බර්නී සෑන්ඩර්ස් මිචිගන් ප්‍රාන්තයේ දී ඩෙමොක්‍රටික් පක්ෂය පිම්බීමට රැස්වීම් පවත්වයි

Bernie Sanders holds rallies to prop up the Democratic Party in Michigan

2018 අගෝස්තු 6

අගෝස්තු 7වැනිදා පැවත්වෙන ප්‍රාන්තයේ මූලික වටයේ ඡන්දයේ දී ආන්ඩුකාර තනතුර සඳහා සටන් වදින ඩෙමොක්‍රටික් අපේක්ෂක අබ්දුල් එල් සයිඩ් වෙනුවෙන් උද්ඝෝෂනය කිරීමට බර්නී සෑන්ඩර්ස් ඉරිදා මිචිගන් ප්‍රාන්තයට ගියේ ය. ඡන්දය ආරම්භ කිරීමට පැය 48ට අඩු කාලයක දී, සෑන්ඩර්ස් සම්පූර්න විප්ලවවාදී සෙයියාවක් පෙන් වූයේ, 2000ක් පමන වූ සෙනගට සංගත ප්‍රභූව පිලිබඳ ව හෙලාදැකීම් දේශනා කරමිනි. 1938දී ට්‍රොට්ස්කි ලිවූ පරිදි සංශෝධනවාදීන්ට තම ශ්‍රාවකයන්ට අවශ්‍ය කුමක්ද යන්න පිලිබඳව හොඳ ඉවක් ඇත.

විලියම් ජෙනිංග්ස් බ්‍රයන්ගේ “රත්තරන් කුරුසයේ” කතාවේ සිට ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්ගේ “විමුක්තීන් හතර” හා “දෙවැනි අයිතිවාසිකම් පනත” දක්වා ඩෙමොක්‍රටිකයන්, ධනේශ්වර දේශපාලනයෙන් කම්කරු පන්තිය වෙන් වී යාම වැලක්වීමට මහජනයාගේ මිත්‍රයින් ලෙස මවා පා ඇත්තේ, “සමාජ ව්‍යාපාරයේ සොහොන්බිම” යන උචිත විකට නාමය උපයා ගනිමිනි.

සෑන්ඩර්ස් මෙම සම්ප්‍රදායේ මෑත ම නියෝජිතයා ය. කෙසේ නමුත්, සමාජ ප්‍රතිසංස්කරන සඳහා ඇමරිකානු ධනවාදයට ආර්ථික පදනම සැපයීමට හැකි වූ අවස්ථාවේ දින ඉක්ම ගොස් බොහෝ කල් ය. ඒ වෙනුවට, හිලරි ක්ලින්ටන් වෝල් වීදියේ උපකරනයක් ලෙස හෙලා දකිමින්, දේශපාලන විප්ලවයක් ඉල්ලා සිටි සෑන්ඩර්ස්ගේ 2016 ජනාධිපතිවරන උද්ඝෝෂනය අවසන් වූයේ ඔහු හිලිරි ක්ලින්ටන් අනුමත කිරීම සමගිනි. ක්ලින්ටන් ඔහුගේ උද්ඝෝෂනය යටපත් කිරීමටත් වෝල් වීදියේ හා සීඅයි ඒ සංවිධානයේ ගර්හිත අපේක්ෂිකාවට අනුමැතිය දීමටත් ඩෙමොක්‍රටික් ජාතික කමිටුව සමග කුමන්ත්‍රනය කර තිබූනි.

මහා මැතිවරනය අතරතුර දී, තමා විරුද්ධ යැයි පවසන සමාජ අසමානතාව ඇතිකිරීම සඳහා වග කිව යුතු ඩෙමොක්‍රටික් පක්ෂයේ ලෙන්ගතු ආධාරකරුවෙකු ලෙස සෑන්ඩර්ස් උද්ඝෝෂනය කලේ ය. බරක් ඔබාමා හා බිල් ක්ලින්ටන් පාලනාධිකාරයන් යටතේ ඩෙමොක්‍රටිකයෝ ශුභසාධන, අධ්‍යාපන, ආහාර සලාක හා අනෙකුත් සමාජ වැඩසටහන් මත දැවන්ත කප්පාදු පැට වූ අතර, ඔවුහු බැංකුවලට ඇප දී, පොහොසතුන් සඳහා බදු කප්පාදු කර සංගත නියාමනයන් අතු ගා දැමූහ. 2008 මූල්‍ය අර්බුදය ඉස්මත්තේ, ඔබාමා පාලනාධිකාරය කම්කරු පන්තියේ සිට ධනවතුන් වෙත ඇමරිකානු ඉතිහාසය තුල ධනයේ විශාලම මාරු වීම අධීක්ෂනය කලේ ය.

දැන්, ගුරුවරුන් , එක්සත් පාර්සල් සේවාවේ කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් අංශවල කම්කරුවන්ගේ පන්ති අරගලයන්ගේ වර්ධනය මධ්‍යයේ සෑන්ඩර්ස් නැවත වතාවක් වමට හැරෙමින් සිටී.

බර්නී සෑන්ඩර්ස් ඩිට්‍රොයිට් හි කොබෝ ශාලාවේ සිට

ඉරිදා තම කතාවේ දී, සෑන්ඩර්ස් බිලියනපතියන් තිදෙනෙතුට ඇමරිකානු ජනගහනයේ දුප්පත්ම අර්ධයේ වත්කම්වලට සමාන වත්කම් හිමිය යන කාරනය දැඩිව හෙලා දුටුවේ ය. මෙම බිලියනපතියන්ගෙන් එක් අයෙකු වන, ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් “සෑම දවසකම තම ධනය ඩොලර් බිලියන 275කින් වැඩිවෙනවා දකිනවා. එහෙම උනත් ඔහුට ඉන්නේ ඉතා පහල වැටුප් ලබන කම්කරුවන් දහස්ගනනක්, ඒ හින්දා ඒ අය ආන්ඩුවේ වැඩසටහන් වලින් යැපෙන්න සිද්ද වෙලා තිබෙනවා” යැයි සෑන්ඩර්ස් පැවසී ය.

“සියල්ලන්ට වෛද්‍ය රැකවරනය” සඳහා වන ඔහුගේ ජනප්‍රිය ඉල්ලීම නිසා තමාගේ ප්‍රධාන තරඟකරුවන් අතර තනි ඉලක්කමකට පැමිනි සිටින, එල්-සයීඩ් ද ප්‍රතිචාර දක්වමින් සිටින්නේ තම ඡන්දදායකයින්ට අසන්නට අවශ්‍ය කුමක් දැ යි තම කේන්ද්‍රීය කන්ඩායම් හා මත විමසුම් කියන දෙයට ප්‍රතිචාර දක්වමිනි. ඔහු තමාගේ ම පුද්ගලික චරිතාපදානය ගැන කතා කලේ සංක්‍රමනිකයෙකුගේ ලමයෙකු ලෙස හා තරුන, ද්විවාර්ගික දියනියකගේ පියෙකු ලෙස තම කතාව මතක් කරමිනි. ඔහු සෑන්ඩර්ස්ගේ නො පැහදිලි සටන්පාඨ අනුකරනය කලේ, සංගත බලයේ ආධිපත්‍යය සම්බන්ධයෙන්, “අපි ලබා ගෙන තියෙන්නේ කැඩුනු දේශපාලනයක්” යැයි පවසමිනි.

මෙම බාල කතා කිසිවකට සංගතවල පිච්චියක්වත් වැය වන්නේ නැත. සෑන්ඩර්ස් හා එල්-සයීඩ් යන දෙදෙනාම සමාජ ශූභසාධන වැඩසටන් ව්‍යාප්ත කිරීම හා සියල්ලන්ට සෞඛය රැකවරන සැපයීමේ අවශ්‍යතාව කතා කල ද කිසිවෙකුත් කේන්ද්‍රීය ප්‍රශ්නය කතා කරන්නේ නැත: එනම්, එවැනි වැඩසටහන්වලට අවශ්‍ය ඩොලර් ට්‍රිලියන ගනන් සොයා ගන්නේ කොහෙන් ද?

සමාජ ශුභසාධන වැඩසටහන්, යහපත් රැකියා, සෞඛ්‍ය රැකවරනය, අධ්‍යාපනය, ආහාර, පිරිසිදු ජලය හා පොදුකාර්ය පහසුකම් සඳහා මුදල් සැපයීමට, සියලු සමාජ ධනය නිෂ්පාදනය කරන, නිෂ්පාදන බලවේග කම්කරු පන්ති හස්ථයේ තබනු සඳහා සමාජ විප්ලවයක් අවශ්‍ය වන්නේ ය.

ඔවුන් කී දේට වඩා පැහදිලි දේ නම් සෑන්ඩර්ස් හා එල් -සයිඩ් නොකිව් දේ ය. එක් අයෙක් හෝ මිලියන ගනනාවකගේ ජීවිත බිලිගෙන ඇති යුද්ධ, හෝ මිලිටරිය හා ඔත්තුසේවා සංවිධාන සෑම වසරක ම රටේ ධනයෙන් බිලියන ගනනාවක් හිස් කරන බව ගැන සඳහන් නො කලේ ය.

සෑන්ඩර්ස් හැමදාමත් සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ ප්‍රහාරයන් අමතක කර දැමූ අතර රඳවා ගැනීමේ කඳවුරු හා තම දෙමව්පියන්ගෙන් වෙන් කර හදාවඩා ගන්නා නිවාසවල ලමුන් 500ක් සිටින බව සඳහන් නො කලේ ය. පොලීසිය වසරකට පුද්ගලයන් 1000ට වඩා මරන බව හෝ ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ලෝක ජනගහනයේ සන්නිවේදනයන් දිගටම අදීක්ෂනය කරමින් සිටින බව සඳහන් නො කලේ ය.

මෙම අත් හැර දැමීම් අවධාරනය කරන්නේ සමාජ විරුද්ධත්වයේ වර්ධනය අවහිර කර එය ද්විපක්ෂ ක්‍රමය පිටුපස හරවා යැවීමට ඩෙමොක්‍රටික් පක්ෂය විසින් සෑන්ඩර්ස් යොදවා ඇත යි යන කාරනය යි.

ඔහු තම දේශපාලන ජීවිතයේ වැඩි කලක් නිල වසයෙන් ඩෙමොක්‍රටික් පක්ෂයෙන් පිටත ගත කර ඇත්තේ, එය වොල් වීදියේ හා මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂය ලෙස විවේචනය කරමිනි. නමුත් අද, නිශ්චිතව ම ඇමරිකානුවන් මිලියන ගනනාවක් මෙම නිගමනය උකහා ගනිමින් සිටින මොහොතේ දී ම, සෑන්ඩර්ස් තෙමේ ම ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන කථිකයා වී ඇත්තේ, අසමානත්වය සඳහා වන තම විරුද්ධත්වය ඩෙමොක්‍රටිකයෙකු තෝරා ගැනීමේ උද්ඝෝෂනයන්ට හරවන ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලමිනි.

අබ්දුල් එල් සයිඩ් ඩිට්‍රොයිට් හි කොබෝ ශාලාවේ සිට

ඩෙමොක්‍රටික් පක්ෂය වෝල් වීදිය, මහා ව්‍යාපාරිකයන් හා මිලිටරි ඔත්තුසේවා ඒජන්සිවල මනාප පක්ෂය වී ඇත. දක්ෂිනාංශික බිලියනපති කෝච් සහෝදරයන් නිවේදනය කර ඇත්තේ තමන් ඩෙමොක්‍රටික් ආරම්භකත්වයන්ට හා උද්ඝෝෂනයට අරමුදල් සපයන බව යි. හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ ඔත්තුසේවා ඒජන්සිවල තම ආධාරකරුවන්ට ට්වීටර් පනිවිඩයක් යවා ඇත්තේ “මෙම සරත් කාලයේ දී ඩෙමොක්‍රටිකයන්ට ඡන්දය දිය යුතු යැ”යි පවසමිනි.

ඩෙමොක්‍රටික් පක්ෂය සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ දක්ෂිනාංශික ප්‍රහාරය, පොහොසතුන් සඳහා ඔහුගේ බදු කප්පාදු හා දක්ෂිනාංශික ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චයකාරවරයෙකු පත් කිරීමට වන විරුද්ධත්වය යටත් කර ඇත්තේ, ඇමරිකාවට හිරිහැර කරන සියලු සමාජ ආපදාවන්ට රුසියාවට දෝෂාරෝපනය කරන තම උමතු මෙන්ම ඔප්පු නො කෙරෙනු උද්ඝෝෂනයට යයි. මෙම සරත් කාලයේ දී ඩෙමොක්‍රටිකයන් නැවතත් කොංග්‍රසයේ බලය ගන්නේ නම්, ජාතික ආරක්ෂක හා ඔත්තුසේවා ඒජන්තයන් සහ හිටපු ප්‍රහාරක සටන් නිලධාරීන් බල තුලනය උසුලනු ඇත. (කියවන්න: සීඅයි ඒ ඩෙමොක්‍රටිකයෝ)

එල් -සයීඩ් හා සෑන්ඩර්ස් වටා වන “ප්‍රගතිශීලී” ඩෙමොක්‍රටික ක්‍රියාකාරීන් ක්ලින්ටන් හා තමන් අතර වෙනස්කම්වලට සලකන්නේ, ක්ලින්ටන් හා ට්‍රම්ප් අතර ගැටුම ගැන ඔබාමා කිව් පරිදි, බිත්ති ඇතුලත කෙරෙන අරගලයක් ලෙස ය. ඔවුන් වමේ විරුද්ධත්වය දකින්නේ යුද ක්‍රියාවක් ලෙස ය. මිචිගන් හි සිදුවීම්වල වඩාත් ම කැපී පෙනෙන පැත්ත වූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් හා මිචිගන් ප්‍රාන්තයේ 12වැනි දිස්ත්‍රික්කයේ සමජවාදී සමානතා පක්ෂ අපේක්ෂක නයිල්ස් නීමුත් සඳහා උද්ඝෝෂනයේ නියලෙන කන්ඩායමට එල්-සයිඩ්ගේ උද්ඝෝෂන නියෝජිතයන් ප්‍රතිචාර දැක් වූ ආකාරය යි. ඩෙට්‍රොයිට් හි කොබෝ ශාලාවේ දී හා යිප්සිලාන්ටි හි රැලියක දී ලෝසවෙඅ වාර්තාකරුවන්ට මාධ්‍ය ප්‍රවේශ පත්‍ර ප්‍රතික්ෂේප කෙරුනේ, තමන් නිව් යෝක් ටයිම්ස් හා වෝල් ස්ට්‍රීට් ජර්නල් වැනි ධනේශ්වර ප්‍රකාශනවලට ප්‍රවේශය ප්‍රදානය කර තිබුනේ යැයි එල්-සඩ් උද්ඝෝෂකයින් විසින් පිලිගන්නා ලද අතරම ය.

ඩෙට්‍රොයිට් හි දී, තමන් එල් සයිඩ්ගේ උද්ඝෝෂනයට ප්‍රතිපක්ෂ ලිපි බෙදා හැරීමට ඉඩ නො දෙන බව එල් සයිඩ් උද්ඝෝෂන නිලධාරීන් පැවසූ නමුත්, එල් සයිඩ් පිලිබඳව විවේචනාත්මක වන ලිපිවලට ද පලමුවැනි සංශෝධනය අදාල වන බව උද්ඝෝෂකයින් විසින් පැහදිලි කිරීමෙන් පසු පමනක් ඔවුන්ට ඇතුලු වීමට ඉඩ දුනි. යිප්සිලාන්ටිවල දී ශාලාවෙන් පිටත ලිපි බෙදා හැරීමෙන් නීමුත් හා ඔහුගේ ආධාකරවෝ වලක්වන ලදී.

ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය එන්නේ ශක්තියේ නො ව දුර්වලත්වයේ ආස්ථානයකිනි. සහභාගීවූවන් අතර, විශේෂයෙන් ම මොටර්රථ කම්කරුවන් හා තරුනයන් අතර ලෝසවෙඅ පුලුල් ලෙස ප්‍රසිද්ධ අතර, රැලියට සහභාගී වූ බොහෝ දෙනා එල්-සයිඩ් උද්ඝෝෂනයේ දේශපාලන වාරන ක්‍රියාවට විරුද්ධ වූහ. සෑන්ඩර්ස්, එල්-සයිඩ් හා ඩොමොක්‍රටික් පක්ෂයේ වාම යයි කියාගන්නා කන්ඩායම, තමන් හිස් පොරොන්දු හා ව්‍යාජ දේශපාලනය ඔස්සේ ආකර්ෂනය කර ගන්නා අය අවංක සමාජවාදී හා විප්ලවවාදී ඉදිරිදර්ශනයකට ලඟා වනු ඇත යි විශේෂයෙන් ම උත්සුක ය.

සමාජ විරුද්ධත්වයේ වැඩෙන මනෝගතිය පක්ෂ දෙකේ හා වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මිදිය යුතු අතර, ධනේශ්වර පද්ධතිය අහෝසි කිරීමට හා ලෝක නිෂ්පාදන බලවේග ජාත්‍යන්තර කම්කරු පන්තිය අත තැබීමට දැවන්ත විප්ලවවාදී බලවේගයක් ලෙස වර්ධනය කල යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය මෙම සටනේ පෙරමුනු ගනිමින් සිටී.

එරික් ලන්ඩන්

Share this article: