වතු කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා විරෝධතාවයේ යෙදෙති

එම්. දේවරාජා විසිනි, 2018 අගෝස්තු 23

වැටුප්, යහපත් සමාජ සහ සේවා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් මත ආගරපතන වෙවර්ලි වත්තේ කරුපයියා ධර්මලිංගම් සහ ග්ලාස්ගෝ වත්තේ සුප්පයියා සතියෙන්ද්රා යන කම්කරුවන් අගෝස්තු 11 වන දා සිට යෙදී සිටි උපවාසයට සහය පලකරමින් එම වතුවල කම්කරුවෝ 2000 ක් පමන 14 වෙනිදා වර්ජනයක නිරත වුහ. වර්ජක කම්කරුවන් ඩයගම-තලවකැලේ මාර්ගය අවහිර කරමින් පැයක පමන පිකට් උද්ඝෝෂනක යෙදුනි.

දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහල දැමීම, වතු සමාගම්වලට වාසිදායක වැටුප් සාමුහික ගිවිසුම අහෝසි කිරීම, තේ කම්හල් වැසීම නතර කිරීම, යහපත් සෞඛ්‍ය පහසුකම් සහ රෝගීන් ප්‍රවාහනය සඳහා ගිලන් රථයක් ඔව්හු ඉල්ලා සිටිති.

වතු කම්කරුවන්ගේ වර්තමාන මුලික දෛනික වැටුප රුපියල් 500 කි. වැසිකිලි, පිරිසිදු පානීය ජලය සහ ජීවත්වීමට සුදුසු නිවාස ඇතුලු මුලික පහසුකම් පවා වතු කම්කරුවන් බහුතරයකට නැත. හදිසි රෝගීන් ප්‍රවාහනය කෙරෙන්නේ වත්තේ ලොරි වලිනි.

2016 වසරේ වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර වැටුප් සාමුහික ගිවිසුම අත්සන් කිරීමට පෙර වතු කම්කරුවෝ රුපියල් 1000 දක්වා දෛනික වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ සඳහා කම්කරුවන් අතරින් පැන නැගුන උද්ඝෝෂන වතු සමිති නායකයන් විසින් කඩා කප්පල් කෙරුනි. කම්කරුවන්ගේ කැමැත්තට පිටින් රුපියල් 450 ක් වූ දෛනික වැටුප රුපියල් 50 ක සොච්චම් වැඩි කිරීමකට හා නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමේ දරුනු සේවා කොන්දේසි සහිත සාමුහික ගිවිසුමක් වෘත්තීය සමිති සහ සමාගම් විසින් ඔවුන් මත පටවන ලදී.

වේවර්ලි සහ ග්ලාස්ගෝ කම්කරුවන්ගේ උද්ඝෝෂනය සෙසු වතු කම්කරුවන් අතරට පැතිර යනු ඇතැයි තැති ගත් සමිති නායකයෝ වර්ජනය නතර කිරීමට වහාම මැදිහත් වුහ. කැබිනට් ඇමති පි. දිගම්බරම් සහ රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්නන් මගින් ආන්ඩුවේ සහයෝගය් ඇතිව සති දෙකක් ඇතුලත ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුමක් ලබා දෙන බවට කඳු රට පෙරමුනේ නායක ආර්. රාමරාජන් පොරොන්දු වී ඇත.

දිගම්බරම් ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) නායකයා වන අතර රාධක්‍රිෂ්නන් කඳු රට පෙරමුනේ (යුපීඑෆ්) නායකයාය. ඔවුන් කැබිනට්ටුව සහ පාර්ලිමේන්තුව තුල පෙනී සිටින්නේ කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් නොව, ධනපති පන්තියේ සහ හාම්පුතුන්ගේ උවමනාවන් වෙනුවෙනි.

එහෙයින්, වතු සහ අනෙකුත් කම්කරුවන්ගේ අරගල කඩා කප්පල් කිරීම සඳහා සමිති නායකයන් සහ ආන්ඩුව ඔවුන්ට දෙන දහසක් පොරොන්දු අතර රාමරාජන් ගේ පොරොන්දුව ද තවත් එවැනි පච පොරොන්දුවක් පමනි.

තමන් මුහුන දෙන දුෂ්කර සේවා සහ සමාජ කොන්දේසි වේවර්ලි වත්තේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට විස්තර කලහ.

“පසුගිය සාමුහික ගිවිසුමෙන් අපේ වැටුප් පහත වැටුන. සම්පූර්න දෛනික වැටුප රුපියල් 730 වුනත් අපේ අතට ලැබෙන්නේ රුපියල් 500 යි. රුපියල් 140 ක නිෂ්පාදන දිරිදීමනාව ගන්න දවසකට දළු කිල්ලෝ 18 ක් කඩන්න ඕන. ඒ ප්‍රමානය කඩන්න දලු නැහැ හැමදාම. පැමිනීමේ දීමනාව රුපියල් 60 ලැබෙන්නේ මාසයකට දවස් 21 ක් වැඩ කලොත් පමනයි. අසනීප හෝ වෙනත් අවශ්‍යතාවයක් නිසා දින ගනන සම්පූර්න කලේ නැති නම් ඒ මුදල ලැබෙන්නෙත් නැහැ. කිලෝ 16 ට අඩුවෙන් කැඩුවොත් රුපියල් 500 මුලික පඩියෙනුත් අඩු වෙනවා. දලු කිලෝවකට ගෙවන්නේ රුපියල් 28 යි. ඒ නිසා අපි දැන් තියෙන සාමුහික ගිවිසුමට විරුද්ධයි. අවම වශයෙන් අපිට රුපියල් 1000 මුලික වැටුපක් අවශ්‍යයි. හැම කෙනෙකුටම ජීවත් වෙන්න සුදුසු හොඳ නිවසක් ඕන. වෘත්තීය සමිති අපේ ප්‍රශ්න ගැන උනන්දු නැහැ. කම්කරුවෝ විදිහට අපි එකතුවෙලා අපේ ප්රශ්න වෙනුවෙන් සටන් කරන්න ඕන” ඔව්හු කීහ.

කැළණි වැලි වතු සමාගමට අයත් හැටන් දික්ඔය ටිලරි වත්තේ උඩ කොටසේ කම්කරුවෝ වතු සමාගම් විසින් ක්‍රියාවට දමා ඇති ඊනියා ආදායම් බෙදීමේ වැඩ ක්‍රමයට එරෙහිව ජූලි 27 වෙනිදා පිකට් උද්ඝෝෂනයක නිරත වුහ. ආදායම් බෙදීමේ ක්‍රමය නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම සඳහා ශ්‍රම සුරාකෑම තීව්‍ර කිරීමේ සහ වතු කම්කරුවන් අඳ ගොවියන් බවට පරිවර්තනය කරන ක්‍රමයකි.

මේ වනවිට කැළණි වතු සමාගමේ වතු කිහිපයක මෙම ක්‍රමය ක්‍රියාවට දමා ඇත. පසුගිය දෙසැම්බර් මාසයේ සිට ටිලරි වත්තේ උඩ කොටසේ කම්කරුවන් සියලු දෙනාට ම, එක් කම්කරුවෙකුට හෙක්ටයාර් භාගය බැගින් බෙදා දී ඇත. හෙක්ටයාර් භාගයක තේ පඳුරු 6,000 ක් පමන තිබේ. දළු නෙලීම, තේ පඳුරු කප්පාදු කිරීම, පැරනි ගස් ගැලවීම, පොහොර සහ කෘෂිරසායන යෙදීම් ඇතුළු සියලු නඩත්තු කටයුතු කම්කරුවන් විසින් කල යුතුය.

වත්තේ උඩ සහ පහල කොටසේ කම්කරුවෝ 300 ක් පමන සිටිති. මෙම ක්‍රමය පහල කොටසේ ක්‍රියාවට දැමීමට විරුද්ධව එහි කම්කරුවෝ මාර්තු මාසයේ 14 වෙනිදා වත්තේ කම්හල ඉදිරිපිට පිකට් උද්ඝෝසනයක යෙදුනහ. එහෙත්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායකයන් හා වතු සමාගම හැටන් සහකාර කම්කරු කොමසාරිස් සමග කල සාකච්චාවකින් අනතුරුව කම්කරුවන්ගේ විරෝධය යටපත් කර අප්‍රේල් මාසයේ සිට පහල කොටසේ ද එය ක්‍රියාවට දැමීය.

කම්කරුවන් ඔවුන්ගේ කොටසින් නෙලන දලුවල මිල නියම කරන්නේ වතු පාලකයන් විසිනි. කම්කරුවන් නොමග යවා නව ක්‍රමයට යටත් කිරීම සඳහා මුල දී දළු කිලෝවකට රුපියල් 80 ක් ගෙවා ඇත. පසුව එය 65 කප්පාදු කල අතර දැන් ගෙවන්නේ රුපියල් 45 කි. පොහොර, කෘෂිරසායන ආදිය සඳහා වියදම් අඩුකල විට කම්කරුවන් ගේ අතට ලැබෙන්නේ සොච්චම් මුදලකි. කම්කරුවන් මෙම ක්‍රමයට යටත් කර තබා ගැනීම සඳහා අල්ලසක් ලෙස වත්තේ සමිති නායකයන්ට හෙක්ටයාර් එක බැගින් දී ඇත.

සමිති සහ වතු පාලකයන් එකට එකතු වී තමන් ව රවටන බව ටිලරි වත්තේ කම්කරුවෝ කීහ. “ඔවුන් අපට කිව්වා මේ ක්‍රමය යටතේ අපේ ආදායම වැඩි වෙනවා කියල. නමුත් මාස නවයක අපේ අත්දැකීම අනුව මෙය අපට වින කටින ක්‍රමයක්. කලින් අපි භුක්ති විඳපු සුලු සමාජ සහන පවා මේකෙන් අපට අහිමි වෙලා. සමහර කම්කරුවන් රුපියල් 25,000 ක් විතර නයවෙලා. ඒ නිසා අපි මේ ක්‍රමයට තදින් ම විරුද්ධයි. පරන වැටුප් ක්‍රමය අපිට දෙන්න කියල අපි ඉල්ලනේ.”

කම්කරුවන්ගේ විරුද්ධත්වය සමනය කිරීම සඳහා පැරනි දෛනික වැටුප් ක්‍රමයට වැඩ කිරීමට හෙක්ටයාර් 30 ක් කම්කරුවන් 55 ට වතු පාලකයන් විසින් තාවකාලිකව පවරනු ලැබී ය. එහෙත් ටික දිනකට පසු පොලිසිය ගෙන්වා පවරා දී ඇති ඉඩම් කොටසේ වැඩ කරන ලෙස කම්කරුවන්ට තර්ජනය කර වැටුප් අත්තිකාරම් ගෙවීම ද අත් හිටුවා ඇත. එහෙත් කම්කරුවන්ගෙන් වැඩි කොටසක් එය ප්‍රතික්ෂේප කල අතර සුලු කොටසක් ඔවුන්ට බෙදා දී ඇති ඉඩම් කොටසේ වැඩ කරයි.

නව ක්‍රමය නිසා තමන් ඉතා දුෂ්කර තත්වයකට පත් වී සිටින බව කම්කරු කාන්තාවක් පැවසුවාය. “දවස් පඩියට වැඩ කරන කොට නියමිත දවසක අත්තිකාරම් මුදල් සහ පඩිය ලැබෙන නිසා අපට නයට මුදලක් අහල පහල අයගෙන් ගන්න පුලුවන්කම තිබුනා. අලුත් ක්‍රමයට පඩි ලැබෙන නිශ්චිත දිනයක් නැති නිසා දැන් එහෙම කරන්නත් අමාරුයි. අත්තිකාරම් මුදල් 25 වෙනිදා දුන් නැති නිසා අතේ සල්ලි නැහැ. ඒක නිසා අද අපේ ලමයි දෙන්න ඉස්කෝලේ ගියේ නැහැ.. වත්තේ මහත්තයල ඒ ගොල්ලන්ට කැමති විදිහට දලු වල මිල නියම කරන්නේ. අපෙන් සල්ලි අඩු කරන්නෙත් ඒ අය තීන්දු කරන විදිහට” ඇය කීවා ය.

තේ පඳුරු කප්පාදු කිරීමෙන් පසු අවම වශයෙන් මාස තුනක් ගත වන තුරු දලු නෙලිය නොහැකිය. ඒ මාස තුනට පොලියට රුපියල් 25,000 ක් වතු පාලකයෝ කම්කරුවන්ට දෙති. ලැබෙන ආදායමෙන් එය අඩු කල විට කම්කරුවන්ට ජීවත්වීමට තරම් මුදලක් අතට නොලැබෙයි. ඒ නිසා ඔව්හු නය කරුවෝ බවට පත් වෙති.

ආගරපතන සහ දික්ඔය උද්ඝෝෂන, දුෂ්කර සේවා කොන්දේසි සහ ජීවත්වීමට සරිලන ආදායමක් නොලැබෙන තතු තුල වතු කම්කරුවන් අතර යලිත් පුලුල්ව වර්ධනය වෙමින් පවතින විරුද්ධත්වයක ප්‍රකාශනයකි. වතු සමාගම් මෙන් ම, සමිති නායකයන් ඒ ගැන දැනුවත් ය. සාමුහික ගිවිසුම අලුත් කිරීමේ දී කිසිදු වැටුප් ඉල්ලීමක් මෙවර ඉදිරිපත් නොකිරීමට සමිති නිලධරය තීන්දු කර ඇත්තේ එම නිසාය. වැටුප් ඉල්ලීමක් ඉදිරිපත් කලොත් ඉන් කම්කරුවන් අතර තමන්ට පාලනය කල නොහැකි මට්ටමේ වැටුප් අරගලයක් ඇවිලෙනු ඇති බව සමිති නායකයෝ දනිති.

ඒ වෙනුවට වැටුප් කප්පාදුවක් සහ ඔවුන්ගේ වෛරයට ලක් වී ඇති ආදායම් බෙදීමේ ක්‍රමය මුලුමනින් ම කම්කරුවන් මත පැටවීමේ රහසිගත සාකච්චාවල වෘත්තීය සමිති සහ සමාගම් යෙදී ගෙන සිටිති.

Share this article: