විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයේ පාඩම්

2018 අප්‍රේල් 18

විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ වැඩ වර්ජනය, එය කැඳවූ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් අප්‍රේල් 12 වන දා නිමාවට පත් කලේය. අනධ්‍යන කම්කරුවන්ට ලබාදෙන මාසික හිලව් දීමනාව සියයට 10 කින් වැඩි කරන බව සඳහන් චක‍්‍රලේඛයක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එදින පස්වරුවේ නිකුත් කල බැවින් වර්ජනය අවසන් කරන බව, ඒකාබද්ධ කමිටුව මාධ්‍යයට පැවසීය.

ඔවුන් වර්ජනයේ යෙදුනේ, මාසික හිලව් දීමනාවේ සියයට 35 ක වැඩි වීමක්, සෞඛ්‍ය ආරක්ෂනයක්, විශ‍්‍රාම වැටුපක් සහ භාෂා ප‍්‍රවීනතා දීමනාවක් යන මූලික ඉල්ලීම් මතයි.

මේ අනුව පෙබරවාරි 28 වන දා සිට අඛන්ඩව වර්ජනයේ යෙදී සිටි අනධ්‍යන සේවකයන් ට, තම ඉල්ලීම් කිසිවක් දිනා නොගනිමින්, අප්‍රේල් 17 වන දා යලි සේවයට වාර්තා කිරීමට සිදු විය.

දිවයිනේ සියලුු විශ්ව විද්‍යාලයන් හි සහ ඊට අනුබද්ධ ආයතනයන් හි සේවයේ නියුතු 16,000 කට ආසන්න කම්කරුවන්, ආන්ඩුවේ තර්ජන සහ සමිති නිලධරයේ පසුපසට ඇදීම් තිබියදී සති හයකට ආසන්න කාලයක් ධෛර්යසම්පන්නව නියැලී සිටි මෙම වර්ජනයේ පාඩම් උකහා ගැනීම අනධ්‍යන කම්කරුවන්ට පමනක් නොව සමස්ත කම්කරු පන්තියට ඉතා වැදගත්ය.

සමිති නිලධරය වර්ජනය කැඳවූයේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර හමුවේ වැටුප් වැඩිවීමකින් තොරව ජීවත් වීමට නොහැකි තත්වයකට ඇද වැටීම හේතුවෙන්, ආන්ඩුවට එරෙහිව අනධ්‍යන කම්කරුවන් අතර වැඩුනු විරෝධය වෙනතක හැරවීම සඳහා යි.

වර්ජනය ආරම්භයේ සිටම සමිති නිලධරයේ මූලික සටන් පාඨය වූයේ “එකඟතා ගිිවිසුම වහා ක්‍රියාත්මක කරනු” යන්න යි. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර 2016 දී අත්සන් කෙරුනු මෙම ගිවිසුමට අනුව, අනධ්‍යන කම්කරුවන්ට ලබාදෙන මාසික හිලව් දීමනාව 2020 දක්වා වාර්ෂිකව වැඩිවිය යුතුය. නමුදු, 2017 සිට එම වැඩිවීම නතර කොට ඇත.

කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය තරයේ කියා සිටියේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී නොමැති බවයි. අවසානයේදී, අප්‍රේල් 9 වන දා, ගිවිසුම අහෝසි කරන බව කොමිෂන් සභාව දන්වා සිටියේය.

ඒකාබද්ධ කමිටුව වර්ජනය අත්හැර දැමුවේ, එම කොන්දේසියට මුලුමනින්ම යටත් වෙමින්, වර්ජනයේ මූලික ඉල්ලීම පාවා දෙමිනි.

එපමනක් නොව, සෞඛ්‍යාරක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුපක් යන අනෙක් දැවෙන ඉල්ලීම් දෙක ද, ඉදිරියේ පත් කිරීමට නියමිත ඊනියා කමිටුවකට යටත් කොට, පාවා දී ඇත. කප්පාදු හේතුවෙන් සමාජ අනාරක්ෂිතභාවයට ඇද වැටී ඇති ලොවපුරා කම්කරුවන් තම අරගලයන්හි දී පොදුවේ මතු කරන මෙම ඉල්ලීම් අනධ්‍යන සමිති නිලධරය මුලසිටම නොතකා හැරීය.

සමිති නිලධරය වර්ජනය අත් හැරීමට තීන්දු කලේ, ආන්ඩුව විසින් සේවයට වාර්තා කිරීමේ අවසන් දිනයක් නියම කිරීමත් සමගයි. මෙම නියෝගය හමුවේ වර්ජනය ඉදිරියට ගෙනයා හැකිව පැවතියේ, ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් ලෙස පමනකි. එවන් අරගලයකට පරම ලෙස සතුරු නිලධරයට තිබූ එකම විකල්පය වූයේ වර්ජනය පාවා දීමයි.

අනධ්‍යන සේවකයන් ට තම ඉල්ලීම් දිනාගත නොහැකිවූයේ අධිෂ්ඨාන ශක්තියේ හෝ සහභාගිත්වයේ අඩුවක් නිසා නොව, තම සටනට නිරවද්‍ය ඉදිරි දර්ශනයක් සහ නායකත්වයක් නොමැතිවීම හේතුවෙනි.

බිඳ වැටීමක් තුලින් ගමන් කරන ධනපති ක‍්‍රමය තුල ලොවපුරා ආන්ඩුවල දේශපාලනික සහ ආර්ථික මූලෝපායේ අති මූලික අංශයක් බවට පත්ව ඇත්තේ කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව මෙතෙක් භුක්ති විඳි සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල උදුරා ගැනීම සහ එයට එරෙහිව නැගී සිටින කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් රුදුරුම ආකාරයෙන් තලා දැමීමයි. පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නංවමින් සිටින්නේ එයයි.

අනධ්‍යන සේවකයන් ඇතුලු සියලු කම්කරුවන්ගේ අරගල අභිමුඛ වනුයේ ආන්ඩුවේ මෙම දේශපාලන-ආර්ථික මූලෝපායට බැවින්, එයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තියේම මූලෝපායක් අවශ්‍ය ය. එය වනාහි, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක‍්‍රමයට එරෙහි, ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය යි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වර්ජනය ආරම්භයේ දී ම මෙසේ ප‍්‍රකාශ කලේය:

“ධනපති ක‍්‍රමය මුහුන දී සිටින පෙරනොවූ විරූ අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස, ලොවපුරා ආන්ඩු ක‍්‍රියාවට නංවමින් සිටින රුදුරු දේශපාලනික සහ ආර්ථික පිලිවෙත් සමග කම්කරුවන්ගේ අරගල විවෘතවම ගැටෙයි. එහි අර්ථය වන්නේ, ධනපති ආන්ඩු වලට මෙන්ම සමස්ත ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලන සටනකින් තොරව මෙම අරගලයන්ට ඉදිරියට යා නොහැකි බවයි.

“ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වාත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඇතුලූ ලොවපුරා වෘත්තීය සමිති එවන් දේශපාලන අරගලයකට සපුරාම එරෙහිය. එසේ වන්නේ ඒවා කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය නොකරන සංවිධාන බැවිනි. ඒවා සංගතයන් හි සහ රාජ්‍යයන් හි උපකරනයන්ය. ඔවුන් කම්කරු පන්තියේ මුදුනත ලැග සිටින්නේ, ධනපති ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් කම්කරු පන්තිය වලකාලීම සඳහාය.” අරගලය තම අතට ගැනීම සඳහා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!
විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් සඳහා ඉදිරි මාවත

වර්ජනයේ යෙදී සිටි අනධ්‍යන කම්කරුවන් අතර මැදිහත් වූ සසප සාමාජිකයන්ට නිලධරයේ මැරයන් විසින් කීප වරක්ම කායිකව පහර දුන්නේ ඉහත ඉදිරි දර්ශනයෙන් කම්කරුවන් සන්නද්ධවීම වැලැක්වීමේ දැනුවත් ප‍්‍රයත්නයක් ලෙසයි.

අනධ්‍යන කම්කරුවන්ගේ අරගලයේ පැවති සුවිශේෂී අංග ලක්ෂන හඳුනා ගැනීම ද ඉතා වැදගත්ය.

ං අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය වනාහි, එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ ගුරුවරුන්ගේ අරගලය, ජර්මනියේ රථවාහන කම්කරුවන්ගේ අරගලය සහ ප‍්‍රන්සයේ ගුවන්සේවා කම්කරුවන්ගේ අරගලය මගින් ප‍්‍රකාශයට පත්වන කම්කරු පන්තියේ නව ජාත්‍යන්තර රැඩිකලීකරනයේ අත්‍යන්ත කොටසකි.

ං අනධ්‍යන කම්කරු වර්ජනයට සහභාගි නොවීම සඳහා විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය ගත් තීරනයට එරෙහි වර්ජනයට සහභාගිවීමේ යෝජනාවක් සම්මත කර ගත් එම සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සාමාජිකයන් පෙන්නුම් කලේ, වෘත්තීය සමිති වලින් බිඳී අරගලය තම අතට ගැනීම සඳහා ජාත්‍යන්තරව කම්කරුවන් දරන ආයාසයේ ආරම්භක ලක්ෂනයන් ය.

පසුගිය දශක කීපය තුල වෘත්තීය සමිති විසින් පන්ති අරගලය කෘතිමව යටපත් කරගෙන සිටියද, ජාත්‍යන්තර කම්කරු පන්තික අරගලයන්හි යලි මතුවීමත් සමග වෘත්තීය සමිති සහ කම්කරුවන් අතර ගැටුම පෙර නොවූ විරූ අන්දමින් විවෘතව සහ සෘජුව ඉස්මත්තට පැමිනෙමින් පවතී.

ං එක්සත් ජනපදයේ ගුරුවරුන් ගේ අරගල පාවා දුන් වෘත්තීය සමිති නිලධරය මෙන්ම, ලංකාවේ අනධ්‍යන සමිති නිලධරයද තම නිර්ලජ්ජිත පාවාදීම “ජයග‍්‍රහනයක්” ලෙස හඳුන්වයි. “ජයග‍්‍රහනයන්” ලෙස සමිති නිලධරයන් විසින් ඔජවඩවන මෙම සොච්චම් වැටුප් වැඩිවීම් සඳහා වියදම් පියවාගනු ලබන්නේ මහජන සුභසාධන තවත් කප්පාදු කිරීම මගිනි.

ං අනධ්‍යන කම්කරු අරගලයේදී, උතුරේ සිට දකුන දක්වා ද බස්නාහිර සිට නැගෙනහිර දක්වා ද වූ විශ්ව විද්‍යාලයන් හි සේවයේ නියුතු සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් වර්ගය නොතකා පන්ති අනන්‍යතාව මත ඒකාග‍්‍රවීම අනෙක් වැදගත් ලක්ෂනය යි. ලොවපුරා වැඩෙන පන්ති අරගල තුලදී වර්නය සහ වර්ගය ආදී අනන්‍යතා නොතකා පන්ති අනන්‍යතාවය මත කම්කරුවන්ගේ ඒකාග‍්‍රවීම කැපී පෙනෙන අන්දමින් වර්ධනය වෙමින් පවතී.

ං අනධ්‍යන කම්කරු වර්ජනය ඇතුලු මෙම සෑම අරගලයකම වෛෂයික තර්කනය යොමුව පවත්නේ, වැටුප්, සෞඛ්‍ය සහ විශ‍්‍රාම වැටුප් කප්පාදුවට, රාජ්‍ය මර්දනයට සහ සමාජ අසමානතාවයට සහ සමාජ අර්බුදයේ විවිධ රූපාකාරයන් ට එරෙහි වන කම්කරුවන් ඒකාග‍්‍ර කෙරෙන දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරයක් දෙසටයි.

කල යුතුව පවතින්නේ, කම්කරුවන් ඉදිරියේ පවත්නා මෙම වර්ධනයන් සහ සැබෑ අභියෝගයන් ඔවුනට පහදා දෙමින්, ඉහත පැහැදිලි කෙරුනු කම්කරු පන්තික මූලෝපාය යටතේ එම දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරය සූදානම් කිරීමයි.

මෙය කලහැකි වන්නේ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ගෙන් බැටකන සියලු කම්කරුවන්, තරුනයන් සහ පීඩිත ගොවීන් ඒකාග‍්‍ර කොටගත් කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමෙන් පමනකි.

ධනේශ්වර පද්ධතියට කම්කරුවන් ගැටගසා තබමින් එහි ප‍්‍රහාරයන්ට ඔවුන් යටත් කරන වෘත්තීය සමිති යකඩ සැට්ටයෙන් බිඳී වෙන්වීමෙන් තොරව තම අරගලය ඉදිරියට ගෙන යා නොහැකි බව අනධ්‍යන කම්කරු වර්ජනයෙන් සමස්ත කම්කරු පන්තිය උකහාගතයුතු මූලිකම පාඩමකි.

එසේ බිඳී වෙන්වන කම්කරුවන්, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මූලෝපාය මත පදනම් ව තමාගේම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. එම කමිටු, තම අරගලයන්ට සහයෝගය දෙන ලෙස සමස්ත කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිය යුතුය. අනෙකුත් කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයන් සහ ගොවීන් අතරට තම කමිටු නියෝජිතයන් යවමින් අරගලයට එක්වන ලෙස ඔවුන් ද දිරිගැන්විය හැක.

අනධ්‍යන කම්කරුවන්ට මෙන්ම අවශේෂ කම්කරුවන්ට සහ පීඩිතයන්ට තම අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකි වනුයේ, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන එමින්, මහා පරිමාන වතු, බැංකු සහ ෆැක්ටරි කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, ලාභය සඳහා වන නිශ්පාදනය වෙනුවට සමාජ අවශ්‍යතාව සඳහා නිශ්පාදනය තහවුරු කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාවට නැංවීමෙන් පමනකි.

අතිමූලික වන්නේ මෙම සියල්ලට නායකත්වය සහ ඉදිරි දර්ශනය සපයන විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමයි.

පානි විජේසිරිවර්ධන

Share this article: