හුආවේ විධායක නිලධාරිනිය රඳවා ගැනීම පිලිබඳව චීනය ඇමරිකානු තානාපති කැඳවයි

China summons American ambassador over detention of Huawei executive

පීටර් සිමන්ඞ්ස් විසිනි, 2018 දෙසැම්බර් 10

කැනේඩියානු බලධාරීන් විසින් දෙසැම්බර් 1දා හුආවේ විධායක මෙන්වන්ෂෝ රඳවා ගැනීම පිලිබඳව කැනඩාවට හා ඇය බාරදෙන ලෙසට බලකරන ඇමරිකාවට ද එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට චීනය තර්ජනය කරයි. ඇමරිකාවේ අතිශය ප්‍රකෝපකාරී ක්‍රියාව, ඇමරිකාවේ තාක්ෂනික අධිකාරයට හුආවේ වැනි යෝධ චීන සමාගම් වලින් එල්ලවන අභියෝග වැලැක්වන ට්‍රම්ප් ආන්ඩුවේ පුලුල් ව්‍යායාමයක කොටසකි.

හුආවේ මූල්‍ය පරිපාලක වන මෙන්, සමාගමේ නිර්මාතෘ හා වත්මන් ප්‍රධානී රෙන්ග්සෙන්ෆෙගේ දියනිය ද වන අතර, හොංකොංහි සිට මෙක්සිකෝව දක්වා යන අතරතුර වැන්කුවර්හිදී ගුවන් යානය මාරු කරද්දී අත්අඩංඟුවට ගෙන ඇත. ඇප දීමේ අද දිනයේත් පැවැත්වෙන පරීක්ෂනයේ ප්‍රතිපල ලැබෙන තෙක් ඇය තවමත් රඳවාගෙන සිටියි. මෙන් ඇමරිකාවට බාරදීමෙන් පසුව, ඉරානයට පනවා ඇති ඇමරිකානු සම්බාධක වංචනික ලෙස මඟහැරියේය යන චෝදනා වලට වරදකාරිය වුවහොත් වසර 30 දක්වා වන සිරදඬුවමකට යටත් වන්නීය.

චීන උප විදේශ ඇමති ලේ යුචෙන් 8දා කැනේඩියානු තානාපති ජෝන් මැකලම් කැඳවා, මෙන් රඳවා ගැනීම පිලිබඳව “දැඩි විරෝධය” පල කලේය. එසේම මෙන් වහාම නිදහස් කරන ලෙසට ද ඔටාවා ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. “චීන ජනතාවගේ හැඟීම් පලුදු කලේ” යයි කැනඩාවට චෝදනා කරමින් බීජිනය “දැඩි ප්‍රතිවිපාක” වලට ඔවුන්ට මුහුන දීමට සිදුවන බවට අනතුරු අඟවා ඇත.

එසේම ලී, 9දා චීනයේ ඇමරිකානු තානාපති ටෙරී බ්‍රැන්ස්ටඞ් කැඳවා, මෙන්ට එරෙහිව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් “බලවත් විරෝධය” පල කර තිබුනි. ඇමරිකාව වහාම සිය වැරැද්ද නිවැරදි කරගෙන ඇය අත්අඩංඟුවට ගැනීමේ නියෝගය අවලංඟු කල යුතු බව ද ඔහු තානාපතිට දැනුම් දුන්නේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ හොරනෑ වන ෂින්හුවා හා පීපල්ස් ඬේලිපුවත්පත් සති අන්තයේ පල කල කතුවැකි වලින්, චීනයේ පුලුල් මහජන කෝපයට හඬ මුසුකරමින් හෙලා දැකීම් වඩාත් උත්සන්න කර තිබේ.

රඳවා ගැනීම “අතිශයින්ම බරපතල” ක්‍රියාවක් ලෙස හෙලාදකිමින් ෂින්හුවා, එය “චීන-කැනඩා සම්බන්ධතාවන්ට බරපතල හානියක්” සිදුකරනු ඇතැයි අනතුරු ඇඟවීය. “සිදුවීමට යන අත්අඩංගුවට ගැනීම ගැන කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ කල්තියා දැන සිටින්නට ඇති නමුත් ඒ ගැන චීනයට නොදැන්වීමටත් ඇමරිකාවේ ඒක පාර්ශවික අධිපතිවාදී හැසිරීමට උදව් කිරීමටත් තීන්දුකර තිබුනා වියයතු යයි” එහි සඳහන්විය.

“විශාල වන්දියක් ගෙවීමෙන් වැලකෙන්නට නම්” කැනඩාව “චීන පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතීන් හා ආසක්තයන්ට හානි කිරීම වහාම නතරකල යුතු යයි” පීපල්ස් ඬේලි පැවසීය. ඇමරිකාවට කල අනතුරු ඇඟවීමේදී කතුවැකිය, මෙසේ පවසයි. “චීනය කරදර ඇතිකරන්නේ නැත. එහෙත් එරට කරදර වලට බිය වන්නේ ද නැත. කිසිවෙකුත් චීනයේ අධිෂ්ඨානය, ශක්තිය හා විශ්වාසය අඩු තක්සේරු නොකල යුතුය.”

චීනයට එරෙහි වොෂින්ටනයේ පුලුල් වන ආර්ථික යුද්ධය චීන භාන්ඬ වලට දැවැන්ත බදු පැනවීමටත් ඊට එකට එක කිරීම් වස් චීනය විසින් ද තීරු බදු පැනවීමත් නතර කිරීමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට ආර්ජන්ටිනාවේ පැවති ජී 20 සමුලුව අතරතුර, චීන ජනාධිපති සී ජින්පින් සමඟ ජනාධිපති ට්‍රම්ප් සාකච්ඡා පවත්වද්දී, මෙන් අත්අඬංගුවට ගැනීම සිදුවිය. එය තුවාලය පෑරීමක් විය. දින 90ක් ඇතුලත, දිගු ලැයිස්තුවකින් යුත් ඇමරිකාවේ ආර්ථික ඉල්ලීම්වලට විසඳුමක් ඇතිකර ගැනීමට නායකයින් දෙදෙනා අතර ඇතිකරගත් නොපැහැදිලි එකඟත්වය දැන් අඩමානය. සීබීඑස් රූපවාහිනිය සමඟ 9දා පැවති හමුවකදී ඇමරිකානු වෙලඳ නියෝජිත රොබට් ලයිතිෂර් නරුම ලෙස පැවසුවේ, “මෙන් රඳවා ගැනීම වෙලඳ සාකච්ඡාවන්ට වැඩි බලපෑමක් ඇති නොකරනු ඇති බවයි. මෙය අපරාධ පිලිබඳ අධිකරන ප්‍රශ්නයකි. එය මා වැඩකරන සැමදෙයකටම වඩා වෙනස් දෙයකි” යනුවෙනි.

කෙසේ වෙතත් ලයිතිෂර් හොඳින්ම දන්නා පරිදි, එලඹෙන තෙමස තුල පැවැත්වෙන ඇමරිකා-චීන සාකච්ඡා හුදෙක් චීනය සමඟ වෙලඳාමෙන් ඇමරිකාවට සිදුව ඇති හිඟය අඩුකර ගැනීම පිලිබඳ කාරනයක් නොවේ. බුද්ධිමය දේපොල සොරකම් කිරීම හා බලහත්කාරී තාක්ෂනික මාරුකිරීම් පිලිබඳ චෝදනාවල පදනම මත සලකන කල, ට්‍රම්ප් ආන්ඩුව බීජිනයට බලකරන්නේ, පරිඝනක මෘදුකාංඟ, රොබෝ තාක්ෂනය හා විදුලි මෝටර් රථ ඇතුලු ප්‍රධාන අධි තාක්ෂනික කර්මාන්තයේ ගෝලීය නායකත්වය හිමිකර ගන්නා රට බවට චීනය පත්කරන “2025දී චීනයේ සාදන ලදී” සැලැස්ම අතහරින ලෙසය.

ඇමරිකාව දැනටමත් ලෝකයේ දෙවන විශාලතම ස්මාට් දුරකථන නිෂ්පාදක හුආවේ මෙන්ම තවත් යෝධ අධි තාක්ෂනික සමාගමක් වන ZTE ද දඩයමට ලක්කර ඇත. මැයි මාසයේදී පෙන්ටගනය, මිලිටරි කඳවුරු තුල හුආවේ හා ZTE ස්මාට් දුරකථන අලෙවිය නතර කරන ලෙස නියෝග කලේය. අගෝස්තුවේදී ට්‍රම්ප් ඇමරිකානු ආන්ඩුව හා රජයේ කොන්ත්‍රාත්කරුවන් චීන නිෂ්පාදකයින්ගෙන් ලබාගන්නා උපකරන භාවිතා කිරීම තහනම් කලේය.

ඊලඟ පරම්පරාවේ 5G රැහැන් රහිත ජාලයන්හි හුආවේ හා ZTE සම්බන්ධවීම වලක්වන ලද ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය ද වොෂින්ටනය විසින් එක්කරගනු ලැබ ඇත. පසුගිය සතියේ බ්‍රිතාන්‍ය ටෙල්කෝ බීටී සමූහ ව්‍යාපාරය, සිය 5G ජාලයේ මූලික කටයුතු වලදී, හුආවේ උපකරන මිලට නොගන්නා බව නිවේදනය කලේය.

ග්ලෝබල් ටෙක් පොලිසි ඇට් රිස්ක් කන්සල්ටන්සි ගෲප් ප්‍රධානී පෝල් ට්‍රියලෝ සීඑන්එන් රූපවාහිනියට පැවසූ පරිදි, හුආවේ වනාහි, දත්ත ගබඩා හා හෙඞ් සෙට්, ඇන්ටෙනා එකලස් කිරීම වැනි “දැනට ලෝකයේ ඇති 5G ජාලයන්හි උපාංඟ හා ඒවා මහා පරිමානයෙන් ද අඩු වියදමකින් ද නිපදවිය හැකි මධ්‍යස්ථාන සහිත එකම සමාගම වීම මේ මඟින් පරදුවට තැබී ඇත.”

රජය සතු චයිනා ඬේලි පුවත්පත පසුගිය සතියේ කතුවැකියක් ලියමින් පැවසුවේ: “චීනයේ තරඟකාරී තාක්ෂනික සමාගම්වල ප්‍රමුඛයා හුආවේ සමාගමයි. එබැවින් හුදෙක් ලෝකය තුල හුආවේහි පුලුල්වීම තමන්ට හැකි කුමන ආකාරයකින් හෝ පාලනය කිරීමට එක්සත් ජනපදය උත්සාහ කරන” බවය.

මෙන් රඳවා ගැනීම පෙන්නුම් කරන්නේ චීනය, සුපිරි තාක්ෂනික හා ඊට සම්බන්ධ මිලිටරි දෘඪකාංඟ හා පද්ධති නිමැවුම් සඳහා තම ප්‍රමුඛත්වයට චීනය තර්ජනයක් නොවන බවට වගබලා ගැනීමේදී කිසිවකින් නතර නොවන බවයි. අන් සියල්ලටත් වඩා එරට ගෝලීය ආර්ථික හා මූලෝපායික අධිකාරය පවත්වා ගැනීමය. ඇය අත්අඩංඟුවට ගැනීම, එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව, ඒකපාර්ශවිකව තම සම්බාධක පැනවීමේ මැරවර භාවිතය නාටකාකාර ලෙස පුලුල් කරයි. මේ ප්‍රශ්නයේදී ඉරානයට එරෙහිව ජනාධිපති ඔබාමා කලාක් මෙන් ඉන්පසුව ඒවා උල්ලංඝනය කරන පුද්ගලයින්ට හා සමාගම් වලට දැවැන්ත දඩ නියමකිරීමයි.

පසුගිය 8දා නඩු විභාගයේදී කැනඩාවේ අධිකරන දෙපාර්තමේන්තුවෙහි නීතිඥයා පලමු වතාවට, මෙන් හා හුආවේ වෙත එල්ල කර ඇති ඇමරිකානු චෝදනා ගෙනහැර දැක්වීය. ඇමරිකාව චෝදනා නඟා ඇත්තේ හුආවේ, ඉරානයේ ටෙලිකෝස් සමාගම සමඟ ගනුදෙනු කිරීමේදී 2009-2014 කාලය තුල හොංකොංහි ස්කයිකොම් ටෙක් සමාගම ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. ඇමරිකානු සම්බාධක උල්ලංඝනය කරමින් ගනුදෙනු නිදහස් කර ගැනීම පිනිස ඇමරිකානු බැංකු මෙන් විසින් නොමඟ යවනු ලැබ ඇතැයි ද චෝදනා නැඟී ඇත.

මෙන්ගේ නීතිඥයා විභාගයේදී පැවසුවේ, ස්කයිකොම් හුආවේහි අතුරු සමාගමක් බවට අදාල කාලය තුල “කිසිදු සාක්ෂියක්” ඉදිරිපත්ව නැති බවයි. සිය සේවාදායකයා වෙත ඇමරිකාව එල්ලකර ඇති “වංචාව” පිලිබඳ චෝදනා පදනම් විරහිත බව ඔහු පැවසීය.

මෙන් ඇමරිකාවට බාරදී වංචාව පිලිබඳ නඩු විභාගයකට ඉදිරිපත් කලහොත් තමන් කුමන ආකාරයකින් ප්‍රතිප්‍රහාර දෙන්නේ ද යන්න ගැන කිසිදු ඉසව්වක් බීජිං තන්ත්‍රය විසින් ඉදිරිපත් කරනු ලැබ නැත. චීන නායකත්වය පැහැදිලිවම ගනන් බලන්නේ, ඇමරිකාවේ අනීතික කටයුතු මධ්‍යයේ වෙලඳාම හා අනෙක් ආර්ථික ප්‍රශ්න මත සිදුවන සාකච්ඡා මුලුමනින්ම බිඳ වැටීමේ ප්‍රතිවිපාක හා ධවල මන්ඳිරය විසින් කුමන හෝ එකඟත්වයක් ඉක්මනින්ම බිඳ දැමීමේ තර්ජනය ගැනය.

චීනයට එරෙහි ආක්‍රමනකාරී ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි පියවර ඔබාමාගේ “ආසියාවට හැරීම” යටතේ පටන්ගත් අතර ට්‍රම්ප් යටතේ උත්සන්න කෙරී ඇත. දෙමසකට පෙර කල යුදවාදී වාචාල කථාවකදී උප ජනාධිපති මයික් පෙන්ස් බීජිනයට පහර දෙමින්, “මානව අයිතීන්, බුද්ධිමය දේපොල සොරකම් කිරීම ද දකුනු චීන මුහුදු කලාපය මිලිටරීකරනය හා යුරේසියාව පුරා යටිතල ව්‍යූහ සංවර්ධනයේ දැවැන්ත වියදම් සඳහා මුල්වන බෙල්ට් හා රෝඞ් වැඩපිලිවෙල තුලින් නොයෙක් රටවල් “නය උගුලක” සිරකිරීම පිලිබඳව ද එරට ආන්ඩුව හෙලාදුටුවේය.

සීබීඑස් රූපවාහිනී වැඩසටහනකදී 9දා රිපබ්ලිකානු සෙනේට් සභික මාකෝ රුබියෝ, හුආවේ හා ZTE සමාගම් වලට එරෙහි තර්ජනය පෙරට ගෙන ගියේය. තමා එම සමාගම් ඇමරිකාව තුල ක්‍රියාත්මක වීම වලක්වන නීති හඳුන්වා දෙන බව ඔහු පැවසීය. “හුආවේ හා ZTE යන බහුකාර්ය චීන සමාගම් අපගේ ජාතික ආරක්ෂාවටත්, අපගේ ජාතික ආසක්තයන්ටත්, අපගේ ජාතික ආර්ථික ආසක්තයන්ටත් අපගේ ආරක්ෂක අවශ්‍යතාවන්ටත් තර්ජනයකි.” රුබියෝ සෙනේට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ද චීන විරෝධී ප්‍රචාරනය හා ක්‍රියාවන්ගේ තෝතැන්නක් වන, චීනය පිලිබඳ කොන්ංග්‍රස් සභා විධායක කොමිසමේ සභාපති ද වන්නේය.

හුආවේ ඇමරිකාව තුල තහනම් කිරීම එහි පැවැත්මට තර්ජනයකි. ගවිකාල් රිසර්ච්හි ටොම් හොලන්ඞ් පසුගිය සිකුරාදා පැහැදිලි කල පරිදි, හුආවේහි ප්‍රධාන සැපයුම්කරුවන් 92ගෙන් 33ක්ම ඇමරිකානු සමාගම්ය. එයට මෘදුකාංඟ නිෂ්පාදක ඉන්ටෙල්, මැක්රොවන්, මයික්‍රොසොෆ්ට් හා ඔරැකල් ඇතුලත්ය. “දැන් වොෂින්ටනය මේ සමාගම් හුආවේ වෙත සැපයුම් කිරීම තහනම් කලහොත්, චීන ටෙලිකොම් යෝධයාට පැවැත්ම සඳහා ලොකු අරගල කිරීමට සිදුවනු ඇත.”

හුආවේ විධායක නිලධාරිනිය රඳවා ගැනීමේ දුරදිග යන ඇඟවුම් තිබේ. ට්‍රම්ප් ආන්ඩුව වෙලඳ යුද්ධයේ පියවර ගන්නා බවට තර්ජනය කර ඇත්තේ චීනයට පමනක් නොව, සිය සහචරයන් වන ජර්මනියට හා ජපානයට එරෙහිව ද වන තතු හමුවේ ඇමරිකාව, ගොතන ලද චෝදනා යටතේ මෙන් රඳවාගෙන සිටින පරිද්දෙන්ම ඒ රටවල ඉහල විධායකයින් ද ඉලක්ක කරනු ඇත. මෙම අත්අඩංඟුවට ගැනීම, ලෝක යුද්ධයක් හටගැනීම දෙසට යොමුවී තිබෙන ආර්ථික එදිරිවාදිකම් හා ගැටුම් තවත් උත්සන්න වන බවට සලකුනකි.

Share this article: