වොෂින්ටනයේ දේශපාලන යුද්ධය ධනේශ්වර පාලනයේ අර්බුදය දක්වා උත්සන්න වේ

Political warfare in Washington escalates to crisis of capitalist rule

2018 දෙසැම්බර් 12

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරනවලින් මසකට පසු, රාජ්‍ය දේහය තුල පවත්නා ගැටුම් නව අවධියකට පිවිසෙමින් තිබේ. අලුතෙන් පත්වන කොංග්‍රසයේ ඉහල ඩිමොක්‍රටිකයන් ද ඇතුලු දේශපාලන සංස්ථාපිතය තුල, ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් සඳහා මෙන්ම, වියහැකි පරිදි, ඔහුට එරෙහි සාපරාධී නඩු සඳහා විවෘත ඉල්ලීම් වැඩි වෙමින් පවතී.

සිකුරාදා, මධ්‍යම ආන්ඩුවේ අභිචෝදකයින් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ හිටපු පුද්ගලික නීතිඥ මයිකල් කොහෙන්ට එරෙහි නඩුවේ අධිකරන ලියවිලි ගොනු කලේ, ඔහු (ට්‍රම්ප්) තමන් සමග විවාහයෙන් පිට අසම්මත ලිංගික සම්බන්ධකම් පවත්වා ඇති බව ප්‍රකාශ කල කාන්තාවන් දෙදෙනෙකු නිශ්ශබ්ද කිරීමට, 2016 මැතිවරන උද්ඝෝෂනය අතරතුර දී කොහෙන්ට උපදෙස් දීම ගැන ට්‍රම්ප්ට ඍජුව චෝදනා කරමිනි. මෙය උද්ඝෝෂන මුදල් නීති උල්ලංඝනය කල, බරපතල අපරාධයක් බව අභිචෝදකයෝ හඳුන්වා දුන්හ. නිව්යෝක් ටයිම්ස් සඳහන් කල ආකාරයට, එය ජාතික අපරාධයක දී දඬුවම් නො ලැබූ සම-කුමන්ත්‍රනකාරයෙකු ලෙස ට්‍රම්ප් නම් කිරීමට සමාන විය.

සඳුදා රාත්‍රියේ, වොෂින්ටන් පෝස්ට්පත්‍රය හිටපු සෙනෙට් සභිකයන් 44දෙනෙකු (ඩෙමොක්‍රටික් 33ක්, රිපබ්ලිකානු 10 ක් හා ස්වාධීන එකක්) විසින් අත්සන් කරන ලද, “සෙනෙට් සභාව දීර්ග කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නැගී සිටියේ ය - නැවතත් නැගී සිටිය යුතු යි” යන ශීර්ෂපාඨයක් දරන විවෘත ලිපියක් ප්‍රසිද්ධ කලේ ය.

ලිපිය විශේෂත්වයන්ගෙන් හීන වන අතර, එය පැහදිලි ලෙස කතා කරන්නේ සමස්ත දේශපාලන පද්ධතියට තර්ජනය කරන අර්බුදයක් පිලිබඳව යි. “නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාව, අපගේ පාලන ආයතන හා අපගේ ජාතික ආරක්ෂාවට බරපතල අභියෝග” මගින් සලකුනු කෙරෙන “බියකරු කාල පරිච්ඡේදයකට අපි ඇතුල් වෙමින් සිටිමු” යි කතුවරු අනතුරු අඟවති.

ම්‍යූලර් වාර්තාවෙන් (2016 එජ ජනාධිපතිවරනය තුල රුසියානු මැදිහත්වීම පිලිබඳ පරීක්ෂන වාර්තාව-පරිවර්තක) එලිමහනට පැමිනෙන දෑ සහ ඩිමොක්‍රටිකයන් විසින් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ බලය ගැනීම ගැන සඳහන් කරමින්, එම ලිපිය මෙසේ ප්‍රකාශ කර යි: “මෙම සිද්ධි දෙක සිදුවනුයේ, කැකෑරෙන කලාපීය ගැටුම් හා ගෝලීය බල අරගලයන් අපගේ ආරක්ෂාවට, අපගේ ආර්ථිකයට හා භූදේශපාලනික ස්ථාවරත්වයට තර්ජනය කරන අවස්ථාවේ දී ය.”

එය තව දුරටත් මෙසේ පවස යි: “ව්‍යවස්ථාදායක අර්බුද අපගේ පදනම්වලට තර්ජනය කර ඇති, අපගේ ඉතිහාසයේ වෙනත් තීරනාත්මක අවස්ථාවල, අපගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටියේ සෙනෙට් සභාව යි. දැන් නැවත වතාවක් පැමින ඇත්තේ එවැනි අවස්ථාවකි.”

අත්සන් කරුවන් අතර මිලිටරි හා රාජ්‍ය දේහයේ චිරාගත ආරක්ෂකයෝ වෙති. මෙයට හිටපු පෙන්ටගන් ප්‍රධානීහු, පිලිවෙලින් ක්ලින්ටන් හා ඔබාමා යන ඩෙමොක්‍රටික් ජනාධිපතිවරුන්ගේ ඇමති මන්ඩලයේ සේවය කල, රිපබ්ලිකානුවන් දෙදෙනෙකු වන විලියම් කොහෙන් හා චක් හේගල් අයත් වෙති. එම ලැයිස්තුවට, ඩෙමොක්‍රටිකයන් වන බිල් බ්රැඞ්ලේ, ටොම් ඩෑෂ්ලේ, ක්‍රිස් ඩොඞ්, ගැරී හාර්ට්, ජෝන් කෙරී (ඔබාමා යටතේ රාජ්‍ය ලේකම්), ජෝ ලීබර්මාන් හා ජේ රොකෆෙලර්, සහ රිපබ්ලිකානු ඇලන් සිම්ප්සන්, ඩි‘අමාටෝ හා ජෝන් වොර්නර් ද (හිටපු නාවුක හමුදා ලේකම්) ඇතුලත් වෙයි.

සිට සමස්ත ට්‍රම්ප් පාලනාධිකාරියේ ක්‍රියාවන් ලෝකය පුරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දෘෂ්ටිමය පදනම් වලට මෙන් ම එක්සත් ජනපදය තුල ම ධනේශ්වර පාලනයට වල කැපීමට තර්ජනය කිරීම සම්බන්ධයෙන්, දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ දෙකේ ම වැඩෙන සංඛ්‍යාවක් වඩ වඩා උත්සුක වන බව එම ලිපිය පැහදිලි කරයි.

ට්‍රම්ප් විසින් මිනීමැරීම වැලඳ ගැනීම සහ පසු ගිය වසරේ චාර්ලෝටෙස්විලේ හි පා ගමනේ ගිය නව-නාසිවරුන් වැනි ෆැසිස්ට්වාදීන් ආරක්ෂා කිරීම මගින්, එක්සත් ජනපදය මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා ය යන එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ මූලික දෘෂ්ටිමය ස්ථම්භය පුපුරුවා හරිමින් පවතී.

රාජ්‍යය තුල ගැටුම් ධාවනය කෙරෙන නා නා විධ ප්‍රශ්න ඇත. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, විශේෂයෙන් ම රුසියාව සම්බන්ධයෙන්, එපමනක් නොව, වොෂින්ටනයේ සාම්ප්‍රදායික මිතුරන් සමග සම්බන්ධතා පිලිබඳව හා චීනය සමග ගැටුම තුල උපායන් පිලිබඳව වන බෙදීම් මෙයට ඇතුලත් වේ. ආර්ථික අර්බුදය මෙන් ම මූල්‍ය වෙලඳපොලේ ආරාවුල සම්බන්ධයෙන් වැඩි වන උත්සුකයන් පවතී.

එහෙත් ඇමරිකානු පාලක පන්තිය රුසියාව හා චීනය වැනි න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ තරඟකරුවන්ට එරෙහි යුද්ධය සඳහා සහ රට තුල සමාජ අසහනය පිපිරීමක ශක්‍යතාවන්ට ද සූදානම්වන තතු තුල, බොහෝ දීර්ගකාලීන හා අතිමූලික ප්‍රශ්න පවතී. ඔත්තු සේවා ආයතන සමග පෙල ගැසුනු ඩිමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍යයන්හි ප්‍රධාන කන්ඩායම්, වසර දෙකක් දක්වා දිවෙන අන්තර්ජාල වාරනයක් සඳහා උද්ඝෝෂනයක් ගෙන යමින් එය තීව්‍ර කරමින් සිටින්නේ ඇමරිකානු ධනවාදයේ අභ්‍යන්තර ආරක්ෂාවන් මුක්කු ගසා ඔසවා තබා ගැනීමට යි.

එහෙත් ප්‍රන්සය තුල අසමානතාව හා දරිද්‍රතාවට එරෙහිව කම්කරු පන්තියේ විරෝධතා පරීක්ෂා කරන ජාතික ආරක්ෂක සංවිධාන හා එහි දේශපාලන ඒජන්තයෝ එක්සත් ජනපදයේ අනාගතය නොපමාව දකිති.

මෙම තතු යටතේ, එවැනි අර්බුදයක් හැසිරවීමට ට්‍රම්ප්ට ඇති හැකියාව පිලිබඳ ව පාලක පන්තිය තුල ඇත්තේ හීන වෙමින් පවත්නා විශ්වාසයකි. ට්‍රම්ප් තුල ඔවුන්ට සිටින්නේ බිය වැද්දීම් හා තර්ජනවල පදනම මත ගෝලීය වේදිකාවේ ක්‍රියාත්මක වන අයෙකි. එක්සත් ජනපදය තුල, ජනගහනයේ විශාල කොටසක් ඔහු දකිනු ලබන්නේ නීත්‍යානුකූල නො වන අයෙකු ලෙස ය.

විශේෂයෙන් ම, අපකීර්තිමත් හා වෛරයට පාත්‍ර වූ බුෂ් වෙනස් කිරීමට පාලක පන්තිය විසින් ඔබාමා පත් කර, ඔහුට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කලේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යහපත් පෙනුමක් ලබා දීමට සහ බුෂ්ගේ බොරු හා ඉරාකය තුල දාමරිකකම් සම්බන්ධ මහත් දුර්ගන්ධය වසා දැමීමට ය.

රුසියානු ඇඟලි ගැසීම් පිලිබඳව විශේෂ නීති උපදේශක රොබට් ම්‍යුලර්ගේ කේන්ද්‍රීය චෝදනාව, ඔබාමාගේ දැඩි රුසියානු විරෝධී විදෙස් පිලිවෙතින් ට්‍රම්ප් පසු බැසීම වැලක්වීමට ඩොමොක්‍රටිකයන් හා ඔත්තුසේවා සංස්ථාපිතය විසින් ප්‍රචාරය කෙරෙන ප්‍රබන්ධයක් වන අතර, විමර්ශනය මගින් හෙලිදරව් කෙරී ඇත්තේ ට්‍රම්ප් හා ඔහුගේ ව්‍යාපාර මෙහෙයුම්වල සාපරාධිත්වය හා දූෂනයේ ප්‍රමානය යි.

ට්‍රම්ප් අර්බුදයේ හේතුව නො ව, ඔහු රෝග ලක්ෂනය යි. ඔහු පද්ධතියේ අනෙකුන්ගෙන් වෙනස් වූවෙක් ද නො වේ. නමුත් ඔහු ඊට වෙනස් ව අපරාධකාරිත්වයේ ගිලී ඇත්තාවූ ද ඓන්ද්‍රීය වසයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ට විරුද්ධ වන්නා වූ ද පාලක මූල්‍ය ප්‍රභූවේ පුද්ගලාරෝපනය යි. ඔහු ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ විසිරී යාමේ නිර්මිතයකි, එහි හේතුව නො වේ.

මධ්‍යවාර මැතිවරනයෙන් මසකට පසු, මේ වන විටත් පැහදිලි වන්නේ ඩෙමොක්‍රටිකයන් යටතේ කම්කරු පන්තිය හා තරුනයන්ට වඩා යහපත් ලෙස කිසිවක් වෙනස් නො වන බව යි. ඒ වෙනුවට, ඩෙමොක්‍රටිකයෝ රුසියානු “ඇඟලි ගැසීම්” හා “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීම නාමයෙන් අන්තර්ජාල වාරනය සඳහා වන තම තල්ලුව තීව්‍ර කරමින් සිටිති. ඔවුහු දශක ගනනාවක සමාජ ප්‍රතිවිප්ලවය ආපසු හැරවීමට ප්‍රතිපත්ති ඉදිරිපත් නො කරති.

රාජකීය තරඟයක් ලෙස මාධ්‍ය විසින් ඉදිරිපත් කෙරුනු, ඩෙමොක්‍රටික් කොංග්‍රස් මන්ඩල නායකයින් වන නැන්සි පෙලෝසි හා චාර්ල්ස් ෂුමර් විසින්, අඟහරුවාදා ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවීම ඩෙමොක්‍රටික් පක්ෂයේ බියසුලුකම හා උදාසීනත්වය පිලිබඳ පිලිකුල් දනවන ප්‍රදර්ශනයක් විය. සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ කඩා පැනීම හෝ ෆැසිස්ට්වාදී හිස් ප්‍රලාප ගැන එම දෙදෙනා කිසිවක් සඳහන් නො කල අතර, ඒ වෙනුවට “දේශ සීමා ආරක්ෂාවට” වන තම සහයෝගය දෙසා බෑ අතර පාලනාධිකාරය සමග ගිවිසුමක් සඳහා ආයාචනා කලහ.

යුද වදින පාර්ශ්වයන්ගෙන් කවරෙක් තුල හෝ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලි කිසිවක් නැත, එමෙන්ම රාජ්‍යය තුල කුමන්ත්‍රන ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප් පලවා හැරියද, එය කම්කරු පන්තිය හෝ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජයග්‍රහනයක් සංඥා නො කරනු ඇත. පලුමු කොටම ඔහු වෙනුවෙන් පත් වනුයේ පොරොත්තුවේ රඳවා ගෙන සිටින පෙන්ස් ය. එක්තරා ආකාරකයට ඔහු පාලක පන්තියේ වඩා අඩු ග්‍රාම්‍යත්වයෙන් යුත් නියෝජිතයෙකු වන නමුත් ප්‍රතිගාමිත්වයෙන් අඩුවක් නැත.

පාලක පන්තිය තුල ගැටුම් වලට පිටතින් හා ඊට එරෙහි ව තවත් ක්‍රියාදාමයක් වර්ධනය වෙමින් තිබේ. මෑත සතිවල දී ප්‍රන්සය කලඹා ඇති සමාජ පිපිරීම් යුරෝපය, මැද පෙරදිග හා ලෝකය පුරා පුලුල් මහජන සහයෝගයක් අත්පත් කර ගෙන ඇත. එක්සත් ජනපදය තුල, මෝටර් රථ කම්කරුවන් අතර කම්හල් වැසීම්වලට වන විරුද්ධත්වය වර්ධනය වෙමින් තිබෙන අතර, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ගුරුවරු නව වැඩවර්ජනයක් හා පෙලපාලි සංවිධානය කරති.

කම්කරුවන් (පාලක පන්තියේ) කිසිදු කන්ඩායමකට හෝ පක්ෂයකට සහාය නො දිය යුතු ය. ට්‍රම්ප් ඉවත් කිරීමේ පදනම හා ඔහු නියෝජනය කරන යුද්ධය, මර්දනය හා අසමානතාව ආපසු හැරවීමේ පදනම ඇත්තේ එක්සත් ජනපදය හා ජාත්‍යන්තර ව වර්ධනය වෙමින් තිබෙන්නා වූ කම්කරු පන්තියේ අරගලය තුල ය.

මෙම ව්‍යාපාරය දැනුවත් ව හැසිරවිය යුත්තේ මෙම දුර්පාකයන්ගේ මූලාශ්‍රයට, එනම් ධනේශ්වර පද්ධතියට ම එරෙහි අරගලයක් මත ය. මෙම අරගලය වර්ධනය කිරීමට කම්කරුවන් වෘත්තීය සමිති හා මහා ව්‍යාපාරික පක්ෂවලින් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ගොඩනැගිය යුතු ය, එනම් ජාතික හා ජාත්‍යන්තර වසයෙන් මෙම සියලු අරගල පුලුල් කිරීමට හා ඒකාබද්ධ කිරීමට කම්හල් හා අසල්වැසි කමිටු ගොඩනැගිය යුතු ය. මෙම ව්‍යාපාරය සමාජවාදී, ජාත්‍යන්තරවාදී හා විප්ලවවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීමට කම්කරු පන්තිය තුල නව නායකත්වයක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගිය යුතු ය.

බැරී ග්‍රේ

Share this article: