යූඒඩබ්ලිව් දූෂන සෝලිය හිනිපෙත්තට ලඟා වේ

UAW corruption scandal reaches the top

2018 ජූලි 27

එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපතිවරයා ව සිට පසුගිය මාසයේ විශ්‍රාම ගිය ඩෙනිස් විලියම්ස්, යූඒඩබ්ලිව් සමිතිය, ඩිට්‍රොයිට් මෝටර් රථ නිෂ්පාදන සමාගම සමග හවුල් ව පවත්වාගෙන යන ඒකාබද්ධ පුහුනු මධ්‍යස්ථානවල අරමුදල් නීති-විරෝධී ලෙස මාරු කිරීමට බලය ලබා දුන්නේය යන වාර්තා, යූඒඩබ්ලිව් වනාහි කම්කරු පන්ති-විරෝධී සංවිධානයක් බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය කල තක්සේරුව තහවුරු කරයි.

ජූලි 23දා නිකුත් කල සමාව අයැදීමේ ගනුදෙනුවකට අනුව, ෆියැට් ක්‍රයිස්ලර් සංගතයෙහි යූඒඩබ්ලිව් සමිතියේ හිටපු උප සභාපති නෝවුඩ් ජුවෙල්ගේ ඉහල ම සහකාරිකාව වන නැන්සි ජොන්සන්, ද ඩිට්‍රොයිට් නිවුස් පුවත්පත විලියම්ස් ලෙස හඳුනාගත් ඉහල යූඒඩබ්ලිව් නිලධාරියෙක්, බිග් ත්‍රී නමැති ඒකාබද්ධ පුහුනු මධ්‍යස්ථාන තුනෙහි අරමුදල්, ගුවන් ගමන්, ගොල්ෆ් ක්‍රීඩා උපකරන හා නවාතැන්, අධික පිරිවැයැති ආහාරපාන හා උත්සව, සුඛෝපභෝගී මෝටර් රථ සේවා, සැලසුම්කාර ඇඳුම්, සපත්තු සහ අනෙකුත් සුඛෝපභෝගී අයිතමයන් සඳහා ගෙවීමට ඉහල සමිති සාකච්ඡාකරුවන්ට උපදෙස් දුන්නේ ය.

යූඒඩබ්ලිව්-ක්‍රයිස්ලර් පුහුනු මධ්‍යස්ථානය යනු, ෆියැට් ක්‍රයිස්ලර් ඇමරිකා (එෆ්සීඒ) කම්කරුවන්ගේ ජීවිකාවන් හා වැඩ කොන්දේසි විනාශ කරමින් දශකයකට වැඩි කලක් තිස්සේ ශ්‍රම ගිවිසුම් අත්සන් කිරීමට හිලවු ලෙස, සංගතය විසින් යූඒඩබ්ලිව් සමිතියට ගෙවීම් කිරීමට යොදාගත් නාලිකාව යි. සංගත වෘත්තීය සමිති ගොඩනැගීම හා ඒවාට අරමුදල් සැපයීම තහනම් කල 1930 ගනන් තෙක් ආපස්සට දිවෙන මධ්‍යම ආන්ඩුවේ නීති, මෙවන් අල්ලස් දීම් විසින් උල්ලංඝනය කෙරිනි.

“සමිති ව්‍යාපාරය සඳහා යෙදවීමේ අරමුන ම පමනක් ඇති ව ගමන් බිමන්වලට මෙන් ම ජ්‍යෙෂ්ඨ යූඒඩබ්ලිව් නිලධරයන්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ, පවුල්වල හා සහකාරයන්ගේ, සුඛෝපභෝගී ආහාරපාන හා අනෙකුත් විනෝදාස්වාදයන් සඳහා ගෙවීමට” පුහුනු මධ්‍යස්ථානයේ මුදල් භාවිතා කිරීමට ඉහලපෙලේ යූඒඩබ්ලිව් නිලධාරියෙක් තමන්ට අවසර දුන් බව සමාව අයැදීම ඉල්ලීමේ දී ජොන්සන් පිලිගත්තා ය. “මෙම උපදේශය නිකුත් කරන ලද්දේ, යූඒඩබ්ලිව් සමිතියේ අයවැය පීඩනයට ලක් ව පවතින නිසා එවැනි පිරිවැය යූඒඩබ්ලිව් අයවැයෙන් දැරීම අඩුකිරීමට යි.” ඩිට්‍රොයිට් නිව්ස් විසින් උපුටා දැක්වූ විමර්ශනයට සමීප නම් සඳහන් නො කල මූලාශ්‍රයන්ට අනුව, ගෙවීම් සඳහා විලියම්ස් බලය දුන් බව නැන්සි ජොන්සන් කීවා ය.

වෘත්තීය සමිති විධායකයන් ඔවුන්ට ම කරන ගෙවීම් සියයට 30කින් ඉහල දැමීම අනුමත කල පසුගිය මාසයේ ඩිට්‍රොයිට්හි පැවැති යූඒඩබ්ලිව් ව්‍යවස්ථාදායක සම්මේලනයේ දී, විලියම්ස් මෙසේ කීවේ ය: “පැහැදිලි ව කියන්නේ නම්, පුහුනු මධ්‍යස්ථානයේ අරමුදල් වැරදියට වෙන්කල හෝ අවභාවිතා කල අය අපේ විශ්වාසය පාවා දුන්නා. දූෂනය වේවා, මෙම සංවිධානය තුල සිදුවන වෙනත් ඕනෑම මට්ටමක වැරදි වේවා සමිතිය ඒවා ඉවසා දරන්නේ නැහැ.”

ගෙවීමේ ක්‍රමයට අඩංගු වන්නේ “නරක ඇපල් ගෙඩි” කිහිපයක් පමනක් බවත්, “සාමූහික හිලවු ගිවිසුම සඳහා අප කල සාකච්ඡාවල දී මෙම වැරදි හැසිරීම සම්මුතිය සඳහා යොදාගත් බව කීමෙහි සත්‍යයක් සරලව ම නැති” බවත් ඔහු පුනපුනා කීවේ ය.

සත්‍යය වන්නේ, අල්ලස් කුමන්ත්‍රනයට, 2007 සිට 2015 දක්වා සාකච්ඡා කිරීම් හා කොන්ත්‍රාත්තු කම්කරුවන් මත පැටවීමෙහි ඍජු ව නිරත වූ ජොන්සන්, ජෙනරල් හොලිෆීල්ඞ්, වර්ඩල් කිං, කීත් මිකන්ස් හා අනෙකුත් අය සම්බන්ධ වූ බවයි. නෛතික ආස්ථානයකින් ගත්කල, මෙම දූෂිත නිලධාරීන් විසින් අත්සන් තබන ලද සෑම කොන්ත්‍රාත්තුවක් ම ශූන්‍ය හා බලරහිත බවට ප්‍රකාශයට පත්කරනු ලැබිය යුතු ය.

මෙම ඉහවහා ගිය දූෂනයේ මූලාශ්‍රය වන්නේ, සරල ව ම තනි තනි සමිති නිලධරයන්ගේ දුරාචාරය හා කම්කරුවන් කෙරෙහි ඔවුන්ගේ අවඥාව නො වේ. එහි මූලයන් රැඳී ඇත්තේ, අනෙකුත් නිල වෘත්තීය සමිති සමගින් ධනේශ්වර ලාභ පද්ධතිය රකින හා ජාතිකවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන යූඒඩබ්ලිව්හි දේශපාලනික ජාන සැකැස්ම තුල යි. වැඩ වර්ජන මර්දනය කිරීමට ද රැකියා, වැටුප්, ප්‍රතිලාභ හා වැඩ කොන්දේසි මත කප්පාදු පැටවීමට ද හිලවු ලෙස කම්කරුවන් සූරාකෑමෙන් ලැබෙන ලාබ කොටස් බෙදාගනිමින්, සංගත කලමනාකරනයේ හා ධනේශ්වර රාජ්‍යයේ ව්‍යුහයට බොහෝ කලකට පෙර ඒකාග්‍ර වූ යූඒඩබ්ලිව් සමිතිය ප්‍රතිසංස්කරනය කල නො හැක.

මෙම අපරාධකාරී සංවිධානය හරහා කම්කරුවන්ට තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරගත නො හැක. වෘත්තීය සමිති උපකරනවලින් මුලුමනින් ස්වාධීන ව නව, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී සංවිධාන ගොඩනගා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන් ව උනන්දු කරන්නේ එහෙයිනි. යූඒඩබ්ලිව් පිටුබලය සහිත සංගත-හිතවාදී කොන්ත්‍රාත්තු අවසන් කිරීමට හා බහු-ශේනි ක්‍රමය අවසන් කිරීමට සියලු වාහන කම්කරුවන් බලමුලු ගැන්වීම, සියලු ගෙවීම් හා ප්‍රතිලාභ කප්පාදු පුනස්ථාපනය කිරීම, පේලි වේග, සෞඛ්‍යය හා ආරක්ෂාව මත කම්කරුවන්ගේ පාලනය ස්ථාපනය කිරීම සහ ගෙවීම් පහත නොදමා වැඩසතිය පැය 30කට අඩුකරමින් දොට්ට දැමූ සියලු කම්කරුවන් යලි සේවයට ගැනීම සඳහා කම්හල් කමිටු තෝරාපත් කරගන්නා ලෙස සසප කම්කරුවන් ව උනන්දු කරයි.

යූඒඩබ්ලිව් දූෂන සෝලියේ නවතම හෙලිදරවු වීම, එක් මෝටර් රථ විධායකයෙකු කී පරිදි, යූඒඩබ්ලිව් නිලධාරීන් “ස්ථූල, ගොලුවන් ලෙස සන්තෝෂයෙන්” තැබීම සඳහා ප්‍රධාන වසයෙන් හිටපු යූඒඩබ්ලිව් හා ෆියැට් ක්‍රයිස්ලර් නිලධාරීන්ට නීති-විරෝධී ගෙවීම් සැලසුම් කිරීම නිසා පුද්ගලයන් හත්දෙනෙකු විසින් කරන සමාව ඉල්ලීම්වලට හේතු වූ චෝදනා මාලාවක අලුත් ම එකයි.

ජොන්සන්ගේ සමාව ඉල්ලීමේ යෝජනාව මෙසේ සඳහන් කරයි: “2014, 2015 හා 2016 වසරවල, කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රිංග්ස්හි ඉහල පෙලේ යූඒඩබ්ලිව් නිලධාරීහු, සුඛෝපභෝගී ආහාරපාන, හොඳ ම මත්පැන්, රාජ්‍ය නිවාසවල මාස ගනන් නවාතැන් ගැනීම්, බොහෝ වාර ගනනක් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීම සහ කිසිදු වෘත්තීය සමිති ව්‍යාපාරයකට හෝ ශ්‍රම-කලමනාකරන අභිප්‍රායකට අසම්බන්ධිත හෝ යන්තමින් සම්බන්ධ දේවලට යූඒඩබ්ලිව් අරමුදල් භාවිතා කල හ.” යූඒඩබ්ලිව්-ක්‍රයිස්ලර් පුහුනු මධ්‍යස්ථානයේ අදිසි සේවකයන්ට ද ගෙවීම් කල සමාගම, යූඒඩබ්ලිව්හි සහෘද නිවාස (සොලිඩැරිටි හවුස්) මූලස්ථානයට මසකට සියයට 7ක “කලමනාකරන” ගාස්තු ගෙවී ය.

යූඒඩබ්ලිව් සමිතිය, ජෙනරල් මෝටර්ස් හා ෆෝඞ් සංගත සමග පවත්වාගෙන යන ඒකාබද්ධ පුහුනු මධ්‍යස්ථාන මෙන් ම යූඒඩබ්ලිව් උප සභාපති සින්ඩි එස්ට්‍රාඩා වැනි නිලධාරීන්ගේ පුද්ගලික පදනම් ආයතන ගැන ද මධ්‍යම ආන්ඩුවේ චෝදකයන් විසින් විමර්ශනය කර ඇත. ඩිට්‍රොයිට් නිව්ස් වාර්තාවට අනුව, “සැඟවුනු ඥාතීන් සඳහා වන මධ්‍යස්ථානය” නමින් හැඳින්වෙන ඩිට්‍රොයිට්හි යූඒඩබ්ලිව්-ජීඑම් මානව සම්පත් මධ්‍යස්ථානයෙහි බොහෝ ඥාතීහු වැඩකරති.

මෙය හුදෙක් මතුපිටට පෙනෙන කොටස පමනි. 1980 ගනන්වල ඒවා ඇරඹුනු තැන සිට ඒකාබද්ධ පුහුනු මධ්‍යස්ථාන සහ අනෙකුත් සංගත සඳහා වන යෝජනාක්‍රම කිහිපයක්, 1978 කම්කරු කලමනාකරන පනත සම්මත වීමෙන් පසුව අවසර දුන් අවස්ථාවේ සිට ඩොලර් බිලියන ගනන් ගෙවීම් ලැබෙන මාර්ගයන් ය.

මෝටර් රථ සංගතවලින් ගෙවීම් ලබමින් යූඒඩබ්ලිව් නිලධරයන් විසින් එලඹෙන ලද විකුනා දැමීමේ ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස නිවාස අහිමි වුනු, රැකියාවේ යෙදී සිටිය දී අනතුරට ලක්වුනු හා දිවි නසා ගැනීමට මෙහෙයැවුනු කම්කරුවන් ගනන කොතෙක් ද? සංගත-හිතවාදී කොන්ත්‍රාත් මාලාවක් තුල, බහු-ශ්‍රේනි වැටුප් පරිමාන පැටවූ, සුපිරි ලෙස සූරාකෑමට ලක්වන තාවකාලික කම්කරු සංඛ්‍යාවන් ඉහල දැමූ සහ වෛරයට පාත්‍ර වන විකල්ප වැඩ කාර්ය සටහන පැටවූ යූඒඩබ්ලිව් සමිතිය, පැය අටේ වැඩ දිනය සාරභූත වශයෙන් අහෝසි කලේ ය.

ආන්ඩුවේ නවතම වාර්තාවන්ට අනුව, 2017 දී යූඒඩබ්ලිව් සමිතියට ඩොලර් 1,069,381, 389ක ශුද්ධ වත්කමක් තිබුනු අතර සමස්ත වියදම ඩොලර් 272, 055, 497කි. යූඒඩබ්ලිව් නිලධරයන් 400කට අධික සංඛ්‍යාවක් වසරකට ඩොලර් 100,000කට අධික ව ාර්ෂික ගෙවීමක් ලබන අතර, ඉහල නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් පවුල්වල සාමාජිකයන් වේ. අලුතින් යූඒඩබ්ලිව් සභාපති ධූරයට පත් ගැරී ජෝන්ස් ඩොලර් 200,000ක් ලබනු ඇති අතර, විවිධාකාර සංගත මන්ඩල හා භාරයන්හි වාඩිවීම වෙනුවෙන් ඔහුට ලැබෙන මුදල් එම මුදලට අඩංගු නො වේ.

දශක තුනක් තුල පලමු වතාවට යූඒඩබ්ලිව් පිටුබලය ලත් කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කරමින්, 2015 දී ෆියැට් ක්‍රයිස්ලර් කම්කරුවෝ 2ට 1ක බහුතරයකින් යූඒඩබ්ලිව්වේ විකුනා දැමීමේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කල හ. එවිට, සත්‍යය හෙලිදරවු කිරීම ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට “ව්‍යාජ පුවත්” පතුරන්නේ යයි චෝදනා කිරීම ද ඇතුලත් ප්‍රචාරන උද්ඝෝෂනයක් සඳහා, යූඒඩබ්ලිව්, නිව් යෝක් නගරයේ ඩිමොක්‍රටික් පක්ෂය සමග ගාල් වී සිටින මහජන සම්බන්ධතා සමාගමක් වන බර්ලින්රෝසෙන් සමාගම ඩොලර් 475,000කට කුලියට ගත්තේ ය. දෙවන වතාවේ ඡන්දයක් හරහා තම ගනුදෙනුව තල්ලු කරගැනීමට, එය පිලිනොගත හොත් රැකියාවල් නැති වනු ඇතැයි කම්කරුවන්ට තර්ජනය කිරීම ඇතුලු බොරු, තර්ජන හා බියගැන්වීම්, ජුවෙල් හා අනෙකුත් යූඒඩබ්ලිව් නිලධරයන් විසින් යොදාගත්තේ ය.

ගනුදෙනුවේ කොන්දේසි අනවා ඇත්තේ කලමානාකාරීත්වය විසින් බවට එම සමයේ ලෝසවෙඅ අනතුරු ඇඟවී ය. මේ වනවිට එම අනතුරු ඇඟවීම යථා අර්ථයකින් සත්‍ය බව තහවුරු වී ඇත.

කම්කරුවන්ට එරෙහි සංගතවල යුද්ධයට විරුද්ධ ව, එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තර ව ද සමස්ත කම්කරු පන්තිය පුලුල් ම ආකාරයෙන් බලමුලුගැන්වීමේ අරගලය, එනම් යූඒඩබ්ලිව් බොහෝ කලකට පෙර අත්හල කටයුතු සියතට ගැනීම සඳහා, මෝටර් රථ කම්කරුවෝ කම්හල් කමිටු සංවිධානය කිරීම ඇරඹිය යුතු ය. සියලු වැඩපොල හා නිවහන් ප්‍රදේශ තුල එවැනි කමිටු ගොඩනැගීම, යෝධ මෝටර් රථ සංගත හා බැංකු, කම්කරු පන්තිය විසින් ප්‍රජාතාන්ත්‍රීය ව පාලනය කරන හා පොදුවේ අයිතිය දරන, මහජන උපයෝගීතාවන් බවට පරිවර්තනය කිරීම අඩංගු කරගත් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන නව දේශපාලන මූලෝපායක් සමග ඒකබාද්ධ කල යුතු ය.

ෂැනන් ජෝන්ස්

Share this article: