උතුරු කොරියාව මුල්කරගෙන චීනයට හා රුසියාවට එරෙහි ගැටුමකට ඇමරිකාව සූදානම්වේ

The US faces off against China and Russia over North Korea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 සැප්තැම්බර් 5

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ලය හමුවේ ඇමරිකාව, උතුරු කොරියාව 3දා සිදුකල න්‍යෂ්ටික අත්හදාබැලීමෙන් පසුව, කොරියානු අර්ධද්වීපයේ උත්සන්න අර්බුදය පිලිබඳ සීමාවන් නියම කරයි. වොෂින්ටනයේ ප‍්‍රතිචාරයෙන් ඉලක්ක කෙරෙන්නේ පියොන්යෑනය පමනක් නොව බීජිනය හා මොස්කෝව ද වේ.

පැහැදිලි බෙදීමක් මතුව ඇත. ඇමරිකාව හා එහි සහචරයෝ, උතුරු කොරියාවට එරෙහි යුද්ධය ඇඟවුම් කරන ආර්ථික හිරකිරීමක් පිලිබඳ තර්ජනය එල්ල කරන අතර චීනය හා රුසියාව, ආතතීන් බාලකර සාකච්ඡා සඳහා ආයාචනය කරති.

යුදවාදී හා ප‍්‍රකෝපකාරී කථාවක් පවත්වමින් එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නිකී හැලී, රුසියාවට හා චීනයට අවසන් නිවේදන නිකුත් කලාය: උතුරු කොරියාව සමග සියලූ ආර්ථික බැඳීම් අවසන් කරනු නැතිනම් ඇමරිකාව සමග පූර්න වෙලඳ යුද්ධයකට මුහුන දෙනු. තව ද බීජිනය හා මොස්කෝව, පියොන්යෑනය දනගැස්සවන්නේ නැතිනම්, ඇමරිකාව මිලිටරිමය වශයෙන් එය කරනු ඇත.

යථාර්තය කනපිට හරවමින් හැලී පැවසුවේ, උතුරු කොරියානු නායක කිම් ජොං උන් “යුද්ධය සඳහා ආයාචනය” කරයි යනුවෙනි. පියොන්යෑන් තන්ත‍්‍රය තම න්‍යෂ්ටික වැඩසටහන මංමුලාසහගත හා ව්‍යාකූල ලෙස උත්සන්න කරන්නේ, නොවැරදීම තමන් පරාජයට පත්වන, ඇමරිකාව සමග ව්‍යසනකාරී යුද්ධයක් වලක්වා ගැනීමටයි. එහි අලුත්ම න්‍යෂ්ටික අත්හදා බැලීම, ඔවුන් කියන පරිදි කිලෝ ටොන් 100ක් බර හයිඩ‍්‍රජන් බෝම්බයක්, ඇමරිකාව හා දකුනු කොරියාව තම ඒකාබද්ධ වාර්ෂික යුද අභ්‍යාසය අවසන් කිරීමෙන් දින කිහිපයකට පසුව සිදුවිය. අභ්‍යාසය උතුරු කොරියාව සමග යුද්ධයක පෙරහුරුවක් විය.

හැලී බලකර සිටියේ “එක්සත් ජාතීන්, පරම්පරා ගනනකට පසුව කුමන රටකට හෝ පනවන දරුනුම සම්බාධක” පැනවිය යුතු බවයි. බාගෙට තැම්බුන පියවර වොෂින්ටනය පිලි නොගන්නා බවට ඇය අනතුරු ඇඟවූවාය. “බොහෝ විට පලදායී නොවීමට ඉඩ ඇතත් අප ගෙන ඇත්තේ අවශ්‍යම ප‍්‍රවිෂ්ටයකි.”

විස්තර හෙලිකර නැතත් සම්බාධක, තෙල් සැපයුම කපා හැරීම, සියලූ මූල්‍ය ගනුදෙනු අත්හිටුවීම හා උතුරු කොරියාවේ කම්කරුවන් අපනයනය නතර කිරීම ඇතුලත් කර ගනී. උතුරු කොරියාව සමග කුමන හෝ ආර්ථික කටයුතුවල යෙදෙන ඕනෑම රටකට ඇමරිකාව සමග වෙලඳාම තහනම් කරන බවට ට‍්‍රම්ප් තර්ජනය කරයි.

“එක්සත් ජනපදය උතරු කොරියාව සමග ව්‍යාපාරික කටයුතුවල යෙදෙන සෑම රටක් දෙසම බලන්නේ, එරටෙහි ඉවබව නැති හා අන්තරාදායක න්‍යෂ්ටික අරමුනු වලට ආධාර කරන රටක් ලෙස සලකාගෙනය”යි හැලී පැවසුවාය. ඇමරිකාවේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් ඇති බව කියන ඇය, “ප‍්‍රමාද වීමට කාලයක් නැත, අපගේ සියලු රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිරර්ථක වන අවස්ථාවකට අපි පැමින සිටිමු.” ඇඟවුම පැහැදිලිය, ඇමරිකාව යුද්ධයට සූදානම්ය.

ඇමරිකාවේ සියලු ආසියානු හා යුරෝපීය මිලිටරි සහචරයෝ, උතුරු කොරියාවේ අලුත්ම න්‍යෂ්ටික අත්හදාබැලීම හෙලාදැකීමටත් නිර්දය සම්බාධක සඳහා වන ඝෝෂාවටත් එකතුවී සිටිති. උතුරු කොරියාවේ සීමිත න්‍යෂ්ටික අවි ශක්තිය අතිශයෝක්තියට නංවමින් ජපාන තානාපති කොරෝ බෙසෝ පැවසුවේ, පියොන්යෑනය මතු කරන අනතුර “පෙර නොවූ විරූ මට්ටමේ එකක්” බවය. එය “ලෝකයේම ආරක්ෂාවට හා සාමයට බරපතල තර්ජනයකි.”

කෙසේ වෙතත් පියොංයෑනය හෙලාදකින අතරම චීන තානාපති ලියු ජේයී අනතුරු ඇඟවූයේ, කොරියානු අර්ධද්වීපයේ තත්වය “එක දිගට පිරිහෙමින්” ඇති බවට හා අර්බුදය “සාමකාමීව” විසඳාගත යුතු බවටත්ය. සියලු පාර්ශවයන් “තත්වය සංසුන් කිරීමට ඒකාබද්ධ උත්සාහයක් දැරිය යුතු බවත් සාකච්ඡා යලි ඇරඹිය යුතු බවත්, අර්ධද්වීපයේ තත්වය තවදුරටත් පිරිහීම වලක්වාගත යුතු බවත්” ඔහු පැවසීය.

චීනය හා රුසියාව උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල් වැඩසටහනට විරුද්ධ වන්නේ, අවසාන වශයෙන් සිය රටවල් ඉලක්ක කරගෙන ආසියානු පැසිෆික් කලාපයේ ඇමරිකාව හා එහි සහචරයින්ට දැවැන්ත මිලිටරි තරකිරීමකට එයින් නිමිත්තක් සම්පාදනය වීම නිසාය. කෙසේ වෙතත් ඒ සමගම බීජිනය, උතුරු කොරියාවට පූර්න ආර්ථික සම්බාධක පැනවීමෙන්, පියොන්යෑනයේ හටගත හැකි දේශපාලන අර්බුදය ගසා කෑමට වොෂින්ටනය මැදිහත්වී, යුද්ධයේ අන්තරාය තවත් උත්සන්න වනු ඇතැයි ගැඹුරෙන්ම සැලකිල්ලට ගනියි.

“අත්හිටුවීම සඳහා අත්හිටුවීම”යන චීන හා රුසියානු යෝජනා ලියු යලිත් අවධාරනය කලේය. එනම් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික හා මිසයිල් අත්හදාබැලීම් නතර කිරීමට හිලව් වශයෙන් ඇමරිකාව හා දකුනු කොරියාව සිය මිලිටරි අභ්‍යාස අත්හිටුවිය යුතුය. එමගින් නව සාකච්ඡා වටයකට කොන්දේසි සැකසිය යුතුය. එහෙත් හැලී යලි වතාවක් එම සැලැස්ම තරයේ ප‍්‍රතික්ෂේප කලාය.

ට‍්‍රම්ප් පාලනයට දැඩි තරවටුවක් ලෙස ලියු පැවසුවේ, “චීනය කවර කලෙකවත් අර්ධද්වීපය තුල යුද්ධයකට හා ව්‍යසනයකට ඉඩ නොතබන” බවය. වෙනත් වචන වලින් කිවහොත් බීජිනය, අවසානයේ ඇමරිකානු ගැති කොරියාවක් බිහිවන, ඇමරිකාවේ මූලිකත්වයෙන් යුත් යුද්ධයක් හෝ තන්ත‍්‍රය මාරු මෙහෙයුමක් චීනයේ දොරකඩ ඇතිවීම වැලැක්වීම සඳහා තමන් සතු සියලු බලය යෙදීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

අලුත්ම ඇමරිකානු තර්ජන සමග අත්වැල් බැඳගෙන, න්‍යෂ්ටික අවි ද යොදාගන්නා යුද්ධයක් සඳහා සූදානම් වීමට කොරියානු අර්ධද්වීපයේ ප‍්‍රධාන මිලිටරි තරකිරීමක් සිදුවේ.

“සාමය වෙනුවෙන් කථා කිරීම” ගැන 3දා දකුනු කොරියාවට පහර දීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, 4දා දකුනු කොරියානු ජනාධිපති මූන් ජේ සමග දුරකථනයෙන් කථා කලේය. දෙරට අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම මගින් පැනවෙන සීමාව ඉවත් කිරීමට ට‍්‍රම්ප් මෙහිදී එකඟ විය. එනම් දකුනු කොරියානු මිසයිල මගින් ගෙනයා හැකි බර ප‍්‍රමානය පිලිබඳ සීමාව ගැනය. මෙයට හිලව් වශයෙන් මූන්, ඇමරිකාවේ තාඩ් යන මිසයිල් නාෂක පද්ධතිය සම්පූර්නයෙන්ම ස්ථානගත කිරීමට අනුමැතිය පල කලේය. ධවල මන්ඳිර ප‍්‍රකාශයකින් කියා සිටියේ ට‍්‍රම්ප්, දකුනු කොරියාවට ඩොලර් බිලියන ගනනක් වටිනා මිලිටරි ආම්පන්න විකිනීමට “වාචික එකඟත්වය” පලකල බවකි.

පසුගිය සතියේ ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් හා දකුනු කොරියානු ආරක්ෂක ඇමති සොන් යොන් මූ අතර පැවති සාකච්ඡා ඊටත් වඩා දුර ගියේය. 4දා දකුනු කොරියාවේ ජාතික මන්ඩලයේදී කථා කරමින් සොන් පැවසුවේ, මෙරට බොහෝ දෙනෙක් ඇමරිකාවේ “උපක‍්‍රමික” න්‍යෂ්ටික අවි යලි හඳුන්වාදෙන ලෙස ඉල්ලා සිටින බව තමා මැටිස්ට කිවූ බවය.

ඇමරිකාවට, ගුවන් යානාවල, යුද නැව්වල හා සබ්මැරින් යාත‍්‍රාවල සිට න්‍යෂ්ටික මිසයිල එල්ල කර උතුරු කොරියාව සුන්කර දැමීමේ හැකියාව ඇත. උපක‍්‍රමික න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමෙන් කොරියානු අර්ධද්වීපය, න්‍යෂ්ටික ප‍්‍රහාරයක් කරා ඇදී යාහැකි අත්වැරැද්දක් හෝ වැරදි ගනන් බැලීමක අන්තරාය නාටකාකාර ලෙස උත්සන්න කරන තැනකට පත්වේ. දැනට ජනාධිපති මූන් එම විකල්පය බැහැර කර ඇත.

සොන් ඇඟවුම් කලේ, දකුනු කොරියාව වෙත නිරන්තරයෙන් ගුවන් යානා හාරක යුද නැව්, දිගු දුර බෝම්බ හෙලන යානා හා අනෙකුත් මූලෝපායික මිලිටරි මෙවලම් එවන ලෙස මැටිස්ට ඔහු අවධාරනයෙන් කියා සිටි බවයි. උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් ලෙස ඇමරිකාව බී-1 මූලෝපායික බෝම්බ හෙලන යානා කොරියානු අර්ධද්වීපය මතින් යලි යලිත් පියාසර කරවා ඇත. පසුගිය සතියේ බී-1 ලාන්සර්ස් යානා කොරියාවන් දෙක අතර දේශසීමාව ආසන්නයේ බෝම්බ හෙලන ඡායාරූප නිකුත් කලේය.

4දා දකුනු කොරියානු මිලිටරිය, උතුරු කොරියාවේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන මත පහර එල්ල කිරීම ඇඟවුම් කරන, ගොඩබිම සිට ගොඩබිමට යවන බැලිස්ටික් මිසයිල හා එෆ්-15 ප‍්‍රහාරක ගුවන් යානා යොදගත් මිලිටිරි අභ්‍යාසයක් පැවැත්වීය. මේජර් ජෙනරාල් ජැන් ක්යුන් සූ පැවසුවේ, උතුරු කොරියාව සැප්තැම්බර් 9දා තරම් මෑතකදී තවත් මිසයිල් අත්හදා බැලීමකට සූදානම් වන බවයි. දකුනු කොරියාව තවත් මිසයිල අභ්‍යාසයක් සැලසුම් කරමින් “දැඩි අධිෂ්ඨානය හා ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව” පෙන්වීමට සූදානම් වන බව ද ඔහු පැවසීය.

“දේශසීමාව පැනීම හෝ අගනුවර ප‍්‍රදේශයට පහර දෙන උතුරු කොරියානු ප‍්‍රකෝපකරනයකදී ප‍්‍රහාරාත්මක සෙයියාවකට ක්ෂනිකව මාරුවිය හැකි වන පරිදි” නව යුද සැලසුමක් සකස්කරන ලෙස ජනාධිපති මූන් මිලිටරියට නියෝග කල බව දකුනු කොරියාවේ චොසුන් ඉල්බෝ පුවත්පත පසුගිය සතියේ වාර්තා කලේය. “සැලසුමේ අරමුන වන්නේ, උතුරු කොරියානු තන්ත‍්‍රය ක්ෂනිකව පෙරලා දැමීම පිනිස පියොන්යෑනයට කඩාවැදීමයි.”

ඇමරිකාව යුද්ධයට සූදානම් වීමට ප‍්‍රතිචාර වශයෙන් චීනය හා රුසියාව, තම මිලිටරි බලය සවිමත් කරමින් සිටී. ජූලි මාසයේ වෝල්ස්ට්‍රීට් ජර්නලයේ පලවූ දිග වාර්තාවකට අනුව, චීන මිලිටරිය “නව දේශසීමා ආරක්ෂක සේනාංකයක්, න්‍යෂ්ටික හා රසායනික පිපිරීම් වලින් ආරක්ෂා වීමේ බංකර් හා ගුවන් ඩ්‍රෝන් යානාවල පිටුබලය සහිත කඳුකර දේශසීමාවේ 24 පැයේ වීඩියෝ සුපරික්ෂාවක් ඇතිකර තිබේ.”

චීනය හා රුසියාව යන දෙරටම, තාඞ් මෙවලම් ස්ථානගත කිරීමට විරුද්ධත්වය පල කරයි. කියන්නේ, අධි බලැති රේඩා පද්ධතීන්ට තම භූමියේ ගැඹුරට කාවැදිය හැකි බවත් තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන නිරීක්ෂනය කල හැකි බවත්ය. රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමති සර්ජි රියාබ්කොව් 4දා පැවසුවේ, දකුනු කොරියාවේ පුලුල් කෙරෙන තාඩ් ස්ථානගත කිරීම් වලට ප‍්‍රතිචාර වශයෙන් මොස්කෝව, පැසිෆික් කලාපය තුල සිය මිසයිල් කටයුතු දැඩි කරන බවය.

ඊසානදිග ආසියාවේ මෙම පුපුරන සුලු වෙඩිබෙහෙත් ගබඩාව නිර්මානය කිරීමේ ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ ට‍්‍රම්ප් පාලනයටය. උතුරු කොරියාව “යුද්ධය වෙනුවෙන් ආයාචනා කිරීමට” වඩා ඇමරිකාව, ආරක්ෂක ලේකම්ගේ වචන වලින් කිවහොත් “රට මුලුමනින්ම අතුගෑවී යන දැවැන්ත මිලිටරි ප‍්‍රතිචාරයක්” සඳහා නිමිත්ත කරගත හැකි ආකාරයේ ක්‍රියාවකට පියොන්යෑනය ක‍්‍රමානුකූලව තල්ලු කරයි.

Share this article: