විශ්ව විද්‍යාල කාර්මික නිලධාරි සංගමයේ මොරටුව ශාඛා සාමාජිකයන් වෙත විවෘත ලිපියක්

2017 සැප්තැම්බර් 13

සහෝදරයනි/සහෝදරියනි,

මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්මික නිලධාරි එම්. දේහින් වසන්ත වන මා, විශ්ව විද්‍යාල කාර්මික නිලධාරී සංගමයෙන් (විවිකානිස) ඉවත් කිරීමට, ශාඛා ලේකම් වසන්ත එදිරිසූරිය දැරූ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී තැතට එරෙහිව එකාවන්ව නැගී සිට එය පරාජය කල, විවිකානිස මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සාමාජික සහෝදර සහෝදරියන්ට සහ ඔවුන් දිරිගැන්වූ සෙසු අනධ්‍යන සහෝදර සහෝදරියන්ට, මාගේ සහ මා සාමාජිකත්වය දරන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උනුුසුම් ස්තුතිය මෙයින් පල කෙරේ.

මා ඉවත්කිරීමේ කුමන්ත‍්‍රනය එලිමහනට පැමිනියේ අගෝස්තු දෙවැනි සතියේ විවිකානිස යේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛා රැස්වීමේදී ය. කාරක සභාවට හෝ සාමාජිකත්වයට නොදන්වා, මා සංගමයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ශාඛා ලේකම් වසන්ත එදිරිසූරිය විසින් මහා සංගමයට යොමුකල ලිපියක් පිලිබඳව සාකච්ඡාවක් ඇරැඹුනි. ශාඛාවේ සෙසු කාරක සභිකයන් එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවට විරුද්ධවීමත් සමග, තමා යොමුකල ලිපිය සාමාජිකත්වයට ඉදිරිපත් කිරීමට එදිරිසූරියට සිදුවිය. පසුව ලිපිය සභාවෙන් ඒකමතිකව ප‍්‍රතික්ෂේප විය.

සාමාජිකයෙකු ලෙස තමාට එවැනි ලිපියක් ලිවීමට ඇති අයිතිය පෙන්වාදෙමින් තමා කල ක‍්‍රියාවේ ද්‍රෝහී ස්වභාවය වසාගැනීමට එදිරිසූරිය උත්සාහ දැරුව ද, මා සාමාජිකත්වයෙන් නෙරපීමට තම නිලය යොදාගෙන ඇතිබව රැස්වීමේදී එලිදරවු වීමෙන් පසු ඔහු නිහඬ විය.

සසප විසින් මෑතදී බෙදාහල, “ඩෙංගු රෝගයට ගොදුරු වූ සරසවි සිසුවියගේ මරනයේ වගකීම අසල්වැසියන් හා සේවකයන් මත පැටවෙයි” යන හිසින් යුත් ලිපිය මගින් කාර්මික නිලධාරී සංගමයට අපහාස කොට ඇතිබව පවසමින් එදිරිසූරිය, මීට පෙර මාහට චෝදනා කලේය. එමෙන්ම පෙර අවස්ථා කිහිපයකදීම, ප‍්‍රතිගාමී වෘත්තීය සමිති ඉදිරි දර්ශනයට එරෙහිව සසප වැඩපිලිවෙල හැදෑරීම සඳහා ලෝක සමාජවාදි වෙබ් අඩවිය කියවන ලෙස හා සසප ට බැඳෙන ලෙස ඉල්ලා සිටීම ගැන ද ඔහු බලගතු ලෙස විරුද්ධ විය. ශාඛා රැස්වීම්වල මා අදහස් දක්වන සෑම අවස්ථාවකදීම එදිරිසූරිය ඇතුලු නිලධරය එයට බාධා කිරීම නිරන්තරව සිදු කරන අතර, එක් ශාඛා රැස්වීමක මා කතා කරමින් සිටි අවස්ථාවේ මෙම නඩය මට එරෙහිව නිර්මානය කල ප‍්‍රකෝපකරනයකදී ඔවුන්ගෙන් එක් මැරයකු මට කායිකව පහරදුන් බවට ඔබ ද සාක්ෂි දරයි.

සසප සාමාජිකයෙකු ලෙස විවිකානිස තුල මා දිගින් දිගටම සටන් වැදුනේ, වෘත්තීය සමිති සහ එහි නිලධරය කම්කරු පන්තියට එරෙහි පාලක පන්තියේ උපකරන බවට පරිවර්තනය වී ඇති අයුරු පහදා දීමටයි. එමෙන්ම, වෘත්තීය සමිති වලට සහ ඒවායේ බංකොලොත් කි‍්‍රයා මාර්ගයන්ට එරෙහිව කම්කරු පන්තියේ නව සටන් උපකරන ගොඩනගා ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමෙන් තොරව, තම එකදු ප‍්‍රශ්නයක් හෝ කම්කරු පන්තියට විසඳාගත නොහැකි බව තහවුරු කිරීමට මම සාමාජිකත්වය තුල සටන් වැදුනෙමි. ඒ සමගම, විවිකානිස ඇතුලු වෘත්තීය සමිති, කම්කරු පන්තියට එරෙහි කාර්මික පොලීසියක් ලෙස ක්‍රියා කරමින් සිටින ආකාරයද මම නිරන්තරව පෙන්වා දුනිමි.

විවිකානිසයේ සහ එදිරිසූරිය ගේ භාවිතයෙන් මා කල විශ්ලේෂනයන්හි නිරවද්‍යතාව මනාව තහවුරු වෙයි.

එදිරිසූරිය පාලකයන්ගේ අත්ගෙඩියක් ලෙස එලිපිටම ක්‍රියා කරයි. මොරටුව විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුල ඩෙංගු කීටයන් පැතිරයාමේ වගකීම සේවකයන් මත පටවා ඔවුන් දඩයමට ලක් කරද්දී, ඔහු ඇතුලු නිලධරය පාලකයන් සමග එක්ව ක්‍රියාකල ද්‍රෝහී ආකාරය ඔබ හොඳින් දනී. වැඩ වේගවත් කිරීමේ සැලසුම් යටතේ ක‍්‍රියාවට දැමෙන ඇඟිලි සලකුනු යන්ත‍්‍ර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට මෙම නිලධරය තම පූර්න සහයෝගය ලබා දුන්හ. වැඩ වේගවත් කිරීම වඩාත් තීව‍්‍ර කරනුවස් එම යන්ත‍්‍ර විවිධ දෙපාර්තමේන්තු අසල ස්ථාපිත කිරීමට පාලක පන්තිය අලුතෙන් ගෙන ඇති පියවරට එදිරිසූරිය තම සහය දෙනුයේ යන්ත‍්‍ර මිලදීගෙන ඇති නිසා ඒවා සවි නොකර බැරි බව පවසමිනිි.

සසප මග පෙන්වීම යටතේ, සංගමය තුල ද ඉන් පිටතද මා සටන් වැදුනේ, එදිරිසූරිය ඇතුලු නිලධරය, විශ්ව විද්‍යාල පාලකයන් සහ ආන්ඩුව සමග එක්ව කම්කරුවන්ට එරෙහිව දියත් කල ප‍්‍රහාරයන්ගෙන් සහෝදර කම්කරුවන් වන ඔබ ආරක්ෂා කිරීම සඳහාය.

විවිකානිස යනු, වෘත්තීය සමිති තුල සිදුව ඇති ධ‍්‍රැවාන්තගතවීම, එනම් කම්කරුවන් එක් ධ‍්‍රැවයක ද, නිලධරය ඊට ප‍්‍රතිවිරුද්ධ ධ‍්‍රැවයේ ද ඒකරාශිවීම, පිලිබඳ මනා සාදෘශයකි. මා නියෝජනය කරන්නේ ඔබේ ධ‍්‍රැවය බව ද, ඔබ මුහුන දී සිටින අන්තරායන් සහ අභියෝගයන් කවරේද යන්න ඔබට ඉදිරිපත් කරන්නේ මා ඇතුලු සසප බවද, සංගමය තුල ඔබේ අවශ්‍යතාවයන්ගේ කටහඬ මා බව ද පහල සාමාජිකත්වය වන ඔබ වටහා ගනිමින් පවතී. සංගමයෙන් මා නෙරපීමට නිලධරය වලි කන්නේ ද, එයට එරෙහිව මා ආරක්ෂා කිරීමට ඔබ නැගී සිටින්නේ ද එබැවිනි.

2008 න් ඇරැඹි ගෝලීය ආර්ථික බිඳ වැටීම මධ්‍යයේ ඔබ ද ඇතුලු සමස්ත කම්කරු පන්තිය අභිමුඛ කෙරී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් ලෝක පරිමානව දියත්කොට ඇති පෙරනොවූ විරූ ප‍්‍රහාරයකටයි. එක් පසෙකින් මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සියලු සමාජ අයිතීන් උදුරා ගනිමින් සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, අනෙක් පසින් සියලු ප‍්‍රජාතන්තය අයිතීන් උදුරා ගනිමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව දියත් කෙරී ඇති මෙම ප‍්‍රහාරයේ කොටස් ලෙසයි.

මෙම තතු තුල, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හරහා අප අත්විඳිමින් සිටිනුයේ කුමක්ද? ගෙවීගිය දශක දෙකක පමන කාලය තුල විවිකානිස ඇතුලූ සමිති නිලධරයන් විසින් කැඳවන ලද සෑම වැඩවර්ජනයක්ම අවසන් වූයේ කිසිදු සැලකියයුතු ඉල්ලීමක් දිනා නොගනිමිනි. පසුගිය විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනයේදී, පරිවාස කාලයේ සිටින කම්කරුවන් සේවය අතහැර ගියාසේ සලකන බවට ආන්ඩුව තර්ජනය කරත්ම, එයට එරෙහිව සටන්කාමී ලෙස ඉදිරියට පැමිනි කම්කරුවන් පසුබස්වමින් සමිති නිලධරය ආන්ඩුව සමග සාකච්ඡා කර වැඩවර්ජනය පාවාදුන්නේ රැකියා රැකගැනීමට වෙනත් මගක් නොමැතිබව පවසමිනි.

මේ සියල්ලෙන් සනාථ ව ඇත්තේ ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ඉල්ලීම් ලබාගත හැකිය යන වෘත්තීය සමිතිවාදී දේශපාලනයේ ආන්තික බංකොලොත්භාවයයි. කම්කරු පන්තියේ ස්වාධීන සහ සංවිහිත දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරයකින් තොරව ආන්ඩුවේ මෙම ප‍්‍රහාරයන් පරාජය කල නොහැකිබව අප වටහාගත යුතුය. සසප සහ එහි නායකත්වය යටතේ මා සටන් වදින්නේ එම ප‍්‍රතිප‍්‍රහාරය සඳහා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරුවන් බලමුලු ගැන්වීමටයි. මෙම වැඩපිලිවෙල අකා මකා දැමීම, මට එරෙහිව සුදානම් කෙරුනු කුමන්ත‍්‍රනයේ ඉලක්කයයි.

එම කුමන්ත‍්‍රනය පරාජය කිරීමට ඉදිරියට පැමිනි ඔබෙන් මා ඉල්ලා සිටිනුයේ එතෙකින් නොනැවතී සසප, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා, ඉදිරිපත් කරන විශ්ලේශන සහ ක්‍රියාමාර්ගයන් හදාරමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනට උරදෙන ලෙසයි. ඉහත සටනේ බල සංස්ථාවන් ලෙස, සෑම වැඩපොලකම සහ නිවස්නා ප‍්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යය. එම කමිටු හරහා දියත් කරන ඒකාබද්ධ අරගලයක් හරහා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා පෙරට එන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

මෙයට,

එම්.දේහින් වසන්ත

Share this article: