“බුදුු දහමට අපහාස වෙතැ” යි යන චෝදනාව යටතේ ආන්ඩුව ගුවන් විදුලි නාට්‍ය මාලාවක් වාරනය කරයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 අගෝස්තු 27

ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමේ කාර්යාලය මගින් නිශ්පාදනය කොට විකාශය කිරීමට නියමිතව තිබූ ගුවන් විදුලි නාට්‍ය මාලාවක්, “බුදු දහමට අපහාස වෙතැ” යි යන චෝදනාව යටතේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය විසින් වාරනය කොට ඇත. උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් තමා යටතේ පවත්නා මෙම මන්ඩලයට උක්ත වාරනය පනවන ලෙස නියෝග කොට ඇති බවට වාර්තා වේ.

මාලක දේවප්‍රිය විසින් නිර්මානය කරන ලද මෙම නාට්‍ය මාලාව “කනට පහරක්” යනුවෙන් නම්කොට ඇති අතර එය සිංහල නාට්‍ය දහයකින් සහ දෙමල නාට්‍ය දෙකකින් සමන්විත වෙයි.

ආන්ඩුවේ මෙම වාරනය කලාවේ නිදහසට සහ භාෂනයේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට එල්ල කරන ලද බලගතු ප්‍රහාරයකි. එමෙන්ම එය බෞද්ධාගමට සහ බෞද්ධ ධුරාවලියට රාජ්‍යය තවදුරටත් යටත් කිරීමේ දක්ෂිනාංශික පියවරකි.

අගෝස්තු 19 වන දා, කොලඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ පැවති උත්සවයක් ආමන්ත්‍රනය කරමින් ඕමල්පේ සෝභිත නම් වූ බෞද්ධ අන්තවාදී භික්ෂුව විසින් නාට්‍ය මාලාවට එරෙහි උද්ඝෝෂනය ඇරැඹීය. ඔහු මෙසේ පැවසීය: “මේ නාට්‍ය දැන් සූදානම් කර තිබෙන්නේ රජයේ ගුවන් විදුලි මගින් ප්‍රචාරය කරන්න. නමුත් මේ තුලින් බෞද්ධාගම අපහාසයට ලක් කරලා. මේ නාට්‍යවල නම් වලින් එකක් තමයි ‘තරුවන් සරනයි’. තෙරුවන් සරනයි යන්න උපහාසයට ලක් කරලා. අනික් නම් අතර ‘නිපොන් සුව ලැබේවා’. නිවන් සුව ලැබේවා යන්න උපහාසයට ලක් කරලා. ....තවත් නාට්‍යයක නම ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’. මෙය රජයේ මාධ්‍ය උපයෝගි කරගෙන බෞද්ධයන්ට පහරදීමේ ව්‍යාපාරයක්.”

සෝභිත ඇතුලු අන්තවාදීන් එහි නම්වල ඇති පාලි වචන වල අයිතිය බුද්ධාගමට පවරා ගනිමින් කරන මෙම චෝදනාවේ විකාරරූපීභාවයමත් බෞද්ධ ස්වෝත්තමවාදයේ ආන්තික නරුමත්වයේ ප්‍රකාශනයකි.

ඕමල්පේ සෝභිත යනු සිංහල-බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීම අරමුනුකොටගත් ජාතික හෙල උරුමයේ (ජාහෙඋ) නායකත්වය දරමින් එය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දෙමල පීඩිත ජනතාවට එරෙහිව කොලඹ සිංහල පාලක පන්තිය විසින් දශක තුනක් ඔස්සේ ගෙනගිය වර්ගවාදී යුද්ධය මධ්‍යයේ එම පාලක පන්තියේ අනුග්‍රහයෙන් උපත ලද ප්‍රධාන සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලන සංවිධානයක් වන ජාහෙඋ න් සෝභිත ඉවත් වූයේ එය උක්ත අරමුන කරා යන ගමන පිලිබඳව සෑහීමට පත්විය නොහැකි බවට චෝදනා කරමිනි.

19 වන දා සෝභිත කල කතාවෙන් පසු බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය ද උක්ත නාට්‍ය මාලාවට එරෙහිව පොලීසියට පැමිනිලි කොට ඇත.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී උද්ඝෝෂනයට එකතු වී සිටී. ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමේ කාර්යාලයේ ප්‍රධානත්වය උසුලන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ට චෝදනා කරමින් ඔහු මාධ්‍යයට මෙසේ පවසා ඇත: “බුද්ධාගමට දැඩිව කැපවුනු සිරිමාවෝ බන්ඩාරනාක වැනි කාන්තාවකගේ දියනියක් මෙවන් දෑ වලට සම්බන්ධවීම පිලිබඳව ජනතාව කනගාටු වෙනවා.”

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ නිමක් නැති ප්‍රහාර හමුවේ වේගයෙන් වැඩෙන මහජන විරෝධය ගසා කමින් යලි බලයට පැමිනීමට වෙර දරන රාජපක්ෂ තම සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට නාට්‍ය සිද්ධිය වහා ඩැහැගෙන ඇත.

අනෙක් අතට, දෙමල කතා කරන ජන වර්ගයට එරෙහිව ප්‍රජාතන්ත්‍ර-විරෝධීව ඇටවුනු ශ්‍රී ලංකාව නම් වූ “ඒකීය රාජ්‍යය” මුලුමනින්ම පිලිගනිමින් ඒ යටතේ “ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීම” සඳහා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් පිහිටුවන ලද උක්ත කාර්යාලයමත් ව්‍යාජයකි. එමගින්, කවර හෝ ජාතික සමගියක් හෝ සංහිඳියාවක් ඇති නොකෙරෙන අතර, එය දෙමල කතා කරන පීඩිතයන්ගේ ඇස් වලට වැලි ගසා, සිංහල සහ දෙමල ධනපතියන් අතර යම් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේම කොටසකි.

නාට්‍ය මාලාවේ වාරනය පිලිබඳව “යලි සිතා බලන” ලෙස මුදල් ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුව තුල කල කතාව මෙම ධනපති “සංහිඳියා” අවශ්‍යතාවේ සහ භාෂනයේ නිදහස ආරක්ෂා කරන බවට ආන්ඩුව ගෙනයන මවාපෑම්වල ප්‍රකාශනයකි.

කෙසේ නමුදු, එවන් “සංහිඳියාවක්” හරහා දෙමල ධනපතියන්ට යම් හෝ වරප්‍රසාදයන් හිමිවෙතැයි යන උත්සුකයෙන් පෙලෙන සිංහල ධනපති කොටස්වල විරෝධයද, ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමේ කාර්යාලය සහ එමගින් නිශ්පාදිත නාට්‍ය මාලාවට එරෙහි උද්ඝෝෂනය පිටුපස පවතී.

තම ප්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් වැඩෙන පන්ති අරගල මැඩීම සඳහා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් ගමන් කරමින් සිටින අතර එහි අත්‍යන්ත අංගයක් ලෙසින් භාෂනයේ නිදහස වඩවඩාත් අවුරමින් සිටී. ආන්ඩුවේ ඊනියා මාධ්‍ය නිදහස පිලිබඳ කයිවාරුවට විපරීතව, ජාත්‍යන්තර පරිමානව සිදු කෙරෙන අන්තර්ජාල වාරන අනුයමින් ශ්‍රී ලංකාව තුල සමාජ ජාල වාරනය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීප වරක්ම අනතුරු අඟවා ඇත්තේ මෙම පසුබිම තුලයි.

පසුගිය දා “මම කෙලින් මිනිහෙක්” නම් වූ වේදිකා නාට්‍යය වාරනය කොට පසුව එය “වැඩිහිටියන්ට පමනයි” ලේබලය යටතේ පමනක් ප්‍රදර්ශනය කිරීමට නියම කිරීම ද, “බුදුන්ගේ රස්තියාදුව” නම් ග්‍රන්ථය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පොලිස්පතිට යොමු කරන ලද ලිපිය ද මෙම ප්‍රහාරයේම කොටස් ය.

“බුදුන්ගේ රස්තියාදුව” කෘතියේ කර්තෘවරයා වන කේ.කේ.ඒ. ශ්‍රීනාත් චතුරංග නැමැති ලේඛකයාට, මුද්‍රනකරුවන්ට, ප්‍රකාශකයන්ට, බෙදාහරින්නන්ට සහ අලෙවි කරන්නන්ට දන්ඩ නීතී සංග්‍රහයේ 290, 290 ඒ සහ 291-ඕ වගන්තිය යටතේ සාපරාධී වරදක් සිදු කර ඇති බැවින් කඩිනමින් නඩු පවරා දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එම ලිපියෙන් ඉල්ලා තිබේ.

වැඩෙන පන්ති අරගල මධ්‍යයේ කම්කරු පන්තිය බෙදීම සඳහා, කොලඹ පාලක පන්තිය ආරම්භයේ සිටම භාවිතා කල සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය යලි තීව්‍ර කිරීම ද, ඒ සඳහා බෞද්ධ ධුරාවලිය යේ සහයෝගය ලබා ගැනීමද ආන්ඩුවට අත්‍යවශ්‍ය ය. නාට්‍ය මාලාවට එරෙහි උද්ඝෝෂනය අනුයමින් ආන්ඩුව විසින් තමාගේම ව්‍යාපෘතියක් වාරනය කිරීම පිටුපසින් පවත්නේ මෙම අවශ්‍යතාවය යි.

ප්‍රවීන කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරිකයන් රැසක් මෙම වාරනයට එරෙහිව තම විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇතත්, වාරනය තුල පවත්නා ඉහත දේශපාලන අන්තර්ගතය වටහා ගැනීමකින් තොරව කලාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සටනක් ගෙන යා නොහැක.

වඩාත්ම විසකුරු වන්නේ මෙම දේශපාලන අන්තර්ගතය වසන් කිරීම සඳහා ව්‍යාජ-වාම සංවිධාන විසින් දැනුවත්ව ගෙනයන වැඩපිලිවෙලයි. පසුගිය දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ විසින් ඉහත කලා වාරනයන් සම්බන්ධයෙන් මාධ්‍ය අමතා කල කතාව මෙහි ආන්තික ප්‍රකාශනයකි.

ජයගොඩ තම කතාව තුල, කලාවේ ස්වාධීනත්වයට එරෙහිව රාජ්‍යයේ හෝ අන්‍ය පාර්ශ්වයන්හි ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැදිහත්වීම් වලට අවකාශ සම්පාදනය කරමින් මෙසේ පවසයි: “අපි අහපු එකට දෙකට අනුවනම් ඒ නාට්‍යවල අන්තර්ගතයෙ කිසි ප්‍රශ්නයක් නෑ. කිසිම ආගමකට, කිසිම ජාතියකට, කිසිම භාෂාවකට, කිසිම සංස්කෘතියකට ඒ නාට්‍ය වලින් අපහාසයක් වෙන්නෙ නෑ.” එසේ “අපහාසයක් වේ නම්” එයට එරෙහිව මැදිහත් වීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය ඇතුලු අන්‍ය පාර්ශ්වයන්ට අයිතිය ඇතිබව එහි ඇඟවුමයි.

ජයගොඩගේ මෙම ප්‍රකාශයන් හි කලා-විරෝධී ස්වභාවය ශ්‍රේෂ්ඨ කලාකරුවන් දෙදෙනෙකු විසින් කරන ලද ඓතිහාසික කැඳවුමකින් ප්‍රකාශයට පත්වෙයි. “තේමාවන් තෝරා ගැනීමේ නිදහසත් සකලවිධ සීමා බන්ධනයන්ගෙන් තොරව ඒවා පරිහරනයෙන් නිර්මාන බිහි කිරීමත් වනාහි කිසිවෙකුටත් පැහැරගත නොහැකි තමාගේ නිර්මාන උරුමයක් යැයි කියා සිටීමට කලාකරුවාට අයිතිවාසිකම් ඇත. කලා නිර්මාන ක්ෂේත්‍රයේදී පරිකල්පනය සියලු ආකාරයේ අන පැනවීම් වලින් නිදහස්ව පැවතිය යුතු අතර කවර ව්‍යාජ හේතුවක් නිසා හෝ කිසිම බන්ධනයකට හිර නොවිය යුතුය. අද හෝ අනාගතයේදී හෝ කලාව විනයකට යටත් විය යුතුය යන අදහසට එකඟ වන්නැයි අපට බල කරන උදවියට එවැනි විනයකට යටත්වීම කලාවේ ස්වභාවයට මූලික වශයෙන්ම පටහැනි යැයි විශ්වාස කරන අපි ඒ බල කිරීම ගොඩින්ම ප්‍රතික්ෂේප කර දමා කලාවට පූර්න නිදහස යන මේ සූත්‍රය ආරක්ෂා කිරීම සඳහා අප ඕනෑකමින්ම ඇති කර ගෙන ඇති අභිප්‍රාය යලිත් ප්‍රකාශ කොට සිටිමු.” (ආන්දේ‍ර බ්‍රෙතෝන් සහ දියේගෝ රිවේරා - ස්වාධීන විප්ලවවාදී කලාවක් කරා)

ඉන් අනතුරුව විජේදාස රාජපක්ෂගේ දුෂ්ටත්වයේ ප්‍රතිඵලයක් ලෙසට ජයගොඩ මෙම වාරනය ඌනනය කරයි. “මේ පැහැදිලි මර්දනයක් යන්නෙ. විජේදාස රාජපක්ෂගෙ රැඟුම් පාලක මන්ඩලය භාර අමාත්‍යවරයා. මේක ඉතාම පැහැදිලියි විජේදාස රාජපක්ෂ මැදිහත්වෙලා මේ මර්දනය ගේන්නෙ. දැන් (රාජපක්ෂ) කියනවනෙ ඔක්කොම නැති කරනව කියල. නැති කරනව කියන්නෙ පෙරටුගාමින් විතරක් නෙවෙයි. නාට්‍ය කලාව, සිනමාව ඒකත් නැති කරන්න යනව.”

ලෝක ධනේශ්වර ක්‍රමය මුහුන දී සිටින ගැඹුරුතර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ලොවපුරා ආන්ඩු විසින් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට එල්ල කරමින් පවත්නා දැවැන්ත ප්‍රහාරයේ කොටසක් ලෙස කලාව ඇතුලු සංස්කෘතික ක්ෂේත්‍රයන්ට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වසන් කරන ජයගොඩ, වාරනය ඇතුලු ප්‍රහාර පරාජය කිරීම සඳහා “අලුත් පාරක් සහ අලුත් දේශපාලනයක්” අවශ්‍ය බව ප්‍රකාශ කරමින් තම කතාව අවසන් කරයි. මෙම “අලුත් දේශපාලනය” යනු ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමේ විරෝධතා දේශපාලනය හැර අන් කිසිවක් නොවේ.

පෙසපෙ හි මෙම ඊනියා අලුත් දේශපාලනයට විපරීතව, අනෙකුත් සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මෙන්ම කලාවේ ස්වාධීනත්වය රැකගත හැක්කේ ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනේශ්වර පද්ධතියට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ දේශපාලන අරගලයක් මගින් පමනි.

Share this article: