔහු, න්‍යෂ්ටික හරනයකට උතුරු කොරියාව එකඟ කරවා ගැනීමේ සාකච්ඡාවන්ට ඇති ඉඩ කඩ බැහැර නොකරයි.

සාකච්ඡා සඳහා ඇති හැකියාව බැහැර කරන ට‍්‍රම්ප්, දැනටමත් ප‍්‍රකෝපකරනයේ හා යුද්ධයක මග තෝරාගෙන ඇති බව පෙන්නුම් කරයි. මිලියන 25ක ජනගහනයක් ඇති රට “මුලුමනින්ම වනසා දමන” බව පවසමින්, එක්සත් ජාතීන් හමුවේ ඔහු එය ඇඟවුම් කලේය. ට‍්‍රම්ප් සිය ට්වීටර් පනිවිඩය මගින් ටිලර්සන්ට පැවසුවේ “ඔබගේ ශක්තිය නාස්ති කරන්ට එපා රෙක්ස්, අපි කල යුතු දේ කරමු” යනුවෙනි.

සෙනේට් හමුදා සේවා කොමිසම හමුවේ දුන් සාක්ෂියේදී ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, තමන් රාජ්‍ය ලේකම්ගේ “රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට දරන උත්සාහයේදී මුලුමනින්ම සහාය දක්වන නමුත් එක්සත් ජනපදය හා අපගේ මිතුරන්ගේ ආරක්ෂාව පිලිබඳව සැලකිලිමත් වන” බව පැවසුවේ ප‍්‍රවේශම් සහගතවය.

සාකච්ඡා, කාලය කා දැමීමක් ලෙස ට‍්‍රම්ප් විසින් බැහැර කරනු ලැබීම ගැන විමසූ කල මැටිස්, ආන්ඩුවේ බෙදීම් අවම කිරීමේ උත්සාහයක යෙදුනි. ටිලර්සන් “උතුර සමග සාකච්ඡා කිරීමට ඇති හැකියාවන් සොයා බලනවා” පමනක් යයි ඔහු පැවසීය. “කල් ඉකුත්වීමට පෙර ඔවුන් සමග කථා නොකිරීම පිලිබඳව ජනාධිපති නිතර කියන දේට පිටින් අප ඔවුන් සමග සාකච්ඡා කරන්නේ නැත.”

එහෙත් මැටිස්, එම කමිටු විමසීමේදීම, තමා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන බරපතල ලෙස සීමාකල 2015 ගිවිසුමට සහාය දක්වන බව පවසන කල, ජනාධිපතිට එරෙහිව වක‍්‍ර ලෙස පෙනී සිටියේය. “ඉරානය ගිවිසුමට එකඟව කටයුතු කරන බව අපට තීරනය කල හැකිනම් ද එය අපගේ ඉහලම අවශ්‍යතාවන්ට අනුකූල දැයි අපට තීරනය කල හැකි නම් ද පැහැදිලිවම අපි එය පිලිගනිමු.”

ට‍්‍රම්ප් ඉරාන ගිවිසුම යලි යලිත් හෙලා දුටුවේය. ඔහු පවසන්නේ, එය වනාහි ජාතිය මැදිහත්වූ “නරකම හා වඩාත්ම ඒක පාර්ශවික ගිවිසුමක්” වන බවය. ඒ ගැන යලි සාකච්ඡා කල යුතු යයි ඇමරිකාව කියා සිටින නමුත් එය, ඇමරිකාවේ සහචරයින් වන, බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය හා ජර්මනිය වැනි, ඉරානයේ බෙහෙවින් ආයෝජනය කර ඇති, ගිවිසුමේ අනෙක් පාර්ශවකරුවන්ගේ විරෝධයට ලක්වන පියවරකි.

අවසානයේ දී ඇමරිකානු කොන්ග‍්‍රස් මන්ඩලය 2015 ගිවිසුමට එකඟ වුව ද ගිවිසුමේ කොන්දේසි වලට අනුකූලව ඉරානය කටයුතු කරන්නේ දැයි ජනාධිපති සෑම තෙමසකටම වරක් කොන්ග‍්‍රසයට සහතික විය යුතුය. වොෂින්ටන් පුවත්පතට අනුව, ඊලඟ අවසන් දිනය වන ඔක්තෝබර් 15දාට පෙර ට‍්‍රම්ප්, ඉරානය පිලිබඳව ලබන සතියේදී ප‍්‍රධාන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වේ.

ට‍්‍රම්ප් ඉරානය අනුකූල නොවන බව කියාසිටියහොත්, කොන්ග‍්‍රසයට, ගිවිසුම කඩාකප්පල් කරමින් දරුනු සම්බාධක යලි පැනවීමට හැකිය. එවන් පියවරක්, ඉරානය අනුකූලව කටයුතු කරන්නේය යන ජාත්‍යන්තර බලශක්ති ආයතනයේ තීරනය සමග ගැටෙන අතර ටෙහෙරානය සමග පමනක් නොව, රුසියාව හා චීනය සමග මෙන්ම ප‍්‍රමුඛ යුරෝපීය බලවතුන් සමග ද ආතතිය නාටකාකාර ලෙස ඉහල නංවනු ඇත.

තෙමසකට පෙර ට‍්‍රම්ප්, ඉරානයේ අනකූලතාව යලි සහතික නොකරන බවට තර්ජනය කලේය. එපමනක් නොව මුහුන බේරාගැනීමේ මෙවලමක් ලෙස කටයුතු කරන තමන්ගේ ප‍්‍රමුඛ උපදේශකයින් ලවා ද එසේ කල යුතු යයි ප‍්‍රකාශ කරවාගත් බව වාර්තා විය. වොෂින්ටන් පෝස්ට් පත‍්‍ර ය ඇඟවුම් කලේ, ටිලර්සන්, මැටිස් හා අනෙකුත් අය යලිත් එලෙසම කටයුතු කිරීමට උත්සාහ කරනු ඇති බවය. ටිලර්සන් 4දා වාර්තාකරුවන් අමතා පැවසුවේ: “අපට ජනාධිපති වෙත රෙකමදාරුවක් කිරීමට සිදුවනු ඇත. ඉදිරියට යන්නේ කෙසේදැයි අපි ඔහුට අදහස් කීපයක් ඉදිරිපත් කරන්නෙමු.”

සෙනේට් විදෙස් සම්බන්ධතා කමිටුවේ සභාපති රිපබ්ලිකානු සෙනේට් සභික ටොම් කෝකර්, ට‍්‍රම්ප් ආන්ඩුව ද සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතයම තුල පැනනැගී ඇති ගැඹුරු මතභේද සලකුනු කලේය. තමන් ටිලර්සන්ට සහාය දක්වනවාදැයි 4දා ඔහුගෙන් විමසූ කල කෝකර් පැවසුවේ, “ටිලර්සන්, මැටිස් හා (ධවල මන්ඳිරයේ කාර්ය මන්ඩල ප‍්‍රධානී ජෝන්)කෙලී, කන්ඩායමක් ලෙස අප ව්‍යසනයකින් ඉවත්කර ගැනීමට උදව් වන අතර මම මුලුමනින්ම ඔවුන්ට සහයෝගය දක්වමි. මුලුමනින්ම” යනුවෙනි.

ටිලර්සන්, මැටිස්, කෙලී හා අනෙකුත් අය ඇමරිකානු පාලක පන්තිය තුල සිටින යම් වර්ගයක යුද විරෝධී කන්ඩායමක් ලෙස සැලකීම මුලුමනින්ම වැරැද්දක් වනු ඇත. ඒ සියල්ලෝම, දැනට ඉරාකයේ, සිරියාවේ හා ඇෆගනිස්ථානයේ කෙරීගෙන යන සාපරාධී යුද්ධ වලටත්, ආසියාවේ හා යුරෝපයේ යුද්ධය සඳහා සිදුවන ඉහල සූදානමටත් පිටුබලය දෙති. ඊට පටහැනි ලෙස ඇමරිකාව, එකකින් පසුව තවෙකක් වශයෙන් අර්බුද වලට මුහුන දෙද්දී, නව යුද්ධ ගෙනයාමේ හා ඒ සඳහා යෝග්‍ය කාලය පිලිබඳ තියුනු මතභේද එලිමහනට පැමිනෙමින් තිබේ.

ට‍්‍රම්ප්ට උදව් වනු පිනිස රුසියාව, 2016 ජනාධිපතිවරනයට මැදිහත් වුනාය යන චෝදනාව මුල්කරගෙන ගෙන යන කටුක ව්‍යාපාරය, ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යයට විශාලම තර්ජනය රුසියාව ද චීනය ද යන්න මත පැනනැගී ඇති තියුනු මතහේද පිලිබිඹු කරයි. අවසාන විග‍්‍රහයේදී ට‍්‍රම්ප් පාලනයේ ඉවබව නැති හා ෆැසිස්ට් ස්වරූපය, සිය ඓතිහාසික පරිහානිය තම එදිරිවාදීන්ගේ වියදමින් වලක්වා ගැනීමට මංමුලාසහගත ලෙස, මිලිටරි බලය මත වාරුවී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයෙහි ප‍්‍රකාශනයයි.

ධවල මන්ඳිරයේ දේශපාලන ව්‍යසනය හා කැලඹීම, කොරියානු අර්ධද්වීපය තුල තවත් ව්‍යසනකාරී යුද්ධයක් කරා ඇමරිකාව හැරෙමින් සිටින බවට අනතුරු ඇඟවීමකි. උතුරු කොරියාවට යලි යලිත් තර්ජනය කිරීම තුලින් හිතාමතාම ආතතිය ගිනිඅවුලුවන ට‍්‍රම්ප් ආන්ඩුව, හිතාමතා හෝ අහම්බෙන්, කුඩා හෝ විශාල, කුමන හෝ සිදුවීමක් ගැටුමකට පරිවර්තනය වීමේ තත්වය නිර්මානය කර ඇත.

Share this article: