සංක‍්‍රමනිකයන්ට පහරදීමට එරෙහිව සියලු කම්කරුවන් එක්සත් වනු!
විවෘත දේශසීමා සඳහා සමාජවාදී ප‍්‍රතිපත්තියක්!

Unite all workers against the attack on immigrants! For a socialist policy of open borders!

2017 සැප්තැම්බර් 7

ඩිෆර්ඩ් ඇක්ෂන් ෆො චයිල්ඩ්හුඩ් එරයිවල්ස් (ඩීඒසීඒ - ඩකා) වැඩ සටහන අවසන් කිරීමේ ට‍්‍රම්ප්ගේ තීරනය, එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් ආගාමික කම්කරුවන්ට තරුනයන්ට එරෙහි ප‍්‍රහාරයේ නව අවධියක් සනිටුහන් කරයි. තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් එක්සත් ජනපදයේ ගත කල, ආසන්න වශයෙන් 800,000 තරුනයින් මාස හයකට පසුව, මර්දනයට හා ප‍්‍රචන්ඩත්වයට ගොදුරු කරනු ඇත. ඇමරිකාවේ දේශසීමා මුර සේවය හා සංක‍්‍රමන, රේගු බලගැන්වීමට ඔවුන් යටත් කරනු ඇත.

ඩකා වැඩසටහන ආගාමිකයින් සහ සරනාගතයින්ට එරෙහිව ට‍්‍රම්ප් ආන්ඩුව ගෙන යන ත‍්‍රස්තයේ සහ බිය ගැන්වීමේ දුෂ්ට උද්ඝෝෂනයේ කොටසකි. මෙම උද්ඝෝෂනයට, උත්සන්න කෙරෙන මුස්ලිම් විරෝධී තහනම, කඩා පැනීම් සහ පිටුවහල් කිරීම්, එක්සත් ජනපද මෙක්සිකෝ දේශසීමාව දිගේ තාප්පයක් ඉදිකිරීම සහ ඇරිසෝනාවේ ආගාමිකයින් රඳවා තැබීම සඳහා රැඳවුම් කඳවුරු ගොඩනැගීම ඇතුලත්ය. කඳවුරු ගොඩනැගීම හුවාදැක්වූ ජෝ අපායෝ ට ක්ෂමාව දීම ද එහි කොටසකි.

“මානව අයිතීන්” සහ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ ලෝකය පුරා යුද්ධ දියත් කරන ඇමරිකානු පාලක පන්තිය, දැන් එරට දේශසීමාවන්හි යොදාගන්නා ක‍්‍රමෝපායන් සිහි ගන්වන්නේ, 1930 ගනන්වල ප‍්‍රචන්ඩත්වය සහ දෙවන ලෝක යුද්ධ සමයේ දී ජපන් ජාතිකයින් ගාල් කල රැඳවුම් කඳවුරු ය.

මෙම ෆැසිස්ට් පන්නයේ පියවර සඳහා මහජන සහයෝගයක් නැත. ඩකා අහෝසි කිරීම දැනටමත් රටපුරා පුලුල් වෛරයටත් පිලිකුලටත් පාත‍්‍ර වී ඇත. ට‍්‍රම්ප් පත්වීමෙන් පසු උද්ගත වූ ජනතා උද්ඝෝෂන එක් අතකින් ආගාමිකයින්ට එරෙහි ඔහුගේ ස්වෝත්තමවාදය කෙරෙහි වෛරය නිසා හටගත්තේය. පොලිටිකො මගින් සිදු කරන ලද මත විමසුමකට අනුව, ලියා පදිංචි ඩිමොක‍්‍රටිකයන් සියයට 84 ක් ද ලියා පදිංචි රිපබ්ලිකානුවන් සියයට 69 ක් ද ඩකා වැඩසටහන ඉලක්ක කර ඇති අයට රට තුල ජීවත් වීමට ඉඩදිය යුතු බව විශ්වාසය කරති.

කෙසේ වෙතත්, එක් අතකින්, කම්කරුවන් සහ තරුනයින් දක්වන ප‍්‍රතික්‍රියාව හා අනෙක් අතින් ට‍්‍රම්ප්ගේ තීරනය පිලිබඳව දේශපාලන සංස්ථාපිතයේ කොටස්වලත්, සිලිකන් වැලි හි ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේත්, විශේෂයෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ, නරුම සහ කුහක විවේචන අතර දැවැන්ත වෙනසක් ඇත. ආගාමිකයින්ට එරෙහි ට‍්‍රම්ප් පරිපාලනයේ ප‍්‍රහාර කෙරෙහි පැනනැගී ඇති විරෝධය, ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා එහි දේශපාලන සහචරයින් අතර සිර වී තිබුනහොත්, එහි ගෙල සිර කර මර්දනය කෙරෙනු ඇත.

කුහකත්වය සඳහා ත්‍යාගය හිමිවන්නේ බරක් ඔබාමාටය. ඔහු බදාදා තමන් 2012 දී හඳුන්වා දුන් ඩකා වැඩසටහන ආරක්ෂා කිරීම “මූලික විනීතකම පිලිබඳ” කාරනයක් බව පැවසීය. මධ්‍යම ඇමරිකාවේ යුද්ධය සහ ආර්ථික අර්බුදය නිසා පලා ආ දරුවන් සහිත ජනතාව ඇතුලු, ඇමරිකානු ඉතිහාසයේ කිසිවෙක් සිදු කලාට වඩා වැඩි ආගාමිකයින් සංඛ්‍යාවක් ඔහුගේ පාලනය යටතේ පිටුවහල් කරනු ලැබූ බව සෑම කෙනෙකුටම අමතක වීම ඔබාමාගේ කැමැත්ත වන්නේ ය. ඔහුට “පිටුවහල් කිරීමේ කප්පිත්තා” යන නම පටබැඳුනි.

එසේම ඩකා වැඩසටහන ආගාමික තරුනයින් මුහුන දෙන අර්බුදයට විසඳුමක් නොවේ. 2012 මැතිවරනයට පෙරාතුව ඩිමොක‍්‍රටික් පක්ෂය සඳහා සහය වැඩිකර ගැනීමේ උපායක් ලෙස හඳුන්වා දුන් ඊට, අයදුම්කරුවන් විසින් ආන්ඩුවේ බලධරයින්ට තම නම, ලිපිනය, උපන් රට, පෞද්ගලික ඉතිහාසය සහ රට තුල නීති විරෝධීව සිටින බව පිලිගනිමින් අත්සන් කරන ලද ලියවිල්ලක් ලබා දීම අවශ්‍ය කෙරුනි. ලියවිලි පිලිගනු ලැබූවන් සඳහා වුවත් කිසිදු පුරවැසි අයිතියක් නොලැබුනි. වසර දෙකක් සඳහා පිටුවහල් කිරීමෙන් ආරක්ෂාවක් පමනක් ලැබෙයි. ඒ කාලයේ දී ලෝසවෙඅ අනතුරු ඇඟවූයේ දේශපාලන වාතාවරනය මාරුවුවහොත් මෙම තොරතුරු හිංසාවේ රැල්ලක් සඳහා පහසුවෙන් ගසාකෑ හැකි බව යි. දැන් මතු වී ඇත්තේ හරියටම ඒ තර්ජනයයි.

ඩිමොක‍්‍රටිකයින් හා සමහර රිපබ්ලිකානුවන්, පුලුල් “සංක‍්‍රමන ප‍්‍රතිසංස්කරනයක” කොටසක් ලෙස ඩකා වැඩසටහන “බේරා ගැනීම” සඳහා කොන්ග‍්‍රස් සභාව හරහා හැකියාවක් ඇතැයි කියා සිටියි. එවැනි එකඟතාවයක් තව දුරටත් දේශසීමා මිලිටරීකරනයටත්, රාජ්‍යයේ බලතල වැඩි කිරීමටත්, එක්සත් ජනපදය තුල වෙසෙන ආගාමික කම්කරුවන්ට එරෙහි පියවර ගැනීම සඳහා පවා යොදා ගැනෙනු ඇත.

මෙම සමස්ත ප‍්‍රතිගාමී දේශපාලන රාමුවම ඉවත දැමිය යුතුය! විවිධ ජාතීන්ට සහ වර්ගවලට අයත් කම්කරු පන්තිය, ආගාමිකයින්ට එරෙහි ප‍්‍රහාරවලටත්, එය නිර්මානය කල ධනපති ක‍්‍රමයේ අර්බුදයටත් එරෙහිව තමන්ගේම ස්වාධීන විසඳුමක් වර්ධනය කල යුතුය.

ට‍්‍රම්ප් පාලනයේ කටයුතු ගෝලීය ප‍්‍රපංචයක කොටසකි. එක්සත් ජනපදයේ විසිපස් වසරක නිමක් නැති යුද්ධ සමග අත්වැල් බැඳගෙන, ගැඹුරුවෙමින් පවතින සමාජ සහ ආර්ථික අර්බුදය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොකුම සරනාගත අර්බුදය නිර්මානය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සරනාගත ඒජන්සියට අනුව, පසුගිය වසරේ පමනක් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ යුද්ධ නිසා පලා යන්නන් 4,337 මධ්‍යධරනී මුහුදේදී මරනයට පත්ව ඇත. පනබේරාගත් අය පවා මුහුනපා ඇත්තේ, “යුරෝපා බල කොටුවෙහි” කොටසක් ලෙස ඉදි කෙරෙන දේශ සීමා වැසීමටය. ට‍්‍රම්ප්ගේ වර්ගවාදී උද්ඝෝෂනයට සමාන්තරයන් ප‍්‍රන්සය, ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල් වල ද පවතී. මෙම රටවල් තුල, 20 වන සියවසේ දරුනුම දාමරිකයන්ගේ අනුප‍්‍රාප්තික, අන්ත දක්ශිනාංෂික සහ ෆැසිස්ට්වාදී සංවිධානවල ඉහල යාමක් දැක ගත හැක. 1930 හා 1940 ගනන්වල මෙන්ම ජාතිකවාදී විෂ කැවීම මගින් කම්කරුවන් එකිනෙකාට එරෙහිව පිහිටුවීමේ ප‍්‍රයත්නය, සමාජ සුභසාධන වැඩපිලිවෙල් කැපීම, සමාජ අසමානතාවයේ ඉමහත් වර්ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශ කිරීම සහ සියල්ලටත් වඩා, ලෝක යුද්ධයේ ධාවනය සමග අත් වැල් බැඳගනියි.

මෙය ජාතික-රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික බංකොලොත්කම කෙරෙහි පාලක පන්තිය දක්වන ප‍්‍රතිචාරයයි. ආර්ථික ජීවිතය ගෝලීකරනය වීම, තාක්ෂනයේ වර්ධනය සහ යෝධ අන්තර් ජාතික සංගතවල මතුවීම ජාත්‍යන්තර ඒකාග‍්‍රකරනයේ පෙර නොවූ විරූ මට්ටමක් නිර්මානය කර ඇත. එහෙත් ධනවාදය යටතේ ලෝක ආර්ථිකය, පාලක පන්තියේ දේශපාලන උපකරනය ද යුද්ධය සහ මර්දනයේ ක්ෂේත‍්‍රය ද වන ජාතික-රාජ්‍යය තුල සිරවී ඇත.

පාලක පන්තියේ ජාතිකවාදයට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තර සහ සමාජවාදී මූලෝපායක් වර්ධනය කල යුතු ය. කම්කරු පන්තිය ජාත්‍යන්තරව ඒකාබද්ධ වීමෙන් පමනයි ගෝලීයව ක්‍රියාත්මක වන ධනපති සංගත වලට එරෙහිව එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල කම්කරුවන්ට සාර්ථකව අරගලය කල හැක්කේ.

සමාජවාදී සමානතා පක්ෂය වැඩිවන විරැකියාවටත්, දුගීකමටත්, මහා සංගත විසින් සමස්ත කම්කරු පන්තියටම එරෙහිව එල්ල කරන ප‍්‍රහාර වල ප‍්‍රතිඵලයක් ලෙස වැටුප් අඩු වීමටත් හේතුව, ආගාමික කම්කරුවන්ය යන චෝදනාව සහ පිලිකුල් සහගත බොරුව ප‍්‍රතික්ෂේප කරයි. අන්ත-දක්ශිනාංශයේ වර්ගවාදී දේශපාලනය මෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ අනන්‍යතා දේශපාලනය එල්ල කෙරෙන්නේ, කම්කරුවන් එකිනෙකා කෙටවීමට හා ධනපති ක‍්‍රමයට එරෙහිව වර්ධනය වන වෛරය සහ කෝපය පීලිපැන්නවීමටත් ය.

අප අවධාරනය කරන්නේ, සියලු කම්කරුවන් තරුනයින්ට, උසස් නිදහස් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය පහසුකම් වලට, හොඳ විශ‍්‍රාම ජීවිතයකට සහ ශිෂ්ට සම්පන්න රැකියාවකට අයිතිය ඇති බව යි. මෙම අයිතීන් ක්‍රියාත්මක කිරීම පිනිස අවශ්‍ය සම්පත් ලබා ගත යුත්තේ, ධනය යලි බෙදාහැරීම හා ලෝකය පුරා කම්කරුවන් සූරාකමින් පීඩාවට පත් කරන යෝධ සංගත සහ බැංකු අස්වාමික කිරීම තුලින් ය.

දේශසීමා මිලිටරීකරනය සහ ආගාමිකයින් හිංසාවට පාත‍්‍ර කිරීමට එරෙහිව සසප, විවෘත දේශසීමා සඳහා පෙනී සිටියි. එනම් පිටුවහලට, මර්දනයට ලක්වීමෙන් හා බියෙන් හා සැකයෙන් තොරව වැඩ කිරීම ද සංචාරය කිරීම ද ඇතුලුව පූර්න පුරවැසිභාවය සහිතව, තමන් කැමැති රටක වැඩ කිරීමේ අයිතියයි.

අවතැන් වූවන් මර්දනය කිරීමට එරෙහිව විරෝධතා, රැස්වීම්, ප‍්‍රදේශබද උද්ඝෝෂන හා වැඩපලවලින් පිටමංකිරීමෙන් වැලැක්වීමේ ක්‍රියාවන් ඇතුලු සංක‍්‍රමනිකයන්ට එරෙහි ප‍්‍රහාරයන්ට විරුද්ධව කම්කරුවන් හා තරුනයන් පුලුල් ලෙස බලමුලු ගැන්විය යුතු බව සසප කියා සිටියි. කෙසේ වෙතත්, සාර්ථක ලෙස සංක්‍රමනිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය යුද්ධයට අසමානතාවට සහ ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව දේශපාලනිකව බලමුලු ගැන්වීම අත්‍යවශ්‍යය.

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)

Share this article: