කොරියාව මුල්කරගෙන ගෝලීය යුද්ධයක් හටගැනීමේ අන්තරාය හමුවේ යුරෝපය වෙව්ලුම්කයි

Danger of global war over Korea shakes Europe

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2017 සැප්තැම්බර් 6

උතුරු කොරියානු තන්ත‍්‍රය 03දා සිදුකල න්‍යෂ්ටික අත්හදාබැලීමට දැක්වෙන ඇමරිකානු ආන්ඩුවේ යුදවාදී ප‍්‍රතිචාරය, වේගයෙන් යුරෝපය ද ගිලගනු ඇති ගෝලීය පරිමානයේ යුද්ධයකින් පියවර කිහිපයක් මෙපිටට ලෝකය ඇද දමා ඇත. යුරෝපීය ආන්ඩු පියොංයෑනයේ උතුරු කොරියානු තන්ත‍්‍රය හෙලා දකිද්දී වොෂින්ටනය, එරට තන්ත‍්‍රය මාරුවකට තුඩුදෙන ආක‍්‍රමනික ක්‍රියාවන් සඳහා බලකිරීමේ තත්වය, යුරෝපය තුල ද න්‍යෂ්ටික යුද්ධය ඇවිල යාමේ තර්ජනය සහිත, කොරියානු අසල්වාසීන් වන රුසියාව හා චීනය සමග මිලිටරි ගැටුමක කොන්දේසි නිර්මානය කරයි.

එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නිකී හැලී පැවසුවේ පියොංයෑනය “යුද්ධය සඳහා ආයාචනය” කරන බවයි. එසේම රුසියාව හා චීනය, තෙල් අපනයන ද ඇතුලුව උතුරු කොරියාව සමග කරන වෙලඳාම නතර කල යුතු බවයි. මෙ මගින් කොරියානු ආර්ථිකය ඉක්මනින්ම ඇනහිටිනු ඇත. රුසියාව හා චීනය මෙම ඉල්ලීම් වලට එකඟ වුවහොත් හෝ ඒවා ප‍්‍රතික්ෂේප කිරීමට ප‍්‍රතික්‍රියා වශයෙන් වොෂින්ටනය උතුරු කොරියාවට පහර දීමට හැරුනොත්, රුසියානු හා චීන හමුදා හා දකුනු කොරියාවේ රඳවා සිටින ඇමරිකානු හමුදා එරට තුල යුද්ධයක පැටලෙනු ඇත.

වොෂින්ටනය පහර දුනහොත් චීනය මිලිටරිමය වශයෙන් උතුරු කොරියාවට මැදිහත් වන්නේ දැයි කෙලින්ම ඇසූ ප‍්‍රශ්නයකට චීන විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ජෙන් ෂුආන් එවැන්නක් බැහැර කිරීම ප‍්‍රතික්ෂේප කිරීම වැදගත්ය. “අභ්‍යුපමාන ප‍්‍රශ්නයක් හෙයින් එයට පිලිතුරු දීම අපහසු” බව සඳහන් කරමින් ජෙන් පැවසුවේ, මිලිටරි බලය කොරියානු අර්බුදයට විසඳුමක් ලෙස යොදාගැනීම චීනයේ “ලැයිස්තුවට ඇතුලත් නොවන” බව පමනි.

කියෙව්හි නේටෝව පිටුබලය දුන් 2014 කුමන්ත‍්‍රනයේ පටන් නැගෙනහිර යුරෝපයේ රුසියාව හා නේටෝව අතර ඇතිව තිබෙන පුපුරන සුලු ආතතිය මධ්‍යයේ, ඇතිවන කුමන හෝ ගැටුමක පොරපිටියක් බවට යුරෝපය පත්වීම වැලැක්විය නොහේ. කියෙව්හි රුසියානු ගැති තන්ත‍්‍රය පෙරලා දැමීමේ කුමන්ත‍්‍රනයට සහාය දීමේ තැන් පටන් නේටෝව, රුසියානු දේශසීමාව අසල නැගෙනහිර යුරෝපයට දස දහස් ගනන් හමුදාව යොදවා ඇත. තව ද මෑතකදී ජර්මනියේ සුඩොයිෂ සේටුං පත‍්‍රය වාර්තා කල පරිදි, වොෂින්ටනය 1987 මධ්‍ය දුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුම අහෝසි කිරීමට සැලසුම් කරයි. ඒ රුසියාවට එල්ල කර යුරෝපය පුරා න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කිරීමට ඉඩ සලසා ගැනීමටය.

රුසියාව ඊයේ තම ප‍්‍රධාන න්‍යෂ්ටික බලය යොදා ගනිමින් විශාල පරිමානයේ මිලිටරි අභ්‍යාසයක්, මොංගෝලියාව හා චීනය අසල රුසියාවේ යුරෝපීය දේශසීමාවේ ටිවර් සිට ඉර්කුට්ස්ක් අතර ප‍්‍රදේශයේ ආරම්භ කලේය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ටාස් ප‍්‍රවෘත්ති ආයතනයට මෙසේ පැවසීය. “ටොපොල්, ටොපොල්-එම් හා යාර්ස් මිසයිල වලින් සන්නද්ධ සේනාංක 11ක් දැනට ටිවර් හා ඉර්කුට්ස්ක් අතර මුර සංචාරයේ යෙදෙයි. ඉන් තුනෙන් එකක් කඩිනම් අභ්‍යාසවල යෙදී සිටියි. අභ්‍යාසය රටේ කලාප 20ක් ආවරනය කරයි.”

චීනයේ සියාමෙන්හි පැවැත්වෙන බ්‍රික්ස් රටවල (බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුනු අප්‍රිකාව) සමුලුවේදී කථා කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඇමරිකාව හා එහි සහචරයින් විසින් උතුරු කොරියාවට එරෙහිව සිදුකරනු ලබන ආක‍්‍රමනික ක්‍රියා, ලෝක යුද්ධයකට තුඩුදෙනු ඇති බවට අනතුරු ඇඟවීය. “එවන් පරිමානයකට මිලිටරි උන්මාදය නැංවීම මෝඩකමකි, එය ආවෘත අන්තරයකි. එය තුඩුදිය හැක්කේ ගෝලීය පමනක් නොව, ග‍්‍රහලෝක පරිමාන ව්‍යසනයකටය. එය දැවැන්ත මිනිස් ජීවිත විනාශයකි. සාමකාමී සාකච්ඡාව හැරෙන්නට උතුරු කොරියානු න්‍යෂ්ටික ප‍්‍රශ්නය විසඳිය හැකි අන් මගක් නැත.”

පියොංයෑනය සිය න්‍යෂ්ටික වැඩසටහන ඉවබව නැතිව ගෙන යන්නේ, ප‍්‍රන්සය හා බ්‍රිතාන්‍යය ද ඇතුලු යුරෝපීය බලවතුන්, දියත් කිරීමේදී ප‍්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකල, 2003දී ආරම්භ කල ඉරාකයට එරෙහි ආක‍්‍රමනික යුද්ධය හෝ 2011 ලිබියාවේ නේටෝ යුද්ධය වැන්නක් වලක්වා ගැනීමේ වියරු උත්සාහයක් ලෙස බව පුටින් පැහැදිලි කලේය.

ඔහු මෙසේ පැවසීය, “අප සියලු දෙනාටම ඉරාකයේ සදාම් හුසේන්ට සිදුවූ දෙය මතක ඇත. ඔහුගේ ලමුන් මරා දැමුනි, මම හිතන්නේ ඔහුගේ මුනුපුරාට වෙඩිතබා මරා දැමූවා කියාය, සමස්ත රටම වනසා දැමුනි, සදාම් හුසේන් එල්ලා මරා දැමීය....අප සියල්ලෝම මෙය සිදුවූයේ කෙසේදැයි දනිමු, ඉරාකයේ සිදුවූයේ කුමක්දැයි උතුරු කොරියානුන්ට හොඳින් මතක ඇත. තමන් සුරක්ෂිත යයි දැනෙන තෙක් ඔවුන්ගේ වැඩසටහන නතරකරනවා වෙනුවට ඔවුන් තනකොල බුදිනු ඇත.”

කොරියානු අර්බුදය, 1991 ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට සංගමය විසුරුවා හල තැන් පටන් වොෂින්ටනය හා එහි සහචරයින් විසින් දියත් කරන ලද විසිපස් වසරක නිර්දය අධිරාජ්‍යවාදී යුද්ධයේ ප‍්‍රතිපලයයි. ඒ වසරේ ඉරාකයට එරෙහි ගල්ෆ් යුද්ධයට පැටලීමේදී යුරෝපීය බලවතුන් සලකුනු කලේ, තමන් ද සෝවියට් මිලිටරියේ ප‍්‍රතිබලයෙහි බිඳවැටීමේ වාසිය, නව විජිතවාදී යුද්ධ සඳහා ගසාකෑමට සූදානම් බවය. මේ සන්දර්භය තුල පියොංයෑනයේ බංකොලොත් රෙජිමය, අවසාන වශයෙන් නිගමනය කර ඇත්තේ, හුසේන්ට අත්වූ වේදනාකාරී ඉරනමෙන් යම් හෝ ආරක්ෂාවක් ලැබෙන්නේ න්‍යෂ්ටික අවි දරා සිටීමෙන් පමනක් බවය.

තව ද උතුරු කොරියාවට එරෙහි ට‍්‍රම්ප් ආන්ඩුවේ උන්මාදනීය තර්ජන ද හෙලිදරව්කාරීය. වොෂින්ටනය හා කියනු ලබන එහි සහචර යුරෝපීය බලවතුන් අතර තියුනු බෙදීම් මතුව තිබේ. පියොංයෑනයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හෙලාදකින අතර යුරෝපීය ආන්ඩු, උතුරු කොරියාවට එරෙහි ව්‍යායාමය දැඩිකරන බවට ට‍්‍රම්ප් පාලනයේ තර්ජන වලට සහාය දැක්වීම ප‍්‍රතික්ෂේප කරති. ඔවුහු ඔබාමා ආන්ඩුවේ “ආසියාවට හැරීම” සමග ආරම්භ වුනු ආසියාවේ ඇමරිකානු පිලිවෙත කෙරෙහි විරුද්ධත්වය අඛන්ඩව ගෙන යති.

දැනට යුරෝපීය බලවත්තු, පියොංයෑනය හෙලාදකින නමුත් කොරියානු අර්බුදය සමතයකට පත්කර ගැනීම පිනිස සාකච්ඡා ආරම්භ කරන ලෙස කියා සිටිති. සම්බාධක පනවන ලෙස ඉල්ලා ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප‍්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්‍රොං ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “පියොංයෑනයේ පාලකයාගේ අලුත්ම ප‍්‍රකෝපකරනය නව ඉහලකට නැගී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට අමතරව යුරෝපීය සංගමය ද දැන් ක්‍රියාත්මක විය යුතුය. චාන්සලර් හා ජනාධිපති උතුරු කොරියාවට එරෙහි යුරෝපා සංගමයේ සම්බාධක දැඩි කිරීමට සිය සහාය පල කරයි.” කෙසේ වෙතත් මර්කෙල් 5දා ජර්මානු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ, අර්බුදයට “සාමකාමී රාජ්‍යතාන්ත්‍රික විසඳුමක්” සොයාගත යුතු බවයි.

එසේම ලන්ඩනය ද “මෙම අනතුරුදායක හා අස්ථාවරකාරී කටයුතු වලින් උතුරු කොරියාව නතර කිරීමට දැඩි ක්‍රියාමාර්ග” ගතයුතු බව කියා සිටියේය. බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේගේ කථිකයින් පැවසුවේ, “සාමකාමී විසඳුමකට ඒම සඳහා පීඩනය දැඩි කල යුතු බවත්....අපගේ අදහස වන්නේ, මහා බ්‍රිතාන්‍ය එකහෙලාම විශ්වාස කරන්නේ, සාමකාමී රාජ්‍යතාන්ත්‍රික මාධ්‍ය හොඳම දේ බවය.”

උතුරු කොරියානු ජනාධිපති ඉගෙනගත් බර්න් නගරය පිහිටි ස්විට්සර්ලන්තය ද ඇතුලු යුරෝපීය රටවල් ද අර්බුදයට විසඳුම් සෙවීමට උත්සාහ දරයි. ට‍්‍රම්ප්ගේ ට්විටර් පනිවිඩ ලෝක රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී “සෑහෙන මාධ්‍යයක්” නොවන බව උපහාසාත්මකව සඳහන් කරමින් ස්විස් ජනාධිපති ඩොරිස් ලියුතාඩ් පැවසුවේ, “මැදිහත්කරුවෙකු වශයෙන් අපගේ සේවය ලබාදීමට අපි සූදානම්ව සිටිමු. මම හිතන්නේ එලඹෙන සති වලදී බොහෝ දේ රැඳී ඇත්තේ, එක්සත් ජනපදයට හා චීනයට මේ අර්බුදය තුල කෙතරම් බලපෑමක් කල හැකි ද යන්න මතය. එනිසාය මම හිතන්නේ ස්විට්සර්ලන්තයට හා ස්වීඩනයට තිරය පිටුපස ක්‍රියාකලාපයක් තිබෙන බව.”

මෙය පෙන්නුම් කරන්නේ, පාලක පැලැන්තීන් මිලිටරි වියදම්වල විශාල වැඩි කිරීමක් සඳහා පෙනී සිටින යුරෝපීය රටවල් පැත්තෙන්, සාමය සඳහා කැමැත්තක් ඇති බව නොව, ඇමරිකාව හා යුරෝපීය අධිරාජ්‍යවාදය අතර වැඩෙන එදිරිවාදිකම් පිලිබඳ තත්වයයි. ට‍්‍රම්ප් බලයට පත්වුනදා පටන් ජර්මානු මෝටර් රථ අපනයනයන්ට එරෙහිව වෙලඳ යුද්ධයක් දියත්කිරීමට තර්ජනය කිරීමේ තතු හමුවේ මර්කෙල්, ඇමරිකානු ජනාධිපති හමුවීමට පෙරාතුව නිරන්තරයෙන් චීන ජනාධිපති සී ජින්පින් ඇමතීමට පුරුදුව සිටී.

කොරියානු අර්බුදය පිලිබඳව යුරෝපීය මාධ්‍ය විසින් ඇමරිකාවේ කොරියානු පිලිවෙත ගැන කරනු ලබන විවේචනාත්මක ප‍්‍රකාශ මාලාවක් තුල මෙම ආතතින් පිලිබිඹුවේ. ඊට යුරෝපීය විදෙස් පිලිවෙතේ පුලුල් නවදිශානතියක් සඳහා කෙරෙන ඉල්ලීම් ද ඇතුලත්ය.

ඉසෙඩ්ඩීඑෆ් යන ජර්මානු රූපවාහිනිය මහාචාර්ය රූඩිගර් ෆ‍්‍රෑන්ක් සමග හමුවක් පැවැත්වීය. නැගෙනහිර ජර්මනියේ හිටපු පුරවැසියෙකු වන ඔහු, පියොංයෑනයේ ඉගෙනුම ලබා ඇත. ඔහු මෙසේ පැවසීය. උතුරු කොරියාව පිලිබඳව “පෙරලිකාරී නව චින්තනයක් අවශ්‍යය. දැඩි සම්බාධක වලින් උතුරු කොරියාව සන්නද්ධ වීමෙන් වලක්වනු නැත.” පියොංයෑනය තම න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙන යාමේ “මූලෝපායික තීන්දුවක් ගෙන ඇත.” ඒ තමන් සමග සාකච්ඡා කරන ලෙස ට‍්‍රම්ප් පාලනය ඒත්තුගන්වා ගැනීමේ උත්සාහයක් ලෙසය.

ෆ‍්‍රෑන්ක් කියා සිටින්නේ පියොංයෑනය සමග සාකච්ඡා කරන ලෙසය. එසේ නොමැතිනම්, සිදුවිය හැක්කේ කුමක් ද යන්න ගැන කරන සමපේක්ෂන“බොජුන්හලේ සමපේක්ෂන” වන්නේය. උතුරු කොරියාව ගැටුම අවුලුවන්නේය යන්න ඔහු ප‍්‍රතික්ෂේප කරයි, “ඔවුන් කියන්නේ, ඔබ අපට පහර දුන්නොත්, නිදසුනක් ලෙස අපේ නායකයාට පහර දුන්නොත්, අප සතුව ඇති සියල්ල යොදාගෙන අපි ප‍්‍රතිප‍්‍රහාර දෙන්නෙමු, ඊට න්‍යෂ්ටික අවි ද ඇතුලුය. මක්නිසා ද යත් උතුරු කොරියානුන් හොඳින් දැන සිටින දෙය නම්, අපි කැලස්නිකොව් රයිෆල් මිලියනයකට බිය නොවන්නෙමු” යයි (බටහිර) කියන කථාව.

ප‍්‍රන්සයේ මූලෝපායික පරියේෂන ආයතනයක් වන එෆ්ආර්එස්හි ඇන්ටොයින් බොන්ඩාස්ගෙන් ලේ මොන්ඩෙ පුවත්පත, කොරියාව ගැන ට‍්‍රම්ප්ගේ ට්විටර් සටහන් ගැන විමසූ කල ඔහු පැවසුවේ, “මෙම ඝෝෂාව මුලුමනින්ම නිරර්ථකය. න්‍යෂ්ටික අවි යොදාගෙන උතුරු කොරියාව සිතියමෙන් මකා දැමීමට අපට හැකියයි එරටට කියා සිටීම, එරටේ න්‍යෂ්ටික වැඩපිලිවෙල තවදුරටත් නීති යුක්ත කිරීමට පමනක් දායකවේ. බොන්ඩාස් යුරෝපයට කියන්නේ, “යුරෝපයේ ආසියානු ආසක්තයන් කෙරෙහි නාටකාකාර බලපෑමක් ඇතිකල හැකි මිලිටරි ව්‍යායාමය මගහැර, සාකච්ඡාවන්ට පහසුකම් සැලසීමේ අතරමැදියෙක් ලෙස කටයුතු කරන මෙන්ය.”

Share this article: