දුම්රිය වර්ජනය අවලංගු කිරීමට සමිති නායකයන් ගත් තීන්දුව ප්‍රතික්ෂේප කරනු

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 අගෝස්තු 31

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් මත අගෝස්තු 29 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අවලංගු කිරීමට වෘත්තීය සමිති නායකත්වය ගත් තීන්දුව සියලුුම කම්කරුවන් විසින් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය. සමිති වල මෙම තීන්දුව ආන්ඩුවේ මර්දනයන් සහ සමිතිවල පසුපසට ඇදීම් මධ්‍යයේ දුම්රිය කම්කරුවන් දීර්ඝ කාලීනව ගෙන යමින් සිටින අරගලය කඩාකප්පල් කිරීමට ගත් දැනුවත් පියවරකි.

පසුගිය 27 වන දා සමිති සමග පැවැත්වූ සාකච්ඡාවකදී, තමා “පුද්ගලිකව මැදිහත් වී මාස දෙකක් තුල දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා පිලිබඳ ප්‍රශ්නයට විසඳුමක් දෙන බවට” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් පොරොන්දුව මත වර්ජනය අත්හල බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මාධ්‍යයට පවසා තිබුනි.

ජනාධිපති සිරිසේන ගේ පොරොන්දුවට සමිති දක්වා ඇති ප්‍රතිචාරය කම්කරුවන්ගේ සටන්කාමිත්වය දියකරමින් ඔවුනගේ අරගලය කඩාකප්පල් කොට ආන්ඩුවේ රුදුරු ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අවකාශය ලබා දීමකි.

සිරිසේනගේ මෙම පොරොන්දුව ඔහුගේ අනෙකුත් පොරොන්දු මෙන්ම ව්‍යාජ ය.

එමෙන්ම පසුගිය කාලය පුරා වෘත්තීය සමිති යෙදී ගෙන සිටින්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුනගේ ආන්ඩුවල මැති-ඇමතියන්ගේ ව්‍යාජ පොරොන්දු මත කම්කරුවන්ගේ අරගල පාවාදීමේ ක්‍රියාදාමයක යි.

ප්‍රශ්නයට විසඳුම් ලෙස සරත් අමුනුගම කමිටුව විසින් සකස් කල පත්‍රිකාව අගෝස්තු 14 වෙනිදා කැබිනට්ටුවට ඉදිරිපත් කරන බවට ජනාධිපති සිරිසේන අගෝස්තු 12 වෙනිදා දුන් පොරොන්දුව මත සමිති නායකයෝ අගෝස්තු 8 වෙනිදා ආරම්භ කල වර්ජනය නතර කලහ.

පැතිර පවත්නා දැඩි කම්කරු නොසන්සුන්තාව හේතුවෙන් එම පත්‍රිකාව මෙතෙක් කැබිනෙට්ටුවට ඉදිරිපත්කර නැතත්, දුම්රිය හා තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීමේ මූලික පියවරක් ලෙස ඒවා ස්වාධීන පාලක මන්ඩල මගින් පාලනය වන අර්ධ රාජ්‍ය ආයතන බවට පරිවර්තනය කල යුතු බව අමුනුගම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

වැටුප් ගැටලු විසඳීමේ මුවාවෙන් දුම්රිය, තැපැල්, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් සංවෘත සේවාවන් බවට පත් කිරීම ද එම කමිටුව විසින් කර ඇති තවත් නිර්දේශයකි. එය එම සේවාවන් හි කම්කරුවන් රාජ්‍ය අංශයේ සෙසු කම්කරුවන්ගෙන් වෙන් කර වැටුප් සහ සෙසු අයිතීන් සම්බන්ධව කම්කරු පන්තියේ පොදු අරගලයක් ඇතිවීම වැලැක්වීමේ පියවරකි.

දුම්රිය සමිති සන්ධානයේ නායකයන් 29 වෙනිදා සිට අඛන්ඩ වර්ජනයක් කරන බව නිවේදනය කලේ ජනාධිපති සිරිසේන සමග අගෝස්තු 23 වන දා සහ රාජ්‍ය වැටුප් හා සංඛ්‍යා කොමිසම සමග අගෝස්තු 24 වන දා පැවැත්වූ සාකච්ඡාවන් අසාර්ථක වීමෙන් පසුවයි.

ආන්ඩුවේ පොරොන්දු හා එහි කොමිසම් වලින් දුම්රිය හෝ රාජ්‍ය අංශයේ සෙසු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැත. ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, ප්‍රතිව්‍යුහකරනය, වැටුප් කැටි කිරීම හා රැකියා කප්පාදුව ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරනයන් ය.

දුම්රිය ඇතුලු රාජ්‍ය සේවයේ කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ඉටුකල නොහැකි බව ආන්ඩුව නැවත නැවතත් ප්‍රකාශ කොට ඇත. රාජ්‍ය අංශයේ සෙසු කම්කරුවන්ටත් වැටුප් වැඩි කිරීමට සිදුවන හෙයින් දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කල නොහැකි බව දුම්රිය සේවකයන්ගේ පසුගිය වර්ජනයේ දී සමරවීර ප්‍රකාශ කලේ ය. තැපැල් සේවකයන්ගේ අරගලයේදී ද රාජ්‍ය වැටුප් හා සංඛ්‍යා කොමිසම පැවසුවේ සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩි කිරීමට වාර්ෂිකව රුපියල් බිලියන 800 ක් අවශ්‍ය බවත් ඒ සඳහා ආන්ඩුවට මුදල් නැති බවත් ය.

මීට අමතරව, රාජ්‍ය අංශයේ සේවක අතිරික්තයක් පවතින බවත් 1000 ක් අවශ්‍ය තැනට 3000 කට පඩි ගෙවන බවත් ඇමති සමරවීර ප්‍රකාශ කර ඇත. එය රාජ්‍ය අංශයේ බරපතල රැකියා කප්පාදුවක් පිලිබඳ පැහැදිලි සංඥාවකි.

එපමනක් නොව, වර්ජනය නතර කරන තුරු සාකච්ඡා නැති බවත්, “බෙදුම්වාදී ත්‍රස්තවාදය” මර්දනය කල ආකාරයට “වෘත්තීය සමිති ත්‍රස්තවාදය” ද මර්දනය කරන බවට ත් ආන්ඩුව පැත්තෙන් තර්ජනය කෙරුනි.

මේ අතර පාලක පන්තියේ කොටස් කම්කරුවන්ට එරෙහි වඩාත් රුදුරු මර්දනයකට උද්ඝෝෂනය කරති. මෙහි පෙරමුනෙහි සිටින පුවත්පතක් වන දිවයින හි අගෝස්තු 24 දා පල වූ දේශපාලන විශේෂාංගයක සඳහන් වනුයේ, “සිංගප්පුරුවේ මෙන් වර්ජකයන්ට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතු” බවයි. ලිපිය ලියන ජනිත සෙනෙවිරත්න මෙසේ කියයි: “ඒ සඳහා රජය නොබියව තීරන ගත යුතු ය. රටක් ලෙස ගන්නා එවැනි තීරනවලට කිසියම් වෘත්තික කන්ඩායමක් විරුද්ධ වන්නේ නම් හෝ වැඩ වර්ජනය කරන්නේ නම් ඒ සඳහා දැඩි තීරන රජය මගින් ගත යුතුව තිබේ. වැඩ වර්ජකයන්ට එරෙහිව එවැනි අවස්ථාවල දැඩි තීරන ගත යුතු ය. එවැනි අවස්ථාවල ඔවුන්ට මතකයේ පවතින දඬුවමක් ලබා දිය යුතුය.”

දුම්රිය සමිති 2006 සිට වසර 12 ක් පුරා යෙදී සිටින්නේ ඒ ආකාරයෙන් දුම්රිය සේවකයන්ගේ අරගල සීමා කිරීමේ හා ධනපති ආන්ඩුවල ව්‍යාජ පොරොන්දු වලට යටත් කර ඔවුන්ගේ අරගල පාවාදීමක ය.

මෑතම අරගල ගතහොත්, පැය 40 ක වැඩ දිනයක් සහ නොගෙවූ අතිකාල සහ දිරිදීමනා ඉල්ලා දුම්රිය තාක්ෂනික සේවා වෘත්තීය සමිති කමිටුව ජුලි 22 ආරම්භ කල අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය දින කිහිපයකින් නතර කලේ කිසිදු ඉල්ලීමකට විසඳුමක් ලැබීමෙන් තොරවය.

දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, මෙහෙයුම් කලමනාකරුවන් සහ නියාමකයන් 4,000 ක පමන සහභාගිත්වයෙන් අගෝස්තු 8 වෙනි දා ආරම්භ කල වර්ජනය සමිති නිලධරය විසින් අගෝස්තු 12 වන දා නවතා දමනු ලැබුවේ ආන්ඩුවේ මර්දනයට හා තර්ජනයට කම්කරුවන් යටත් කරමිනි.

සියයට 65 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා 2006 මාර්තු මාසයේ දී රාජ්‍ය අංශයේ 300,000 ක් කම්කරුවන් වර්ජනයක යෙදුන කොන්දේසි තුල රාජ්‍ය අංශයේ වැටුප් විෂමතාවයක් නිර්මානය කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2006 දී පත්කල වැටුප් කොමිසම විසිනි. එය කම්කරුවන්ට ඇටවූ උගුලකි. දුම්රිය ඇතුලු රාජ්‍ය අංශයේ සමිති, කොමිසම විසින් නිර්මානය කරන ලද ශ්‍රේනිගත භේද කිරීම් වල එල්ලී ගෙන කම්කරුවන් භේද කරමින් වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් මත දුම්රිය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් ඇතිවීම එක දිගටම වලක්වා ඇත.

දුම්රිය සමිති ඇතුලු ලංකාවේ සහ ලොවපුරා වෘත්තීය සමිති තවදුරටත් කම්කරු පන්තියේ උපකරන නොවේ. ජාතිකවාදී හා ධනපති ගැති මෙම වෘත්තීය සමිති අසමානතාවයට හා ධනපති ක්‍රමයට එරෙහි විරෝධය අවහිර කරන හා මැඩපවත්වන, සංගත කලමනාකරනයන්හි හා රාජ්‍යයේ කෝපරේට්වාදී හස්තයන් ය. සෑම වර්ජනයකදීම සමිති වල භූමිකාව වන්නේ කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීම හා නවතා දැමීම යි.

එක්සත් ජනපදයේ වර්ජිනියා හි ගුරුවරුන්ගේ වර්ජනයන්ගේ සිට ශ්‍රී ලංකාවේ තැපැල්, ජලාපවහන සහ විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ අරගල දක්වා වන ලොවපුරා කම්කරු අරගල තුල දී කම්කරුවන් අත් දකින්නේ සමිතිවල මෙම කම්කරු-විරෝධී භූමිකාවයි.

ඉල්ලීම් සැකසීම, පන්ති ක්‍රියාවන් සංවිධානය කිරීම, ඒවා නතර කිරීම හා ධනපති රාජ්‍ය හෝ හාම්පුතුන් සමග සාකච්ඡා ඇතුලු සියල්ල සිදුවන්නේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව සමිති නිලධරයේ තනි කැමැත්තට ය. සාමාජිකයන් අතර ඒ කිසිවක් සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් නොමැත.

වෘත්තීය සමිතිවල මෙම ස්වභාවය මුල්බැස ඇත්තේ “මූලික වශයෙන්” ම ලෝක ආර්ථික ව්‍යූහයේ ඇතිව පවත්නා වෙනස්කම් තුල ය. පදනමෙන්ම ජාතිකවාදී වූ මෙම සමිති, නිශ්පාදනයේ භූගෝලීකරනයත් සමග ධනපති හස්තයන් බවට පත්ව කම්කරු පන්තියේ සීමිත ජයග්‍රහනයන් සඳහා වූ අරගලය පවා අත්හැර දමා ඇත. ධනේශ්වර රාජ්‍යයේ හා ධනපති හාම්පුතුන්ගේ උවමනාවන්ට කම්කරු පන්තිය යටත් කරන කාර්මික පොලීසි ලෙස මෙම සමිති ලොවපුරා ක්‍රියාත්මක වෙයි.

ධනපති ගැති වෘත්තීය සමිති වලින් වෙන් ව නව සංවිධාන රූප, එනම් කම්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමට දුම්රිය කම්කරුවන් ඇතුලු අනෙකුත් කම්කරුවන් වහා ආරම්භකත්වය ගත යුතුය.

වැටුප් විෂමතා අවසන් කිරීම, සෑම කම්කරුවෙකුටම ශීලාචාරව ජීවත්විය හැකි වැටුප් ක්‍රමයක් ඇති කිරීම සහ අනාරක්ෂිත වැඩ කොන්දේසි අවසන් කිරීම යනාදී ඉල්ලීම් මෙම කමිටු තුල කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මගින් මතුකර ගත යුතු ය.

මෙම කමිටු ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පිහිටුවා ගනිමින් සහ සමවාය ජාලයක් ලෙස ඒකාබද්ධ කරමින් ධනපති රාජ්‍යය පෙරලා දමා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා මෙහෙයවා ගත යුතුය. මෙම වැඩපිලිවෙලට නායකත්වය දෙන සහ එය සංවිධානය කරන විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීම මෙහි ලා අත්‍යවශ්‍යම කරුන වෙයි.

කියවන්න: ශ්‍රී ලංකාව: වැඩවර්ජිත දුම්රිය කම්කරුවන්ට දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍යය

Share this article: