තුර්කි ලීරා මුදලේ අර්බුදයෙන් ලෝක වෙලඳපොලවල් කම්පනය වේ

World markets brace for impact of Turkish lira crisis

නික් බීම්ස් විසිනි, 2018 අගෝස්තු 13

තුර්කියේ මූල්‍ය හා ලීරා මුදලේ අර්බුදයෙහි දුරදිග යන ගෝලීය ප්‍රතිවිපාක පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත්වෙද්දී, අද දින ආරම්භයේදී ප්‍රධාන මූල්‍ය වෙලඳපොලවල මතුව තිබූ ප්‍රමුඛ ප්‍රශ්නය, එහි බලපෑම කවරක් විය හැකි ද යන්නයි.

නිව් යෝර්ක් ටයිම්ස්හි ආර්ථික ලියුම්කරු පෝල් කෘග්මාන් සති අන්තයේ පලකල ලිපියක සඳහන් කලේ, තුර්කි ලීරාවේ කඩාවැටීම, වසර 20ට පෙර ආසියානු මූල්‍ය අර්බුදය ප්‍රතිනිර්මානය වීමක් බවය.

පිම්කෝ යන ලෝකයේ විශාලතම බැඳුම්කර වෙලඳ සමාගමක් අනතුරු ඇඟවූයේ, තුර්කි අර්බුදය වනාහි, ඇමරිකානු මහ බැංකුව සිය පොලී අනුපාත ඉහල නැංවීමේ සහ එහි මූල්‍ය වත්කම් තොග අඩුකිරීමේ ප්‍රතිපල වශයෙන් ගෝලීය මූල්‍ය වෙලඳපොලවල ඇතිව තිබෙන මාරුවේ ප්‍රතිවිපාකය වී ඇති බවය.

ඩොලර් වලින් නියම කෙරෙන නය පහත අගයකින් පැවතියදී ඒවා වැඩි වැඩියෙන් ලබාගත් තුර්කිය වැනි රටවලට පොලී අනුපාත වැඩිකිරීම තදින් බලපා ඇත. ඇමරිකානු පොලී අනුපාත හා ඩොලරය ඉහලයෑමත් සමඟ නයගැතියන් බංකොලොත් වීමේ කොන්දේසි දැඩි කරමින් නය ආපසු ගෙවීමේ වියදම් ඉහල යෑමට පටන්ගෙන ඇත.

ඩොලර් බිලියන 467ක නය බරක් ඇති තුර්කිය ජාත්‍යන්තර වෙලඳපොල වලින් වැඩියෙන්ම නයගත් රටකි.

පිම්කෝහි ගෝලීය ආර්ථික උපදේශකයා වන ජෝකිම් ෆෙල්ස් 12දා ලිව් සටහනක මෙසේ සඳහන් විය: “මෙය, දුර්වල දේශීය ආර්ථික ප්‍රතිපත්ති නරක අතට හැරීමත්, පහත යන ගෝලීය ද්‍රවශීලතාවත්, පහර වැදිය හැකි, ඩොලර් වලින් නියමිත පිම්බුනු ශේෂපත්‍ර, වසංගත හා දැඩි අස්ථාවරත්වයක් නිර්මානය කල හැක්කේ කෙසේ ද යන්න පිලිබඳ තවත් නිදසුනක් බව පෙනී යයි. මහ බැංකුවේ ශේෂපත්‍රය හැකිලෙන බවත් ක්‍රමානුකූලව අරමුදල් අනුපාත නැංවීමත් ගෝලී ඇඟවුම් සහිත වන බව නොකීවේ කවු ද?”

යුරෝපීය මධ්‍යම බැංකුව, තුර්කි නයට වඩාත් නිරාවරනයවී ඇති ප්‍රධාන යුරෝ බැංකු ගැන පරීක්ෂාවෙන් සිටී. ස්පාඤ්ඤයේ බීබීවීඒ තුර්කියට ඩොලර් බිලියන 83.3 ද ඉතාලියේ යුනි ක්‍රෙඩිට් බිලියන 38.4 ද ප්‍රන්සයේ බීඑන්පී පරිබාස් බිලියන 17 ද නය දී ඇත.

කම්කරු පන්තියට එල්ල කෙරෙන ප්‍රහාර දැඩි කරමින් මූල්‍ය ස්ථාවරත්වය ඇතිකිරීම පිනිස මහ බැංකුව පොලී අනුපාත වැඩිකල යුතු ය යන්න, ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල නියෝගය වී ඇත. දැනටමත් එරට උද්ධමන අනුපාතය සියයට 16ත් වඩා වැඩිය. එහෙත් එම නියෝගය තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩොගාන් විසින් මේ දක්වාම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

සති අන්තයේ පැවැත්වූ කථා ගනනාවකදීම එර්ඩොගාන්, ඔහුගේ ජනතාවාදී පුරසාරමේ යෙදුනු අතර, තුර්කි ආර්ථිකය බිම දැමීම පිනිස වෙනත් රටවල් “මෙහෙයුමක්” අරඹා තිබෙන බව පැවසීය.

රිසි නගරයේදී ඔහුගේ සාධාරනත්වය හා සංවර්ධනය යන පක්ෂයේ සාමාජිකයින්ගේ රැලියකදී කථාකරමින් ඔහු පැවසුවේ, පොලී අනුපාත වැඩිකිරීම “සූරාකෑමේ වාහකයක් වන අතර ඉන් පොහොසතුන් තවත් පොහොසත් කරන අතර දුප්පතුන් තවත් දුප්පත් කරයි” යනුවෙනි.

10දා ගනුදෙනු වලදී තුර්කි ලීරාව සියයට 18කින් පමන කඩා වැටුනි. එය 2001 මූල්‍ය අර්බුදයෙන් පසුව ඇතිවූ තියුනුම වැටීම වන අතර වෙලඳපොල විවෘත කිරීමෙන් පසුව තවදුරටත් පහත වැටීමට නියමිතය. ආසියානු වෙලඳපොලවල ආරම්භක පැය ගනන් තුල එය තවත් සියයට 12න් පහත ගියේය. එය ඩොලරයක් ලීරා 7ක අගයක් වන අතර ඉක්මනින්ම 10ක මට්ටමට වැටෙනු ඇති බව සැලකේ.

12දා හුරියෙට් පුවත්පතේ ඔන්ලයින් සටහනකට සහභාගී වෙම්න් ජනාධිපතිගේ බෑනා වන මුදල් හා භාන්ඩාගාර ඇමති බෙරට් අල්බෙයාක් පැවසුවේ, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් තමා සතුව ඇති බවයි. ලීරාවේ අගය කඩාවැටීම “ප්‍රහාරයක්” යයි ඔහු පැවසීය.

“13දා උදෑසන සිට අපගේ ආයතන, අවශ්‍ය පියවර ගන්නා අතර නිවේදන වෙලඳපොල සමඟ බෙදාහදා ගන්නෙමු.” එහෙත් ඒ කුමන පියවර තුලින් ද යන්න ගැන ඔහු කිසිවක් නොකීවේය. “පුලුල් වශයෙන් ආර්ථිකය ද බැංකු ද සඳහා සැලැස්මක් සූදානම් කර තිබේ, ආන්ඩුව අපගේ බැංකු හා බැංකු නිරීක්ෂන සමාගම සමඟ ඉක්මන් ක්‍රමයකින් අවශ්‍ය පියවර ගන්නවා.”

1930 ගනන්වල මහා ආර්ථික අවපාත අවධියට සමාන ආර්ථික බලපෑමක් ඇති කරමින්, කලාපය පුරා කම්පන මාලාවක් ඇති කල තායි බාට් මුදලේ කඩාවැටීම මඟින් 1997-98දී ආසියාවේ සිදුවුනාක් වැනි මූල්‍ය අර්බුදයකට තුර්කිය මුහුනපා සිටින බවට පලවන අදහස් එර්ඩොගාන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ලීරාවේ වැටීම තුර්කි ආර්ථිකයේ අත්තිවාරම පිලිබිඹු නොකරන්නේ යයි ඔහු පැවසීය. “මෙම තේ කෝප්පයේ කුනාටුවට හේතුව කවරේ ද? මේ සඳහා වන ආර්ථික හේතුවක් ඇත්තේ නැත....මෙය තුර්කියට විරුද්ධ මෙහෙයුමක කටයුත්තක් බව කිව යුතුය.”

මැද පෙරදිග සිය විදේශ පිලිවෙත් ඉලක්කයන් සමඟ පෙලගස්වා ගැනීමට තුර්කියට බලකිරීම පිනිස ට්‍රම්ප් ආන්ඩුව විසින් මූල්‍ය අර්බුදය ගසාකනු ලැබීමෙන්, ලීරාවේ කඩාවැටීම, වඩාත් උත්සන්න කෙරින. පසුගිය සතියේ ට්‍රම්ප් ආන්ඩුව, ලීරාවේ කඩාවැටීමටත්, 2016 ජූලි මාසයේදී එර්ඩොගාන්ට එරෙහි කුමන්ත්‍රන ව්‍යායාමයට සම්බන්ධය යයි කඩාකප්පල්කාරී හා ත්‍රස්තවාදී චෝදනාව යටතේ අත්අඩංඟුවට ගනු ලැබ සිටින, එවැන්ජලිකල් පූජක ඇන්ඩෘ බෘන්සන් නිදහස් කිරීම තුර්කි ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමටත් ප්‍රතිචාර වශයෙන්, තුර්කි වානේ ආනයන සඳහා පනවා තිබෙන තීරුබද්ද දෙගුනයක් දක්වා වැඩි කලේය.

බෘන්සන් අරභයා පැනනැඟී තිබෙන ගැටුම, තුර්කිය හා ඇමරිකාව අතර පැනනැඟී තිබෙන ගැටුම් මාලාවක අලුත්ම එකය. සිරියාව තුල ඇමරිකාව, කුර්දි මිලිෂියා කන්ඩායම් වලට දෙන පිටුබලයට තුර්කිය විරුද්ධය. ඔවුන් ඒවා හඳුන්වන්නේ ත්‍රස්තවාදී කන්ඩායම් ලෙසය. තුර්කිය රුසියාව හා චීනය සමඟ ඇතිකරගෙන තිබෙන සමීප සම්බන්ධතා මත, ඇමරිකාව මෙන්ම අනෙකුත් නැටෝ සාමාජිකයින් ද සමඟ තුර්කිය ගැටුමක් ඇතිකරගෙන තිබේ.

එර්ඩොගන් විසින් සකස්කර 10දා නිව් යෝර්ක් ටයිම්ස්හි පල කල අදහස් දැක්වීමකදී, මෙම ප්‍රශ්න ගැන සඳහන් කෙරුනි. එහිදී කුමන්ත්‍රන ව්‍යායාමය ගැන ඇමරිකාවේ ආස්ථානය ගැන ද විවේචන පල විය. සිය ප්‍රධාන ආධාරකරුවන් දෙදෙනෙක් ඝාතක කල්ලි විසින් මරා දමා ඇති බව ඔහු පැවසීය. කුමන්ත්‍රනය සාර්ථක වූවානම් තමාට ද එම ඉරනමට මුහුනපෑමට සිදුවිය හැකිව තිබූ බව එර්ඩොගන් සඳහන් කලේය.

“ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් කුමන්ත්‍රනය හෙලාදකිනවා වෙනුවට ඇමරිකාව, “තුර්කිය තුල ස්ථාවරත්වය හා සාමය සවත්වාගෙන යාම” ගැන පමනක් කථා කලේය. එර්ඩොගන් සිය අදහස් දැක්වීමේදී සඳහන් නොකලත්, වාර්තා වූ පරිදි ඔහු දිවි ගලවා ගත්තේ, කුමන්ත්‍රනය ගැන රුසියානු ඔත්තු සේවා ඔහුට දැනුම්දීම නිසා බව සඳහන් කෙරින.

එම ලිපියෙන්, දිගු කලක් තිස්සේ තුර්කිය හා ඇමරිකාව අතර පවතින මූලෝපායික සන්ධානය ගැන සඳහන් කරන අතර “ඇමරිකාවේ ආසක්තයන් හා ආරක්ෂාවට පමනක් අදාල වන” ඒකපාර්ශවික ක්‍රියා දිගටම පැවතීම ගැන අනතුරු අඟවා ඇත. “ඒකපාර්ශවිකත්වයේ මෙම ප්‍රවනතාව අකුලා ගැනීමට අසමත්වීම ද නිගරු කිරීම ද අපගෙන් ඉල්ලා සිටින්නේ, අලුත් මිතුරන් හා සන්ධාන පිලිබඳව සොයා බලන ලෙසයි.”

සිදුවීම්වල ක්ෂනික හේතුව කුමක් වුවත්, තුර්කි අර්බුදය හා දුරදිග යන ප්‍රතිවිපාක පිලිබඳ අනතුරු ඇඟවීම්, ඊනියා නැඟී එන ආර්ථිකයන්ට පමනක් නොව ප්‍රමුඛ ජාත්‍යන්තර බැංකු පිලිබඳව ද අදාල වේ. එය සලකුනු කරන්නේ, ඇමරිකානු මහ බැංකුව හා අනෙකුත් ප්‍රමුඛ මධ්‍යම බැංකු විසින් ගන්නා ලද පියවර 2008 කඩාවැටීමත් සමඟ හටගත් ගෝලීය අර්බුදයෙන් ඉස්මතු කල ධනේශ්වර ආර්ථිකයේ ප්‍රතිවිරෝධතා කිසිවක් විසඳා නැති බවයි.

පොලී අනුපාත වාර්තාගත පහත් මට්ටම් කරා ගෙන එමින් ඩොලර් ට්‍රිලියන ගනනක් මුදල් වෙලඳපොලවලට පොම්ප කිරීම මඟින්, මූල්‍ය වත්කම් හා කොටස් මිල ගනන් ඉහල යාමේ රූපාකාරයෙන්, ගෝලීය මූල්‍ය හා ව්‍යාපාර වලට ඉමහත් වාසි සැලසුනි. ඇමරිකානු කොටස් වෙලඳපොල 2009 මාර්තුවේ පැවති පහත් අගයේ සිට දැන් හතර ගුනයකින් ඉහල ගොස් තිබේ.

එහෙත් මෙය නිර්මානය කරන්නේ, දශකයකට පෙර ඇතිවූ විනාශය පරයා යන තවත් ගෝලීය බිඳ වැටීමක කොන්දේසි පමනි. එම අර්බුදයෙන් පසුව ගතවූ දස වසරේ අත්දැකීම් පෙන්නුම් කර ඇති පරිදි එය තුඩුදෙනු ඇත්තේ, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි වහාම තියුනු කෙරෙන ප්‍රහාරයන්ටය.

Share this article: