ජර්මනිය සඳහා විකල්පය සංවිධානයේ මැතිවරන ප‍්‍රතිපල වලින් පසුව ජර්මානු පක්ෂ, තවදුරටත් දකුනට තල්ලු වෙති

German parties move further to the right after AfD’s electoral success

ජොහැනස් ස්ටර්න් විසිනි 2017 සැප්තැම්බර් 26

ජර්මනිය සඳහා විකල්පය (Alternative for Germany - AfD) සංවිධානයේ නැගීම සඳහා දෘෂ්ටිමය හා දේශපාලන වගකීම දරන පක්ෂ ම, දේශපාලන වාතාවරනය තව දුරටත් දකුනට මාරු කිරීම සඳහා දක්ෂිනාංශික අන්තවාදීන්ගේ සාර්ථකත්වය ගසා කමින් සිටිති. විශාල වශයෙන් මිලිටරිය තර කරමින්, වැටුප් හා ප‍්‍රතිලාභ කප්පාදු කරන අතර ම පොලිස් රාජ්‍යයක් සඳහා රාමුව ස්ථාපිත කරනු ඇති ආන්ඩුවක් සඳහා ඔවුහු මාවත සූදානම් කරමින් සිටිති.

ක්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (සීඩීයූ) සභාපතිනිය මෙන් ම ජර්මානු චාන්ස්ලර් ද වන ඇන්ජලා මර්කෙල් ට දීර්ග කාලයක් තිස්සේ සංක‍්‍රමනිකයන් මත වඩාත් ආක‍්‍රමනකාරී ලෙස කඩා පනින ලෙස බල කර සිටින කන්ඩායම්, ප‍්‍රහාරය තම අතට ගනිමින් සිටිති. “අපට වහා ම අවශ්‍ය සීඩීයූව තුල ක්‍රියාමාර්ගිකව වැඩි වෙනසක්”යයි බුන්ඩස්බර්ග් (පාර්ලිමේන්තු) මන්ත්‍රීවරයෙකු මෙන් ම මූල්‍ය විශේෂඥයෙකු වන ක්ලෝස්-පීටර් විල්ෂ් පැවසී ය. “අප අපගේ දකුනු පැත්ත ආවරනය කල යුතු ව ඇත. මහජනයාගේ පක්ෂයක් වීමට අපට අවශ්‍ය සහයෝගය අපට නැවත අත්කර ගත හැකි එකම මාර්ගය මෙය යි.”

මැතිවරනය අතරතුර කල්තියාම සංක‍්‍රමනිකයන් සම්බන්ධයෙන් ඉහල සීමාවක් සඳහා ඉල්ලීම මතු කල, සීඩීයූ සහෝදර පක්ෂයක් වන බැවේරියානු ක්‍රිස්තියානු සමාජ සංගමය (සීඑස්යූ) සියයට 10ටත් වඩා තම ඡන්ද වැටීමට හේතුව වසයෙන් දැක්වූයේ, විශාල වශයෙන් ඒඑෆ්ඞී වැඩසටහන් අනුගමනය කිරීම යි. දක්ෂිනාංශයේ වැඩිවන්නා වූ පීඩනයට හසුව සිටින, සීඑස්යූ සභාපති හර්ස්ට් සීහෝෆර්, ඒඑෆ්ඞීය චන්ද වැඩි කර ගත්තේ සීඞීයූ/සීඑස්යූ “තම දකුනු පැත්ත විවෘතව තැබූ” නිසා බව පැවසුවේ ය. පක්ෂය දැන් මෙය නිවරදි කල යුතු අතර “පැහැදිලි ආස්ථානයක්” අනුගමනය කල යුතු ය. ප‍්‍රවාහන අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්රින්ඞ්ට් එයට එකඟ වෙමින්, “අපගේ දකුනු පැත්ත වසා දැමිය යුතු බව අපි වටහා ගෙන ඇත්තෙමු” යි පැවසීය.

සීඞීයූ/සීඑස්යූ හා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එෆ්ඞීපී) සමග ඊනියා “ජැමෙයිකා” පාලන සභාගයකට (සභාගයේ හවුල්කාර පක්ෂවල වර්න ජමෙයිකානු ජාතික කොඩියේ වර්නයන්ට සමාන වන බැවින් එලෙස හැඳින්වේ-පරි) ඇතුලුවීමට සූදානමින් සිටින හරිතයන් ද ගමන් කරන්නේ එකම දිශාවට ය. සීහෝෆර්ගේ ප‍්‍රකාශනය ගැන අසන ලදු ව, හරිත දේශපාලඥයෙකු වන බොරිස් පාමර් ඩොයිෂ්ලෑන්ඞ්ෆන්ක් පත‍්‍රයට පැවසුවේ “සීඑස්යූ ආස්ථානයෙන් ගත් කල ඔහු නිවැරදි ය. ඔවුන් ඉක්මනින් ම ප‍්‍රාන්ත මැතිවරනයටකට සූදානම් වෙමින් සිටින අතර ඒඑෆ්ඞීය නැවත වතාවක් සියයට 12ක් ජය ගැනීමට ඉඩ දීම ඔවුන්ට අවශ්‍ය නැත.”

හරිත පක්ෂයේ ටූබින්ජන් නගරාධිපති පාමර්, සීඑස්යූවේ මර්දනකාරී ප‍්‍රතිපත්තියට සහාය දීම සඳහා තම පක්ෂයේ සූදානම ගැන නිසැක ලෙස පැවසුවේ, “මහජනයා සරනාගත ප‍්‍රශ්නය විසඳීම අපට බාර කරනවා” යයි පවසමිනි. “සරනාගතයින් පිලිබඳ ප‍්‍රශ්න අපට විසිඳිය හැකි දැයි යන්න ගැන ඔවුන්ට එතරම් විශ්වාසයක් නැත. අප ඒ පිලිබඳව තදින් සිටිය යුතුය. සීඑස්යූව ඉදිරිපත් කරන විසඳුම් සමග අපට සම්මුති යක් ඇතිකරගත හැක. එසේ නැත්නම්, ආන්ඩුවක් නො තිබෙනු ඇත.”

“අපට සෑම අයෙකුම බාර ගත නො හැක” යන නමින් මෑත දී පොතක් ප‍්‍රසිද්ධ කල පාමර්, සාරභූතව ම ඔහුගේ අන්ත දක්ෂිනාංශික සරනාගත ප‍්‍රතිපත්තිය පක්ෂය තුල පුලුල් සහායක් අත්විඳිතැ යි කයිවාරු ගැසී ය. “පක්ෂයේ පදනමෙන්, නාගරික දේශපාලඥයින්ගෙන් පමනක් නොව සරනාගතයින් මිලියනයක් ජර්මනියට පැමිනි අවස්ථාවේ මතුවුන ගැටලු මහජනයා සංයුක්තව අත්විඳින සෑම තැනකින් ම” ඔහුගේ තත්කාර්යවාදී රැඩිකල් ආස්ථානයට විශාල සහායක් ලැබී ඇතැ යි ඔහු පැවසී ය.

හරිතයන් මෙන් ම, මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කන්ඩායම් නියෝජනය කරන වාම පක්ෂය ද ඒඑෆ්ඩීයේ නැගීම තුල, විශේෂයෙන් ම නින්දිත කාර්යභාරයක් ඉටු කරමින් සිටී. පැරනි නැගෙනහිර ජර්මානු ප‍්‍රාන්ත පාලනය කරන පක්ෂය ලෙස වාම පක්ෂය, කම්කරුවන් ඒඑෆ්ඞීයේ අත යටට තල්ලු කිරීමට හේතු වන සමාජ ව්‍යසනය නිර්මානය කිරීමේදී, විශාල වැඩ කොටසක් ඉටුකර තිබේ. 1990දී මෙම පක්ෂය නැගෙනහිර ජර්මනියේ ධනවාදය පුනස්ථාපනය කිරීමට සහාය දැක් වූ අතර, එතැන් පටන් වාම කථාවන්ගේ කඩතුරාව යටතේ, දක්ෂිනාංශික ධනේශ්වර ගැති ප‍්‍රතිපත්ති අනුගමනය කර ඇත. දක්ෂිනාංශික වාචාලයින් දැන් ගසා කමින් සිටින දේශපාලනික අතෘප්තිය නිර්මානය කලේ මෙලෙසින්ය.

සමාජ හා දේශපාලන අර්බුදය උත්සන්න වෙත්ම වාම පක්ෂය, නිරතුරුව අන්ත දක්ෂිනාංශික වැඩසටහනක් විවෘතව අනුගමනය කරමින් සිටී. අවසාන රූපවාහිනී විවාදය අතරතතුර දී ඒඑෆ්ඞී නායක ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ්, වාම පක්ෂ ප‍්‍රධාන අපේක්ෂිකා සාරා වගෙන්ක්නෙක්ට්ට ප‍්‍රශංසා කිරීම කැපී පෙනේ. “වගෙන්ක්නෙක්ට් මහත්මිය කියන දේ නිවරැදි යි” ගෝලන්ඩ් පැවසී ය. “ඔවුන් යමක් වෙනුවෙන් වැඩ කර ඇත්නම් එය සරනාගත ප‍්‍රතිපත්තිය නිසා අහිමි වී ඇතැයි ද සමහර විට මෙහි උච්ච අවස්ථාව ජනතාවගේ කෝපය ලෙස ප‍්‍රකාශවී ඇතැයි ද බොහෝ දෙනා සලකති.”

ගෝලන්ඩ් මෙසේ පැවසුවේ, “සරනාගත ප‍්‍රශ්නයේ ආරම්භක අවස්ථාවේ දී අපි ඇතැම් දේවල් බොහෝ පහසු කලා මිස ගැටලු ගැන කතා නො කෙලෙමු” යි පවසමින් වැග්නෙක්ට් ආන්ඩුවේ සරනාගත ප‍්‍රතිපත්තියට පහර දුන් පසුවය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලැබූ නරකම ඡන්ද ප‍්‍රතිඵල සහිතව මැතිවරනය පරාජය වීමෙන් පසුව, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ඒඑෆ්ඞීයට එරෙහිව සටනට නායකත්වය දෙන පක්ෂය ලෙස පෙනී සිටීමට විකාර සහගත උත්සාහයක නිරත විය. ඒඑෆ්ඞීය ”වෛරයේ සංවිධානයක් මෙන් ම ජර්මනියට අපකීර්තියක්” යයි එස්පීඩී ප‍්‍රධාන අපේක්ෂක මාටින් ෂුල්ට්ස් පැවසී ය. බර්ලිනයේ පැවති එස්පීඩී අවසාන මැතිවරන රැලියේ දී ඔහු මෙසේ ප‍්‍රකාශ කලේ ය, ”අපි ඔබගේ මාවතේ ගමන් කරමින් සිටිමු.”

කෙසේ නමුත්, වඩා වඩාත් පොලීසිය යෙදවීම, වඩා විශාල මිලිටරියක් හා සරනාගතයින්ට එරෙහිව වඩා දැඩි පියවර සඳහා කැඳවුම් කරමින්, මැතිවරන උද්ඝෝෂනය අතරතුර දී ෂූල්ට්ස් අන්ත දක්ෂිනාංශික වැඩසටහනකට නැඹුරු විය. ඒඑෆ්ඩීයට එරෙහිව විරුද්ධත්වය බලමුලු ගැන්වීමට එස්පීඩීය උත්සාහ නො ගත් අතර ඒ වෙනුවට විරුද්ධ මතය මර්දනය කිරීමට හා නිහඬ කිරීමට උත්සාහ ගත්තේ ය.

මෙම සන්දර්භය තුල, ජූලි මස ජී20 සමුලූව වටා හැම්බර්ග් හි සිදුවීම් වලට පලවූ එස්පීඩී ප‍්‍රතිචාරය ගත යුත්තේ, අනතුරු ඇඟවීමක් ලෙස ය. පලමුව හැම්බර්ග් හි පාලක පක්ෂය වන එස්පීඩීය, මුලුමනින් ම සාමකාමීවූ විරෝධතාවකට එරෙහිව ප‍්‍රචන්ඩ පොලිස් මර්දනයක් සංවිධානය කලේ ය. ඊට පසු පක්ෂය, වාමාංශිකයින්ට විරුද්ධව දඩයමක් දියත් කලේ, පැහැදිලි ලෙසම ඒඑෆ්ඩීය වටා රැලිවන කොටස් වලට ආයාචනා කරමිනි.

එස්පීඩී අධිකරන අමාත්‍ය හේයිකෝ මාස්, රැඩිකල් වම්මු ලේඛනගත කරන, යුරෝපීය අන්තවාදීන් නමින් දත්ත පදනමක් ඇති කරන ලෙස ඉල්ලා සිටි අතර ”රොක් එගේන්ස්ට් ලෙෆ්ට්” නම් ප‍්‍රසංගයකට තම සහාය පල කලේ ය. සමාජ ශුභසාධන කප්පාදුවට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සියලූ වාමාංශික විරුද්ධත්වයන් අපරාධකාරී ලෙස හංවඩු ගැසීම පිනිස එස්පීඞී පක්ෂ විධායකය, ”විරෝධතා ත‍්‍රස්තවාදය” නම් සංකල්පය සමග පෙරට ආවේ ය.

බර්ලිනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ අන්ත දක්ෂිනාංශික මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි සමග ගැටුමේ දී එස්පීඞීය එම වැඩකොටසම ඉටු කලේ ය. සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සරනාගතයන්ට එරෙහි ඔහුගේ උද්ඝෝෂනය හා ඔහු නාසි අපරාධ අවතක්සේරු කිරීම පිලිබඳව බාබරොව්ස්කි විවේචනය කල අවස්ථාවේ, එස්පීඞී ය බාබරොව්ස්කිට සහාය දැක්වී ය. හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ එස්පීඞී සභාපති සබින් කුන්ස්ට්, අන්ත දක්ෂිනාංශික මහාචාර්යවරයා විවේචනය කිරීමට එරෙහිව අපරාධ නඩු පැවරීමට තර්ජනය කරන තරම් දුර ගියේ ය.

ආරම්භයේ සිට ම බාබරොව්ස්කිගේ දක්ෂිනාංශික අන්තවාදී ප‍්‍රතිපත්තියට එරෙහිව ප‍්‍රසිද්ධියේ විරුද්ධත්වය දැක්වූයේ ද ඒවායේ ප‍්‍රතිවිපාක පිලිබඳ ව අනතුරු ඇඟවූයේ ද සසප පමනි. ඒඑෆ්ඞීය පාර්ලිමේන්තුවට ඇතුලුවීම හා සියලු සංස්ථාපිත පක්ෂ තව තවත් දකුනට මාරුවීම සමග මේ කාරනා දැන් පැහැදිලි වෙමින් තිබේ.

හදිසි කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියේ දැවන්ත සමාජවාදී පක්ෂයක් ගොඩනැගීමේ අරගලය තීව‍්‍ර කිරීම යි. තුන්වැනි රයිකයේ බියකරු අත්දැකීම් පෙන්නුම් කරන්නේ, යුද්ධය හා ෆැසිස්ට්වාදයේ අනතුරු අභිබවනය කිරීමේ එකම මාවත, සමාජවාදී වැඩසටහනක පදනම මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම බව යි.

Share this article: