වෙලඳාම පිලිබඳව ඇමරිකාව ජාමූඅට අවසන් නිවේදන නිකුත් කරයි

US issues ultimatums to IMF on trade

නික් බීම්ස් විසිනි, 2018 අප්‍රේල් 23

සති අන්තයේ වොෂින්ටනයෙහි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම වසාගෙන තිබුනේ, වෙලඳ යුද්ධයේ වැඩෙන අනතුරු වලිනි. ඇමරිකාවේ කටයුතු ගෝලීය ආර්ථිකයට තර්ජනයක් බවට ජාමූඅ සාමාජික රටවල් ද අරමුදලේ ප‍්‍රධාන දායකයින් ද කරන ලද අනතුරු ඇඟවීම් තිබියදීම ඔවුන් සිය ඉල්ලීම් වඩාත් දැඩි කර ඇත.

අරමුදලේ පාලක මන්ඩලය වෙත ඇමරිකාවේ භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් විසින් ලබාදී ඇති නිල නිවේදනයකින් කියා ඇත්තේ, ජර්මනිය හා චීනය වැනි ඇමරිකාව සමග වෙලඳාමේ යෙදෙන රටවල් රැස්කරගන්නා විශාල අතිරික්තය අඩුකිරීමට දැනට වඩා පියවර ගත යුතු බවයි. එය ඇමරිකාව යොදන දැඩි පීඩනය සලකුනු කරයි.

අධිපතියෙකුගේ වේශයෙන් ඔහු දැඩි ලෙස කියා සිටියේ, ඇමරිකාවේ ප‍්‍රබල වර්ධනයට බාධා කරන, “අසාධාරන ගෝලීය වානිජ්‍ය හුරුපුරුදු” වලට එරෙහිව ඇමරිකාව අනුගමනය කරන පිලිවෙතට ජාමූඅ සහාය දිය යුතු බවයි. “වානිජ්‍ය හා වානිජ්‍ය නොවන බාධක හා බුද්ධිමය දේපොල අයිතියට ඇති බාධා ඉවත් කරන ලෙස සිය සාමාජිකයින්ට දැඩි බලපෑමක්” ජාමූඅ විසින් කල යුතු බවකි.

සිය “පලමුව ඇමරිකාව” යන ට‍්‍රම්ප් ආන්ඩුවේ න්‍යාය පත‍්‍රය අනුව යමින්, චීනය, තොරතුරු තාක්ෂනය, රොබෝ තාක්ෂනය හා කෘතීම බුද්ධි ක්ෂේත‍්‍රයන්හි තම අධි තාක්ෂනික කර්මාන්ත සංවර්ධනය කිරීම ඇමරිකාවේ ආර්ථික මෙන්ම මිලිටරි සුපිරි බලයට ද තර්ජනය කරන බව සලකයි. තමන්ගේ දැනුම “සොරකම්” කරන්නේ යයි ඇමරිකාව, චීනය හෙලාදකී.

ඇමරිකාවේ ඩොලර් බිලියන 375ක වෙලඳ හිඟය ද ප‍්‍රධාන ආර්ථිකයන් ගනනාවක්ම විශාල අතිරික්තයන් සතුකර ගැනීම ද යන ගෝලීය අසමතුලිතතා පිලිබඳ ප‍්‍රශ්නය ගැන කථා කරමින් මුන්චින් තම ප‍්‍රකාශනයේදී කියා සිටියේ, එය 1980 හා 90 ගනන්වලදී තිබුනාට වඩා තුනෙන් එකකින් ඉහල ගොස් තිබෙන බවයි. “ඒවා අඩුවී යන බවට කිසිදු ඇඟවුමක් නැත.”

“ජාමූඅ මේ ප‍්‍රශ්නය සැලකිල්ලට ගත යුතුය. සාමාජිකයින් තරගයෙන් අසාධාරන වාසි ලැබීම හෝ අසමතුලිත වර්ධනයකට තුඩුදෙන සාර්වආර්ථික විදේශ විනිමයක් හා වානිජ්‍ය ප‍්‍රතිපත්ති අනුගමනය කරන විට එය වඩාත් දැඩි ලෙස එයට හඬක් මුසුකල යුතු යයි” ඔහු පැවසීය. “වඩාත් සමතුලිත ගෝලීය වර්ධනයකට රුකුල් දෙන අයුරු, විශාල අතිරික්තයන් සහිත රටවලට පැහැදිලි ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම ද ඇතුලූව ජාමූඅ, වඩාත් බලගතු ලෙස කථා කල යුතු” බව මුන්චින් අවධාරනය කලේය.

ජාමූඅ ආස්ථානය වන්නේ, ඇමරිකාවේ සමාගම් වලට ඩොලර් බිලියන සිය ගනන් සම්පාදනය කරන අතරතුර, ඒවායින් වැඩි කොටසක් යෙදවෙන්නේ කොටස් යලි මිලට ගැනීමටය, ආන්ඩුවේ නය බර වැඩිකරන ට‍්‍රම්ප් ආන්ඩුවේ බදු කපාහැරීම්, ඇමරිකානු වෙලඳාමේ තත්වය නරක අතට හරවමින් ආනයන ආකර්ශනය කර ගන්නා බවය.

ඇමරිකාව ගැන වහෙන් ඔරෝ භාෂාවෙන් කථා කරමින්, ජාත්‍යන්තර මූල්‍ය හා ෆිස්කල් කමිටුව තම අවසාන ප‍්‍රකාශනයෙන් කියා සිටියේ, සාමාජික රටවල මූල්‍ය ප‍්‍රතිපත්ති “ප‍්‍රතිචක‍්‍රීයකරනය මගහරිමින්... ගෝලීය දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය නය පංගුව තිරසාර ක‍්‍රමයකට තබාගැනීමට වග බලාගත යුතුය” යනුවෙනි.

ගෝලීය වර්ධනය ශක්තිමත් වී ඇත ද “එලඹෙන කාර්තු ගනනාවකම” පහත වැටීමේ අනතුර පවතී යයි එය පැවසීය. “ඉහල නැගෙන මූල්‍ය දුබලකම්, වැඩෙන වෙලඳ හා භූදේශපාලන ආතතීන් හා ඓතිහාසික මට්ටම්වලට නැගී ඇති ගෝලීය නය බර වර්ධන බලාපොරොත්තු බොඳ කර දමයි. ඉහල හා වඩාත් නිශ්චිත වර්ධනයක පැවැත්ම පිලිබඳ විභවය, පලදායිතාවේ පහත වැටීම හා භූගෝලීය ප‍්‍රතිඝතිතා විසින් හීන කරනු ලබයි.”

සිය සමාප්ත මාධ්‍ය හමුවේදී ජාමූඅ අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටිනා ලැගාඩි, ඇමරිකාවේ ඉල්ලීම් පිලිබඳව සහතික වෙමින්, වෙලඳ ගැටුම් එලිමහනට පැමිනීම වලක්වා ගැනීමේ උත්සාහයක නිරත වූවාය. “වර්ධනය හා ස්ථාවරත්වයට බාධා කරන තැනකට පැතිර යාමට පෙර එම ප‍්‍රශ්න ‘විසඳා ගැනීමට පියවර ගැනීම තම ප‍්‍රධාන උත්සුකය වන’ බව කියමින් ඇය, ආරක්ෂනවාදයේ නැගීම හා බුද්ධිමය දේපොල අයිතියේ ආරක්ෂාව යන දෙක පිලිබඳව කනස්සල්ල” පල කලාය.

එහෙත් පැරනි හා අලුත් එදිරිවාදීන් මත සිය නැගී එන ආර්ථික ගැටලු පැටවීමේ උත්සාහයක නිරතව සිටින ඇමරිකානු ව්‍යායාමය හමුවේ මෙය වඩ වඩාත් දුෂ්කර වනු ඇත.

සිය ප‍්‍රධාන වෙලඳ සහකරුවන්ගේ සාර්වආර්ථික හා විදේශ විනිමය ප‍්‍රතිපත්ති පිලිබඳව මේ මස මුල ඇමරිකාවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක් පැහැදිලි කලේ, වොෂින්ටනයට හිසරදයක්ව ඇති ඉලක්කය චීනය පමනක්ම නොවන බවය.

“අතිශයින්ම විශාල හා අඛන්ඩව ඉදිරියට යන” චීනයේ ද්විපාර්ශවික වෙලඳ අතිරික්තය ගැන සඳහන් කරමින් එය පැවසුවේ, “වඩ වඩාත් වෙලඳපොලට නොගැලපෙන චීනයේ ආර්ථික සංවර්ධනය තම ප‍්‍රධාන වෙලඳ සහකරුවන්ට මෙන්ම දිගුකාලීන ගෝලීය වර්ධන බලාපොරොත්තු වලට වැඩෙන අනතුරක් මතු කරන” බවයි.

මෙය “2025 දී චීනයේ නිෂ්පාදනය කරන ලදී” යන චීන වැඩසටහන යටතේ, රාජ්‍ය අරමුදල් සම්පාදනය හා රජය සතු, රජයේ මගපෙන්වීම අනුව කටයුතු කරන සමාගම් මගින් බීජිනය විසින් පෙරට ගෙනයනු ලබන අධි තාක්ෂනික සංවර්ධනය පිලිබඳව කෙරුන සඳහනකි.

එහෙත් කනස්සල්ල මෙතනින් නතර නොවේ. “ඇමරිකාව සමග ජපානයේ භාන්ඩ වෙලඳාමේ අතිරික්තය 2017දී පහත නොවැටුනි. 2017 කාර්තු හතර පුරා එය ඩොලර් බිලියන 69ට ඉහලින් පිහිටියේය.”

දකුනු කොරියාව පිලිබඳව වාර්තාව මෙසේ පැමිනිලි කරයි. එක දිගට සියයට 3ට වඩා ඉහලින් අතිරික්තයක් පැවති හයවන වසර සනිටුහන් කරමින් එරට, 2017දී දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව තම ජංගම ගිනුමේ අතිරික්තය සියයට 5.1 ලෙස පවත්වාගෙන යන අතර, විශාල බාහිර අසමතුලිතතාවක් ඇතිකර තිබේ.

චීනයට අමතරව ට‍්‍රම්ප් ආන්ඩුවේ වෙලඳ යුද ගැත්තන්ගේ ප‍්‍රධාන ඉලක්කයක් බවට ජර්මනිය පත්ව තිබේ.

“2017දී ඩොලර් බිලියන 299ක්වූ ජංගම ගිනුමේ අතිරික්තය ගැන සලකන කල ජර්මනිය ලෝකයේ එවන් විශාලතම රටයි. එය 2011 පටන් ලෝකයේ විශාලතම අතිරික්තය සහිතව පැවතුනි. පසුගිය තෙවසරක කාලය තුල එම දැවැන්ත අතිරික්තය අඩුවීමේ ප‍්‍රගතියක් සිදුව නැතැයි” වාර්තාව සඳහන් කරයි.

මක්නිසා ද යත්, ජර්මනියේ දේශීය ඉල්ලුම සැලකිය යුතු තරම් ශක්තිමත් නැති කම හා පහත් උද්ධමනය “දුබල විනිමය අනුපාතිකයක් සඳහා හේතුකාරක වන බැවින්ය.” ට‍්‍රම්ප්ගේ ඉහලම වානිජ්‍ය උපදේශකයා වන පීටර් නවාරෝට අනුව ජර්මනිය, ගෝලීය වෙලඳපොලවලදී වාසි ලැබීම පිනිස යුරෝව “බෙහෙවින් ඌන වටිනාකමක්” සහිතව පවත්වාගෙන යයි.

ඉන්දියාව ගැන පවා එහි සඳහන් කෙරේ. 2017දී ඉන්දියාව ඇමරිකාව සමග කල ද්විපාර්ශවික වෙලඳාමෙන් ඩොලර් බිලියන 23ක අතිරික්තයක් ලැබූ අතර “එය සැලකිය යුතු වෙලඳ අතිරික්තයකි.”

ජාමූඅ හවුලේ රැස්වීම තුල මුන්චින්, තමා සාකච්ඡා පිනිස බීජිනය කරා යාමට අදහස් කරන බවත්, ගිවිසුමකට එලඹීමේ හැකියාව පිලිබඳව තමා “ප‍්‍රවේශම් සහගතව ශුභවාදී” වන බවත් පැවසීය. “සංචාරය ගැන සැලකිල්ල යොමුව ඇත. මම කාල වකවානු ගැන කියන්නේ නැත, එසේම මම කිසිවක් තහවුරු කරන්නේ ද නැත” යයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය.

වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ පවසයි: “මුන්චින්ගේ සැලකිල්ලට ලක්ව තිබෙන චීන සංචාරයට ආන්ඩුවෙන් පුලුල් සහායක් හිමිවන්නේ ද යන්න අවිනිශ්චිතය. සමහර ඇමරිකානු-චීන විශේෂඥයින් පවසන්නේ, එවන් සංචාරයක් ධවල මන්ඳිරය විසින් දැනට අනුගමනය කරන බලපෑම් දැමීමේ උපක‍්‍රමයන්ට වල කැපිය හැකි බවයි.”

මේතාක් දුරට වෙලඳ යුද පිලිවෙත් හා ප‍්‍රති පියවර වැඩී එන්නේ, වසර 7ට පසුව ගෝලීය ආර්ථිකය වඩා වැදගත් ප‍්‍රසාරනයක් අත් දකිමින් සිටියදීය. එය පහත වැටීමක කොන්දේසි හමුවේ වඩාත් උත්සන්න විය හැකිය. එවැනි තත්වයක ප‍්‍රථම සලකුනු යුරෝපය තුල මතුවෙමින් තිබේ.

යුරෝපීය ආර්ථිකය 2017 වසරේ සියයට 2.5ක වර්ධනයක් අත් විඳීය. එය දශකයකට පසුව ඇතිවූ ඉහලම අගයයි. එහෙත් ප‍්‍රසාරනය ඉහලම තැනට පැමින තිබෙන බවට ඇඟවුම් ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේ, “මනෝගතීන් හා නිෂ්පාදනය පිලිබඳ සමීක්ෂන ඇඟවුම් කර ඇත්තේ, වසරේ පලමු කාර්තුවෙහි වර්ධනය කලින් බලාපොරොත්තු වුනාට වඩා දුබල” බවයි. අනාවැකි පහතට යොමුකර තිබේ. ඒ, “කලාපය යලි නැගී ඒම එහි මුදුනට පැමින තිබේ, වෙලඳාම පිලිබඳ ආතතීන් එම චිත‍්‍රය තවදුරටත් අඳුරු කරනු ඇත.”

පුවත්පතේ යුරෝපීය ප‍්‍රකාශක වොල්ෆ්ගෑන්ග් මුන්චාවෝ ලියා ඇත්තේ, පහතට නැඹුරුව දැඩි විය හැකි අතර එය හා ප‍්‍රතිසංස්කරන හිඟකම “දිග්ගැස්සෙන අර්බුදයකට” තුඩුදිය හැකිය යනුවෙනි. යුරෝ කලාපයේ බැංකු හා මූල්‍ය පිලිවෙත් මත එකඟතාවකට පැමිනීමට ජර්මනිය හා ප‍්‍රන්සය අසමත් වී තිබේ. ප‍්‍රන්සයට අවශ්‍ය වන්නේ, ගෝලීය කම්පනයන් පිටුදකින සමස්ත යුරෝපීය යාන්ත‍්‍රනයක් හා පොදු අයවැයකි. එහෙත් ඒ දෙකටම ජර්මනිය විරුද්ධය.

යුරෝ කලාපයේ විභවාත්මක නිමැවුම ස්ථිරවම පහත වැටීමට තුඩු දෙන මූල්‍ය අර්බුදය හමුවේ, “දැන් සැඟව පවතින පහත වැටීම, කාලයත් සමග මන්දෝත්සාහී සාමාන්‍ය තත්වයක් කරා යලි පැමිනිය හැකි” බව මුන්චාවෝ පවසයි.

මන්දගාමී වන ආර්ථිකයක් හා මූල්‍ය සංගමයට තෙමේම ප‍්‍රතිසංස්කරනය වීගත නොහැකිකම එක්වුන කල, “එය දැනට ගෝලීය ආර්ථිකයට බලගතුම අන්තරාය ඇතිකරයි.” යුරෝ කලාපය සතු විශාල වෙලඳ අතිරික්තය නිසා වෙලඳ යුද්ධයකදී එය “විශේෂයෙන්ම බෙලහීන” වන්නේ යයි ඔහු පැවසීය.

ගෝලීය ආර්ථිකය තුල විවිධ ගැටුම්කාරී ප‍්‍රවනතා වර්ධනය වනු ඇත්තේ කෙසේදැයි හරියටම පැවසිය නොහැකිය. එහෙත් එක් දෙයක් නිශ්චිතය: 2008 මූල්‍ය අර්බුදයෙන් පුපුරා ගිය කිසිදු ප‍්‍රතිවිරෝධයක් විසඳී ඇත්තේ නැත. ඒ වෙනුවට වෙලඳ යුද්ධයේ තල්ලුවෙන් පෙන්නුම් කරන්නේ ඒවා උත්සන්න වෙමින් තිබෙන බවය.

Share this article: