අසමානතාව හා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය

Inequality and the crisis of American democracy

2018 අගෝස්තු 20

2016 හා 2017 අතරතුර ඇමරිකාවේ විශාලතම සමාගම් 350හි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සාමාන්‍ය ගෙවීම් සියයට 17.6කින් ඉහල ගිය බව අගෝස්තු 16දා ආර්ථික ප්‍රතිපත්ති ආයතනය වාර්තා කලේ ය. ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ සාමාන්‍ය පාරිතෝෂිකය ඩොලර් මිලියන 18.9කි. අනෙක් අතට, එක්සත් ජනපද කම්කරුවකුගේ සාමාන්‍ය වැටුප වැඩිවූයේ නො ගිනිය හැකි තරම් වන සියයට 0.3කිනි.

එක්සත් ජනපදයේ ප්‍රධාන විධායක නිලධාරියෙක්, සාමාන්‍ය කම්කරුවකුගේ වැටුප මෙන් 312 ගුනයක් ගෙවීම් ලබන අතර, එය 1960 ගනන්වල පැවතියේ 12ට 1ක පරතරයක ය. මෙහි අර්ථය වන්නේ, සාමාන්‍ය කම්කරුවෙක් සමස්ත වසරක් පුරා හම්බ කරන ප්‍රමානය ප්‍රධාන විධායක නිලධාරියෙක් එක් දිනක දී හම්බ කරන බව ය.

2008 මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර ලෙස බුෂ් හා ඔබාමා පරිපාලනයන් විසින් මානව ඉතිහාසයේ විශාලතම බැංකු ඇප තැබීම සිදු කිරීමෙන් දසවසරකට පසු සමාජ අසමානතාවේ සෑම දර්ශකයක් ම පිම්බෙමින් පවතී.

2008 දී ඇමරිකාවේ ධනවත් ම පුද්ගලයන් 400 දෙනා ඩොලර් ට්‍රිලියන 1.5ක ශුද්ධ වත්කමකට හිමිකම් කීවෝ ය. එතැන පටන් එම අගය ඩොලර් ට්‍රිලියන 3කට ආසන්න ව දෙගුනයකින් පමන වැඩි වී ඇත.

දසවසරකට පෙර ඇමේසන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 8.7ක් විය. දැන් එය 16 ගුනයකින් වැඩි වී ඩොලර් බිලියන 140හි රැඳී තිබේ. මූල්‍ය අර්බුදය සමයේ මුහුනුපොතේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.5ක් විය. දැන් ඔහුගේ ධනය 46 ගුනයකින් ඉහල ගොස් ඩොලර් බිලියන 69ක් වී තිබේ.

මූල්‍ය අර්බුදය පැනනංවාලූ අපරාධවලට වගකිව යුත්තන් හිරගෙදරට යාමෙන් වැලකුනා පමනක් නො ව, ඔවුන් යෝධ ලෙස ධනවත් වීම ද සිදු වී තිබේ. උකස්කර විනිමය වෙලඳපොල ඇද වැටෙන බවට ඔට්ටු අල්ලමින්, එම බුබුල නිර්මානය කිරීමේ දී ප්‍රධාන භූමිකාවන් ඉටුකල ජේපීමෝගන් චේස් ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් හා ගෝල්ඩ්මන් සැක්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ලොයිඩ් බ්ලැන්ක්ෆයින් යන දෙදෙනා ම පසුගිය දශකය තුල බිලියනපතියන් බවට පත්ව සිටිති.

රැකියා නියුක්තිය නාමික වසයෙන් පූර්නත්වයට ලඟා වන ආර්ථික ප්‍රකෘතිය යයි කියන දෙයෙහි නවවන අවුරුද්ද තුල, දශක ගනනාවක් ඇතුලත තදින්ම සිරවී ඇති රැකියා වෙලඳපොල සමගින් වැටුප් වසරින් වසර අනවරත ව ඇද වැටේ. මූලික වැටුප සැලකූ කල පසුගිය මාස 12 තුල වැටුප් සියයට 0.2කින් වැටුනේ කොටස් මිල සියයට 12කින් ඉහල නැගෙද්දී ය.

පිම්බෙන ලාබ මධ්‍යයේ වැටුප් අඛන්ඩ ව ඇද වැටෙන්නේ මන් ද යන්න ගැන ධනේශ්වර මාධ්‍ය ලියද්දී, ඔවුහු, “වඩදිය සියලු බෝට්ටු ඉහලට ඔසවයි” යන මන්ත්‍රය සහිත “නිදහස් වෙලඳපොලේ” වාසිදායක යන්ත්‍රනය බිඳවැටීම ගැන ව්‍යාකූලත්වයෙන් යුතු ව ඔලු කසාගනිති. එහෙත් මූල්‍ය බුබුලේ, එහි අර්බුදයේ හා ඇපතැබීමේ අපේක්ෂිත ප්‍රතිඵලය සමාජ අසමානතාව බව පාලක කවයන්ට විවෘත රහසකි.

මූල්‍ය අර්බුදය කරා වූ ධාවනයේ දී, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පරිපාලනයන් එකිනෙකාගෙන් නො වෙනස් ව බැංකු රෙගුලාසිවල ද ආධාර ඇති ව, එක් මූල්‍ය බුබුලකට පසු තවෙකක් බැගින් නිර්මානය කිරීම දිරිමත් කලේ ය. අර්බුදයෙන් ඉක්බිති ව, එයට වගකිව යුතු කිසිවෙකුට අපරාධ චෝදනා නැගීමක් නො කලේ, බැංකුවල සියලු අගරු නය මහජන අරමුදල් සමග යලි ගැටගසමින් ෆෙඩරල් රිසර්ව් බැංකුව හා ඔබාමා පරිපාලනය වැඩකරන ජනයාගේ වියදමින් පාලක ප්‍රභූව ධනවත් කිරීමට තවත් යෝධ මූල්‍ය බුබුලක් නිර්මානය කිරීම දිරිමත් කල හ.

ඓතිහාසික ව පෙර නුවූ විරූ සමාජ අසමානතා මට්ටම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපාකාර සමග නො පෑහේ. දශකයකටත් පෙරාතුව, 2000 වසරේ මැතිවරනය හොරකම් කිරීම හා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උපුටා දැමීමට ප්‍රතිචාර දක්වමින්, ප්‍රජාතාන්ත්‍රික අයිතීන් විනාශ කිරීමට යටින් පවත්නේ සමාජ අසමානතාවේ වර්ධනය බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පැහැදිලි කලේ ය.

2006 වසරේ පැවැත්වූ දේශනයක දී ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ සටහන් කලේ ය:

ඇමරිකානු සමාජය ගැඹුරින් ඉරිතැලී පවතී. සමාජ ධ්‍රැවීකරනය පුපුරනසුලු මට්ටම් කරා ලඟා වී ඇත. ආදායම හා ධනය අතින් සමාජයේ ඉහල සියයට පහේ හෝ ඉහල සියයට එකේ පුද්ගලයන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන ගැඹුරු තැකීමක් නැත. ඇත්ත වසයෙන්ම එවැනි සුවිශේෂ කොටස්ද මෙම සමාජ කන්ඩායම තුල දැකිය හැකිය. එහෙත් සමාජයේ ධනවත් ම ස්ථරයන් ප්‍රජාතන්ත්‍රවාදයට දක්වන වෛෂයික සබඳතාව පුලුල් මහජනයා එයට දක්වන සබඳතාවෙන් මුලුමිනින් වෙනස් ස්වභාවයක් ගනී. පාලක ප්‍රභූවට ප්‍රජාතන්ත්‍රවාදය යම් සුවපහසු දෙයක් මිස අවශ්‍යතාවක් නො වේ. 20 වන ශතවර්ෂයේ සෑම විටක ම පාහේ ප්‍රදර්ශනය කර ඇති පරිදි, ආඥාදායකත්වය සේවය කරන්නේ ධනය ආරක්ෂා කිරීමට මිස එයට තර්ජනය කිරීමට නො වේ.

2008 අර්බුදයෙන් පසු කාලපරිච්ඡේදයේ මෙම ක්‍රියාදාමයන් වේගවත් ව ඇතුවා පමනි. 2010 දී එක්සත් ජනපදය තුල දී ම පවා, ඇමරිකානු පුරවැසියන් ව ඩ්‍රෝන් මිසයිල යොදාගෙන ඝාතනය කිරීමේ අයිතිය අවධාරනය කල ඔබාමා පරිපාලනය, එය සනාථ කිරීම සඳහා විදේශයන්හි දී ඇමරිකානු වැසියන් දෙදෙනෙකු ඝාතනය කලේ ය.

තොරතුරු හෙලිදරවු කල එඩ්වඩ් ස්නෝඩන් රිචඩ් නික්සන්ගේ රහස් ඔත්තුකරුවන් ආධුනිකයන් බවට හෙලන මට්ටම්වලින් එක්සත් ජනපදයේ රහස් තොරතුරු ඒජන්සි ඇමරිකානු ජනයාගේ තොරතුරු රැස්කරන බව පෙන්වා දුන්නේ ය. ඔහුට රුසියාවේ දේශපාලන රැකවරන පැතීමට බලකෙරුනි. යුද අපරාධ හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කුමන්ත්‍රන ලේඛනගත කල ජනමාධ්‍යවේදී ජූලියන් අසාන්ජ්, එක්සත් ජනපද අධිකාරීන්ගේ නියෝග මත සාරාත්මක හිරගත කිරීමකට ලක් ව සිටී.

වඩාත් ම තර්ජනකාරී ලෙස, එක්සත් ජනපද රහස් තොරතුරු ඒජන්සි හා දේශපාලන සංස්ථාපිතයේ ඉහල පුද්ගලයන්ගේ අනුදැනුම ඇති ව, ප්‍රධාන තාක්ෂනික සමාගම් පරාසය හා පරිමානය අතින් පෙර නුවූ විරූ මට්ටමකින් අන්තර්ජාලය වාරනය කරමින් සිටිති.

දැන් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය නව අදියරකට එලඹ තිබේ. ධනපති පාලක ප්‍රභූවේ දූෂනය හා අපරාධකාරීත්වය මූර්තිමත් කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ ෆැසිස්ට්වාදී පදනමට කරන ආයාචනයන් සමගින් වඩ වඩා විවෘත ව ආඥාදායක ආන්ඩුවක් නිර්මානය කරමින් සිටී.

එහෙත් රාජ්‍යය හා පාලක පන්තිය තුලින් ට්‍රම්ප්ට එන විරුද්ධත්වයෙහි අංශුමාත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් වත් නැත. හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් හා හිටපු ජාතික රහස් තොරතුරු අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් වැන්නෝ, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි නො ගිනිය හැකි අපරාධවලට වගකිව යුතු වන රාජ්‍යයේ රහස් තොරතුරු ඒජන්සි ඩිමොක්‍රටික් පක්ෂයේ හා මාධ්‍යවල ආධාරය සහිත ව දේශපාලන ජීවිතයට ඍජු ව මැදිහත් වීම ප්‍රකාශයට පත්කරති.

මාධ්‍යවල හා පාලක ප්‍රභූවේ කන්ඩායම් වඩ වඩා මිලිටරි කුමන්ත්‍රනයකට සහයෝගය දක්වන භාෂාව පාවිච්චි කරමින් සිටිති. අගෝස්තු 17දා නිව් යෝක් ටයිම්ස් පත්‍රය, මිලිටරිය හා රහස් තොරතුරු නිලධරය විසින් කරන කැරැල්ලක් සඳහා ආයාචනා කරමින් ටිම් වයිනර් ලියූ අදහස් දැක්වීමේ කතුවැකියක් පල කලේ ය.

ඔහු මෙසේ ලිවී ය:

තමන් කතා කරන්නේ කොහේසිටදැයි දන්නා ජෝන් බ්‍රෙනන්, ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක්, එනම්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පෙලගැසුනු ප්‍රති-රහස් තොරතුරු විරෝධී තර්ජනයක් යයි විශ්වාස කරයි... ඔවුහු ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන ජෙනරාල්වරු, අද්මිරාල්වරු, සොල්දාදුවන් හා ඔත්තුකරුවන්ට පනිවුඩයක් යවමින් සිටිති. විදේශීය මෙන් ම දේශීය සියලු සතුරන්ට එරෙහි ව ව්‍යවස්ථාව රැකගැනීමට හා ආරක්ෂා කිරීමට ඔබ දී ඇති දිවුරුම මතක තබා ගන්න. අර්බුදයක දී ට්‍රම්ප්ගේ නියෝග අනුගමනය කිරීමට පෙර දෙවරක් සිතන්න.

එකිනෙකාට මඩ ගසාගැනීමේ යෙදී සිටිය ද පාලක පන්තියේ කන්ඩායම් දෙක ම දක්ෂිනාංශික, ආඥාදායක් දේශපාලන ප්‍රවනතා දෙකක් නියෝජනය කරති.

ධනපති කතිපයාධිකාරයේ මෙම නියෝජිතයන්ට, පන්ති අරගලයේ, එනම් දේශපාලන ජීවිතයට කම්කරු පන්තිය කරන සවිඥානික, ස්වාධීන මැදිහත් වීමේ ක්‍රමවලින් විරුද්ධ විය යුතු ය. එක්සත් ජනපදයේ යූපීඑස් කම්කරුවන්ගේ පටන් යුරෝපයේ රයන්එයාර් ගුවන් කපිතාන්වරුන් හා කාර්ය මන්ඩල දක්වා ලොව පුරා කම්කරුවෝ අරගලයට පිවිසෙමින් සිටිති. මත විමසුමක් විමසුමක් පාසා කම්කරුවන් හා තරුන ජනයා අතර සමාජවාදය කෙරෙහි වැඩෙන සහයෝගය පෙන්නුම් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට තිබෙන එක ම ක්‍රමය, කම්කරු පන්තියේ මෙම වැඩෙන ව්‍යාපාරය සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමට කරන අරගලය වන අතර, එම අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ අසමානතාවේ, යුද්ධයේ හා ආඥාදායකත්වයේ මූලාශ්‍රය වන ධනේශ්වර පද්ධතිය අවසන් කිරීමෙන් පමනි.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: