එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානියා කොරියානු අර්බුදය ලෝක යුද්ධයක් දක්වා විහිද යා හැකි බවට අනතුරු අඟවයි

UN head warns Korean crisis could spiral into world war

ජේම්ස් කෝගන් විසිිනි , 2017 සැප්තැම්බර් 7

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගියුටරෙස්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව ගන්නා යුදවාදී ආස්ථානය මගින් අවුලුවන ගැටුම “නොසිතූ ප‍්‍රතිවිපාක” වලට තුඩුදෙනු ඇතැයි 5දා අනතුරු ඇඟවීය.

ගියුටරෙස් 1 ලෝක යුද්ධය කරා ඇදී ගිය වසර ගනනාව ගැන සිහිපත් කලේය. ජාත්‍යන්තර සිදුවීම් කෙරෙහි දක්වන එදිරිවාදී ප‍්‍රතිචාර, මහ බලවතුන්ගේ නොසංසුන් කමටත් යුද්ධයටත් තුඩු දෙයි. “යුද්ධ සාමාන්‍යයෙන් යුද්ධයට යන පාර්ශවයන් විසින් ඒ අවස්ථාවේදී ගනු ලබන තීරන වලින් හට ගන්නේ නැත. ඔබ 1 ලෝක යුද්ධයේ ඉතිහාසය දෙස හැරී බලන්නේ නම්, එය අඩියෙන් අඩිය සිදුවූවක් බව පෙනී යනු ඇත. එක් පාර්ශවයක් එක් දෙයක් කරන විට අනෙක් පාර්ශවය තවත් දෙයක් කරයි, එවිට ආරවුල හටගනී... උතුරු කොරියාව සම්බන්ධ තත්වයේදී අප මගහැරිය යුතු අවදානම මෙයයි.”

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය විසින් උතුරු කොරියාවට එරෙහිව පූර්න වෙලඳ සම්බාධක පැනවිය යුතු බවට ඇමරිකාව කරන බලපෑම හමුවේ, ඇමරිකාව, චීනය හා රුසියාව අතර තියුනු මතභේද පැනනැගී තිබියදීය එහි ප‍්‍රධානියා මේ අනතුරු ඇඟවීම් කරන ලද්දේ. තෙල් හා ගෑස් ද සම්බාධක වලට ඇතුලත්ය.

ඇමරිකාවේ මූලෝපායික චින්තන පර්ෂද, එයම යුද ක්‍රියාවක් වන, එවන් සම්බාධකවල අරමුන ගැන 25 වසරකටත් වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර තිබේ. එයින් දැනටමත් අර්බුදයට මුහනපා ඇති රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි ද සාගත තත්වයක් හා සමාජ කැලඹීම් අවුලුවනු ඇතැයි ද ඇමරිකානු හා දකුනු කොරියානු මැදිහත්වීම යටතේ පියොංයෑනයේ ගැත්තර පාලනයක් පිහිටුවීමට කොන්දේසි නිර්මානය වනු ඇතැයි ද සලකනු ලැබේ.

උතුරු කොරියාව ඉල්ලා සිටින කොන්දේසි යටතේ මොනම සාකච්ඡාවක් හෝ පැවැත්වීම ට‍්‍රම්ප් පාලනය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. ඇමරිකාව හා දකුනු කොරියාව ප‍්‍රහාරයක් සඳහා සූදානම් වන නිරන්තර මිලිටරි අභ්‍යාස නතරකලහොත් පමනක් තම න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීමේ සාකච්ඡාවන්ට එලඹෙන බව පියොංයෑනය ඇඟවුම් කර ඇත. ඉරාක හා ලිබියානු තන්ත‍්‍ර ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නියෝග වලට හිස නැමීමෙන් පසුව ඔවුන්ට අත්වූ ඉරනම පිලිබඳව කොරියානු නායක කිම් ජොන් උන් හොඳින් දැන සිටියි. දෙගොල්ලන්ටම පහරදී රටවල් දෙකම විනාශ කල අතර නායකයින් මරා දැමුනි.

වොෂින්ටනය පියොංයෑන් තන්ත‍්‍රයට පිලිතුරු දුන්නේ ප‍්‍රකෝපකාරී කයිවාරු වලිනි. පසුගිය සතියේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ට්වීටර් සටහනකින් “සාකච්ඡා පිලිතුර නොවේ” යයි පවසා තිබුනි. ට‍්‍රම්ප් පුනරුච්ඡාරනය කරමින් එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නිකි හැලී 4දා, චීනයට හා රුසියාවට අවසන් නිවේදන නිකුත් කලාය. “අපගේ සියලු රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් ප‍්‍රමාද වීමට කලින් අවසන් කිරීමට කාලය පැමින ඇතැ”යි ඇය පැවසුවාය.

අඟවුම නොවරදින සුලුය. ආරක්ෂක මන්ඩලය උතුරු කොරියාවට විරුද්ධව දැඩි සම්බාධක සඳහා ඡන්දය නොදුනහොත්, ඇමරිකාව හා එහි සහචරයෝ විනාශකාරී යුද්ධයක් දියත් කරනු ඇත. එහිදී 1945න් පසුව ප‍්‍රථම වතාවට යුද්ධයේදී න්‍යෂ්ටික අවි යොදාගැනීමට ඉඩ ඇත.

එවන් ආර්ථික අවහිර කිරීමකට තමන් සහයෝගය නොදෙන බව බීජිනය හා මොස්කෝව ඇඟවුම් කර ඇත. ඈත පෙරදිග ව්ලැඩිවොස්ටොක් යන රුසියානු නගරයේ පැවති ආර්ථික සමුලුවකදී 6දා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ, “අප ආවේගයන් මත ක්‍රියාත්මක වෙමින් උතුරු කොරියාව ආවෘත අන්තයකට තල්ලු නොකල යුතුය. අප සන්සුන් ලෙස කටයුතු කරමින් ආතතීන් උත්සන්න කිරීමේ පියවර ගැනීමෙන් වැලකිය යුතුය.”

චීන හා රුසියානු පාලක පැලැන්තීන්ගේ ආර්ථික හා මූලෝපායික ආසක්තයන් දෙපැත්තම, ඇමරිකාවේ මැදිහත්වීම් හමුවේ බරපතල ලෙස තර්ජනයට ලක්වේ. ආර්ථික ගෙල හිරකිරීමකින් පියෝංයෑන් තන්ත‍්‍රය බිඳ වැටීමටත්, එය ඇමරිකානු ගැති පාලනයකින් විස්ථාපනය කලහොත්, ඔවුන්ගේ දොරකඩම ඇමරිකානු හා දකුනු කොරියානු මිලිටරිය පැලපදියම් වනු ඇත. අනෙක් අතින් යුද්ධයක්, කොරියානු අර්ධද්වීපයම විනාශ කරනවා පමනක් නොව, නැගෙනහිර ආසියාවම බරපතල ලෙස අස්ථාවර කරනු ඇත. එහි ප‍්‍රතිපලය වශයෙන් උතුරු චීනය හා රුසියානු ඈත පෙරදිග න්‍යෂ්ටික දූෂනයකට ලක්වීම හා දේශසීමා හරහා මිලියන ගනන් සරනාගතයන් ගලා ඒම සිදුවිය හැක.

බීජිනය හා මොස්කෝව ඇමරිකානු ප‍්‍රහාරයක හැකියාව දුරලීම සඳහා මංමුලාසහගත උත්සාහයක යෙදී සිටියි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හා දිගු දුර බැලිස්ටික් මිසයිල් වැඩසටහන අවසන් කිරීමට පියොංයෑනය මත පීඩනය දැඩි කරන්නැයි කියන වොෂින්ටනයේ පදේට දෙපාර්ශවයම නටයි. ඔවුන් ආරක්ෂක මන්ඩලයේදී ඉතා දැඩි සම්බාධක පැනවීමට ඡන්දය දුන් අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනිමින් සිටියි. ඒ සමගම, තමන් අඛන්ඩව ඇමරිකාවේ හා දකුනු කොරියාවේ ආක‍්‍රමනයක හා ප‍්‍රහාරයක තර්ජනයට ලක්කෙරෙනතාක් දුරට තම න්‍යෂ්ටික අවි වැඩසටහන අත් නොහරින බවට උතුරු කොරියාව දරන ආස්ථානයට සැලකිල්ල දක්වන මෙන් වොෂින්ටනයෙන් ඉල්ලයි.

දකුනු කොරියානු ජනාධිපති මූන් ගේ ඉන් සමග 6දා පැවති රැස්වීමකදී පුටින් ඇඟවුම් කලේ, තමන් ඇමරිකාවේ ආස්ථානයෙන් බිඳ පියොංයෑනය සමග සාකච්ඡා ආරම්භ කිරීම වෙත සියෝල් පාලනය දිනාගැනීමේ උත්සාහයක නිරතව සිටින බවයි.

උතුරු කොරියාවට පනවන ආර්ථික සම්බාධක උපරිමයට නැංවීමේ වොෂින්ටනයේ ආස්ථානයට එරෙහිව පුටින්, හුදෙකලා රාජ්‍යයෙහි දැවැන්ත ආයෝජන සිදුකිරීම සඳහා දැනමුතුකම් දෙයි. ඔහු මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය:“අපට රුසියානු ගෑස් නල මාර්ග කොරියාව දක්වා පුලුල් කර විදුලි බල මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය උතුරු කොරියාව හරහා කොරියානු සමූහාන්ඩුව දක්වාත් (දකුනු කොරියාව) ගෙනයා හැකිය. මෙම පියවර ක්‍රියාත්මක කිරීම ආර්ථික වශයෙන් වාසිදායක වනවා පමනක් නොව, කොරියානු අර්ධද්වීපයේ විශ්වාසය හා ස්ථාවරත්වය ගොඩනැගීමට ද උදව් වේ.”

මූන් ගේ ඉන් සාධනීය ලෙස ප‍්‍රතිචාර දැක්වීය. ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු පුටින්ට මෙසේ පැවසීය: ඈත පෙරදිග සංවර්ධනය අප දෙරටටම සෞභාග්‍යය ගෙන එනු ඇත. එසේම උතුරු කොරියාව වෙනස් කිරීමට ද ත්‍රෛපාර්ශවික ගිවිසුම් ඇතිකර ගැනීමට ද පදනම දමනු ඇත. අපි මේ සඳහා මහන්සි වී කටයුතු කල යුතු වෙමු.” මෙම “ත්‍රෛපාර්ශවික ගිවිසුම්” ඔවුන්ගේ ආයෝජන හා වෙලඳ සබඳතා නගාසිටුවීම පිනිස චීනය ජපානය හා දකුනු කොරියාව අතර 2005 වසරේ පටන්ම ඇතිකරගෙන තිබේ. පුටින්ගේ යෝජනාව දකුනු කොරියාවේ “හිරු එලිය පිලිවෙතට” අනුකූලය. ආයෝජන සඳහා උතුරු කොරියාව විවෘත කර ගැනීමටත්, යුරේසියානු භූ ස්කන්ධය හරහා බටහිර යුරෝපය දක්වා බලශක්ති හා ප‍්‍රවාහනය සංවර්ධනය කිරීමේ චීන ”එක් තීරුවක් එක් මාවතක්” සැලසුම් සමග ඈඳා ගැනීමටත්, 1990 ගනන්වල පටන් මෙම ගිවිසුම් ඇතිකරගෙන තිබේ.

නිව්ස්වීක් සඟරාව 6දා සඳහන් කලේ, “එක්සත් ජනපදය කොන්කරන, කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා දැක්මක්” පුටින් යෝජනා කර ඇති බවයි.

එවන් බලාපොරොත්තුවක් කඩාකප්පල් කිරීම සඳහා ක්ලින්ටන්, බුෂ්, ඔබාමා හා දැන් ට‍්‍රම්ප් යටතේ බලයට පත් ඇමරිකානු ආන්ඩු, ආක‍්‍රමනකාරී ලෙස මැදිහත්වී ඇත. වොෂින්ටනය නැගෙනහිර ආසියාවේ ආතතීන් තියුනු කිරීමට හා දකුනු කොරියාව ද ජපානය ද චීනය, රුසියාව හා යුරෝපයට ආර්ථිකව හා මූලෝපායිකව යොමුවීම කඩාකප්පල් කිරීමට, උතුරු කොරියාවේ “ජනඝාතක අවි” පිලිබඳ කාරනය යලි යලිත් ගසා කෑවේය.

අද පැනනැගී තිබෙන යුද අන්තරාය, දශක ගනනාවක අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනයේ හා ප‍්‍රකෝපකරනයේ ප‍්‍රතිපලයයි. ගියුටරෙස්ගේ අනතුරු ඇඟවීම් සලකුනු කරන්නේ, ඇමරිකානු ධනපති පන්තියේ ආක‍්‍රමනාකාරී තල්ලුව මගින් සැබෑ අනතුරු මතු කෙරෙන බවට ලෝක බල මධ්‍යස්ථාන තුල මනා වැටහීමක් ඇතිව තිබෙන බවයි. තමන් මුහුනපාන අභියෝගයන්ට, සියල්ලටත් වඩා බොහෝකොටම ඇමරිකාව බැහැරකර, ඒකාග්‍රිත යුරේසියානු ආර්ථික කලාපයක හරි මැද බීජිනය පිහිටුවා ගැනීමට චීන පාලක පැලැන්තියට ඇති අභිලාෂයට එරෙහිව, ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමට වොෂින්ටනය උත්සාහ දරයි.

1914ට පෙරාතු වසරවල මෙන්ම, එදිරිවාදී ධනපති ජාතික රාජ්‍යයන්ගේ එකිනෙකට සතුරු ආසක්තයන්, මෙවර න්‍යෂ්ටික අවි යොදාගෙන කරෙන, විනාශකාරී ගෝලීය යුද්ධයකට මානවවර්ගයා ඇද දැමීමට තර්ජනය කරයි.

Share this article: