ඩිමොක්‍රටිකයෝ යලිත් දක්ෂිනාංශික නායකත්වයක් තෝරා පත් කරගනිති

Democrats re-elect a right-wing leadership

2018 නොවැම්බර් 30

වෝටර්ගේට් සෝලිය හේතුවෙන් රිපබ්ලිකානු ජනාධිපති රිචඩ් නික්සන් ඉල්ලා අස්වීමෙන් පසු 1974 දී ඩිමොක්‍රටිකයන් ලබාගත් ජයග්‍රහනයෙන් මෙපිට විශාලතම ජයග්‍රහනය වාර්තා කරමින්, පෙනෙන පරිදි රිපබ්ලිකානුවන් අභිබවා ආසන 40ක් වැඩියෙන් ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂය නොවැම්බර් 6දා පැවති මධ්‍යවාර මැතිවරනයේ දී කොංග්‍රස් මන්ඩලයේ පාලනය දිනාගත්තේ ය.

බලයේ සිටි රිපබ්ලිකානුවන් පරාජය කල 31 දෙනෙක්, රිපබ්ලිකානුවන් විශ්‍රාම යාම හේතුවෙන් හිස්වූ ආසන ජයග්‍රහනය කල 12 දෙනෙක්, විශ්‍රාම ගිය ඩිමොක්‍රටිකයන්ගේ ආසනවලට පත් වූ 17 දෙනෙක් හා බලයේ සිටි ඩිමොක්‍රටිකයන් ප්‍රාථමික වටයේ දී පරාජය කල දෙදෙනෙක් (ඇලෙක්සැන්ඞ්රියා ඔකාෂියෝ-කෝටේ හා අයන්නා ප්‍රෙයස්ලි) වසයෙන් 61කට ආසන්න නව ඩිමොක්‍රටික නියෝජිතයන් පිරිසක් කැපිටල් හිල් වෙත පැමින ඇත.

ඡන්දය දී තිබුනේ එහි සාමාජිකයන්ගෙන් හතරෙන් පංගුවකට යන්තම් වැඩි පිරිසක් වුව ද කොංග්‍රස් ඩිමොක්‍රටික කන්ඩායම කිසිදු විරෝධයකින් තොර ව ඉහල ම නායකත්වයට තිදෙනෙක් යලි තෝරා පත්කර ගත් හ. 2002 පටන් කොංග්‍රස් ඩිමොක්‍රටික කන්ඩායමට නායකත්වය දී ඇති 78 හැවිරිදි නැන්සි පෙලෝසි ව 203-32ක බහුතරයකින් කොංග්‍රස් කථානායක ධුරයට යෝජනා කරගැනුනි. 2002 පටන් පෙලෝසිගේ දෙවැනියා වන 79 හැවිරිදි ස්ටෙනි හෝයර් ව පූර්න අනුමැතියෙන් යුතු ව කොංග්‍රස් බහුතර නායකත්වයට තෝරාපත් කරගැනුනි. 2006 පටන් තුන්වන ඩිමොක්‍රටික නායකයා වන 78 හැවිරිදි ජේම්ස් ක්ලයිබර්න් කොංග්‍රසයේ බහුතර පක්ෂ සංවිධාකයා ලෙස තෝරාපත් කරගන්නා ලදී.

පෙලෝසි-හෝයර්-ක්ලයිබර්න් නායකත්වය යලි පත් කරගැනීම, නොවැම්බර් 6දා ලැබූ බහුතර ට්‍රම්ප්-විරෝධී ඡන්දය නො තකා ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩපිලිවෙලේ, උපාමාරුවල හෝ මූලෝපායේ සැලකිය යුතු වෙනසක් සිදු නො වනු ඇති බව කොංග්‍රස් ඩිමොක්‍රටිකයන් විසින් යලි තහවුරු කිරීමකි. එක් තක්සේරුවකට අනුව, මධ්‍යවාර මැතිවරනයේ දී මිලියන 111ක් ඡන්දය ප්‍රකාශ කල අතර, මිලියන නවයක් දෙනා රිපබ්ලිකානුවන්ට එරෙහි ව ඩිමොක්‍රටික් අපේක්ෂකයන්ට බහුතර ඡන්දයක් ලබා දුන් හ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාර, සංක්‍රමනිකයන්ට වෙනස්කම් කිරීම සහ ආර්ථික යුද්ධය හා ඍජු මිලිටරි ගැටුම් අරබයා ඍජු ව ට්‍රම්ප්ට අභියෝග කිරීම පසෙක තැබුවත්, ට්‍රම්ප් පරිපාලනයේ දක්ෂිනාංශික පිලිවෙත්වලට විරෝධය පලකිරීමට වත් පෙලෝසි නායකත්වය මෙම ජනවරම යොදා නො ගන්නේ කවරක් සිදුවුවත් ධවල මන්දිරය සමග එකට වැඩ කිරීමට හා ඒකාබද්ධ ව කටයුතු කිරීමට ඇති අධිෂ්ටානය ප්‍රකාශ කරමිනි.

නොවැම්බර් 6දා ඩිමොක්‍රටික් ජයග්‍රහනයේ පරිමානය පැහැදිලි වූ වහා ම ට්‍රම්ප් සමග ඇති සංහිඳියාව පෙලෝසි විසින් දේශනා කලා ය. යටිතල පහසුකම් පිරිවැය, ඖෂධ වට්ටෝරු මිල හා රුසියාව, චීනය හෝ ඉරානය විසින් එල්ල කරන්නේ යයි කියන සයිබර් ප්‍රහාරවලින් එක්සත් ජනපද මැතිවරන යාන්ත්‍රනය ආරක්ෂා කිරීමේ පියවර ගැනීම සඳහා පරිපාලනය සමග එකට වැඩකිරීමේ සූදානම ඇය යලි යලිත් ප්‍රකාශයට පත්කොට ඇත.

සංක්‍රමනිකයන්ට ට්‍රම්ප් විසින් සලකන ම්ලේච්ඡ ආකාරය ගැන කතාකිරීම යථා කරුනුවලින් “අපසරනය වීමක්” යයි මැතිවරන උද්ඝෝෂනයේ දී අවධාරනය කල පෙලෝසි, ත්‍රස්තයට හා බියගැන්වීමට මිලිටරිය බලමුලුගන්වන අතරතුර, දේශසීමාවේ දී ගැහැනුන් හා ලමුන් මත කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, වධක කඳවුරු ගොඩනැගීම හා රැකවරන සඳහා ඇති අයිතිය තථ්‍ය වසයෙන් අවසන් කිරීමට ට්‍රම්ප් නියෝග කර තිබීම සම්බන්ධයෙන් නිශ්ශබ්දතාව පවත්වාගෙන ගොස් ඇත.

චීනයට එරෙහි ආරක්ෂනවාදී පිලිවෙත් හෝ 1990 ගනන්වල ක්ලින්ටන් ධවල මන්දිරය විසින් ලුහුබැඳි කුප්‍රකට “ත්‍රිකෝනීකරන” (triangulation) පිලිවෙතේ 2018 සංස්කරනයක් වන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මධ්‍යම අරමුදල් වෙන්කිරීම වැනි ඩිමොක්‍රටිකයන් සමග “පොදු” භාවයක් දරන ක්ෂේත්‍රවල දී රිපබ්ලිකානුවන් බහුතරය දරන සෙනෙට් මන්ඩලයෙන් ට්‍රම්ප් වෙන්කිරීමේ ක්‍රම සෙවීමට ද ඩිමොක්‍රටික් මූලෝපායඥයෝ යෝජනා කර තිබේ.

පසුගිය දශක දෙක තුල පෙලෝසි හා ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන වාර්තාව අධ්‍යයනය කරන්නෙකුට මෙම ක්‍රියාවන් පුදුමයක් නො වනු ඇත. පෙලෝසි ම ගත්කල ඩොලර් මිලියන 100කට ආසන්න වත්කමක් සහිත දේපොල වෙලඳ ආයෝජකයෙකු සමග ආවාහ වී සිටින, කොංග්‍රසයේ ධනවත් ම සාමාජිකයන්ගෙන් එක් අයෙකි. ඇය වනාහි, 2002 දී කොංග්‍රස් මන්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නායිකාව ලෙස රිචඞ් ගෙප්හාඞ්ට්ගෙන් පසුව පත් වූ, ඩිමොක්‍රටික් නායකත්වය විසින් කොංග්‍රස් ඔත්තු සේවා කමිටුවට නම් කල (එහි දී ඇය ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටිකයා යන තානාන්තරය කරා ඉහල නැගුනි) ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විශ්වාසවන්ත සේවිකාවකි.

මෙම සටහනේ රාමුව ඇතුලත පෙලෝසිගේ දක්ෂිනාංශික දේශපාලන වාර්තාව සවිස්තර ව විස්තර කල නො හැක. රිපබ්ලිකානු පරිපාලනයන්ගේ රුදුරු ම අපරාධ උස්හඬින් හෙලාදකිමින් ඒවා නැවැත්වීමට කිසිවක් නො කරන අයෙක් ලෙස කටයුතු කිරීමට ඇය විශේෂඥවරියකි යයි කීම ප්‍රමානවත් ය. බැරැක් ඔබාමා යටතේ ඇය, ඩිමොක්‍රටික් පරිපාලනය විසින් ගනු ලැබූ වඩාත් ම ප්‍රතිගාමී පියවරයන්ට මුලු හදින් සහයෝගය දුන් තැනැත්තියක් වූවා ය. එනම්, ඩ්‍රෝන් මිසයිල ඝාතන, ලිබියාවේ, සිරියාවේ හා යේමනයේ යුද්ධ, වෝල් වීදියට ඇප තැබීම සහ එක්සත් ජනපදයේ පෙර පැවති සියලු පරිපාලනයන්ගේ එකතුවට වඩා සංක්‍රමනිකයන් අත්අඩංගුවට ගැනීම හා පිටුවහල් කිරීම යන ඒවා ය.

සුලුතර නායිකාව හා කොංග්‍රස් කථානායිකාව ලෙස බුෂ්, ඔබාමා හා ට්‍රම්ප් පරිපාලනයන් විසින් සිදුකල වඩාත් ම සංවේදී හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් පිලිබඳ ව නිරන්තරයෙන් දැනුවත්, කොංග්‍රස් ඔත්තු සේවා කමිටුවේ දීර්ඝ-කාලීන සාමාජිකාවක් වසයෙන් විශේෂයෙන් දේශීය ඔත්තු බැලීම ඇතුලු ජාතික ආරක්ෂක කරුනු සම්බන්ධයෙන් පෙලෝසිට විෂකුරු වාර්තාවක් තිබේ. 2002 දී ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමට ඡන්දය දුන් ඇය, 2003 මාර්තුවේ බුෂ් ඉරාකය ආක්‍රමනය කිරීමට නියෝග කල පසු එක්සත් ජනපද භටයන්ට සහයෝගය දෙන යෝජනාවක් සකස් කොට ඊට ඡන්දය දෙමින්, යුද විරෝධී මනෝගතියට කල සීමිත ආයාචනයක පදනම මත 2006 දී ඩිමොක්‍රටිකයන් කොංග්‍රසයේ බහුතරය දිනාගැනීමෙන් පසුව ද ඉරාකයේ යුද්ධය සඳහා මිලිටරි අයවැයවලට යලි යලිත් පිටුබලය දුන්නා ය.

එක්සත් ජනපද හමුදා ඉරාකයෙන් වහා ම ඉවත් කරගත යුතු ය යන්නට ද බොරු මත පදනම් ව යුද්ධයක් දියත් කිරීම පිලිබඳ ව ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ව දෝෂාභියෝගයට ලක්කිරීමට ද ඇය විරුද්ධ වූවා ය. 2005 දෙසැම්බරයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ පලල් ස්වදේශීය ඔත්තු බැලීම් ප්‍රසිද්ධ කල විට, කොංග්‍රස් ඔත්තු සේවා කමිටුවේ ජ්‍යේෂ්ට ඩිමොක්‍රටික් සාමාජිකාව ලෙස සිටිමින් තමන් ඒ බව වසර ගනනාවක් තිස්සේ දැන සිටි බව ඇය පිලිගත්තා ය.

(“උද්ගමනය” ලෙස හැඳින්වුනු) 2007 ඉරාකය තුල බුෂ්ගේ මිලිටරි ප්‍රහාරය අලුත් කිරීම සඳහා අරමුදල් සැපයීම පිනිස ඩිමොක්‍රටික් සුලුතරයකට බොහෝ රිපබ්ලිකානුවන් සමග එක්වීමට අවසර ලබාදීමේ ව්‍යවස්ථාදායක උපාමාරුවක් ඇය විසින් සැලසුම් කල අතර, එම උද්ගමනය යුද්ධයෙන් ඉරිතැලී ගිය රටෙහි ප්‍රතිමල්ලව සුන්නි හා ෂීට් හමුදාවන් අතර සමූලඝාතක යුද්ධයක් ජනනය කලේ ය. තමන්ගේ පුත්‍රයා ඉරාකයේ දී මරනයට පත්වීමෙන් පසු ප්‍රමුඛ යුද-විරෝධී ක්‍රියාකාරිනියක් බවට පත්වූ සින්ඩි ෂීහාන්ට එරෙහි ව 2008 කොංග්‍රස් මැතිවරනයට තරඟ කිරීමට තීරනය කල විට ප්‍රකට යුද-විරෝධී මනෝගතිය පාවාදුන් ඩිමොක්‍රටික් පක්ෂය සමග පෙලෝසි අනන්‍ය වූවා ය.

ප්‍රතිශීලී “ප්‍රතිසංස්කරනයක්” ලෙස ව්‍යාජ ව ඉදිරිපත් කෙරුනු, සෞඛ්‍යාරක්ෂන වියදම් ආන්ඩුවේ හා සංගතවල සිට වැඩකරන ජනයා මතට මාරුකිරීමේ උත්සාහයක් වූ දැරියහැකි සෞඛ්‍ය පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ඔබාමා යටතේ පෙලෝසි “සම්මානයට” පාත්‍ර වූවා ය. 2008 වෝල් වීදියේ මූල්‍ය අර්බුදයට දඬුවම් දීමක් ලෙස ඉදිරිපත් කෙරුනු ඩොඞ්-ෆ්‍රෑන්ක් පනත සම්මත කිරීම තහවුරු කලේ ද ඇය යි. එහෙත් කිසිදු බැංකුකරුවෙකු සිරගත නො කල අතර ඉදිරිපත් කල රෙගුලාසි මලකුරක් බව සනාථ විය. අද වන විට විශාලතම බැංකු හා රැකවරන අරමුදල් අන් කවරදාටත් වඩා විශාල අතර, 2008ට ද වඩා වැඩි ඉවබව නැතිකමකින් සූදුවේ යෙදෙන්නේ වඩා විශාල ඇදවැටීමකට වේදිකාව සකසමිනි.

මෙම අපරාධකාරී දක්ෂිනාංශික වාර්තාවේ තතු යටතේ, කොංග්‍රස් ඩිමොක්‍රටික නායිකාව ලෙස යලි නම් කිරීමට විරෝධය පැමිනියේ විශේෂයෙන් වෙලඳාම, සංක්‍රමනය හා මිලිටරි ගොඩනැගීම් වැනි කටයුතුවල දී ට්‍රම්ප් හා රිපබ්ලිකානුවන් සමග වඩා සමීප පෙලගැස්මක් කරා පක්ෂය තල්ලු කිරීමට උත්සාහ දරන දක්ෂිනාංශික ඩිමොක්‍රටිකයන් වෙතින් බව සැලකිල්ලට ගත මනා ය. මෙම කන්ඩායමේ වඩාත් ම ප්‍රමුඛ නායකයා වන්නේ, අලුතින් තේරී පත් වූ ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයන් අතරට (සීඅයිඒ ක්‍රියාකාරිකයන්, මිලිටරි නිලධාරීන් හා සිවිල් යුද සැලසුම්කරුවන් යනාදී) ජාතික ආරක්ෂක යාන්ත්‍රයේ කෘතහස්තයන් 11 දෙනෙක් යොදවා ඇති දේශපාලන මෙහෙයුමේ නායකයා හා ඉරාක යුද්ධයේ භට කන්ඩයක හිටපු අනදෙන්නෙක් වන මැසචුසෙට්ස් ප්‍රාන්තයෙන් දෙවරක් කොංග්‍රසය නියෝජනය කර ඇති සෙත් මෝල්ටන් ය.

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ගේ (ඩීඑස්ඒ) සාමාජිකාවක් වන, ව්‍යාජ-වම්මුන් විසින් වන්දනාමාන කරන හා සංගත මාධ්‍ය විසින් නො නැවතී ඉදිරියට දමන ඇලෙක්සැන්ඩි්‍රයා ඔකාෂියෝ-කෝටෙස්, පෙලෝසිට විරුද්ධ වන ඩිමොක්‍රටිකයන්ට අවශ්‍ය වන්නේ පක්ෂය තවදුර දකුනට තල්ලු කිරීම බව කියමින් ඇයට සිය අනුමැතිය දුන්නා ය. මෙය සත්‍ය නමුත් එය නියෝජනය කරන්නේ, සංගත ඇමරිකාව හා එහි අධිරාජ්‍යවාදී අවශ්‍යතා රැකීමට සදාකල් පේවී ඇති මෙම දක්ෂිනාංශික අධිරාජ්‍යවාදී පක්ෂය වමට තල්ලු කල හැකි යයි කියන ඩීඑස්ඒ වැනි කන්ඩායම්වලට එරෙහි ස්වයං-චෝදනාවකි.

පෙලෝසිගේ එකම විරුද්ධවාදීන් ඇයට වඩා දක්ෂිනාංශික යන ඔකාෂියෝ-කෝටෙස්ගේ නිරීක්ෂනය උපුටා දක්වමින් හා “පෙලෝසි නැවත ආරෝහනය කිරීම නො වන අතර, අඳුරු කාලවකවානුවක දී ඇයගේ ස්ථානයේ සිටිය හැක්කේ මාධ්‍යමික ස්ටෙනි හෝයර්” යයි තර්ක කරමින් ඩීඑස්ඒ-හිතවාදී සඟරාව වන ජැකොබින්හි දීර්ඝ චරිත සටහනක් පෙලෝසිට අනුමැතිය දෙයි. දැන් පැහැදිලි ඉදිරිදර්ශනයක් තිබේ: එනම්, තහවුරු වූ යුද අපරාධකාරියක් ද ප්‍රාග්ධනයේ සේවිකාවක් ද වන තැනැත්තිය හා පසුගිය වසර 16 තිස්සේ ඇයගේ දෙවැනියා වූ තැනැත්තිය අතර අල්ප වෙනස්කම් සොයාගැනීමට දේශපාලනික අන්වීක්ෂයක් භාවිතා කිරීම යි!

ඩිමොක්‍රටික් පක්ෂය හරහා වැඩකරන ජනයාට ඉදිරි ගමනක් නැත. රැකියා හා ශිෂ්ට සම්පන්න ජීවන තත්ත්වයන් සඳහා සටන් කිරීමට ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට හා අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමට ද වැඩකරන ජනයා ගතයුතු පලමු පියවර වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයෙන් බිඳී වෙන් වී සමාජවාදී හා යුද-විරෝධී ක්‍රියාමාර්ගයකට සටන් වදින තමන්ගේ ම ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

පැට්‍රික් මාටින්

Share this article: