ගාසාවේ ඊස්රායල් සංහාරයේ දී එක්සත් ජනපද මාධ්‍යයේ නිහඬ උදාසීනත්වය

US media’s silent complicity in Israeli massacre in Gaza

2018 අප්‍රේල් 2

නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය නායකත්වය දෙන, ප‍්‍රධාන ඇමරිකානු මාධ්‍ය හොරනෑ ගාසාවේ නිරායුධ, සාමකාමී පලස්තීන විරෝධතාකරුවන් ඝාතනය කිරීම හා තුවාල කිරීම්වලට සලකමින් සිටින්නේ නො වැදගත් සිදුවීමක් ලෙස ය.

ඊස්රායලය පලස්තීන භූමිභාගය කොල්ල කෑමට විරෝධය දැක්වීමට මෙන් ම පලස්තීන සරනාගතයින්ට ඔවුනගේ මව්බිමට ආපසු යෑමේ අයිතිය ඉල්ලීමට, පලස්තීනුවන් දසදහස් ගනනක් මිලිටරීකරනය කෙරුනු ඊස්රායල් දේශසීමාව ආසන්නයේ සිකුරාදා එක්රැස් වීමත් සමග, අඩු වසයෙන් පුද්ගලයන් 16දෙනෙකු ඝාතනය කරමින් හා 1,400ක් පමන සංඛ්‍යාවකට තුවාල සිදු කරමින්, ඊස්රායල් හමුදා හා ඉලක්කයට වෙඩි තබන්නෝ වෙඩි තැබීමට පටන් ගත්හ.

ජීව උන්ඩ යොදා ගනිමින් හිතාමතා කල ඝාතනයේ දර්ශන වෙත ලෝකය පුරා මිලියන ගනනාවක් ප‍්‍රතිචාර දැක්වූයේ කම්පනය හා භීතිය සමගිනි. එක් වීඩියෝවක් පෙන්නුවේ දේශසීමා වැටෙන් ඉවතට පැන යමින් සිටි තරුනයෙකුගේ පසුපසට ඊස්රායල් භටයින් විසින් වෙඩි තබා මරා දමන ආකාරය යි. තවත් වීඩියෝවක් පෙන්නුවේ මරා දැමුනු අයගෙන් අඩු වසයෙන් දෙදෙනෙකු ඊස්රායල් දේශ සීමාව දෙසට සෙමින් ඇවිදිමින් සිටින අවස්ථාවේ නිරායුධව සිටි බව යි.

කුඩා පරිවෘතයක ලොකු කුඩා නගරවල මෙන් ම ඊස්රායල් දේශසිමාවේ රැස් වූ දහස් ගනනකගේ නිරායුධ විරෝධතා පෙලපාලිවලට වෙඩි තැබීමට ඊස්රායල් ආරක්ෂක හමුදාව (අයිඩීඑෆ්) භට කන්ඩායම් හා සැඟ වී සිට වෙඩි තබන්නන් 100දෙනෙකුට වඩා රැඳවූහ.

පලස්තීන පරිවෘතය පාලනය කරන ධනේශ්වර ඉස්ලාමීය කන්ඩායම වන හමාස් සංවිධානයට අනුව, සිකුරාදා ඝාතනය කෙරුනු අයගෙන් හමාස් සංවිධානයට අයත් වූයේ පස්දෙනෙකු පමනක් වන අතර, සෙසු අය සිවිල්වැසියෝ ය.

සමූහ ඝාතනය ගැන ස්වාධීන පරීක්ෂනයක් ඉල්ලමින් කුවේටය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අවහිර කිරීමට එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ අරාක්ෂක කවුන්සිලයේ දී මැදිහත් වූ අතර, ඊස්රායල් ප‍්‍රකාශකයෙකු එවැනි පරීක්ෂනයක් ප‍්‍රතික්ෂේප කලේ “ඊස්රායලයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම” වෙනුවෙන් ඊස්රායල් සොල්දාදුවන්ට ප‍්‍රශංසා කරමිනි.

ඊස්රායලයේ ප‍්‍රධාන මිලිටරි ප‍්‍රකාශකයා වන සේනාංකපති ජනරාල් රොනෙන් මනේලිස් අනතුරු ඇඟවූයේ, අයිඩීඑෆ් ගාසා දේශ සීමාවේ තම ප‍්‍රචන්ඩත්වය ඉදිරියට ගෙන යනු ඇති බව යි. අයිඩීඑෆ් මේ දක්වා තම ක‍්‍රියා දේශ සීමාවට පමනක් සීමා කර තිබූ නමුත් “අනෙකුත් ස්ථානවල ද (එනම් ගසා තීරුවේ ද) මෙම ත‍්‍රස්ත සංවිධානවලට එරෙහිව ක‍්‍රියා කිරීමට” සූදානම් බව ද ඔහු පැවසී ය.

එක්සත් ජනපද ආන්ඩුව හා ප‍්‍රධාන පක්ෂ දෙකෙන් ඊස්රායල් සංහාරයට ලැබෙන සම්පූර්න සහාය සමග එක පෙලට, නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය තම සෙනසුරාදා මුද්‍රනය තුල සංහාරය ගැන නොසැලකිලිමත් ප‍්‍රවෘත්ති ආඛ්‍යානයක් ප‍්‍රසිද්ධ කල නමුත්, තම ඉරිදා මුද්‍රනය තුල මෙන් ම තම වෙබ් අඩවිය තුල කාරනය සම්පූර්නයෙන් ම අත් හැර දැමී ය. එය එසේ සිදු වන්නේ, බටහිර ආන්ඩු හා මාධ්‍යයේ ගොලු ප‍්‍රතිචාරයෙන් දිරිමත් කෙරුනු අයිඩීඑෆ් හා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව, විරෝධතාකරුවන් සංඛ්‍යාවකට තුවාල සිදු කරමින්, සෙනසුරාදා ද පෙලපාලිකරුවන්ගේ කුඩා රැස්වීමකට පහර දී තිබිය දී ම ය.

ඊනියා “වාර්තා පිලිබඳ පුවත්පතේ” එම ඉරිදා දිනයේ ම මුද්‍රනය සිරියානු ආන්ඩුවේ චූදිත දාමරිකම් පිලිබඳ දීර්ග විශේෂාංග ලිපියක් ද දකුනු අප‍්‍රිකාවේ නීති විරෝධි මුහුදු බෙල්ලන් දඩයම පිලිබඳ ව වැලපෙන ලිපියක් ද පල කලේ ය.

ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වැඩසහන්වල දී ඊස්රායල් සංහාරය ගැන සඳහන් කෙරුනු නැති තරම් වන අතර ප‍්‍රධාන මාධ්‍ය හොරනෑ විසින් කතුවැකි ප‍්‍රකාශන නිකුත් කර නො තිබුනි.

මැයි 15වැනිදා, එනම් ඊස්රායල් රාජ්‍ය ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සර දිනය දා නිමාවන “ආපසු ඒමේ පාගමන” යැයි නම් කෙරුනු, සති හයක සාමකාමී විරෝධතාවන්ගේ ආරම්භය ලෙස සිකුරාදා පෙලපාලිය නිවේදනය කෙරුනි; එක්සත් ජනපදය ජෙරුසෙලමේ තම තානාපති කාර්යාලය පිහිටුවන එදින, පලස්තීනුවන් සමරන්නේ නක්බා (විනාසකාරී දිනය) ලෙස ය. පසු ගිය වසරේ දී ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් නිවේදනය කෙරුනු, එක්සත් ජනපද තානාපති කාර්යාලය ටෙල් අවිව්වල සිට ජෙරුසෙලමට මාරු කිරීම, දැවන්ත ප‍්‍රකෝපකරනයක් වන්නේ, තම අනාගත රාජ්‍යයේ අගනුවර ජෙරුසලම යැයි පලස්තීනුවන් ප‍්‍රකාශ කරන හෙයිනි.

බහුතරය සිවිල් වැසියන් වූ පලස්තීනුවන් 2,250ක් ඝාතනය කෙරුනු, 2014 ගාසා තීරයේ යුද්ධයෙන් පසු සිකුරාදා සංහාරය ප‍්‍රචන්ඩත්වයේ රුදුරු ම එක විය. 2014 සංහාරය පසු පස පැමිනියේ වට කෙරුනු හා දරිද්‍රාපන්න පරිවෘත්තය මත 2008-2009 හා 2012 දී කෙරුනු මිනීමරු ප‍්‍රහාරයනු යි; මෙම ප‍්‍රහාරවල දී පිලවෙලින් පුද්ගලයන් 1,217ක් හා 147ක් ඝාතනය කෙරුනු අතර, ඉන් වැඩි දෙනා සිවිල් වැසියෝ වූහ. මෙම සියලු යුද අපරාධවලට වොෂින්ටනයේ අනුග‍්‍රහ ලැබුනි.

ඊස්රායලය 2007දී ගාසාවේ වැටලීමක් ක‍්‍රියාත්මක කල අතර, ඊජිප්තුව ද එයට එක් විය. එහි දී ඊස්රායල් මිලිටරිය විසින් පොදුකාර්ය පහසුකම් විනාස කිරීමට අමතරව, භූමිභාගය ද මිලියන 1.9ක් වූ එහි පදිංචිකරුවන් ද විනාස කෙරී ඇත. විදුලි සැපයුම කප්පාදු කිරීම ජල හිඟය මෙන් ම නොසලකා හැරුනු මල අපවහනයට මග පාදා ඇති අතර, රාජ්‍ය අංශයේ දහස් ගනනක් කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කෙරී හෝ තුරන් කෙරී ඇත; එමෙන් ම ට‍්‍රම්ප් පාලනාධිකාරිය, ගාසාවේ මිලියන 1.2ට පිහිටාධාර දෙන ආහාර ආධාර හා එක්සත් ජාතීන්ගේ සහන හා වැඩ ඒජන්සියට (United Nations Relief and Work Agency) අරමුදල් සැපයීම අත්හිටුවා ඇත.

සිරියාව හෝ රුසියාව විසින් එවැනි කිසියම් දෙයක් කරන ලද්දේ නම්, මුද්‍රිත හා ප‍්‍රචාරක මාධ්‍යවල ගලා යනු ඇති කුපිත කතුවැකි, අදහස් දැක්වීම් හා විශේෂ ප‍්‍රවෘත්ති යමෙකුට සිතා ගත හැක. පුටින්ගේ විරුද්ධවාදී අන්ත දක්ෂිනාංශික, සංක‍්‍රමන විරෝධී, ඇලෙක්සේයි නවල්නි, අත්අඩංගුවට ගැනෙන වෙලාවේ එය ක්ෂනිකාව ම පලමු පිටුවේ ප‍්‍රවෘත්තියක් වෙයි.

හිටපු රුසියානු ඔත්තුකරුවෙකු මෙන් ම බ්‍රිතාන්‍ය ද්විත්ව ඒජන්ත සර්ගේයි ස්ක‍්‍රිපාල් හා ඔහුගේ වැඩිහිටි දුවට විෂ වැද්දීම පිලිබඳව, රුසියානු ආන්ඩුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් මුලුමනින් ම තහවුරු නොකරෙනු චෝදනා මත පාදකව සම්පූර්නයෙන් ගෙතූ සෝලිය මත සති ගනනාවක්, යොදා ගැනී ඇත්තේ, මොස්කෝවට එරෙහිව වොෂින්ටනය විසින් නායකත්වය දෙනු ලබන රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි ප‍්‍රහාරයේ විශාල උත්සන්න කිරීමක් සඳහා කඩතුරාව ලෙස ය.

එහෙත් මෙම එකම මාධ්‍ය හොරනෑ පලස්තීනුවන් කෘමියන් ලෙස වෙඩි තබා මරා දැමීම අවශ්‍යෙයන් ම විය යුත්තක් ලෙස සලක යි.

අන්තර්ජාලය මත භාෂනයේ නිදහස මත ඔවුන්ගේ කඩා පැනීම සමග එක පෙලට, සමාජ මාධ්‍ය සමාගම් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටති. ඊස්රායාලයේ හා එක්සත් ජනපද පීඩනය යටතේ, ෆේස්බුක් පසු ගිය සතියේ, මිලියන 1.3ක අනුගාමිකයන් සිටින, ප‍්‍රධාන පලස්තීන ප‍්‍රවෘත්ති බිහිදොරක් වන, සාෆා පලස්තීන මාධ්‍ය ඒජන්සියේ (Safa Palestinian Press Agency) පිටු වසා දැමුවේ ය. ෆෙස්බුක් තම ක‍්‍රියාව “වෛරී කතා” හා “උසි ගැන්වීම්වලට” එරෙහි පියවරක් ලෙස ආරක්ෂා කලේ ය.

මැයි 15වැනිදාට සූදානම් වීමට එරෙහි පියවර උත්සන්න කිරීමේ පොරොන්දුව සමග, ගාසාවට එරෙහි ඊස්රායලයේ මිනීමරු හා ප‍්‍රකෝපකාරී පියවරයන් දැකිය යුත්තේ, වොෂින්ටනයේ ආශීර්වාද හෝ සෘජු සහභාගිත්වය ඇතිව ඉරානය තුල යුද්ධයක් ගෙන යාමට ටෙල් අවිව් හා රියාද්වල අනෝන්‍ය අධිෂ්ඨානයේ සන්දර්භය තුල ය. පලස්තීනුවන් හා කලාපය පුරා කම්කරුවන්ගෙන් වඩා පුලුල් ප‍්‍රතිචාරයක් ඇවිලවීම මගින් නෙතන්යාහු, ඉරානය හා එහි කලාපීය මිතුරන්ට එරෙහිව දැවන්ත මැදිහත්වීමකට අවශ්‍ය කොන්දේසි නිර්මානය කිරීමට සූදානම් ය.

එක්සත් ජනපද මාධ්‍යයේ නිහඬියාව යුද අපරාධ පිලිබඳ උදාසීනත්වයේ ක‍්‍රියාවකි. එය කතා කරන්නේ මැර තන්ත‍්‍රයක මිනීමරු ප‍්‍රතිපත්ති සඳහා විවෘත හෝ නිහඬ සහාය තුල පසෙකින් සිටින ජාත්‍යන්තර ධනේශ්වරය වෙනුවෙනි. “මානව අයිතීන්” ගැන ධනේශ්වර මාධ්‍ය තුල සියලු වල්පල් සම්බන්ධයෙන් ගත් විට, (එය තන්ත‍්‍ර වෙනස් කිරීම හා කොල්ලකෑම සඳහා නව යටත් විජිත යුද්ධ සඳහා ආවානරයක් ලෙස සේවය කරන විට) පැරනි කියමනක් මතක් වේ. සියලු සදාචාරය පන්ති සදාචාරය යි.

ජාත්‍යන්තර කම්කරු පන්තියට මෙසේ අනතුරු ඇඟවිය යුතු ය: ගාසාවල සිදුවීම් එලඹීමට නියමිත දේ පිලිබඳ සංඥාවකි. ප‍්‍රතිගාමිත්වය, මිලිටරිවාදය හා ඒකාධිපතිත්වය සඳහා වන තල්ලුව සියලු ප‍්‍රධාන බලවතුන් හරහා වේගයෙන් ඇදී යන්නේ ගැඹුරු වෙමින් පවතින ලෝක ධනවාදී අර්බුදයට මෙන් ම කම්කරු පන්තික ප‍්‍රතිරෝධයේ වැඩෙන සංඥාවන්ට ප‍්‍රතිචාරයක් ලෙස ය. කම්කරු පන්තික ප‍්‍රතිචාරයේ අත්‍යාවශ්‍ය කොටසක් වන්නේ පලස්තීන ජනතාව ආරක්ෂා කිරීමට පෙරට පැමිනීමත් එමෙන් ම මැද පෙරදිග හා ජාත්‍යන්තරව සියලු ආගමික හා ජාතික රේඛාවන්ට එරෙහිව සියලු කම්කරුවන්ගේ එක්සත්කම සඳහා සටන් කිරීමත් ය.

ජීන් ෂාඋල් හා බැරී ‍ග්‍රේ

Share this article: