උතුරු කොරියාව වනසන බවට ට‍්‍රම්ප් කල තර්ජනයෙන් පසුව න්‍යෂ්ටික යුද්ධයේ බිය වැඩිවෙයි

Fears of nuclear war grow after Trump’s threat to annihilate North Korea

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2017 සැප්තැම්බර් 21

ඇමරිකානු ජනාධිපති 19දා නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහ මන්ඩලය හමුවේ කල ෆැසිස්ට් ගෝරනාඩුවෙන් පසුව, ලොව පුරා ජනතාව භීතියටත් කම්පනයටත් පත් වූහ. ඔහු පැවසුවේ වොෂින්ටනය, “උතුරු කොරියාව මුලුමනින්ම වැනසීමට කැමැත්තෙන් ද සූදානමින් හා හැකියාවෙන් ද” යුතුව සිටින බවයි.

උතුරු කොරියානු තන්ත‍්‍රයේ මධ්‍යම ප‍්‍රවෘත්ති ඒජන්සිය, ඇමරිකානු හමුදා තමන් වැනසීමට සූදානම් වන බව පෙනීගියහොත්, තමන් ඇමරිකානු ඉලක්කයන්ට පහර දෙනු ඇති බවට අනතුරු ඇඟවීය.

ප‍්‍රවෘත්ති ආයතනය පැවසුවේ පියොංයෑනය, “ප‍්‍රකෝපකරනයක සුලු හෝ සලකුනක් දැකගතහොත් දැඩි හා පූර්ව භංග ප‍්‍රහාරයක් එල්ල කිරීමට” සූදානම් ව සිටින බවයි. “එක්සත් ජනපදය ගැටුමක් හා අවසානයේ යුද්ධයක් සඳහා සූදානම් වන තත්වයකදී ඔවුන් මුහුන දෙනවා ඇත්තේ, බිහිසුනු න්‍යෂ්ටික ප‍්‍රහාරයකට හා ඛේදජනක අවසන් ව්‍යසනයකටය.”

එක්සත් ජාතීන්ගේ නිලධරුවන් හා ලෝකයේ අනෙකුත් ප‍්‍රමුඛ බලවතුන් ට‍්‍රම්ප්ගේ කථාවට දක්වන ප‍්‍රතිචාරයෙන් ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නේ, ජාත්‍යන්තරවම පාලක පන්තීන් මුහුනපා සිටින දේශපාලන බංකොලොත් කමය. වොෂින්ටනය න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලවීමේ හෝ දියත් කිරීමේ අන්තරාය හමුවේ ඔවුන්ගේ ප‍්‍රතික්‍රියාව, විමතියේ, සංත‍්‍රාසයේ හා හෙලාදැකීමේ තත්වයකි. ඔවුන් කිසිවෙකුටත්, ලෝක ධනේශ්වර ක‍්‍රමයේ හරිමැද ඇති අධිරාජ්‍යවාදී අධිපතියා විසින් මිලිටරි ගැටුම උත්සන්න කිරීම නතර කිරීමේ කිසිදු මාවතක් ඇත්තේ නැත. ට‍්‍රම්ප්ගේ කථාවෙහි ම්ලේච්ඡ ස්වභාවය ගැන හා න්‍යෂ්ටික යුද්ධයකින් මානව වර්ගයා වැනසී යාමේ තර්ජනය ගැන ඔවුන් නිහඬය.

ට‍්‍රම්ප් උතුරු කොරියානු ජනතාවට එරෙහිව ජනසංහාරක තර්ජන එල්ල කල එම එක්සත් ජාතීන්ගේ මහ මන්ඩලයේදීම දිනකට පෙර රටවල් දුසිම් ගනනක් න්‍යෂ්ටික අවි තහනම් කරන ගිවිසුමකට අත්සන් තැබූහ. ගිවිසුම පලමුවෙන් අත්සන් තැබූ රාජ්‍ය නායකයා වුනේ, බ‍්‍රසීල ජනාධිපති මයිකල් ටිමර්ය. “න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් පිලිබඳ විශ්වීය අරමුන දෙසට තැබූ වැදගත් පියවරක්” ලෙස එය හුවා දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගියුටරස් කථා කලේය.

සැබවින්ම ගිවිසුම, හුවාදැක්වූ දත් නැති ලොඹු කටකි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය විසින් එය ප‍්‍රතික්ෂේප කල අතර ඔවුන් සියල්ලෝම න්‍යෂ්ටික අවි දරන්නන්ය. ගිවිසුම බලගැන්වීම නතර කිරීමට ආරක්ෂක මන්ඩලය තුල සිය නිෂේධ බලය පාවිච්චි කිරීමට මේ හැම බලවතෙකුටම හැකියාව පවතින තතු තුල ගිවිසුම ඉපදුනේම මැරිලාය. උතුරු කොරියාවට එරෙහි ට‍්‍රම්ප්ගේ තර්ජන ගැන නිහඬව සිටින නැටෝ සන්ධානය ද ප‍්‍රකාශයක් නිකුත් කරමින් ගිවිසුම හෙලා දුටුවේය. එය “නැගී එන අභියෝගාත්මක ආරක්ෂක වාතාවරනයේ යථාර්තයන් සැලකිල්ලට ගෙන නැත” යයි එහි සඳහන්වේ.

සූදානම් කෙරෙමින් ඇති යුද්ධයේ පරිමාව ගැන සැලකිල්ල යොමු කල වාර්තා කිහිපයෙන් එකක් වූ චීනයේ රජය සතු ග්ලෝබල් ටයිම්ස් පත‍්‍රය, උතුරු කොරියාවට එල්ල කෙරෙන එක්සත් ජනපදයේ ආරම්භක ප‍්‍රහාර වලින්, ඊසානදිග ආසියාවේ ජනාකීර්න ප‍්‍රදේශවල මිලියන සිය ගනනකගේ ජීවිත විනාශ වනු ඇතැයි අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් එය, ආරම්භක ඇමරිකානු ප‍්‍රහාර වලින් පසුව සිදුවනු ඇත්තේ කුමක්දැයි පැවසුවේ නැත. චෝදනාව ට‍්‍රම්ප් හා උතුරු කොරියාව අතර සමසේ බෙදාහරිමින් එය, ට‍්‍රම්ප් පිලිබඳ තමන්ගේ විවේචනවල සැර බාලකිරීමට උත්සාහ දැරීය.

එය මෙසේ ලියා තිබුනි: “උතුරු කොරියාව සහමුලින්ම වනසා දැමීමෙන්, ඊසානදිග ආසියාවට කියා නිමකල නොහැකි පාරිසරික විනාශයක් සිදුවනු ඇත. ඊසානදිග චීනය, ෂැන්ඩොං අර්ධද්වීපය හා දකුනු කොරියාව යන සියලු තැන් න්‍යෂ්ටික අලු වලින් වැසී යනු ඇත. එබැවින් එක්සත් ජනපද ජනාධිපති මිලිටරි ශක්තිය ගැන කයිවාරු ගැසීම වෙනුවට එවන් යුද්ධයක් වලක්වා ගැනීමට උත්සාහ කල යුතුය....න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලුනහොත් එය, පියොංයෑනය හා වොෂින්ටනය විසින් චීන හා දකුනු කොරියානුවන්ට එරෙහිව සිදු කරන බලවත් අපරාධයක් වනු ඇත.”

එවන් ප‍්‍රහාරයකට චීන තන්ත‍්‍රය කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇතැයි ද යන්න ගැන ග්ලෝබල් ටයිම්ස් කිසිවක් නොකියන අතර එරට සතු න්‍යෂ්ටික මිසයිල ඇමරිකානු මහාද්වීපය පුරාවටම එල්ල කල හැකි යයි හැමෝම දනිති. චීනය හා රුසියාව ව්ලැඩිවොස්ටොක් හා කොරියානු අර්ධද්වීපයට උතුරෙන් පිහිටි ඔකෝට්ස්ක් මුහුද අතර ප‍්‍රදේශයේ ඒකාබද්ධ යුද - නාවික අභ්‍යාස පවත්වද්දී පැහැදිලි වන්නේ, බීජිනය හා මොස්කෝව, ආසියාවේ, යුරෝපයේ, මැද පෙරදිග හා ලෝකය පුරා ඇමරිකානු හමුදා සමග ගෝලීය යුද්ධයකට වේගයෙන් කැරකී යාහැකි ප‍්‍රතිප‍්‍රහාරයකට සූදානම් වෙමින් සිටින බවයි.

රුසියාව දැනට එහි සපාඞ් මිලිටරි අභ්‍යාසය පවත්වමින් සිටී. 20දා ටාස් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කලේ, රුසියානු හමුදාව ආර්එස්-24 යන මූලෝපායික න්‍යෂ්ටික මිසයිල් සාර්ථක ලෙස අත්හදා බැලූ බවයි. ඒවා රුසියාවේ කම්චට්කා අර්ධද්වීපයේ එල්ලයන් වෙත වැදුනි.

ට‍්‍රම්ප්ගේ තර්ජන, විශේෂයෙන්ම ජර්මනිය හා ප‍්‍රන්සය ඇතුලු යුරෝපීය බලවතුන් හා ඇමරිකාව අතර ගැඹුරු භේදය ද හෙලිදරව් කලේය. උතුරු කොරියාවට එරෙහි සංහාරක යුද්ධය පිලිබඳ ට‍්‍රම්ප්ගේ තර්ජන ගැන කථා කිරීමෙන් හෝ හෙලා දැකීමෙන් තොරව යුරෝපීය නිලධාරීන් හා මාධ්‍ය පැහැදිලි කලේ, ලොව පුරා මිලිටරි ගැටුම් හා ප‍්‍රශ්න රැසක් පිලිබඳව ඇමරිකාවේ විදෙස් පිලිවෙතට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වන තැනකට ඔවුන් ගමන් කරමින් සිටින බවයි.

ප‍්‍රන්සයේ ල මොන්ඬේ පුවත්පත මෙසේ පවසයි, ”(ට‍්‍රම්ප්ගේ- කථාව අවශේෂ ජාත්‍යන්තර ප‍්‍රජාවට බිහිසුනු අභියෝගයකි. විශේයෙන්ම යුරෝපය සම්බන්ධයෙන් එසේය. එක්සත් ජනපදයේ වරප‍්‍රසාදිත හවුල්කරුවා හා මිතුරා දැන්, දේශගුනය, බහුපාර්ශිකත්වය, ඉරානය වැනි විවිධ ප‍්‍රශ්න සම්බන්ධයෙන් වොෂින්ටනයට විරුද්ධවේ. පැය දෙකකට පසුව පැවැත්වූ ජනාධිපති (ප‍්‍රන්ස* එමෑනුවෙල් මැක්‍රොන්ගේ කථාව, ට‍්‍රම්ප්ට කැපීපෙනෙන ලෙස විසංවාදීය. අත්ලාන්තික් සන්ධානයට එහි තේරුම අමතක වෙමින් තිබේ.”

ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් උතුරු කොරියාව ගැන පැවසුවේ, “මෙම ගැටුමට ඇත්තේ, සාමකාමී රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් පමනක් බවයි. අන් ඕනෑම දෙයක් තුඩු දෙනු ඇත්තේ ව්‍යසනයකටය. මම ඒ ගැන හොඳින්ම දැනුවත්ය” යනුවෙනි. තමන“සිය මුලු ශක්තිය යොදා” සාමකාමී විසඳුමක් සඳහා සටන් වදින බව ද ඇය පැවසුවාය.

ජර්මානු විදේශ ඇමති සිග්මා ගේබ්‍රියෙල් පැවසුවේ, ට‍්‍රම්ප්ගේ සංහාරක තර්ජන “විසකුරු” බවකි. “එවන් යුදවාදී කයිවාරු අප තවත් අඩියක් හෝ ඉදිරියට ගෙන යනු නැත.”

ට‍්‍රම්ප්ගේ කථාවෙන් මොහොතකට පසුව කථාකල මැක්‍රොන්, ඒ ගැන කෙලින්ම සඳහන් නොකලේය. ඔහු මෙසේ පැවසීය, ප‍්‍රන්සය “කොරියාවේ කුමන හෝ මිලිටරි උත්සන්නියකට” සේම ට‍්‍රම්ප්ගේ තර්ජනයට ලක්ව සිටින ලෝකයේ අනෙකුත් පාලන තන්ත‍්‍රවලට එරෙහි මිලිටරි ව්‍යායාමයන්ට විරුද්ධය. ට‍්‍රම්ප් තර්ජනය කල පරිදි 2015 ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කිරීමේ ඒක පර්ශවික උත්සාහය, “වගකීම් විරහිත” බව ඔහු කියා සිටියේය. තමන් ටෙහෙරානයට හා වොෂින්ටනයට අනතුරු අඟවන්නේ, එය “තියුනු ලෙස කැරකී යා හැක්කේ” යුද්ධයක් දිසාවට බවය.

යුද්ධයේ වැඩෙන තර්ජනය යුරෝපීය ආන්ඩු විසින් යොදාගනු ඇත්තේ, යුරෝ බිලියන සංඛ්‍යාත සිය ආරක්ෂක වියදම් ඉහල නැංවීමට බවට ඇත්තේ මඳ සැකයකි. ජර්මනිය තෙවසරක් තිස්සේ සිය විදෙස් පිලිවෙත යලි මිලිටරීකරනය සඳහා ගෙන යන උද්ඝෝෂනය තුලින් එයට මූලිකත්වය ගෙන ඇත.

ට‍්‍රම්ප්ගේ කථාව මෙන්ම, ඊට දැක්වෙන යුරෝපීය හා ජාත්‍යන්තර බලවතුන්ගේ ප‍්‍රතික‍්‍රියාවන්ට ද ඇත්තේ දිග පරිනාමයකි. ස්ටැලින්වාදී තන්ත‍්‍රය වොෂින්ටනයට පැවති ප‍්‍රති බලය ඉවත්කරමින්, සෝවියට් සංගමය විසුරුවා හැරි තැන් පටන් සියවස් කාලක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදය, තමන්ගේ පිරිහෙන ආර්ථික බලය නගා සිටුවීමට මැද පෙරදිග හා ලෝකය පුරා ආක‍්‍රමනික යුද්ධ අවුලුවාලමින් සිටියි. කෙසේ වුව ද එය, ලෝක ධනවාදයේ මූල්‍ය හා මිලිටරි කඩඇනය ලෙස කටයුතු කරමින්, සිය යුරෝපීය එදිරිවාදීන්ගේ වැඩෙන මිලිටරිවාදී හා කප්පාදු පිලිවෙත් සඳහා මොඩලය ලෙස ද සේවය කරයි.

මිලියන 25ක් උතුරු කොරියානුන් සමූලඝාතනය කිරීමට ට‍්‍රම්ප් කරන තර්ජනය පිලිබඳව ජාත්‍යන්තර හෙලාදැකීමක අඩුව, ලෝකය පුරා පාලක පන්තීන්ගේ දේශපාලන පරිහානිය පිලිබඳ මිම්මකි. විසිපස් වසරක් තිස්සේ, ඇමරිකාවේ මූලිකත්වයෙන් කෙරීගෙන යන ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ හෝ ලිබියාවේ සිරියාවේ හා යුක්රේනයේ යුද්ධ වලට සහභාගී වීමෙන් පසුව, යුරෝපීය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනෙකුත් සහචරයෝ, කිසිවක් නොපවසන්නේ, තමන් ද යුද්ධයට හා බිහිසුනු පරිමානයේ ප‍්‍රචන්ඩත්වයකට සූදානම් වෙමින් සිටින නිසාය.

පාලක පැලැන්තීන්ගේ බංකොලොත්කම සලකුනු කරන්නේ, යුද ව්‍යායාමයට විරුද්ධ විය හැකි එකම බලවේගය, සමාජවාදී හා විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් මත ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කම්කරු පන්තිය බවයි. දේශපාලඥයින් හා මාධ්‍ය විසින් පරිපූර්න නිහඬතාවයකින් යටපත් කරන ලද, ට‍්‍රම්ප් විසින් එක්සත් ජාතීන් හමුවේ සමාජවාදය දැඩිසේ හෙලා දකිමින් කරන ලද කථාවෙන් පෙන්නුම් කරන්නේ මෙයයි.

දූෂිත හා සුපිරි ධනවත් පාලක පන්තියේ දේශපාලන නියෝජිතයින්, තමන් බිහිසුනු න්‍යෂ්ටික ගැටුමක් අද්දර සිටින බව හොඳින් දැන සිටින අතර, යුද අර්බුදය ජනතාව අතර වේගවත් දේශපාලන මාරුවකට තුඩුදෙනු ඇතැයි ද ලෝක ධනවාදය මුලූමනින්ම අපකීර්තියට පත්වනු ඇතැයි ද බියට පත්ව සිටිති.

ඒ වෙනුවට යුරෝපීය බලවතුන් සේම චීනය හා රුසියාව ද ඇමරිකාව සමග පෙර නොවූ විරූ තියුනු රාජ්‍යතාන්ත්‍රික හා මූලෝපායික ගැටුමක් කරා තල්ලු වෙමින් සිටිති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය හමුවේ යුක්‍රේන ජනාධිපති පෙට්රෝගා පොරොෂෙන්කෝ ඉල්ලා සිටියේ, 2014 නැටෝ පිටුබලය ඇතිව සිදුවූ කුමන්ත‍්‍රනයෙන් පසුව, රුසියාවට හිතවාදී මිලිෂියාවන්ගේ ප‍්‍රතිරෝධයට මුහුනපා සිටින කියෙව් පාලනය රැකගැනීමට ඕඑස්සීඊ නිරීක්ෂකයින් එවන ලෙසය.

මොස්කෝවට එරෙහිව යුක්‍රේනියානු තන්ත‍්‍රය සන්නද්ධ කරන ලෙසට වොෂින්ටනයෙන් නිරන්තර ඉල්ලීම් කෙරේ. එම පිලිවෙත තුලින්, රුසියාව සමග “පූර්න යුද්ධයක්” ඇතිවීමේ තර්ජනය ජර්මනියට හා ප‍්‍රන්සයට එල්ලවූ අතර, 2015 මින්ස්ක්හි රුසියානු හා යුක්‍රේනියානු සාම ගිවිසුමක් ඇතිකර ගැනීම කරා ඔවුන් මෙහෙයවීය. මැක්‍රෝන් ඊයේ පැවසුවේ ප‍්‍රන්සය, ජර්මනිය, රුසියාව හා යුක්‍රේනය සමග අලුත් සාකච්ඡා වටයක් අරඹන බවයි. “එය, ප‍්‍රචන්ඩත්වය පැතිරයාම වැලැක්වීම හා යුක්‍රේනයේ ප‍්‍රතිසංස්කරන පිලිබඳව මින්ස්ක් ගිවිසුමේ සන්දර්භය තුල කටයුතු කරනු ඇතැයි” ඔහු පැවසීය.

Share this article: