මැක්රොන් සහ පන්ති යුද්ධයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

Macron and the democracy of class war

2018 අප්‍රේල් 20

බටහිර මාධ්‍ය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්‍යෝගීමත් ආයාචනයක් ලෙස උත්කර්ෂයට නැංවෙන කතාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ දී අප්‍රේල් 17දා හිටපු රොත්ස්චයිල්ඩ් බැංකුකාර ප‍්‍රන්ස ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන් විසින් කලේ ය.

“ලිබරල් ආහ්ලාදය දෛනික ව වැඩිවර්ධනය වන්නාවූ” හා “සමහර විට ලෝකයේ අනෙක් ප‍්‍රදේශවලට විරුද්ධ ව අපගේ ඒකාබද්ධ වීමට වඩා වැදගත් යයි හැඟෙන අපේ ජාතික මමත්වයන්” සහිත යුරෝපයක් ගැන මැක්රොන් අනතුරු ඇඟවී ය.

“අප සියලු දෙනා වටා අප දැකගනිමින් සිටින්නේ ආඥාදායකත්වය” බව ප‍්‍රන්ස ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ ය. “මෙයට ප‍්‍රතිචාරය වන්නේ ආඥාදායක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නො ව ප‍්‍රජාතන්ත‍්‍රයේ අධිකාරය යි.” මැක්රොන්ට මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය වන්නේ “ලෝකය තුල සුවිශේෂී ප‍්‍රජාතාන්ත‍්‍රික ආදර්ශයක් වන්නා වූත් නිදහස ලෙස පරිකල්පනය කරනු ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින්නා වූත්” දෙය නිරූපනය කරන යුරෝපා සංගමය යි.

මැක්රොන් ව සිංහාරෝපනය කරමින් නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් හා ෆයිනෑන්ෂල් ටයිම්ස් ප‍්‍රධාන කතුවැකි පල කල අතර ඔහුගේ කතාවට එක්සත් ජනපද, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්ස දේශපාලන සංස්ථාපිතයන් වෙතින් උද්වේගකර ප‍්‍රතිචාරයක් ලැබුනි.

නිව් යෝක් ටයිම්ස්, “යුරෝපීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය” රැකීම සඳහා “මාර්ග බාධකයන්” අසල මුර කරන “බයිබල් අනාගත වක්තෘවරයෙකු” සමග මැක්රොන් සන්සන්දනය කලේ ය.

එහෙත් මැක්රොන් බයිබල් අනාගත වක්තෘවරයෙක් නම් ඔහු පලඳිමින් සිටින්නේ කඩතොලු වුනු හා අපිරිසිදු ඇඳුම් පැලඳුම් ය.

ඔහුගේ කතාවට යන්තම් දින හතරකට පෙර ව්‍යාජ හේතු යොදාගෙන, පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තොර ව හා බහුතර ප‍්‍රන්ස මහජනයාගේ විරුද්ධත්වය මධ්‍යයේ දමස්කස් හා හොම්ස් යන සිරියානු නගරවලට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට මැක්රොන් අන කලේ ය. දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී වාචාලයෙක් වන ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා යුරෝපා සංගමයෙන් වෙන්වීමට දරන උත්සාහයක ගිලී සිටි ආන්ඩුවකට නායකත්වය දෙන බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සමගින් ප‍්‍රන්ස ජනාධිපතිවරයා සිය මිලිටරි මදාවිකාරකම් නැගෙනහිර මධ්‍යධරනී ප‍්‍රදේශය තුල සිදුකලේ ය.

2017 ප‍්‍රන්ස මැතිවරනයේ පලමු වටයේ දී ඡන්දවලින් හතරෙන් පංගුවකටත් අඩුවෙන් ලබාගත් “අනාගත වක්තෘවර” මැක්රොන්, බලයේ සිටි පලමු වසරේ, ව්‍යවස්ථාව තුලට ආඥාදායක “හදිසි නීති තත්ත්වය” ඇතුලත් කිරීම, සමාජ සේවාවන් කප්පාදු කිරීම හා ප‍්‍රන්ස රාජ්‍ය අංශ කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට මූලික ප‍්‍රහාරයක් එල්ල කිරීම සිදුකර ඇත.

මෙම කතාවට පෙර සතියේ පරිසරවේදීන්ගේ කඳවුරක විරෝධතාකරුවන්ට කැරලි මර්දන පොලිස් භටයන් 3,000ක යෝධ ප‍්‍රහාරයක් අධීක්ෂනය කල මැක්රොන්, ප‍්‍රන්ස සමූහාන්ඩුවේ අනාගමික සම්ප‍්‍රදායන්ට දුරදිග යන ප‍්‍රහාරයක් එල්ල කරමින් “රාජ්‍යය හා පල්ලිය අතර බැඳීම අලුත්වැඩියා කරන” ලෙස ආයාචනා කලේ ය.

එහෙත් බටහිර මාධ්‍ය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා හොඳ ම අවසන් බලාපොරොත්තුව ලෙස පෙරටු කරගෙන පැමිනෙන්නේ මේ මැක්රොන් ය. වොෂින්ටන් පෝස්ට් සඳහන් කල පරිදි “සමස්ත භූගෝලය පුරා නින්නාද සත්‍යයන් ප‍්‍රන්ස ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන් අඟහරුවාදා පැහැදිලි ව උච්චාරනය කලේ ය.”

මැක්රොන්ගේ කතාව ද මාධ්‍යයන්ගෙන් එයට ලැබුනු මෝහනීය පිලිගැනීම ද යන දෙකෙහි ම දක්නට නො ලැබෙන දෙය වන්නේ සමස්ත යුරෝපය පුරා ම අන්ත දක්ෂිනාංශය ශක්තිය ලබාගනිමින් සිටින්නේ ඇයි ද යන්නත්, විශේෂයෙන් ම යුරෝපයේ “ලිබරල්” ආන්ඩු ෆැසිස්ට් තන්ත‍්‍රයන්ට නො වෙනස් පිලිවෙත් අනුයමින් සිටින්නේ මන් ද යන්නත් ය.

යුරෝපා සංගමය තුල මැක්රොන්ගේ මූලික සහකරුවා වන, අන්ත-දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂයේ සංක‍්‍රමන-විරෝධී වේදිකාවට වඩ වඩා අනුගත ව ඇති මහා සභාග ආන්ඩුවක් විසින් නායකත්වය දෙන, ජර්මනිය, ජර්මානු හමුදාවේ මිලිටරිවාදී (වඩාත් හොඳින් කියන්නේ නම් ෆැසිස්ට්වාදී) සම්ප‍්‍රදායන් පුනරුත්ථාපනය කිරීමටත් යුරෝපයේ වඩාත් ම දරුනු අන්තර්ජාල වාරන පිලිවෙතක් පැටවීමටත් ක‍්‍රියාකර ඇත.

මැක්රොන් වේවා ඔහුගේ ප‍්‍රශස්තිකරුවන් වේවා, අන්ත දක්ෂිනාංශයේ නැගීම සමාජ අසමානතාවේ වර්ධනය, සුභසාධන රාජ්‍යය බිඳදැමීම හෝ මිලිටරිවාදයේ නැගීම යනාදී ධනේශ්වර පද්ධතියේ මූලික ලක්ෂනයන් සමග සම්බන්ධ කර පෙන්වීමට කිසිදු උත්සාහයක් දරා නැත.

යථාර්ථයේ දී යුරෝපය තුල අන්ත දක්ෂිනාංශයේ නැගීමට වඩාත් ම වගකිව යුතු වන්නේ යුරෝපා සංගමය විසින් යුරෝපීය බැංකු හා සංගත වෙනුවෙන් පවත්වාගෙන යන කම්කරු-පන්ති විරෝධී පිලිවෙත් ය. ආයෝජන බැංකුකරුවෙකු ලෙස මැක්රොන් සහයෝගය දුන්නා වූ ද ප‍්‍රන්සයේ මුදල් ඇමතිවරයා ලෙස ඍජුව සම්බන්ධ ව සිටියා වූ ද යුරෝපා සංගමයේ කප්පාදු නියමයන්, අන්ත-දක්ෂිනාංශික පක්ෂවලට සහයෝගය වඩ වඩා ගොනු කරගැනීමට මග පාදා ඇත. කම්කරු පන්තිය යුරෝපා සංගමය දැකගන්නේ නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය ලෙස නො ව, සුපිරි ධනවතුන්ගේ හා බැංකුවල අවශ්‍යතා අනුකම්පා විරහිත ලෙස ක‍්‍රියාවට දමන යන්ත‍්‍රනය ලෙස ය.

දූෂිත සංස්ථාපිතයේ විවේචකයන් ලෙස පෙනී සිටින අන්ත දක්ෂිනාංශයට සමාජ කෝපය ජාතිකවාදී දිශාවන් ඔස්සේ අපසරනය කල හැක්කේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වෘත්තීය සමිති හා ග‍්‍රීසියේ සිරිසා හා ප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය (එන්පීඒ) හා ජර්මනියේ ඩී ලින්ක් (වම) වැනි ව්‍යාජ-වාම පක්ෂ, කම්කරු පන්තියේ අව්‍යාජ ව්‍යාපාරයක් ඉස්මතු වීම වැලැක්වීමට සෑම දෙයක් ම කරන නිසාත් කප්පාදු වැඩපිලිවෙලවල් ක‍්‍රියාවට දැමීමට කොන්දේසි විරහිත ව සහයෝගය දෙන නිසාත් ය.

මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ප‍්‍රන්ස දෙවන විශාලතම පක්ෂය බවට ජාතික පෙරමුනේ පැමිනීම, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට ප‍්‍රථම වතාවට ජර්මනියේ මධ්‍යම පාර්ලිමේන්තුවට ඇතලු වූ අන්ත-දක්ෂිනාංශික පක්ෂය බවට ඒඑෆ්ඩී පත්වීම, ඔස්ට්‍රියාවේ ආන්ඩුව කිරීමේ වගකීම දක්ෂිනාංශික අන්තවාදී නිදහස් පක්ෂය විසින් දැරීම, සංක‍්‍රමන-විරෝධී ලීගාව හා ෆයු ස්ටාර් (තරුපහ) ව්‍යාපාරය ඉතාලියේ පාර්ලිමේන්තු බහුතරය දැරීම හා පෝලන්තය, චෙක් ජනරජය හා හංගේරියාව තුල අන්ත-දක්ෂිනාංශික පක්ෂ බලයේ සිටීම ආදිය යි.

මෙම කොන්දේසි යටතේ මැක්රොන් විසින් අනුයන යුරෝපා සංගමය “ප‍්‍රතිසංස්කරනය” කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා සමානතාව සමග මෙලොව සම්බන්ධයක් නැත. ප‍්‍රන්සය හා ජර්මනිය ආධිපත්‍යය දරන පොලිස් රාජ්‍යයක් ද ලෝකය අධිරාජ්‍යවාදී පදනමක යලි බෙදාගැනීමේ දී එක්සත් ජනපදය සමග තරඟ කිරීමට සමත් මහා මිලිටරි බලයක් ද බවට යුරෝපය පරිවර්තනය කිරීම එහි ඉලක්කය යි.

දෙවන ලෝක යුද්ධය සඳහා වූ තරඟයේ දී ඇංග්ලෝ-ඇමරිකානු ධනවාදයේ ක්ෂමාලාපකයන් කියා සිටියේ ගෝලීය ගැටුමේ මූලාශ‍්‍රය, ලෝකය මූලික ව බෙදී තිබෙන්නේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා “ෆැසිස්ට්වාදය” අතර බව යි. එහෙත් අද දින මෙන් ම 1930 ගනන්වල ද “ප්‍රජාතන්ත‍්‍රවාදී” හා “ආඥාදායක” යන දෙවර්ගයේ ම ආන්ඩුවලට එක හා සමාන මිලිටරිවාදී හා ආඥාදායක පිලිවෙත් අනුගමනය කිරීමට ගෝලීය අර්බුදය විසින් බලකෙරුනි.

1917 ඔක්තෝබර් විප්ලවයේ සමනායකයා හා හතරවන ජාත්‍යන්තරයේ සමාරම්භකයා වූ ලියොන් ට්‍රොට්ස්කි තරම් මෙම ක‍්‍රියාදාමය පැහැදිලි ව විස්තර කල වෙනත් අයෙක් නැති අතර ඔහු තර්ක කලේ ධනපතියන්ගේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” බොරු ගැන කම්කරුවන්ට මිථ්‍යාවන් නො තිබිය යුතු බව යි. 1939 දී ලියූ “අපගේ යුගයේ මාක්ස්වාදය (Marxism in our Time)” නමැති රචනාව තුල ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

එලඹෙමින් පවතින යුද්ධය වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ෆැසිස්ට්වාදී අදහස් අතර ගැටුමක් ලෙස ඉදිරිපත් කිරීමට දරන සියලු උත්සාහයන් වාචාලත්වයේ හෝ මුග්ධත්වයේ ක්ෂේත‍්‍රයට අයත් වේ. දේශපාලන රූපයන් වෙනස් වුවත් ධනේශ්වර බඩජාරිකම් එලෙස ම පවතී... ලෝකය අලූතෙන් බෙදාගැනීමකට වන දරුනු හා අපේක්ෂා භංග අරගලය නො වැලැක්විය හැකි ලෙස ගලා එන්නේ ධනේශ්වර පද්ධතියේ මාරාන්තික අර්බුදයෙනි.

මැක්රොන් නියෝජනය කරන මිලිටරි ප‍්‍රතිසන්නද්ධ වීමේ හා සමාජ කප්පාදු පිලිවෙතේ ඒකාබද්ධකම පරිපූර්න ව විස්තර කරන භාෂාවකින් ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලේ:

තම කලු කමිස මත බඳපටි තද කරගැනීමට ඉගන ගන්නා ලෙස මුසෝලිනි ඉතාලි කම්කරුවන්ට උපදෙස් දුන්නේ ය. එහෙත් අධිරාජ්‍යවාදී ප‍්‍රජාතන්ත‍්‍රයන් තුලත් සාරාත්මක වසයෙන් එය ම සිදුවෙමින් නො පවතී ද? සෑම තැනක ම බටර් භාවිතා කරනු ලබන්නේ තුවක්කුවලට ග‍්‍රීස් ගෑමට ය. ප‍්‍රන්සයේ, එංගලන්තයේ හා එක්සත් ජනපදයේ කම්කරුවෝ කලු කමිස රහිත ව පටි තද කරගැනීමට ඉගන ගනිමින් සිටිති. ලෝකයේ ධනවත් ම රටේ මිලියන ගනන් කම්කරුවෝ හිඟන්නන් බවට පත්ව ඇත.

තව දුරටත් ඔහු කීවේ,

කම්කරුවන්ගේ ජීවන කොන්දේසිවල අපාලිත ඛාදනය, ධනේශ්වර පාර්ලිමේන්තුවාදයේ සීමිත රාමුව තුල පවා දේශපාලන ජීවිතයට සහභාගි වීමේ අයිතිය සාමාන්‍ය මහජනයාට දීමට ධනේශ්වරයට ඇති හැකියාව වඩ වඩා අඩු කරයි. ෆැසිස්ට්වාදය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉවත් කිරීම යයි ප‍්‍රකාශ වන ක‍්‍රියාදාමය ගැන කරන වෙනත් ඕනෑ ම විග‍්‍රහයක්, රැවටීම හෝ ස්වයං-රැවටීමට අයත්, දේවල්වල ස්වභාවය පිලිබඳ විඥානවාදී මුසාකරනයකි.

එක් අර්ථයකින් “ප‍්‍රජාතන්ත‍්‍රයේ” ප‍්‍රකාශකයෙකු ලෙස බටහිර මාධ්‍ය විසින් මැක්රොන් ව සිංහාරෝපනය කිරීම නිරවද්‍ය ය. යථාර්ථයේ දී ඔහු වනාහි, බැංකු හා සංගතවල නිර්බාධිත ආධිපත්‍යය සහිත ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳී විසිරී යන යුගයේ ඒ සඳහා ප‍්‍රකාශකයාය.

ලෝකය ආඥාදායකත්ව ස්වරූප දෙකකට මුහුන දී සිටී; එනම්, එක්කෝ ධනේශ්වර ආඥාදායකත්වය, නැතහොත් ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරු පන්තිය සමාජ අවශ්‍යතාවේ පදනම මත සමාජය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා දේශපාලන බලය අල්ලාගෙන පිහිටුවන නිර්ධන පන්ති ආඥාදායකත්වය යන දෙක යි.

කප්පාදුව හා යුද්ධය දෙසට වන යුරෝපා සංගමයේ ධාවනයට විරුද්ධ ව සටන්වැදීමට තමන් සූදානම් බව කම්කරු පන්තිය පෙන්නුම් කර තිබේ. ප‍්‍රන්සයේ දුම්රිය කම්කරුවන් හා ශිෂ්‍යයන්ගේ සටන්කාමී අරගල, ජර්මනියේ කාර්මික අංශයේ හා රාජ්‍ය අංශ කම්කරුවන්ගේ වර්ජනවල පරිමානය, ග‍්‍රීසියේ කම්කරුවන්ගේ මහා වැඩ වර්ජන යලි යලිත් පුපුරා යාම, නැගෙනහිර යුරෝපයේ කම්කරු අරගල යලි ඉස්මතු වීම හා අනෙකුත් බොහෝ වර්ජන හා විරෝධතා විසින් මේ බව ප‍්‍රදර්ශනය කර ඇත.

එලඹෙන කාලපරිච්ඡේදය සලකුනු කෙරෙනු ඇත්තේ පන්ති අරගල සහ යුද්ධයට හා රාජ්‍ය මර්දනයට එරෙහි වැඩෙන විරුද්ධත්වය විසිනි. එහෙත් මේ අරගලවලට දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ. කම්කරු පන්තිය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂවලින් බිඳී යුද්ධයට හා කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ අරගලය ඒකාබද්ධ කරන්නේ නම් පමනක් ඒවාට සාර්ථක විය හැක. පාලක ප‍්‍රභූන්ගේ පිලිවෙත්වලට විරුද්ධ විය හැක්කේත් අන්ත දක්ෂිනාංශයේ නැගීම නැවැත්විය හැක්කෙත් ඒ ආකාරයෙන් පමනි.

1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් හතරවන ජාත්‍යන්තරය ගොඩනගන ලද්දේ ෆැසිස්ට්වාදය නැගෙන යුගයේ ය. විප්ලවීය නිර්ධන පන්තික සමාජවාදයේ ධජය යටතේ යුද්ධය, අසමානතාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත ප‍්‍රහාරවලට විරුද්ධ අරගලය ඉදිරියට දැමිය හැක්කේ, පරිහානිගත හා යල් පිනූ ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමේ අරගලෙයහි අත්‍යන්ත කොටසක් ලෙස ෆැසිස්ට්වාදයට ද විරුද්ධ අරගලයක් තුලිනි.

ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි පාලක ප‍්‍රභූන් ලෝකය යලි වතාවක් “දූෂිත බන්ධනාගාරයක්” බවට පරිවර්තනය කිරීමට මං සොයද්දී කම්කරුවන් හා තරුනයන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ ද ගොඩනගමින් සමාජවාදය සඳහා අරගලය සියතට ගත යුතු ය.

පීටර් ෂ්වාට්ස් සහ ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: