ප්‍රන්සයේ දැවන්ත විරෝධතා: ජාත්‍යන්තර පන්ති අරගලයේ නව අවධියක්

The mass protests in France: A new stage in the international class struggle

2018 දෙසැම්බර් 3

ජනාධිපති මැක්‍රොන්ගේ කම්කරු විරෝධී ඉන්ධන බදු වැඩි කිරීමට එරෙහිව සෙනසුරාදා, ප්‍රන්සය පුරා පැවති විශාල “කහ බැනියම්” පෙලපාලි මාලවකට පුද්ගලයෝ 100,000ක් පමන සහභාගී වූහ. මෙය 1968 මැයි - ජූනි මහා වැඩවර්ජනයෙන් පසු එරට පැවති ඉතාමත් බලගතු මහජන විරෝධතාව යි.

මෙම සිදුවීම් හුදෙක් ප්‍රන්සය නැතහොත් යුරෝපය සඳහා පමනක් නො ව ජාත්‍යන්තර ව තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. සමාජ විරෝධතාවන්ගේ පිපිරීම සලකුනු කරන්නේ පන්ති අරගලයේ පුනර්ජීවනය යි. සෝවියට් සංගමය විසුරුවා හැරීමේ තැන් සිට ආසන්න වශයෙන් ගත වූ දශක තුන පුරා මෙන් ම, විශේෂයෙන් ම 2008 මූල්‍ය කඩා වැටීමේ තැන් සිට දශකය පුරා අති විශාල සමාජ ප්‍රතිඝතිතාවන් ගොඩ ගැසී ඇත. ධනේශ්වර සමාජයේ සියලු ම අප්‍රසන්නතාවන්, එනම් සමාජ අසමානතාවේ ඉතා විශාල මට්ටම, ජනගහනයේ සුලු ප්‍රතිශතයක් තුල අවසානයක් නැති ධන සමුච්චයනය හා සදාකල් හි වඩා විශාල වන දරිද්‍රතාව හා දුක් පීඩාවේ පෙර නො වූ විරූ මට්ටම් දැන් මතු පිටට පුපුරා එමින් තිබේ.

මැක්‍රෝන් යනු පාලක ප්‍රභූවේ සැබෑ නියෝජිතයා යි. වෛරයට පාත්‍ර වූ හා විකාරරූපී පුද්ගලයෙකු මෙන් ම ජනාධිපති බවට හැරුනු ආයෝජන බැංකුකරුවා, යුරෝපීය කොටස් වෙලඳපොලේ රූකඩයකට වැඩි දෙයක් නො වේ. තරහව හා කෝපය අභිමුවෙහි, මැක්‍රෝන් පැහැදිලි කර ඇත්තේ, අවශ්‍ය නම් පොලිස් රාජ්‍යයක් හරහා හා හදිසි තත්වය ප්‍රකාශ කිරීම ඔස්සේ තම කම්කරු පන්ති විරෝධී ප්‍රතිපත්ති සමග ඉදිරියට යාමට තමා සූදානම් බව යි. මහජනයා පාලක ප්‍රභූවේ ආර්ථික නියෝගයන්ට අභියෝග කරන අවස්ථාවේ, එය ප්‍රචන්ඩත්වයට හා මර්දනයට හැරේ.

ප්‍රන්සය තුල වර්ධනයන් දුවවන්නේ සාරභූතව ම ජාතික නො ව, ගෝලීය තත්වයන් විසිනි. මැක්‍රෝන්ට කල හැක්කේ කුමක් ද, ඔහු ප්‍රතිචාර දැක්විය හැක්කේ කෙසේ ද යන්න නීර්නය කරනු ලබන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඉල්ලීම් මගිනි. ඔහු ප්‍රන්සය තුල කම්කරුවන් මත තම ප්‍රහාරයන් ගෙන යමින් සිටින්නේ, ජෙනරල් මෝටර්ස් විසින් නිවේදනය කෙරුනු සමූහ දොට්ට දැමීම් තුල මූර්තිමත් කෙරෙන්නා වූ, වියදම් කප්පාදුවල නව වටයක් ඇමරිකානු ධනේශ්වරය විසින් ක්‍රියාත්මක කරමින් සිටීමත් සමග ය. ආර්ථික කඩා වැටීම යලි උග්‍ර වීමේ සලකුනු මධ්‍යයේ සෑම රටකම පාලක ප්‍රභූව ප්‍රහාරාත්මකව සිටියි.

අනෙක් පැත්තේ සිටින්නේ කම්කරු පන්තිය යි. එය තෙමේ ම පෙන්වා දෙමින් සිටින්නේ හුදෙක් පීඩිත පන්තියක් නො ව, විප්ලවවාදී පන්තියක් බව යි. ධනේශ්වර සාමය හා ස්ථාවරත්වය යට සිවිල් යුද්ධය කැකෑරෙමින් තිබේ.

මධ්‍යම පන්තික ව්‍යාජ වම්මුන්ගේ සියලු ප්‍රතිගාමී ව්‍යාජ වට්ටෝරු, එනම් සමාජ අසමානතාව වර්තමාන සමාජයේ කේන්ද්‍රීය ප්‍රශ්නය නො වේ, එමෙන් ම කම්කරු පන්තිය විප්ලවවාදි පන්තියක් නො වේ ආදිය කෑලිවලට පුපුරා හැරෙමින් තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය, වර්ගය හා ලිංගිකත්වය පිලිබඳ ප්‍රශ්න ගැන චිත්තාපර ප්‍රබන්ධ කරනය අදාල නොවන බව ඔප්පු කෙරෙමින් තිබෙනවා පමනක් නොව, ඒවායේ එක ම අරමුන වන්නේ වර්ධනය වන්නා වූ කම්කරු පන්තික ව්‍යාපාරය අවමංගත කිරීම පමනක් නො ව එයට විස කැවීම යි.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ඉදිරියට දැමුනු, “ඉතිහාසයේ අවසානය” පිලිබඳ ප්‍රකාශ සම්බන්ධයෙන් ගත් විට, මේවා හුදෙක් මන:කල්පිත පමනක් බව ඔප්පු වී ඇත. යන්තම් වසරකට පෙර, රුසියානු විප්ලවයේ ශතසංවත්සරය මැද, ධනේශ්වර දෘෂ්ටිවාදීන් ප්‍රකාශ කරමින් සිටියේ, ඔක්තෝබර් විප්ලවය නූතන ලෝකයට අදාල නො වන බව යි. නමුත් දැන්, විප්ලවවාදී තත්වයන් මතු වීම ආරම්භ වෙමින් තිබේ.

ලෝසවෙඅ අපේක්ෂා කල පරිදි, ගෙවී ගිය වසරේ කැපී පෙනෙන ලක්ෂනය වී ඇත්තේ පන්ති අරගලයේ මතු වීම යි. එම වසර ඇරඹුනේ ඉරානය තුල විරෝධතා, ජර්මනියේ කාර්මික කම්කරුවන්ගේ, එක්සත් රාජධානියේ කථිකාචාර්යවරුන් හා එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ වැඩවර්ජන සමගිනි. එම වසර ලතින් ඇමරිකාව, මැද පෙරදිග හා ආසියාව තුල සමාජ විරුද්ධත්වයේ සැලකිය යතු ප්‍රකාශනයන් දැක ඇත.

එම වසර අවසානයට පැමිනෙමින් තිබෙන්නේ ප්‍රන්සයේ මහා විරෝධතා, එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් අතර වැඩෙන අසහනය හා දකුනු කොරියාව, ග්‍රීසිය හා චිලියේ වැඩවර්ජන සමගිනි. මෙයට එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාවේ දී සන්නද්ධ හමුදා සමග ගැටෙන මධ්‍යම ඇමරිකාවෙන් එන සංක්‍රමනිකයන් ඇතුලුව, විරුද්ධත්වය දක්වමින් සිටින සංක්‍රමනික කම්කරුවන්ගේ විරෝධතා ද එකතු කල යුතු ය.

පසු ගිය වසරේ අත්දැකීම් (ප්‍රන්සය ව්‍යතිරේකයක් නො වේ) ප්‍රදර්ශනය කර ඇත්තේ පවතින දේශපාලන සංවිධාන හා වෘත්තීය සමිති රූපරාමුව තුල පුලුල් මහජතාවගේ උත්සුකයන් ක්‍රියාත්මක කිරීමට ඇති නො හැකියාව යි. දේශපාලන සංස්ථාපිතයේ “වාමාංශික” මෙන් ම දක්ෂිනාංශික සමස්ත ව්‍යූහය, කම්කරු පන්තියේ උත්සුකයන්ගෙන් මුලුමනින් ම දුරස්ථ අතර ඒවාට හතුරු ය.

ප්‍රන්සයේ දී නැවත වතාවක් විරුද්ධත්වය මතු වී ඇත්තේ ආන්ඩුවට කිට්ටු ලෙස ඒකාබද්ධ වූ වෘත්තීය සමිති රූපරාමුවට මුලුමනින් ම පිටස්තර ව ය. පෙලපාලිවලට ඒවායේ ආරම්භක ප්‍රතිචාරය වූයේ හෙලා දැකීම යි. එලිසී මාලිගාවේ (ප්‍රන්ස ජනාධිපති මන්දිරය) සිට නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ) වැනි මධ්‍යම පන්තික පක්ෂවල කාර්යාල දක්වා පැතිරෙන ප්‍රතිගාමිත්වයේ කාන්ඩයක් ඇත. මේ සියලු දෙනා උත්සුක එක් දෙයක් සමගිනි: තමන් මෙම ව්‍යාපාරය පාලනයට ගෙන නතර කරන්නේ කෙසේ ද.

දැන් මතුවෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ ඉදිරිදර්ශනය හා මූලෝපාය යි. කම්කරු පන්තිය හා තරුනයන්ගේ පුලුල් ම කන්ඩායම් තුලට ගෙන එමින්, අරගලය ගැඹුරු කිරීමේ හදිසි අවශ්‍යතාවක් තිබේ. මෙය ඉල්ලා සිටින්නේ කම්කරු පන්ති අරගලයේ ස්වාධීන සංවිධාන වන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි. මෙය 1936 ප්‍රන්ස මහා වැඩවර්ජනයට වසරකට පෙර, 1935දී ට්‍රොට්ස්කි ලියූ පරිදි, “පක්ෂ හා වෘත්තීය සමිති සංවිධානවල විප්ලවවිරෝධී විරුද්ධත්වය බිඳ දැමීමේ එක ම මාධ්‍ය යි.” එවැනි සංවිධානවලට “තමන්ගේ කර්තව්‍යය ලෙස තිබෙනු ඇත්තේ ආරක්ෂාකාරී අරගලයක් තුල ප්‍රන්සයේ පීඩිත මහජනතාව එක්සත් කිරීමත් හා ඒ නයින් එලඹෙමින් තිබෙන ප්‍රහාරය සඳහා තමන්ගේ ම ශක්තිය පිලිබඳ දැනුවත්භාවය සමගින් මහජනයා පුබුදු කිරීමත් ය.”

කම්කරු පන්තික අරගලයේ නව සංවිධානයන්ගේ වර්ධනය සියල්ලෙන් ම ඉතාමත් තීරනාත්මක ප්‍රශ්නය සමග බැඳේ: එනම් ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය මත දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි.

ජාත්‍යන්තර පරිමානයක පන්ති අරගලයේ වර්ධනය බැඳෙන්නේ ගෝලීය ධනවාදී පද්ධතියේ ම ස්වභාවය සමගිනි. නැවත වතාවක්, ප්‍රන්සය තුල වර්ධනය වෙමින් තිබෙන දේ හුදෙක් ප්‍රන්ස තතුවල ප්‍රකාශනයක් නො ව, ගෝලීය තත්වයන්ගේ ප්‍රකාශනයකි. එය තමාගේ ම ආකාරයෙන්, කියන්නේ ලෝකයේ කම්කරුවන් කොල්ල කෑම හා මර්දනය කිරීමේ සැලැසුම් සකස් කරන වඩාත් ම බලගතු ධනේශවර ආන්ඩුවල නායකයින්ගේ ගෝලීය රැස්වීම වන ජී 20 සමුලුවේ සිට මැක්‍රෝන් ආපසු එමින් සිටිය දී මෙම පෙලපාලි විධාරනය වූ බව යි.

ට්‍රොට්ස්කි 1907දී සඳහන් කල පරිදි, ලෝක ධනවාදයේ වර්ධනය, “මුලු ලෝකය ම තනි ආර්ථික හා දේශපාලන ව්‍යුහයකට පරිවර්තනය කර ඇත.”

ධනවාදයේ සමස්ත ආර්ථික හා දේශපාලනික ක්‍රියාකාරිත්වය, එහි ලෝක වෙලඳාම, එහි බියකරු රාජ්‍ය නය පද්ධතිය හා ලෝක පරිමාන තනි ඒකාබද්ධ කොටස් සමාගමකට ඇද ගනිමින් සිටින්නා වූ ජාත්‍යන්තර දේශපාලන සන්ධාන සමග, සියලු භින්න දේශපාලනික අර්බුදවලට බාධා කර ඇතිවා පමනක් නො ව, පෙර නො වූ විරූ පරිමානයක සමාජ අර්බුදයකට කොන්දේසි ද සූදානම් කර ඇත.

මෙම වචන සෑම රටක් තුල ම අද සත්‍ය බවට පත්ව ඇත. ලෝකය පුරා කම්කරුවෝ ප්‍රන්ස කම්කරුවන්ගේ ඉල්ලීම් සමග අනන්‍ය වෙති. ලෝකයේ සෑම තැනම, පාලක ප්‍රභූව ප්‍රාග්ධනයේ උවමනාව සඳහා සමාජ ව්‍යූහය ප්‍රතිසංවිධානය කරමින් සිටින්නේ, සමාජ ධනය තමන්ගේ සාක්කුවලට හරවා ගැනීම තහවුරු කිරීමට පමනක් නො ව, ඊ ලඟ යුද්ධ මාලාව සඳහා අරමුදල් සැපයීමටත් ය.

මෙම සිදුවීම්වලට ධනේශ්වරයේ ප්‍රතිචාරය වනු ඇත්තේ, නව-ෆැසිස්ට්වාදී හමුදා ඇතුලුව, යුද්ධය හා මර්දනය සඳහා වන සූදානම අතිවිශාල ලෙස වේගවත් කිරීම යි. කෙසේ නමුත්, කම්කරු පන්තියට ඊටත් වඩා බලගතු ආයුධයක් තිබේ: ඒ මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදී බලවේගය වන බිලියන ගනනාවකගෙන් ශක්තිමත් ගෝලීය කම්කරු පන්තිය යි.

ප්‍රන්සය තුල හා ලෝකය පුරා කම්කරු පන්තිය මුහුන දෙමින් සිටින කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ සමාජවාදී විප්ලවයේ පක්ෂය ගොඩනැගීම යි; එනම් ප්‍රන්සය තුල එහි ජාතික ශාඛාව වන පාටි ඩි ලෙගලයිට් සෝෂලිස්ටේ (සමාජවාදී සමානතා පක්ෂය) ඇතුලුව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම යි. මෙය මත, ප්‍රන්සය තුල මෙන් ම ලෝකය පුරා වර්ධනයන්ගේ ගමන් මග නීර්නය කෙරෙනවා ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය

Share this article: