එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් කම්හල් වසා දැමීම හා විශාල දොට්ට දැමීම්වලට එරෙහිව ක්‍රියා කිරීමට ඉල්ලීමක්

A call to action to fight the GM plant closings and mass layoffs

2018 නොවැම්බර් 28

තමන් එක්සත් ජනපදය හා කැනඩාව තුල කම්හල් පහක් වසා දමමින් සිටින අතර 2019 මුල දී නිෂ්පාදන හා නිත්‍ය වැටුප් ලබන සේවකයින් 15,000ගේ රැකියා අතු ගා දමන බව ජෙනරල් මෝටර්ස් (ජීඑම්) සමාගම සඳුදා නිවේදනය කලේ ය. මෙම රැකියා සංහාරය ලෝකය වටා මිලියන ගනනාවකගේ රැකියාවලට තර්ජනය කරන, ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා පෙරමුන ගැනීමකි.

වසර දහයකට පෙර, ගෝලීය මූල්‍ය කඩාවැටීම එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා ධනේශ්වර ආන්ඩු විසින් යොදා ගන්නා ලද්දේ කම්කරු පන්තියේ සිට සුපිරි පොහොසතුන් වෙත විශාල ලෙස ධනය මාරු කිරීම සංවිධානය කිරීමට යි. පාලක පන්තියේ මෙම ප්‍රහාරයේ ප්‍රධාන කාරනය වූයේ, 2009 ජීඑම් හා ක්‍රයිස්ලර් සමාගම් බංකොලොත් වීමයි. ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂනය කලේ ඔබාමාගේ මෝටර් රථ විශේෂ බලකාය විසිනි. වෝල් වීදියේ මූල්‍යකරුවන්ගේ කල්ලියක් වූ මෙය රැකියා දසදහස් ගනනක් කපා දැමූ අතර මෝටර් රථ කම්කරුවන්ගේ ආදායම් හා සේවාස්ථාන ආරක්ෂාව විනාස කලේ ය.

මෙය එක්සත් ජනපදය හා ලෝකය වටා සමස්ත කම්කරු පන්තියේ වැටුප් හා ප්‍රතිලාභවලට එරෙහි ඒ සමාන උද්ඝෝෂනයක් සඳහා සංඥාවක් විය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නව වාර්තාවකට අනුව, පසු ගිය වසරේ දී, ගෝලීය වැටුප් වර්ධනය 2008ට පසු අඩු ම අනුපාතයට, එනම් මූල්‍ය කඩා වැටීමට පෙර තිබූ තත්වයට වඩා බොහෝ පහල මට්ටම්වලට වැටුනි.

කෙසේ නමුත්, පාලක පන්තියට මෙය ප්‍රමානවත් නො වේ. එහි ආදර්ශ පාඨය වන්නේ: “තවත්!” යන්න යි. ජීඑම් රැකියා කප්පාදු පිලිබඳ ට්‍රම්ගේ ව්‍යාජ ඒකාන්ත ප්‍රකාශ නො තකා, ඩෙමොක්‍රටික් පක්ෂයේ සම්පූර්න සහාය ඇති ව, ඔහුගේ පාලනාධිකාරිය කම්කරු පන්තිය මත තව දුරටත් දැවන්ත ප්‍රහාරයක් අධීක්ෂනය කරමින් සිටී. යලි ඇරඹුනු ආර්ථික පරිහානික් පිලිබඳ ව වැඩෙන සංඥා මධ්‍යයේ, සංගත හා මූල්‍ය ප්‍රභූව වෙලඳපොලට හැකි පමන මුදලක් පොම්ප කිරීමට අධිෂ්ඨාන සහගත ය.

කම්හල් වැසීම හා සමාගම ඩොලර් බිලියන 6.5කින් වියදම කප්පාදු කරනු ඇත යි ප්‍රධාන විධායක නිලධාරී මේරී බරා කල නිවේදනයට වෝල් වීදිය ප්‍රසිද්ධියේ ප්‍රශංසා කලේ ය. මෙම තතු කොටස් ආපසු මිල දී ගැනීම හා ලාභාංශ ගෙවීම් රූපාකාරයෙන් අනිවාර්යයෙන් ම පොහොසත් ආයෝජකයින්ගේ ආයෝජනවලට තම පාර සොයා ගනු ඇත.

කම්කරු පන්තිය සඳහා වන ප්‍රතිවිපාක විනාසකාරී වනු ඇත. සමාගමේ ඩෙට්‍රොයිට්-හැම්ට්‍රැම්ක්, මිචිගන්; ලෝර්ඞ්ස්ටවුන්, ඔහියෝ හා ඔෂාවා, ඔන්ටේරියෝ කම්හල් වසා දැමීම කාර්මිකහරනය, දරිද්‍රතාව හා සමාජ පරිහානියේ දශක ගනනාවකින් මේ වන විටත් හිරහැර කෙරුනු ප්‍රදේශවලට විනාසකාරී බලපෑමත් ඇති කරනු ඇත. බොහෝ පවුල් අසරන භාවයට ඇද වැටෙනු ඇති අතර ඔවුන්ගේ නිවාෂ (බැංකු හා මූල්‍ය ආයතන විසින්) සින්න කර ගනු ඇත. වඩ වඩා පවුල් විසුරුවා හැරීම, සිය දිවි නසා ගැනීම හා මත් ද්‍රව්‍ය අධිමාත්‍ර ගැනීමේ මරන සිදු වෙනු ඇත.

මෙම කම්හල් වැසීමට සංගත හා මූල්‍ය ප්‍රභූවට ඇති “අයිතිය” මෝටර් රථ කම්කරුවන්ට පිලිගත නො හැක. මෙම රැකියා ආරක්ෂා කිරීමට පෙලපාලි, වැඩවර්ජන හා කම්හල් වාඩිලා ගැනීම් සංවිධානය කිරීම ඇතුලුව සම්පූර්න උද්ඝෝෂනයක් දියත් කල යුතු ය. ලෝක සමාජවාදී වෙබ් අඩිවියේ ඔටෝ වර්කර්ස් නිව්ස්ලෙටර් මෙම වසා දැමීම් වැලක්වීම සඳහා මූලෝපයක් සාකච්ඡා කිරීමට, එරට නැගෙනහිර වෙලාවෙන් බදාදා රාත්‍රී 8.00ට දුරකතන ඔස්සේ ඔන් ලයින් සාකච්ඡාවක් පවත්වනු ඇත.

යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (යූඒඩබලිව්) හෝ එහි කැනේඩියානු සහචරයන් වන යුනිෆෝර් හරහා ප්‍රතිප්‍රහාරයක් ගෙන යා නො හැක. මෙම සංවිධාන බොහෝ කලකට පෙර සිට කම්කරු සංවිධාන ලෙස පැවතීම අවසන් කර ඇත. සංගත කලමනාකාරනයේ අතකොලු වන ඒවා පාලනය කරනු ලබන්නේ තමන් නියෝජනය කරනවා යැයි කියන කම්කරුවන්ගේ වැටුප් හා රැකියා විනාස කිරීමෙන් ලාභ ලබන වරප්‍රසාදිත විධායකයින් විසිනි.

එය රැකියා “ආරක්ෂාවට” යැයි කියවුනු, 1979 ක්‍රයිස්ලර් ඇප දීමෙන් ආරම්භ වීම සමග, යූඒඩබ්ලිව් තම දැවැන්ත වරදාන ප්‍රතිපත්තිය ඇරඹීමේ තැන් සිට වසර 40ක් ගත වී ඇත. යූඒඩබ්ලිව් උප සභාපති මාර්ක් ස්ටෙප් එම අවස්ථාවේ දී මෙසේ පැවසී ය, “සමාගමට මෙහෙයුම් කප්පාදු කිරීමට සිදුවේයැයි මම විශ්වාස කරනවා. අපට මේ රට තුල නිදහස් ව්‍යාපාර තියෙනවා. සමාගම්වලට ලාභ ලැබීමට අයිතියක් තියෙනවා.”

ප්‍රතිඵලය වී ඇත්තේ වසර 40ක අවසානයක් නැති විනාසය යි. ජීඑම්, ෆෝර්ඞ් හා ක්‍රයිස්ලර් කම්කරුවන්ගේ සංඛ්‍යාව 702,000 සිට 140,000 දක්වා වැටී ඇති අතර, මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප්, ප්‍රතිලාභ හා වැඩ කොන්දේසි මහත් විනාසයට ගොදුරු වී ඇත.

කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කර ගැනිම සදහා සමාගමේ ලාභ හා ජාත්‍යන්තර තරඟකාරිත්වය වැඩි කිරීම සඳහා කැප කිරීම හැරුනු කොට වෙනත් මඟක් නැති බව, වඩා මෑතදී, 2007, 2009, 2011 හා 2015දී යුඒඩබ්ලිව් දැඩිව කියා සිටියේ ය. කැනේඩියානු මෝටර් රථ කම්කරුවන් මත වරදාන කොන්ත්‍රාත්තු සම්මත කිරිමේ දී යුනිෆෝර් ද එම යුක්තිසහගත කිරීම තහවුරු කලේ ය.

දැන් මෙම පොරොන්දු පවතින්නේ වැරහැලි ලෙස ය. අවසානයක් නැති වරදානවලින් ප්‍රතිලාභ ලබා ඇති එකම අය වන සමාගම් විධායකයින්, වෝල් වීදියේ මෝරුන් සහ සංගත කොටස් බිලියන ගනන් පාලන කරන අතර, ගොල්ෆ් සංචාර, සුඛෝපභෝගී නිවාඩු නිකේතන, හා කම්කරුවන්ගෙන් සොරා ගත් හා වෘත්තීය කලමනාකරන පුහුනු මධ්‍යස්ථාන හරහා යලි ඩැහැ ගන්නා මුදල් වලින් මිල දී ගත් ප්‍රසිද්ධ මෝස්තර නිර්මානකරුවන්ගේ ඇඳුම් අඳිනා යූඒඩබ්ලිව් ලොක්කන් ය.

ප්‍රතිප්‍රහාරය සඳහා කම්කරුවන්ට නව මූලෝපයක් අවශ්‍ය ය.

පලමුව, කම්කරුවන් තමන්ගේ ශක්තිය ගැන විශ්වාසය තැබිය යුතු ය. මෙහි අර්ථය වන්නේ යූඒඩබ්ලිව් හා යුනිෆෝර් සමිතිවලින් මුළුමනින් ම ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම කම්හලකම ස්ථාපනය කල යුතු බව යි. මෙම කමිටු ජීඑම් කම්කරුවන් පමනක් නොව එක්සත් ජනපදය හා කැනඩාවේ සියළු මෝටර් රථ අමතර කොටස් කම්කරුවන් සම්බන්ධ කර ගැනීමට සහාය දිය යුතු ය. සමාජයේ සියළු ධනය නිපදවන කම්කරුවන්ට අතිමහත් ශක්තියක් මෙන් ම උත්තෝලන බලයක් ඇත. ඕනෑ ම ප්‍රධාන කම්හලක වැඩවර්ජනයක් අඛන්ඩ ගෝලීය සැපයුම් දාමයක් හා හරියට ම වෙලාවට බෙදා හැරීම මත යැපෙන කර්මාන්තය වහා වසා දැමිය හැක.

දෙවනුව, මෝටර් රථ කම්කරුවන් සියලු ජාතික දේශසීමා හරහා එක්සත් විය යුතු ය. එහි සම්පූර්න ස්වභාවයෙන් ම එය ජාත්‍යන්තර සටනකි. පතුල දක්වා යන තරඟයේ දී කම්කරුවන් එකිනෙකාට එරෙහිව බෙදීමට වෘත්තීය සමිතිය විසින් දීර්ග කාලයක් තිස්සේ තොරොම්බල් කරන ජාතිකවාදී විස කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. කොරියාවේ ජීඑම් කම්කරුවෝ හා ජර්මනිය හා බි්‍රතාන්‍යයේ මෙන් ම වෙනත් රටවල වොක්ෂෝල් හා ඕපල් (දෙකම පෙර ජීඑම්) කම්කරුවෝ කම්හල් වසා දැමීම් හා දොට්ට දැමීම්වලට මුහුන දෙති. අනෙකුත් ගෝලීය සමාගම් ද ජීඑම් ආදර්ශය අනුගමනය කරනු ඇත. කම්කරුවන් එකිනෙකාට එරෙහි ව කොටවන්නට ගෝලීය මෝටර් රථ යෝධයින්ට ජාත්‍යන්තර මූලෝපායක් ඇත් නම්, ඒවාට එරෙහි ව සටන් කිරීමට මෝටර් රථ කම්කරුවන්ට ගෝලීය මූලෝපායක් තිබිය යුතු ය.

තුන්වනුව, මෙම වසා දැමීම් සමග සම්බන්ධ වන සමාජ ව්‍යසනය සලකා බලන විට, මෝටර් රථ කම්කරුවන් සටන් කිරීම සඳහා සියලු කම්කරුවන් වෙත සමීප විය යුතු ය. මෙහි අර්ථය වන්නේ පොදු සටනක් සඳහා රට පුරා කම්කරුවන් බලමුලු ගැන්වීම යි. මෝටර් රථ කම්කරුවන්ගේ ජීවන කොන්දේසි විනාස කර ඇති පාලක පන්තියේ ප්‍රතිවිප්ලවය ම ඩෙට්‍රොයිට්, ලෝර්ඞ්ස්ටවුන් හා රට පුරා අනෙකුත් නගරවල සමාජ ව්‍යසනය පසු පස පවතී.

කම්කරුවන් අතර සාමාජිකයින්ගේ ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීම, යූපීඑස් කම්කරුවන්, ගුරුවරුන්, ඉන්ධන කම්කරුවන්, වානේ කම්කරුවන් හා සේවා කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම් වලට අමතර ව රැකියා නැති හා ශිෂ්‍ය තරුනයන් සමග තම අරගලය සම්බන්ධ කරනු ඇත. කම්කරුවන්ගේ අරගලයේ තර්කය වන්නේ කම්කරු පන්තියේ රැකියා, ජීවන තත්වයන් හා සමාජ අයිතීන් මත ද්විපක්ෂ ප්‍රහාරයට විරුද්ධත්වය දැක්වීමේ මහා වැඩවර්ජනයක් කරා පෙරට යාම යි.

අවසානයේ දී, එය ඒ හෝ මේ හාම්පුතාට එරෙහි ව නො ව, සමස්ත ධනේශ්වර පද්ධතිය හා සංගත පාලිත පක්ෂ දෙකට ම, එනම් ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂවලට එරෙහිව කම්කරු පන්තිය සටන් කරන්නාවූ දේශපාලන අරගලයකි. සමාජ සම්බන්ධතාවන්ගේ අතිමූලික හා ස්වාධීන වෙනසක් ඇති කල හැක්කේ බලය ගැනීම සඳහා කම්කරු පන්තිය තෙමේ ම ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස ස්ථාපනය වන්නේ නම් පමනි.

තමන් ධනේශ්වර වෙලඳපොලේ පවිත්‍රතාව පිලිගන්නේ නම් කම්හල් වැසීම හා වැටුප් කප්පාදුවලට එරෙහි ව කම්කරුවන්ට සටන් කල නො හැක. බැංකු හා ප්‍රධාන සංගතවල ගලග්‍රහනය බිඳ දැමීම හා පුද්ගලික ලාභය සඳහා නො ව, මානව අවශ්‍යතාවන් සැපිරීමට ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම අරමුනු කර ගත්, සමාජවාදී මූලෝපායක් මගින් කම්කරුවන්ගේ ප්‍රතිප්‍රහාරයකට මග පෙන් විය යුතු යැයි සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කර යි. පොහොසතුන්ගේ පුද්ගලික කෙලිබඩු වනවා වෙනුවට ජීඑම් වැනි යෝධ සංගත කම්කරුවන් විසින් සාමූහික ව හිමි කර ගන්නා වූ ද පාලනය කරන්නා වූ ද මහජන ව්‍යවසායන් බවට පරිවර්තනය කල යුතු ය.

(ලෝසවෙඅ ඔටෝවර්කර්ස් නිව්ස්ලෙටර් එක්සත් ජනපද වේලාවෙන් බදාදා රාත්‍රී 8ට හදිසි ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. එම හමුව ජීඑම්, ලියර් හා අනෙකුත් මෝටර් රථ කම්කරුවන්ගේ අරගල සමාගම් හා සංගත පාලිත යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියට එරෙහි ව එක්සත් කිරීමේ මූලෝපායක් සාකච්ඡා කරනු ඇත)

ජෙරී වයිට්

Share this article: