ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ තැන් පටන් හැත්තෑ අට වසරක්

Seventy-eight years since the assassination of Leon Trotsky

2018 අගෝස්තු 21

වසර හැත්තෑ අටකට පෙර එනම් 1940 අගෝස්තු 21දා ලියොන් ට්‍රොට්ස්කි, ඊට පෙර දින ජීපීයූ නම් සෝවියට් ස්ටැලින්වාදී රහස් පොලිසියේ ඒජන්තයෙක් වූ රේමන් මර්කාඩර් ඩෙල් රියෝ විසින් සිදුකරන ලද තුවාල හේතුකරගෙන මෙක්සිකෝ නඟරයේදී අභාවයට පත් විය.

රුසියානු විප්ලවයේ ලෙනින් හා සම නායකයා ද රතු හමුදාවේ ආඥාපති ද හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ වූ ද ට්‍රොට්ස්කි ඝාතනය, බිහිසුනු දේශපාලන අපරාධයක් විය. 1933දී ජර්මනියේ ෆැසිස්ට්වාදය බලයට පත්වීම ද 1936-39 අතර ස්පාඤ්ඤ විප්ලවයේ පරාජය ද 1939 දෙවන ලෝක යුද්ධය පුපුරා යාම ද ඇතුලු ප්‍රතිවිප්ලවයේ ප්‍රචන්ඩ රැල්ලේ උච්ඡතම අවස්ථාව එය විය.

සෝවියට් සංඟමය තුලදී, රුසියානු විප්ලවයේ ප්‍රමුඛ නායකයින් සියල්ලම පාහේ ඇතුලත්, කම්කරුවන්ට හා මාක්ස්වාදී සම්ප්‍රධායෙන් පුහුනුවූ බුද්ධිමතුන්ට එරෙහිව ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් දේශපාලන සමූලෝත්පාටන ව්‍යාපාරයක් ගෙනයන ලදී. 1936-39 මහා භීෂනයේදී ලක්ෂ අටකට වැඩි මිනිසුන් ඝාතනය කරන ලදී. ට්‍රොට්ස්කි විසින් 1937දී ලියන ලද “ස්ටැලින්වාදය හා බොල්ෂෙවික්වාදය” යන ලිපියේ මෙසේ සඳහන් විය. “බොල්ෂෙවික්වාදය හා ස්ටැලින්වාදය අතර වර්තමානයේදී සිදුවන විරේක කිරීම, හුදෙක් ලේ වලින් සලකුනු කෙරෙන රේඛාවක් නොව, සම්පූර්න ලේ ගංඟාවකි.”

ට්‍රොට්ස්කි, සෝවියට් සංඟමයේ නිලධාරිවාදී හා ජාතිකවාදී පරිහානියට එරෙහි දේශපාලන ව්‍යාපාරයට නායක්තවය දුන්නේය. ස්ටැලින්ට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලය, නිමක් නැති ඉතිහාසඥයින් විසින් සාවද්‍ය ලෙස තර්ක කරනු ලැබ ඇති පරිදි අභිප්‍රේරනය වුනේ, පෞද්ගලික බලය සඳහා වූ ආත්මීය අභිලාෂයකින් නොවේ. එම අරගලය, එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන ඉදිරිදර්ශන දෙකක් පිලිබිඹු කලේය.

1924 ලෙනින්ගේ මරනයෙන් දිරිමත්වූ, සෝවියට් සංඟමය තුල ස්ටැලින්ගේ පැලපදියම්වීම, ආර්ථික වශයෙන් පසුගාමී හා ජාත්‍යන්තරව හුදෙකලාවූ කම්කරු රාජ්‍යයක රාමුව තුල මතුව ආ ජාතිකවාදී හා කොන්සවේටිව් නිලධාරි කුලයක් විසින් බලය අත්කරගැනීමක් විය. ප්‍රථම වතාවට 1924දී යෝජනා කරන ලද “තනි රටක සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදී න්‍යාය, රුසියානු විප්ලවයේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කිරීමක් ද ලෝක විප්ලවය, සෝවියට් සංඟමය තුල නිලධාරි තන්ත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් යටත් කිරීම සුජාත කිරීමක් ද විය.

ට්‍රොට්ස්කි 1923දී ඇරඹූ වාම විපාර්ශවයට හා 1938දී පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරයට මඟපෙන්වන ලද්දේ නොනවතින විප්ලවයේ න්‍යායෙනි. එය රුසියානු විප්ලවයේම න්‍යායික පදනම ද විය. ට්‍රොට්ස්කි අවධාරනය කලේ, අව්‍යාජ සමාජවාදී සමාජයක් පිහිටුවීම, තනි රටක් තුල කල නොහැකි බවයි. ජාතික ධනපති ආන්ඩුවක් පෙරලා දැමීමෙන් කල හැකි වන්නේ, සමාජවාදය කරා සංක්‍රමනය වීම ආරම්භ කිරීමට පමනි. මෙම ඓතිහාසික නියාමය, ආර්ථික වශයෙන් පසුගාමී රටකට කොහොමටත් මඟහැර යා නොහැකිය. සෝවියට් සංඟමය තුල සමාජවාදය සාක්ෂාත් කිරීමට බටහිර යුරෝපයේ ද උතුරු ඇමරිකාවේ ද දියුනු ධනපති රටවල කම්කරු පන්තිය විසින් ධනවාදය පෙරලා දැමීම අවශ්‍ය වන්නේය.

මෙක්සිකෝ නගරයේ ජීවත්වූ ට්‍රොට්ස්කි, සිය ජීවිතය අනවරත තර්ජනයකට මුහුනපා ඇති බව වටහාගෙන සිටියේය. උතුරු ඇමරිකානු රාජ්‍යය තුල සරන ලැබීමට ඔහුට සිදුවුනේ, 1927 නොවැම්බරයේදී ඔහු රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපීම ද 1928 ජනවාරියේ අල්මා අටාවට පිටුවහල් කිරීම ද 1929දී සෝවියට් සංඟමයෙන්ම පලවා හැරීම ද තුර්කියේ සිට ප්‍රන්සයටත් එතැනින් නෝර්වේ රටටත් 1937දී අවසන් වතාවට ඔහුගේ නිවහන වූ මෙක්සිකෝවට සංක්‍රමනය වීමටත් සිදුවීමෙනි.

1940 වන විට ස්ටැලින්, හතරවන ජාත්‍යන්තරයේ ප්‍රමුඛ නියෝජිතයින් බොහෝ දෙනෙක් ඝාතනය කර තිබුනි. ඒ අතර, 1937දී ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම් වූ අර්වින් වුල්ෆ්, 1937 සැප්තැම්බරයේ දී, ජීපීයුවෙන් පලා ආ හා හතරවන ජාත්‍යන්තරයේ ආධාරකරුවෙකු වූ ඉග්නාස් රීස්, 1938 පෙබරවාරියේ දී ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩෙව්, 1938 ජූලියේදී, ආරම්භක සම්මේලනය එලඹෙමින් තිබියදී හතරවන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් ද විය.

1940 මැයි 24දා, අමු ස්ටැලින්වාදී සිත්තරෙකුවූ ඬේවිඞ් සික්විරොස් විසින් මෙහෙයන ලද ඝාතක කල්ලියක්, ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳවූ නටාලියා සෙඩෝවා නිඳා සිටි නිඳන කාමරයට මැෂින් තුවක්කු වලින් වෙඩි වරුසාවක් තබමින් ට්‍රොට්ස්කිගේ නිවසට ප්‍රහාරයක් එල්ල කලේය. දෙදෙනාගේම දිවි ගැලවුන නමුත් ට්‍රොට්ස්කි, එය අවසාන උත්සාහය නොවනු ඇති බව දැන සිටියේය. ප්‍රහාරයෙන් පසුව ඔහු මෙසේ ලියා ඇත. “මා මේ ලෝකයේ ජීවත් වන්නේ නීතියට අනුකූලව නොව නීතියේ ව්‍යභිචාරයක් ලෙසය. අපගේ වැනි ප්‍රතිගාමී අවධියකදී විප්ලවවාදියෙකුට රල පහරට විරුද්ධ දිසාවට පිහිනීමට බල කෙරේ.”

ඉන් පසුව ලෝකයාගේම අවධානය දෙවන ලෝක යුද්ධය වෙත යොමුව තිබියදී අගෝස්තු 20දා, එවකට ජීවත්වුන ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදියාට හා ලෝක විප්ලවයේ මූලෝපායඥයාට ස්ටැලින්ගේ ඝාතකයා විසින් මරු පහර එල්ල කරන ලදී.

ට්‍රොට්ස්කි ඝාතනයේ ඛේදජනක හා දුරදිග යන ප්‍රතිවිපාක තිබියදීම, 1975 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද, ආරක්ෂාව හා හතරවන ජාත්‍යාන්තරය යන ජාත්‍යන්තර පරීක්ෂනය තෙක්ම අපරාධ්‍ය පිලිබඳ බැරෑරුම් පරීක්ෂනයක් සිදු නොවීය.

ට්‍රොට්ස්කි හා ඔහුගේ ආධාරකරුවන් ඝාතනය කිරීම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිදි ඔත්තුකරුවන් හා ඝාතකයින්ගේ ගෝලීය ජාලයක් තුලින් සැලසුම් කරන ලද්දක් බව සනාථ කරන හෙලිදරව්වන් මාලාවක්, ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය යන එම පරීක්ෂනය මඟින් සම්පාදනය කරන ලදී. මොවුන් අතර මාක් ස්බොරොව්ස්කි, රොබට් ෂෙල්ඩන් හාටි, ෆ්ලොයිඞ් ක්ලීව්ලන්ඞ් මිලර්, සිල්වියා කැලන් හා ජෝසෆ් හැන්සන් ද විය.

කැලන් සමාජවාදී කම්කරු පක්ෂ නායක ජේම්ස් පී. කැනන්ගේ පෞද්ගලික ලේකම් වරිය විය. එම තනතුර යොදාගනිමින් ඇය, ට්‍රොට්ස්කිගේ කටයුතු පිලිබඳව ජීපීයූවට තීරනාත්මක වැදගත් කමකින් යුත් තොරතුරු සම්පාදනය කලාය. (බලන්න: An “Exemplary Comrade”: The Socialist Workers Party’s 40-year-long cover-up of Stalinist spy Sylvia Callen මෙක්සිකෝ නඟරයෙහි සිටි ට්‍රොට්ස්කිගේ ලේකම්වරයෙක් වූ හැන්සන්ගේ තනතුර මඟින් ඔහුට, ට්‍රොට්ස්කිගේ ජීවිතයට හානි කිරීමේ කුමන්ත්‍රනය සඳහා පහසුකම් සැලසූ තීරනාත්මක වැදගත් කමකින් යුත් තීරන ගැනීමට අවස්ථාව සැලසුනි.

මෙම අපරාධය පරීක්ෂාකර බැලීමට අසමත් වීම, එම පරීක්ෂනය මඟින් සොයාබැලූ අය වසං කිරීමට පමනක් නොව, ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයේ ස්වභාවය පිලිබඳ වැටහීමට වලකැපීමට ද එකසේ බලපා ඇත. සියල්ලටත් වඩා වසං කිරීම, දේශපාලන අවශ්‍යතා වලින් අභිප්‍රේරනය විය. 1953දී හතරවන ජාත්‍යන්තරය, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැනඩෙල් විසින් නායකත්වය දරන ලද ස්ටැලින්වාදී ගැති කන්ඩායම විසින් භේද භින්න කරන ලදී. ඒවන විටත් තමන් ට්‍රොට්ස්කිවාදීන් යයි කියාගන්නා අතර පැබ්ලෝවාදීහු, ස්ටැලින්වාදී නිලධරය, පීඩනය යටතේ, විප්ලවවාදී ප්‍රතිපත්ති පෙරට ගෙන යාම සඳහා ඒත්තුගැන්වීමට හැකිය යන සංශෝධනවාදී න්‍යාය ප්‍රචාරය කලහ.

ස්ටැලින්වාදය වෙත මෙම දේශපාලන දිශානුගතවීම, එහි අපරාධ හෙලිදරව් කිරීමේ ඕනෑම ව්‍යායාමයකට දැක්වූ මාරක සතුරකම සමඟ අත්වැල් බැඳගත්තේය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පරීක්ෂනය, හතරවන ජාත්‍යන්තරය විනිවිදි ජීපීයූ ඒජන්තයින්ගේ ජාලයක් හෙලිදරව් කරද්දී ද හැන්සන් විසින් ජීපීයූව හා එෆ්බීඅයි සංවිධානය සමඟ කලින් නොදැනසිටි සම්බන්ධකම් පවත්වාගෙන යන ලදැයි අනාවරනය කල සාක්ෂි ඉදිරිපත් කරද්දී ද පැබ්ලෝවාදීන් ඊට ප්‍රතිචාර දැක්වූයේ, ජාත්‍යන්තර මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කරමිනි. ඔවුන් හතරවන ජාත්‍යන්තයේ ජාත්‍යන්තර කමිටුව විසින් සම තත්වයේ කමිටුවක් පත් කිරීමට කරන ලද කැඳවුම එක හෙලා ප්‍රතික්ෂේප කරන ලදී. ජාත්‍යන්තර කමිටුව විසින් සොයාගන්නා ලද සාක්ෂි පරීක්ෂා කර බැලීමට අදහස් කරන ලද එයට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ හා ජාත්‍යන්තර පැබ්ලෝවාදී සංවිධානයේ නියෝජිතයින් සමාන ගනනක් ඇතුලත් විය යුතුයයි යෝජනා කෙරී තිබුනි.

1977 ජනවාරි 14දා පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඬලය, ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය පරීක්ෂනයත්, එවකට ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛවේ නායකයා වූ ජෙරී හීලි හෙලා දැක්මටත් ප්‍රසිද්ධ රැස්වීමක් සංවිධානය කලේය. දෙපැයක් තිස්සේ අර්නස්ට් මැන්ඩෙල්, ජෝර්ජ් නොවැක්, පියරි ලැම්බර්ට් හා තරික් අලි වැනි ප්‍රමුඛ පැබ්ලෝවාදීන් ද ඔවුන්ගේ සහචරයින් ද වේදිකාවේ සිට ආක්‍රෝෂ පරිභව කලේය. එහෙත් ඒ කිසිවෙකුත් ජාත්‍යන්තර කමිටුව විසින් ප්‍රකාශයට පත් කල සාක්ෂි ගැන සඳහන් නොකලහ.

බැනඅඬගැසීමේ ප්‍රධාන ඉලක්කය වූ ජෙරී හීලි, හෙලාදැකීම් වලට පිලිතුරු දීමට හා හජාජාක විසින් කැඳවුම් කරන ලද සම තත්වයේ කමිටුවක් යලි යෝජනා කිරීමට ශ්‍රාවකයින් අතරින් නැඟී සිටිය කල මුලසුනේ සිටි තරික් අලි ඔහුගේ කථාව වලක්වා ඔහු පිටමං කිරීමට පියවර ගත්තේය. තරික් අලි, මිකායෙල් ගොර්බචෙව් හා බොරිස් යෙල්සින් උද්‍යෝගිමත් ලෙස වර්නනා කල අයෙක් බවට පත්වෙමින්, දශක ගනනාවකට පෙර ට්‍රොට්ස්කිවාදය සමඟ පැවැත්වූ මොනම සම්බන්ධයක් හෝ ප්‍රතික්ෂේප කල බව සැලකිල්ලට ගත් මනාය.

ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය පිලිබඳ පරීක්ෂයෙන් අනාවරනය කරගත් සියලු සාක්ෂි මුලුමනින්ම සනාථවී තිබේ. එහෙත් අද දින දක්වාම පැබ්ලෝවාදී පක්ෂවල සුන්බුන් හා ඒවායේ නායකයින්, ජාත්‍යන්තර කමිටුවට එල්ල කල ප්‍රහාරය මඬගැසීමක් බව කිසිවිටෙකත් පිලිගෙන නැත.

ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය පිලිබඳ පරීක්ෂනය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හුදෙක්, රාජ්‍ය ඒජන්තයින් හෙලිදරව් කිරීම පිලිබඳ ප්‍රශ්නයක් නොවීය. එය, ස්ටැලින්වාදී නිලධරයේ හා ධනපති රාජ්‍යයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවයට සම්බන්ධ මූලික දේශපාලන ප්‍රශ්න පැහැදිලි කිරීම පිනිස අත්‍යවශ්‍ය විය. එය පැබ්ලෝවාදී සංශෝධනවාදයට හා ස්ටැලින්වාදයේ අපරාධ සම්බන්ධ සියලු වසං කිරීම් වලට එරෙහි සටනට නොවෙන් කල හැකිසේ බැඳී තිබුනි.

එහි ශ්‍රේෂ්ඨතම ජයග්‍රහනය වන්නේ, ස්ටැලින්වාදී කුමන්ත්‍රනයේ යාන්ත්‍රනය හා පරිමානය පිලිබඳ කලින් නොදැන සිටි කාරනා හෙලිකර ගැනීමත්, ස්ටැලින්වාදයේ ස්වභාවය හා පැබ්ලෝවාදී සංශෝධනවාදයේ භූමිකාව පිලිබඳව ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් වලින් ට්‍රොට්ස්කිවාදී කාර්යධරයන් උගන්වා ගැනීමත්ය.

මහා රාජ්‍ය සුපරීක්ෂනය හා පොලිස් මර්දනයේ අවධියකදී දේශපාලනිකවන කම්කරුවන්ගේ හා තරුනයින්ගේ නව පරම්පරාවට, කම්කරු ව්‍යාපාරයේ ස්වාධීනත්වය, කායිකව මෙන්ම දේශපාලන අර්ථයෙන් ද ආරක්ෂාකර ගැනීම ජීවිතයත් මරනයත් පිලිබඳ කාරනයක් වන්නේය. ධනේශ්වර රාජ්‍යයේ ඒජන්සි වලට විරුද්ධව කම්කරුවන්ගේ හා සමාජවාදී ව්‍යාපාරයේ ආරක්ෂාව සඳහා තීරනාත්මක වන දේශපාලන පාඩම්, ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය පරීක්ෂනයෙන් ඔවුන් සොයාගන්නවා ඇත.

ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය යන පරීක්ෂනය, ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී උරුමයෙහි තීරනාත්මක කොටසක් වන්නේය. ස්ටැලින්වාදී තන්ත්‍රයන් තවමත් රාජ්‍ය බලය හොබවමින්, දැවැන්ත දේශපාලන ආනුභාවයක් ඉසිලූ කාලයකදී, ජීපීයූවේ අපරාධ හෙලිකිරීමේ අරගලයක් ගෙනයාමට ඉදිරිපත්වූ එකම සංවිධානය එය පමනි. එය භාවිතයේදී සනාථ කලේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන්ට බැඳී සිටි බවත්, අධිරාජ්‍යවාදයට හා එහි සියලු දේශපාලන ඒජන්සි වලට එරෙහි සිය සම්මුති විරහිත අරගලයත්ය.

ට්‍රොට්ස්කි අභාවයේ හැත්තෑ අටවන අනුස්මරනය පැවැත්වෙන මේ දිනයේදී, ට්‍රොට්ස්කි සිය ජීවිතය කැප කල ලෝක සමාජවාදයේ මූලධර්ම හා ක්‍රියාමාර්ගය පෙරට ගෙනයන ජාත්‍යන්තර කමිටුව, මේ අසාමාන්‍ය විප්ලවවාදියාගේ මතකය වෙනුවෙන් ප්‍රනාමය පුදකරයි.

එරික් ලන්ඩන් හා ඩේවිඩ් නෝර්ත්

Share this article: